ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්

0
6

ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථික පිළිවෙතක් කරා යොමුවෙමින් ර‍ෙට් සම්පත් සහ ආර්ථික මර්මස්ථාන විදේශයන් සතු කිරීම වෙනුව‍ට රට තුළම ඉතිරිකිරීම මෙන්ම, දේශීය ව්‍යවසායකයා ශක්තිමත් කිරීම ‘සෞභාග්‍යයේ දැක්ම’ ඔස්සේ ආර්ථිකය ගොඩ නැඟීම උදෙසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළේ පදනමය.

හැට නව ලක්ෂයක් ජනතාව ඉහළින්ම අනුමත කළ එම වැඩපිළිවෙළ රට හදන ප්‍රතිපත්තිය බවට පත්ව තිබියදී, එය ප්‍රායෝගික යථාර්ථයක් කිරීම වෙනුවෙන් තැබූ පියවර හා ලැබූ සාර්ථකත්වය සැකෙවින් හෝ විමසා බැලීමට එතුමා බලයට පත්වී වසරක් සපිරෙන මේ අවස්ථාව ඉතා සුදුසුය.

මෙම ආර්ථික ප්‍රතිපත්තිය අනුව සංවර්ධිත කෘෂි ආර්ථිකයක් ගොඩනැඟීම ඉලක්ක කර ගනිමින් ගත් ක්‍රියාමාර්ග ගණනාවකි. ඒ අනුව වී කිලෝවකට රුපියල් 50/= ක අවම සහතික මිලක් නියම කිරීම සිදුවිය. පොහොර හිඟයකින් තොරව හා කලට වේලාවට සැපයීමට ද ඉහළ ප්‍රමිතියකින් යුතුව දීමට ද පියවර ගැණිණි. වැසී ගිය කුඩා වී මෝල් හිමියන් බලගැන්වීමට ද පියවර ගැනීම සිදුවිය. එතෙක් මාසිකව රුපියල් මිලියන 21 ක කුලියක් ගෙවමින් පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය එතැනින් ‘ගොවිජන මන්දිරයට’ රැගෙන යාම ද අගය කළ යුතුය.

ගම්මිරිස්, කුරුඳු වැනි සුළු අපනයන බෝග ආනයනය නතර කිරීමට පියවර ගැනීමෙන් එම වගාකරුවන්ට මෙන්ම රටේ ආර්ථිකයට ද ඇති වූයේ යහපතකි. එම ගොවීන්ගේ ගැටලු පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූයේ බලයට පත්වීමටත් පෙර සිටය. අන් බො‍හෝ ක්ෂේත්‍රවලදී සිදුවූ අයුරින්ම මෙහිදී ද එම ජන හඬට සවන්දීම සිදුවිය. කහ, ගම්මිරිස් වැනි බෝග සඳහා ස්ථාවර මිලක් ලබාදීම මඟින් එම වගාකරුවන් රැකගැනීමට පියවර ගැනිණි. කිතුල් සහ තල් ප්‍රධාන අපනයන බෝග අතරට එක් කරමින් විදේශ විනිමය උත්පාදනයට සැලසුම් කර තිබේ. රබර් අපනයනය දිරිගැන්වීමට ද පියවර ගෙන ඇත. ‘සිලෝන් ටී’ නාමයේ ගරුත්වය රැකගනිමින් ඉහළ ගුණාත්මක තේ ලෝක වෙළෙඳපොළට සැපයීමට ද ක්‍රියාමාර්ග ගැණිණි.

ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම මෙන්ම සෞඛ්‍ය සම්පන්න බව වෙනුවෙන් ද දේශීය කිරි ගොවියා නැංවීම වෙනුවෙන් ද දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ කිරි ගොවීන්ගේ ද එකතුවෙන් කෙටි සහ දිගුකාලීන සැලසුම් ආරම්භ කර තිබේ. එහි වැඩි ප්‍රතිඵල ඉදිරි කාලයේදී නෙළා ගත හැකි වනු ඇත.

ශ්‍රී ලංකාව වර්ග කි.මී. 500,000 කට ආසන්න මුහුදු කලාපයකට හා කි.මී.1700 කට ආසන්න වෙරළ තීරයකට ද, විශාල ගංගා හා ජලාශ රාශියකට ද හිමිකම් කියන රටකි. ධීවර ආර්ථිකය ස්වයං පෝෂිත තත්ත්වයට පත්වීම කඩිනමින් විය යුතු බව හඳුනාගැනීම වැදගත්ය. එය ජනතාවගේ පෝෂණය මෙන්ම ආර්ථිකය සම්බන්ධයෙන් ද බලපාන්නා වූ කාරණයකි. ඒ වෙනුවෙන් පැහැදිලි මෙන්ම තිරසර සැලැස්මක් සැකසී ඇත. මෙරට ධීවර කර්මාන්තයට හා ධීවරයන්ට අවශ්‍ය යාත්‍රා දේශීය ආයතන මඟින් නිෂ්පාදනයට ද පියවරගෙන ඇත.

බතික්, අත්යන්ත්‍ර රෙදිපිළි, මැටි වැනි කර්මාන්ත දිරිගැන්වීම, නැංවීම හා ආර්ථික දියුණුව වෙනුවෙන් ක්‍රියාමාර්ග ගණනාවක් ආරම්භ කර ඇත. ඒ ඔස්සේ එවැනි කර්මාන්තකරුවන් තුළ මෙන්ම ජනතාව තුළ ද ඊට නැඹුරුවක් හා උනන්දුවක් ඇතිවීම දැකිය හැකිය. එය බොහෝ සාධනීය ප්‍රවණතාවකි. මේ යටතේ බතික් හා අත්යන්ත්‍ර කර්මාන්තය නඟා සිටුවීමට සියලු අංශ ආවරණය කෙරෙන සැලැස්මක් සකසා අවසානය. අත්යන්ත්‍ර හා බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ද පියවර ගැණිණි. ජාතික කොඩි හා බෞද්ධ කොඩි රට තුළම නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීමට පියවර ගැනීම ද අගය කළ යුතුය.

කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී ද පහසුකම් ඇති කර ඇත. ලබන වසරේ පටන් පාසල් දරුවන්ගේ සහ ආරක්ෂක අංශවල නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන් වෙත ලබාදීමේ හැකියාව විමසුමට ලක් කර ඇත.

කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ද සහභාගිත්වයෙන් අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බළකායක් ද ස්ථාපිත කර තිබේ. රුපියල් මිලියන 300 නොඉක්මවන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන ඇති ණය ආපසු අයකර ගැනීමේදී ඇපයට තබා ඇති දේපළ වෙන්දේසිය වහාම අත්හිටුවීමට උපදෙස් දීම ද සිදුවිය.

මෙතෙක් සරුංගල්, පහන්කූඩු ආදිය පවා පිටරටින් ආනයනය කළ අතර, එම ආනයන පාලනයට නීති සැකසීම ද සිදුවිණි.

ශ්‍රී ලංකාව ලොව ප්‍රධානම නාවික කේන්ද්‍රස්ථානයක් බවට දියුණු කිරීමේ සැලසුම් සකස් විය. හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ සේවා සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කෙරිණි. කොළඹ ද ඇතුළුව සමස්ත වරාය පද්ධතිය සංවර්ධනයට පියවර ගෙන ඇත.

පසුගිය සමයේ මඟහැර තිබූ දැවැන්ත ආයෝජන අවස්ථා නැවත රටට ලබාගැනීම කෙරෙහි ද කටයුතු සම්පාදනය විය. දිස්ත්‍රික් වශයෙන් ආයෝජන අවස්ථා හඳුනා ගනිමින් ඒ සඳහා අවසර දීම රජය මඟින් සිදුකර විදේශ ආයෝජකයින් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ සැකසිණි.

ඖෂධ ආනයනය විධිමත් කිරීමට හා ඒ සඳහා කරගෙන ඇති ගිවිසුම් සංශෝධනයට පියවර ගෙන ඇත. විදෙස් වෙළෙඳපොළ ඉලක්ක කරමින් ඖෂධ නිෂ්පාදනය සඳහා අක්කර 400 ක ආයෝජන කලාපයක් හම්බන්තොට කර්මාන්ත පුරවරයේ ඉදිකිරීමට ද පියවර ගැණිණි. ඉදිරි තුන් වසර තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50% ක් දේශීයව නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබේ.

නවෝත්පාදක දිරිගන්වමින් නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළ රටක් බවට පත් කිරීමට සැලසුම් ආරම්භ කර ඇත.

ගෝලීය වශයෙන් සංචාරක කර්මාන්තය අභියෝගාත්මක වකවානුවක් පසුකරමින් සිටී. කෙසේ වූවද ආර්ථික පුනරුදය සඳහා ඉවහල්වන පරිදි සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට සැලසුම් සැකසිණි. වසර 2025 වනවිට ඇ.ඩොලර් බිලියන 10 ක වාර්ෂික ආදායමක් ඉපැයීම ඉලක්කය විය.

ජාතික ප්‍රතිපත්ති හා ක්‍රමසම්පාදක කාර්යාංශයත් ඇති කිරීම මෙන්ම ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් සඳහා වූ වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගත හැකි පරිදි කාර්යසාධක බළකා කිහිපයක්ම ද ස්ථාපිතව ඇත. දරිද්‍රතාව තුරන් කිරීම හා ජීවනෝපාය සංවර්ධන කාර්ය සාධක බළකාය ද ඒ අතර තිබේ.

වසර ගණනාවක් තිස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කිරීමෙන් පසු රැකියා වියුක්තිකයන්ව සිටි උපාධිධාරීන් 50,000 කට රැකියා ලබාදීමට පියවර ගැණිණි. එය තවදුරටත් 10,000 කින් වැඩි කිරීමට ද කටයුතු කර තිබේ.

දරිද්‍රතාව පිළිබඳ ගැටලුවට පිළියම් වශයෙන් මෙන්ම තවත් සමාජයීය ප්‍රතිලාභ ගණනාවක් ද ඇති වන අන්දමින් දිළිඳුම පවුල්වලින් තෝරාගන්නා ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ද ක්‍රියාත්මක විය.

මෙලෙස මෙහි සඳහන් වූයේ ගත වූ වසරක කාලය තුළ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැඟීම අරමුණු කරමින් ආරම්භ වූ ක්‍රියාමාර්ග සහ ගනු ලැබූ පියවර අතරින් කොටසක් පමණි. මෙවැනි තවත් ක්‍රියාමාර්ග ගණනාවකි.

මේ සියල්ල සිදු වූයේ කොරෝනා ගෝලීය වසංගතයත් සමඟ ශ්‍රී ලංකාව ද රටක් ලෙස සටන් කරන අතරය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වී මසක් ගත වනවිටම කොරෝනා වසංගතය චීනයෙන් මතුවිය. ඉන් තුන් මසක් ගතවනවිට මෙරටින් ද කො‍රෝනා පිළිබඳ වාර්තා විය. එම පළමු වටය තුන් මසක් වැනි කාලසීමාවක් තුළ ලෝකයේ අන් රටවල ද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද ප්‍රශංසාවට ලක්වන අන්දමින් පාලනය කිරීමට මෙරටට හැකි විය. ඉන් තුන් මසක් ගත වනවිට මෙම ගෝලීය වසංගතයෙන් පීඩා විඳින සෙසු රටවල මෙන්ම මෙහිද එහි ඊළඟ වටයට මුහුණදීමට සිදුවිය. එයද පාලනය කිරීම වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් තිබේ.

කොරෝනා ගෝලීය වසංගතය ලෝක ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්කර ඇත. එම අභියෝගයට මුහුණ දෙමින් එහෙත් එය විසින් නිර්මාණය කරමින් ඇති නව ගැටලුකාරී තත්ත්ව හඳුනා ගනිමින් ‘ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්’ ගොඩනැඟීම සඳහා වන වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව පෙරට ගෙන යමින් සිටී.

දේශපාලන වේදිකා මත සිට ලබාදෙන හිස් පොරොන්දු වෙනුවට සැබෑ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින්, ජනතාවගේ හඬට කන් දෙමින් පිළියෙල වූ වැඩපිළිවෙළක වසරක ප්‍රගතිය මැදහත්ව විමසන ඕනෑම අයකුට එය ඉලක්ක කරා කොපමණ ප්‍රායෝගිකව ළඟාවෙමින් ඇති දැයි අ‍වබෝධ කර ගත හැකිවනු ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ජනතා අභිලාෂයන් සඵල කරමින් බලයට පත්වූ නායකයෙකි. සුරක්ෂිත සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීමේදී, එතුමාට සම්මුතිය ඇත්තේ ජනතාව සමඟය. එය තමන් විසින් තෝරා ගත් ජනාධිපතිවරයා විසින් සම්පූර්ණ කරනු ඇති බව ජනතාවට විශ්වාසය. සිය ඉදිරි ධුර කාලය තුළ එම විශ්වාසය සුරකිමින් එකී අභිලාෂයන් සපුරාලීමට ජනාධිපතිතුමන් ක්‍රියාකරනු නොඅනුමානය.

ධම්මික සෙනෙවිරත්න

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here