‘ජීවිතය’ රඟපාන ‘මිනිස්සු’

0
25

‘‘ලෝකය රඟමඬලකි. අපි එහි රඟන්නෝ වෙමු” කියා විලියම් ශෙක්ස්පියර්ගේ ‘ඈස් යූ ලයික් ඉට්’ (As You Like It) නමැති නාට්‍යයේ කියවෙයි. එහෙත්  “ඔය සෙලියුලොයිඩ් පටිවල ඉන්න හැබෑ වීරයෝ ඇත්තට  නෑ.” ජීවිතය නාඩගමක් නොවේයැයි අපේ ආච්චි නිතර කියා ඇත. බැලූ බැල්මට ඔවුන් දෙන්නා එකඟ නොවන්නේයැ‍යි හැඟුණත් ආච්චි සහ ශේක්ස්පියර්ගේ කතා දෙකම එකකි.

උපන්දා සිට මියෙන තුරු වයසට, ලිංග භේදයට, පවුලට, පාසලට, රැකියාවට, හිතවතුන්ට, රටට, ආගමට මේ කී නොකී තව නොයෙකුත් දේට අනුකූලව අපට නියම කර ඇති භූමිකාවල අපි රඟන්නෙමු. අප ගැහැනු, පිරිමි, මල්, පලතුරු වීම ලෝකය විසින් කලින්ම තීරණ කර ඇති අතර, අපට චිත්‍රපටයක් සේ අපූරු දෙයක් වීම පමණක් අර පෙර කී භූමිකාවලින්ම වළකා ඇත. 

රඟපාන්නට චරිත පටවා ජීවිතේ නාට්‍යක් නොවේයැයි කියන මේ ලෝකය නමැති රඟ මඬල කදිම නොවන්නේද?

අප විසින් රඟපෑමේ නිරත වීමට නියමිත මේ ජීවන භූමිකාවල තිර පිටපත් තමන් විසින් ලියාගන්න නිර්භය මිනිසුන් නැතුවා නොවේ. ඔවුන්ගෙන් ඇතැමෙක් ජීවන රඟමඬල පමණක් නොව, විටෙක චිත්‍රපටවල වීරයන් බවට පවා පත් වේ. එවැනි මිනිසුන්ගේ ජීවිත කතන්දර නාට්‍ය චිත්‍රපට තරමටම සිදුවීම්වලින් ගහන ඒවා වේ. පුරුදු පුහුණු කළ අතිබිහිසුණු සටන් සහ සහ ඇඟ කිලිපොළා යන ප්‍රේම අභිනය වෙනුවට ඔවුන්ට අරගල කරන්නට වන්නේ තමන් රඟපාමින් සිටින පිටපත සහ වැසී සිටින වේශ නිරූපණය දෙකම අමතක වී නියම පුද්ගලයා එළියට ගෙන වියරුවෙන් දඟලන්නන් සමඟයි.

මා මේ කියන්නේ සුද්දාගේ අසාධරණ අමානුෂික බලපෑමට එරෙහි වී ජාතික වීරයකු වූ  පුරන්අප්පු වැනි ගැමියන් ගැන පමණක් නොවේ. මහා ව්‍යාපාර සමාගමක් සමඟ නීතියෙන් හැප්පුණු එරින් බ්‍රොකොවිච් වැනි කුඩා ගැහැනුන් ගැන පමණක් නොවේ. කුඩා කල සිට නළුවකු වීමේ මහත් ආශාවෙන් ඒ උත්සාහය අත්නොහැර පසුබට කිරීම්, ප්‍රතික්ෂේප කිරීම් මායිම් නොකර වචනයේ පර්සමාප්ත අර්ථයෙන්ම චිත්‍රපට තමන්ගේ ජීවතය කරගත් ලියනාඩෝ ඩිකැප්‍රියො වැනි පිරිමින් පවා තමන්ගේ ජීවිත තිර රචනය තමන්ට අවැසි ලෙස ලියා ගෙන ඇත.

ආගම, ජාතිය, කුල ‍භේද නොතකා තමන් කැමැති කෙනකුට ප්‍රේම කිරීමට, විවාහ ජීවිතය ගෙවීමට තීරණ ගන්නා අය කොතෙකුත් ලොව ඇත. බලහත්කාරයෙන් මව්පියන් වැඩිහිටියන් විසින් පත් කිරීමට යන පුද්ගලයා නොවී තමන් කැමැති දේ ඉගෙන තමන් අකැමැති වෘත්තීන් අත්හැර තමන්ගේ ජීවිත කතාවේ චරිතය සතුටුදායක ලෙස ගත කරන අය ඇත. 

සංස්කෘතියෙන්, ආගමෙන් ඇතැම් විට නීතියෙන් ලිංග භේදය උඩ වෙන් කළ භූමිකාව ගණන් නොගෙන, පිරිමින්ගේ භූමිකාවන් ඔවුන්ටත් වඩා දක්ෂ ලෙස සාර්ථක ලෙස ඉදිරිපත් කිරීමට ගැහැනු තිර රචනා වෙනස් කරගනිති. තමන්ගේ ලිංග භේදය පවා තමන්ට රිසි ලෙස තීරණය කිරීමට තරම් නිර්භය මිනිසුන් ලොව ඇත.

එවැනි නිර්භය නිදහස් මිනිස්සු ප්‍රධාන ප්‍රබල භූමිකාවලට ස්වාභාවිකව ආරාධනා ලද තැනැත්තෝ නොවෙති. ඔවුහු තමන්ගේ භූමිකාව ප්‍රබල ප්‍රධාන එකක් කරගන්නවා පමණක් නොව, සමස්ත නාට්‍යයම ප්‍රබල ප්‍රසංගයක් කිරීමට හේතු වෙති. සුළු චරිත රඟන්නෝ පවා තමන්ගේ ප්‍රමිතිය උසස් කර ගැනීමට ආදර්ශ සපයාගනිති.

ලෝකය නමැති රඟ මඬල අදෘශ්‍යමාන හස්තයකින් තොරව ක්‍රමයෙන් විකාසනයට පමුණුවන්නට ශිල්පීන්ගේ දායකත්වයම හේතුවක් වෙයි.

චිත්‍රපට තනනා ලෝකයේ පවා තළා-පෙළීම්වලට එරෙහිව සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදුණු පිරිසක් වීම නිසා අද ඔවුන්ගේ කර්මාන්තය කෙරෙන ස්වභාවයේ තත්ත්වය වෙනස් වී ඇත.

මෑත කාලයේ කාන්තා ශිල්පීන්ට එරෙහිව ලිංගික තාඩන-පීඩනය මෙහෙයවූ හාර්වි වයින්ස්ටයින් නමැති නිෂ්පාදකයා නීතියට කොටු කරගැනීමට ඔවුන්ට හැකි විය. ඒ ශිල්පිනියෝ තමන්ට පැටවූ චරිතය පමණක් රඟ දක්වමින් හිංසනය ඉවසීම ප්‍රතික්ෂේප කළෝය. 

ඔස්කාර් ශින්ඩ්ලර් දෙවන ලෝක යුද සමයේදී තමාට හැකි තරම් යුදෙව් ජාතිකයන්ගේ ජීවිත සුරැකීමට තම මුදල් සහ ජීවිතය දෙකම අවදානමට භාජනය කළ මිනිසෙකි. ඔහුගේ කතාව චිත්‍රපටයකට නැඟී ඇත. එහෙත් ඒ සැබෑ කතාවේ ප්‍රබල සහ ප්‍රධාන නළුවා ඔහු පමණක් නොවේ. ඔහු සමඟ කටයුතු කරමින් ජීවිතයක වටිනාකම තක්සේරු කළ නොහැකි බව තේරුම් ගත් සියලු සැබෑ මිනිසුන් ඒ කතාවේ ප්‍රබල චරිත වේ. අද පසුපස හැරී ඒ කතන්දරය නරඹන අපි ලෝකය නමැති රඟමඬල අපට වෙනස් කර දීමට දායක වූ කෙනකු ලෙස ඔහුටත්  තුති පුදමු.

චිත්‍රපට වීරයන් සැබෑ කතාවල නැතියැයි ආච්චි කී කතාව සත්‍යයකි. කාරණාව සිදු වන්නේ අනෙක් අතටය. එවැනි මිනිසුන්ගේ කතා මඟින් අපි පාඩම් උගනිමු; වඩා යහපත් චරිත රඟපෑමට තීරණ ගනිමු.

රඟමඬලක් වන මේ ලෝකයේ චරිත රඟදක්වන අපට චිත්‍රපටවල, දෘශ්‍යකාව්‍යවල වීරයන් වීරවරියන් වීමට තහනම් නම්, අප කළ යුත්තේ අපේ කුඩා සැබෑ චරිත චිත්‍රපටවල, සන්දර්ශනවල, කතාන්දරවල ප්‍රධාන වීරයන් වීරවරියන් කරවීමයි.

කොයි හැටි වුවත් තමන්ගේ එදිනෙදා ජීවිත සැබෑ වීරයන් වීරවරියන්සේ ගත කරන අයට මිනිසුන්යැයි අප නමක් දී ඇත. ඔවුන් රඟපාන්නේ ‘මිනිසා’ යන චරිතයයි. ඔවුන්ගේ භූමිකා, විසල් වෙළෙඳ දැන්වීම් පුවරුවල නොඇඳුණත්, සම්මානයට පාත්‍ර නොවූවත් ඒ අය ලෝකය නමැති රඟමඬලේ ගලා යන දෘශ්‍යකාව්‍යයේ විශාලම කාර්යභාරය ඉටු කරති.

 

හිමාලි එන්. ලියනගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here