තිරසර රටක් වෙනුවෙන් වැඩ කළ වසරක්

0
8

2019 නොවැම්බර් 16 දා පැවැති ජනාධිපතිවරණය ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් ජනාධිපතිවරණයක් බවට පත් විය. ප්‍රාදේශීය සභාවක හෝ මන්ත්‍රී ධුරයක කටයුතු නොකළ ජනාධිපති අපේක්ෂකයකු සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වසර ගණනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නිවාස ඇමැතිවරයකු සහ හිටපු ජනාධිපතිවරයකුගේ පුත්‍රයකු වූ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන අපේක්ෂකයකු ලෙස තරග කිරීම නිසා එම ජනාධිපතිවරණය දෙස කවුරුත් අවධානයෙන් බලා සිටියහ. විපක්ෂයේ මඩ ප්‍රහාර සහ විවිධ අවලාද මැද පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂයන් ජයග්‍රහණය කරනු ලැබුයේ වැඩි ඡන්ද ලක්ෂ 19ක් හිමි කර ගනිමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂයන් විසින් නම් කරනු ලැබු දිනට පසු මුලින්ම ගෝඨාභය රාජපක්ෂයන් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑරදුන් වැඳ පුදා ගැනීමෙනි. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නොවැම්බර් 18 වැනිදා එතුමා සිය ධුරයේ දිවුරුම් දීමට තෝරා ගත්තේ ද රුවන්මැලි මහ සෑ රදුන් අබියසයි.

රුවන්මැලි මහ සෑරදුන් අබියසදී මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව එතුමා ජාතිය අමතමින් විශිෂ්ට කතාවක් කළේය.

එහිදී ගෝඨාභය රාජපක්ෂයන් අවධාරණය කරනු ලැබුයේ තමන් 69 ලක්ෂයක ඡන්ද දායකයන්ගේ පමණක් නොව සමස්ත ලාංකිකයන්ගේ ජනාධිපතිවරයා බවය. එසේම සමබර විදේශ ප්‍රතිපත්තියක් සමඟ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටත් දිළ්ඳුබව පිටුදැකීමටත් වේගවත් සංවර්ධන යුගයක් ඇති කිරීමටත් සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන “සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කටයුතු කරන බව එතුමා ජාතිය අමතමින් ලක්වැසියන් හමුවේ ප්‍රතිඥා දුන්නේය.

සැබෑ ලෙසම මෙරට ජනතාව ගෝඨාභය රාජපක්ෂයන් වෙතින් බලාපොරොත්තු වූයේ දුෂණය පිටු දකිමින් සැමට සමාන ලෙස සලකන නව සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතිත ආදී සියලු ක්ෂේත්‍රයන්හි නව සංකල්පමය සහ නව ප්‍රතිපත්ති රාමුවක් සහිත රාජ්‍ය පාලනයකි. ගෝඨාභය රාජපක්ෂයන් සිය මැතිවරණ ව්‍යාපාරය පවා මෙහෙය වුයේ නව සංකල්ප රැසක් මෙරට මැතිවරණ ව්‍යාපාරයට එක් කරමිනි. කටවුට්, බැනර්, පෝස්ටර් සහ පොලතීන්වලින් තොරව එතුමා මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනු දක්නට ලැබිණි. එසේම සාම්ප්‍රදායික ලෙස ජනාධිපතිවරණ අපේක්ෂකයන් සිදු කරන විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයාගේ වැරදි අඩුපාඩු කියමින් දේශපාලන මඩ ගැසීම් එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ දක්නට නොලැබිණි. එතුමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ දක්නට ලැබුණේ රට වෙනුවෙන් තමන් ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂා කරන නව වෙනස්කම් පිළිබඳව ජනතාවට කරුණු ඉදිරිපත් කිරීම පමණි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ වසරක පදවි ප්‍රාප්තිය එළැඹෙන මේ මොහොතේ ලාංකීය ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදුව තිබේ ද යන්න සාකච්ඡාවට ලක් වන්නකි. එතුමන් වෙතින් ජනතාව සැබෑ ලෙසම බලාපොරොත්තු වූයේ ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එතුමන් පෙන්වූ දක්ෂ කළමනාකරුවකුගේ නැතහොත් නායකයකුගේ භූමිකාව ඉටු කරමින් ප්‍රතිපත්තිමය වෙනස්කම් සහිත රාජ්‍ය පාලනයකි. එතුමන් 2019 වසරේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් වීමෙන් අනතුරුව පැවැති ප්‍රථම මාධ්‍ය හමුවේදී ද ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු සම්පුර්ණයෙන්ම පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් සිදු කරනු ලබන බවය. එවැනි පසුබිමකදී ලාංකීය ජන සමාජය බලාපොරොත්තු වූ ප්‍රගතිශීලී සමාජ වෙනස්කම් සහ නව සංකල්පීය ප්‍රතිපත්ති ක්‍රියාවට නැඟීම එතුමන්ගේ රාජ්‍ය පාලනයේ පළමු වසර තුළ කොපමණ ප්‍රමාණයකින් සිදුව තිබේ දැයි විමසා බැලීම වැදගත් වේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පළමු පැය 24 තුළදීම නව වෙනස්කම් රැසක් සිදු කළේය. 1200ක් පමණ වූ ජනාධිපති කාර්ය මණ්ඩලය එතුමන් විසින් 200ක පමණ කාර්ය මණ්ඩලයක් දක්වා අඩු කරන ලදී. එතුමන්ගේ දිවුරුම් දීමේ උත්සවය ඉතාම චාම් සහ කෙටි උත්සවයක් වීය. ඒ අනුවම යමින් ඉදිරියට පවත්වනු ලබන රාජ්‍ය ආයතනවල සියලු උත්සව චාම් සහ කෙටි ආකාරයට මුදල් නාස්ති නොවන ලෙස සිදු කිරීමට උපදෙස් දෙනු ලැබිණි. ජනාධිපතිතුමාගේ විදෙස් සංචාරයන් සඳහා අවම දූත පිරිසක් එක් කර ගැනීම පාර්ලිමේන්තු සැසි වාරයන් විවෘත කිරීමේදී හමුදා උත්තමාචාර අවලංගු කිරීම ද ජනතාවගේ පැසසුමට ලක්ව තිබේ.

සියලුම රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ රාමු කරන ලද රූව ප්‍රදර්ශනය කිරීම වෙනුවට රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කිරීමට උපදෙස් දීම වැදගත් ප්‍රතිපත්තිමය තීන්දුවකි. එපමණක් නොව ජනාධිපතිවරයකුට හිමි රථ වාහන පිරිවරා ගත් ආරක්ෂක පරිවාර රථ සංඛ්‍යාව අඩු කරමින් ආරක්ෂක රථ දෙකකට පමණක් සීමා කිරීමටත් ආරක්ෂක භටයන් සංඛ්‍යාව 50 කට සීමා කිරීමටත් කටයුතු කෙරිණි. ඒ සමඟම අමාත්‍යවරුන්ගේ පරිවාර රථ සංඛ්‍යාවන් සහ ආරක්ෂක භටයන් සංඛ්‍යාවන් අඩු කිරීමටත් කටයුතු කෙරුණේ ආදර්ශවත් ආකාරයටය. ජනතාව බලාපොරොත්තු වූයේ ද ප්‍රායෝගික සහ සරල ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන රාජ්‍ය පාලනයකි. ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂයන්ගේ පළමු පැය විසි හතර තුළදීම නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම පැසසිය යුත්තකි.

2015 සිට 2019 දක්වා කාල පරිච්ඡේදයේදී රටේ ආරක්ෂාව බරපතළ ලෙස බිඳ වැටී තිබිණි. එපමණක් නොව ඒකීය රාජ්‍ය සංකල්පය දරුණු ලෙස බිඳ වැටෙමින් තිබිණි. එවැනි පසුබිමකදී අන්තවාදී කල්ලි හිස එසවීම සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැනි සිදුවීම් මගින් රටේ ජාතික ආරක්ෂාව අනතුරට ලක්ව තිබිණි. මේ වන විට රටේ ජාතික ආරක්ෂාව සහතික කිරීමට පියවර රැසක් ගෙන තිබේ. ජාතික බුද්ධි අංශයන් ශක්තිමත් කර තිබේ. එසේම පසුගිය කාලයේ පාස්කු බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කර තිබෙන අතර එහිදී මේ වන විටත් රට වැසියන්ට යහපාලන ආණ්ඩුව සමයේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමෙන් තොරව කටයුතු කළ නායකයන් පිළිබඳව කරුණු අනාවරණය වෙමින් පවති. පාතාලය සහ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායට බලය පවරා තිබෙන අතර රටේ පළාත් නවයේම ආරක්ෂාව අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් හමුදාවට බාරදී තිබේ.

රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා නව ජනාධිපතිතුමන් ප්‍රතිපත්තිමය තීන්දු රැසක් ගෙන තිබේ. ඒ අනුව විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විද්‍යායතනයක් පිහිටුවීමට සහ ගුණාත්මකභාවයෙන් ඉහළ පාඨමාලාවන් හඳුන්වා දීමට කෙටුම්පත් සකසා අවසන්ය. රටේ පාසල් 1000 ක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම, නව විශ්වවිද්‍යාල සහ ඊට අනුබද්ධ විද්‍යායතන 100 ක් ආරම්භ කිරීමත් සිසුන් ලක්ෂ 2 කට ආසන්න පිරිසක් බඳවා ගෙන උපාධි හිමි කර දීමට සැලසුම් කර තිබේ. එමෙන්ම රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 54000 කට රජයේ රැකියා දීමේ කටයුතු අරඹා තිබේ. එහි වඩාත්ම වැදගත් පියවරක් වන්නේ වයස අවුරුදු 45 දක්වා රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසා තිබීමය.

ගෝලීයකරණ පරිසරයකදී වර්තමානයේ රටකට තනිව නැඟී සිටිය නොහැකිය. එවැනි පසුබිමකදී ඉන්දියාව සහ චීනය යන ආසියානු බලවතුන් සමඟ සමබර රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවක් සිදු කිරීමේ අවශ්‍යතාව පවතී. ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය මොහොතේදී එතුමන් ප්‍රකාශ කළේ සියලු රටවල් සමඟ එක හා සමාන මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීම තමන්ගේ අපේක්ෂාව බවය. ඒ අනුව යමින් ගෝඨාභය රාජපක්ෂයන් පරිණත ලෙස රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තර කර ගනිමින් රටට වාසි සහගත ලෙස ලෝක බලවතුන් කළමනාකරණය කර ගැනීමට සමත්ව තිබේ.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ රටේ ජනතාවගේ දරිද්‍රතාවය ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගිය බවක් දක්නට ලැබිණි. එවැනි පසුබිමකදී ජනාධිපතිතුමන් තම පළමු පදවි ප්‍රාප්තිය සමරන මොහොත වන විට ජනතාව දරිද්‍රාවයෙන් මුදා ගැනීමට වැඩසටහන් රැසක් හඳුන්වාදී තිබේ. ඒ අනුව ප්‍රමාණවත් අධ්‍යාපන සුදුසුකම් නොමැති තරුණ තරුණියන් ලක්ෂයක් කාර්ය සාධන බළකායකට බඳවා ගෙන පුහුණු වීම් සිදු කර රාජ්‍ය අංශයට අන්තර්ග්‍රහණය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. එහි මුල් පියවර ලෙස තරුණ තරුණියන් 35000 ක් සඳහා පත්වීම් දීම සිදු කර හමාරය. එමෙන්ම දරිද්‍රතාවය තුරන් කිරීමට සහ ජීවනෝපාය සංවර්ධනය උදෙසා කාර්ය සධන බළකායක් පිහිටුවා තිබේ. ඒ අනුව ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ බිම් සවිය වැඩසටහන සමඟ ඒකාබද්ධව කෘෂිකර්මය උදෙසා සහ ව්‍යාපාර වෙනුවෙන් තිස් අවුරුදු බදු පදනම යටතේ ඉඩම් කැබැලි ලක්ෂයක් මහජනතාවට බෙදා දීමට මූලික කටයුතු සිදු කරමින් පවතී. ගම්මිරිස් ඇතුළු සුළු අපනයන භෝග අටක් ප්‍රති අපනයනය තහනම් කිරීමත් සුළු සැකසුම් ක්‍රියාවලියකින් පසු ප්‍රති අපනයනය සඳහා සුළු අපනයන භෝගයන් ආනයනය කිරීම තහනම් කිරීම මඟින් දේශීය සුළු කෘෂි අපනයන භෝග ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කඩා වැටී තිබෙන සුළු අපනයන භෝග වගාව යළිත් නඟාසිටුවීමට ඉදිරියේදී හේතු වනු නොඅනුමානය.

පසුගිය පස් වසරක කාලයේදී මෙරට ව්‍යාපාර රැසක් බරපතළ මූල්‍ය අර්බුදයන්ට මුහුණ පෑවේය. ඊට එක් හේතුවක් වූයේ අනවශ්‍ය බදු බරක් පැටවී තිබීමය. ඒ අනුව ව්‍යාපාර සංවර්ධනය උදෙසා ජාතිය ගොඩනැඟීමේ බද්ද සම්පුර්ණයෙන්ම අහෝසි කෙරිණි. සියයට 15 ක පැවැති වැට් බද්ද සියයට 8 දක්වා අඩු කළ අතර රඳවා ගැනීමේ බදු අහෝසි කෙරිණි. එලෙස බදු සහනයන් රැසක් මේ වන විට ලබා දී තිබේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විසින් ගෙන ඇති රුපියල් මිලියන 300 නොඉක්මවන ණය අය කර ගැනීම සඳහා දේපළ වෙන්දේසි කිරීම නවතා තිබේ. මේ සියලු සහන දී ඇත්තේ කඩා වැටුණු ව්‍යාපාර යළි ගොඩනඟා ගැනීමට සහනයක් වශයෙනි.

එසේම ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ග්‍රාමීය මාර්ග කිලෝමීටර ලක්ෂයක් රට පුරා සංවර්ධනය වෙමින් පවතී. කුඩා නගර අලංකාරවත් ලෙස නවීකරණය කර හරිත නගර ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. වන අලි ගම්වලට වැදීම නිසා පීඩාවට පත් වන ජනතාව වෙනුවෙන් කිලෝමීටර 1000 දිගින් යුතු විදුලි අලි වැට ඉදි කිරීමට සැලසුම් කර තිබේ. රත්නපුර අධිවේගී මාර්ගය ඉදි කිරීම කඩිනම් කිරීමටත් කොළඹ නගරයේ මාර්ග තදබදයට කඩිනම් විසඳුම් දීම සහ මුහුදු බඩ මාර්ගය පානදුර දක්වා පුළුල් කිරීමට නියමිතය.

රජයේ මුදල් අනවශ්‍ය ලෙස වියදම් කිරීම වැළැක්වීමට පියවර රැසක් පසුගිය වසරක කාලයේදී සිදු කර තිබේ. ඒ අනුව පෞද්ගලික ගොඩනැඟිල්ලක මසකට රුපියල් ලක්ෂ 210 ක කුලියක් ගෙවා පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය යළිත් ගොවිජන මන්දිරයට ගෙන යෑමෙන් රජයට ඉතිරිවන මුදල රුපියල් කෝටි 33කි. එම ගොඩනැඟිල්ලට රජය ගෙවා ඇති නඩත්තු සහ කුලී මුදල රුපියල් කෝටි 200ක් වීය. ඒ සමඟම මැති ඇමැතිවරුන්ට අලුතින් වාහන ගෙන්වීම අත්හිටුවන ලදි. ඉන් රජයට වසරකට ඉතිරි වන මුදල රුපියල් කෝටි 1000කි.

රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ලෙස පවත්වා ගැනීමට උපදෙස් දීම, පළමු වතාවට නිවෙසක් මිලදී ගැනීමේදී සහන පොලියට දිගු කාලීන ණය පහසුකම් දීම, නිවාස අනුකූලතා සහතික දිනක් ඇතුළත සපයා දීමට පියවර ගැනීම, මහජන මුදලින් සංවර්ධනය කෙරෙන මාර්ග සඳහා දේශපාලකයන්ගේ රුව ඇතුළත් කිරීම වෙනුවට රාජ්‍ය ලාංඡනය පමණක් යෙදීමට උපදෙස් දීම, මාර්තු මස 01 දා සිට වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 ක් බවට පත් කිරීම, අඩු ආදායම්ලාභි ජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේ ජාතික වැඩසටහනක් සැකසීම සහ අඩු අදායම්ලාභීන්ට අඩු මිලට ආහාර මිල දී ගැනීමට ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් නිකුත් කිරීම ආදී වශයෙන් පසුගිය වසරක කාලයේදී වැදගත් තීන්දු තීරණ රැසක් ගෙන තිබේ.

සැබෑ ලෙසම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ වසරක පදවි ප්‍රාප්තිය යෙදෙන මොහොතේ රටේ ජනතාවට සතුටු විය හැකිය. ජනාධිපතිවරණයේදී රටේ උගත් බුද්ධිමත් ජනතාව ඉල්ලා සිටියේ සිස්ටම් චේන්ජ් එකකි. ජනතාව ඉල්ලා සිටි වෙනස ක්‍රම ක්‍රමයෙන් ලැබෙමින් පවතී. ඒ නිසා සමාජ, ආර්ථික, දේශපාලනමය සහ සංස්කෘතික යුග පෙරළියකට ජනාධිපතිතුමන් සිය පළමු වසරක ධුර කාලයේදී පදනම දමා තිබේ. එය ඉදිරියට ගෙන යෑමට එතුමන්ට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලැබී තිබේ. රටේ සිස්ටම් චේන්ජ් කිරීමට අවශ්‍ය දේශපාලන බලය වත්මන් අග්‍රාමාත්‍ය පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමාත් නොඅඩුව ලබා දෙමින් සිටිති. “සෞභාග්‍යයේ දැක්ම “ යථාර්ථයක් වනු දැකීම සමස්ත රට වැසියන්ගේ අපේක්ෂාවය. එය ඉදිරි සිව් වසරක කාලයේදී මල්පල ගැන්වීමෙන් රටට සුබ අනාගතයක් උදා වනු ඇත.

 

චන්දන බණ්ඩාර-සභාපති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ

ප්‍රගතිශීලී සේවක සංගමය-ලේක්හවුස්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here