පරාක්‍රමගේ නිර්මාණ විඳුම් ලොව නොසිඳෙන නිමල දිය උල්පතකි

0
12

හැත්තෑව දශකයේ සිංහල කවිය නව දිශානතියක් කරා ගමන් ගත් බව කවිය පිළිබඳ අධ්‍යයනයක හා විමර්ශනයක යෙදුණු ශාස්ත්‍රවන්තයන්ගේ හා විචාරකයන්ගේ අදහසයි. මේ නව දිශානතියට මූලික වූයේ කොළඹ යුගයේ දෙවන කවි පරපුර

විසින් නිර්මාණය කළ බොහෝ කාව්‍ය රචනා පාඨකයන්ගේ ග්‍රහණයෙන් ඈත් වීමත් ඒ නිසරු කවි බිම මත දලු ලා වැඩී සැබෑ කවියක ලකුණු මොනවට පහළ කළ පේරාදෙණි කවිය, නිසඳැස් හෝ නිදහස් කවිය සිංහල පද්‍ය කාව්‍ය වංශයෙහි අසිරිමත් යුගයක් වූවත් එහි ආයු කාලයද කෙටි වීමය.

ජී.බී. සේනානායක, සිරි ගුනසිංහ, ගුණදාස අමරසේකර වැන්නන්ගේ නව අතහදාබැලීම් හා ජන හෘදයසංවේදි විෂය ඔවුන්ගේ නිර්මාණ මඟින් ප්‍රතිනිර්මාණය වීම ද මේ නව කවියේ කැපීපෙනුණු ලක්ෂණ ලෙස දකිමි.

හතළිහ දශකයේදී ජී.බී. සේනානායක විසින් හඳුන්වා දුන් නව කවි සම්ප්‍රදාය ඇසුරෙන් පනහ දශකය ආරම්භයේ සිට ගුනසිංහ, අමරසේකර ආදීන් ප්‍රමුඛ කොටගත් නව කවිය තුළින් පාඨකයෝ ජීවිතාවබෝධයක් ලැබීමට උත්සාහ කළහ. මේ අතර බුද්ධිමය හා දර්ශනවාදී සංකල්පද මේ කවිය තුළ සාකච්ඡා කෙරිණ.

පනහ දශකයේ ආරම්භයේ සිට හැටේ දශකය අග දක්වා සිංහල කවිය පොහොසත් කළ මේ පරපුරේ නිර්මාණ කෙමෙන් පාඨක අවධානයෙන් ඈත් වීමත් සමඟ හැත්තෑව දශකයේ කවිය බිහි වූ බව ඉතිහාසය විමසීමේ දී පෙනේ.

හැත්තෑව දශකයේ කවිය බිහි වන වකවානුව වන කල, ජී.බී. සේනානායක, සිරි ගුනසිංහ, ගුණදාස අමරසේකර, මහගමසේකර, විමල් දිසානායක ආදි කවීන්ගේ නිර්මාණ තුළ සංකල්ප රූප, කාව්‍යොක්ති, ආකෘතිමය අත්හදා බැලීම්, භාෂාව හා රිද්මය, ජනකවියේ ආභාසය ලැබීම වැනි ලක්ෂණ ප්‍රකටව පෙනිණි. එහෙත් මේ බොහෝ නිර්මාණ තුළ වූ පුද්ගල නැඹුරුව වෙනස් වී සමාජ නැඹුරුව දෙසට යොමු වූ නිර්මාණ හැත්තෑව දශකයේ කවියේ කැපීපෙනුණු ප්‍රවණතාව විය. මධ්‍යම පාන්තික බුද්ධිමතුන්ගේ සංකල්ප, ආදරය, ආලස්‍ය ආදි තේමාවලින් ඈත් වී පීඩිත ජනජීවිතය දෙස, ඔවුන්ගේ ජීවන අරගලය, උගත් තරුණ පරපුර මුහුණ දුන් ගැටලු විරැකියාව ආදි විෂය මේ නව කවීන්ගේ නිර්මාණවල ප්‍රකටව පෙනිණි. මේ ප්‍රවණතාව කවියේ පමණක් නොව සමස්ත සාහිත්‍ය, කලා, සිනමා, නාට්‍ය ආදි ක්ෂේත්‍ර සියල්ලක් තුළම කැපීපෙනුණු ලක්ෂණය විය. වෙසෙසින්ම මේ පුනරුද සමයේ කවිය විෂයය කොටගත් ප්‍රකාශනයෙහි පෙරළිකාර පුරෝගාමියා වන්නේ පරාක්‍රම කොඩිතුවක්කු කවීන්ද්‍රයාය. ඔහුගේ මඟ අනුදත් මොනිකා රුවන්පතිරණ ප්‍රමුඛ කවි-කිවිඳියන් රැසක් විසින් හැත්තෑව දශකයේ කවිය වෙනුවෙන් වෙන් වූ පරිච්ඡේද්යක් ලියා තබන ලද බව පෙනේ.

ජීවිතයේ හත්වන දශකයේ මැද භාගය පසු කොට සිටින කවීන්ද්‍ර පරාක්‍රම කොඩිතුවක්කු විරචිත කාව්‍ය සංග්‍රහ සංඛ්‍යාව දොළහ ඉක්මවයි. ‘පොඩි මල්ලියේජ (1972) සිට, ‘මම වහිනවා’ (2017) තෙක් ඔහුගේ කාව්‍ය නිර්මාණ විඳුම් ලොව විසිරී යයි. ‘පොඩි මල්ලියේ’, ‘අකීකරු පුත්‍රයකුගේ ලෝකය’, ‘අලුත් මිනිහෙක් ඇවිත්’, ‘රශ්මි’, ‘දිවමන් ගජමන්’, ‘ආලෝක මිනිසා’ වැනි කාව්‍ය සංග්‍රහ අතුරින්, රාජ්‍ය සම්මාන, විද්‍යෝදය සම්මාන, ගොඩගේ හා ස්වර්ණ පද්ම වැනි සාහිත්‍ය සම්මාන දිනූ කෘති රැසකි. නව කවි පරපුරක නයුවා ලෙස කවියට අවතීර්ණ වන අලුත් පරපුරට පහන් ටැඹක් වෙමින් පසු ගිය දශක පහක පමණ කාලයක් තුළ සිංහල කවිය සුරක්ෂිත කලා මාධ්‍යයක් ලෙස රැකගැන්මට හා පවත්වාගනීමට ඔහුගෙන් වූ සේවාව අනල්පය. කවියෙන් ඔබ්බට ගිය සාහිත්‍ය ප්‍රවර්ග අතර, නවකතාව, කෙටිකතාව මෙන්ම පරිවර්තන සාහිත්‍යය, අපදාන  රචනයද වේ.

ඇතැම් අවස්ථාවක පරාක්‍රම විසින් ඉමහත් පරිශ්‍රමයකින් ඉටු කොට ඇති පර්යේෂණාත්මක ව්‍යායාමයක මහරු පල සකල ‘සිරින් පිරි කවි කොළේ’ වැනි කෘතියකින් පාඨකයෝ බුක්ති විඳිති. ‘යැංසි කාව්‍ය නදී’ ඔස්සේ සරමින් ඔහු චීන නව කවිය මෙරට පාඨකයනට ළං කරයි. ‘ජෝති රශ්මි’ හෝ ‘ක්ලැරා’, ‘රෝස මල් රතුයි ප්‍රියේ’ වැනි නවකතාවක් හෝ වෙනස් අපදානයක් ඔස්සේ පරාක්‍රම නම් ප්‍රබන්ධකරුවාගේ හැඩරුව දකින්නට ලැබේ.

පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ නිර්මාණ විඳුම් ලෝකය නොසිඳෙන නිමල දිය උල්පතකැයි මා පවසන්නේ කිම? හැතෑව දශකයේ ඔහුගේ ‘දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්’ වැනි  කවියකින් මතු කොට ඇති ආදරයේ විප්‍රලම්භය හෝ චමත්කාරය විඳගත හැකි අන් කවියක් කෙසේ සොයම්ද? පරාක්‍රමගේ පළමු කෙටිකතා සංග්‍රහය ‘රෝසමලේ හදවත’ පළ වන්නේ 2017දීය. ‘සුළඟේ දිවු කෙල්ල’ දෙවැන්නැයි. එය 2019දී පළ වේ. 2010 දී ‘ඔබ සමඟ’ ඔහුගේ පළමු නවකතාව පළ වේ. ‘ක්ලැරා’ 2014දී පරාක්‍රම විසින් රචිත දෙවන නවකතාවයි.

කවිය ඔහුගේ ප්‍රමුඛ ප්‍රකාශන මාධ්‍යය වූවද කෙටිකතාව මෙන්ම නවකතාවද ඒ හා සමාන වූ අභිරුචියක් දක්වන කලා මාධ්‍ය ලෙස අප දකින්නේ එ-දෙකද ඔහු විසින් අත් නොහැර ඔහුගේ විඳුම් ලොව හරස්කඩ ප්‍රදර්ශනය කරන්නා වූ මාධ්‍ය වී ඇති බැවිනි. ‘වරදක් නැති සොරකම’ (2020) කෙටිකතා සංග්‍රහය මෙන්ම ‘වෙස් ගත් කතාවක්’ (2020) නවකතාවද පරාක්‍රම කොඩිතුවක්කු නිර්මාණකරුවාගේ මෑතකාලීන නිර්මාණ අස්වැන්නයි.

ඔහුගේ කවිය මෙන්ම කෙටිකතාද නවකතා ද ජීවිතය දෙස බලැන්නැයි අපට කරන ඇරියුම් වැන්න. ඔහුගේ ‘වෙස් ගත්’ නවකතාවේ වෙස් ගත් කතා නායකයා විසින්  අප ඉදිරියේ දිගහරිනු ලබන ජීවිත අන්දරය තුළ අප දන්නා හඳුනන ගැහැනු හා මිනිස්සු හමු වෙති. ඔවුන්ගේ ජීවිත විනිවිද  බලන්නට පරාක්‍රම අපට ඇරියුම් කරයි. සිරිනාථ රුක්මල්ගොඩ, විශ්‍රාමික කොමසාරිස්, ලිපිකරු විජේසේකර හා අනෙක් පරිවාර චරිත වටා නිරූපිත මානව සබඳතා ජීවිතයේ හැලහැප්පීම්, අනපේක්ෂිත සිදුවීම් නිරූපණයෙහිදී පරාක්‍රම ඔහුටම අනන්‍ය වූ පරිකල්පනීය ප්‍රතිභාව විශද කරයි.

කෙටිකතා දොළොසකින් සුසැදි ‘වරද නැති සොරකම’ කෘතියෙහිද නිරූපිත චරිත හා ගොඩනංවන සිද්ධි ඔස්සේ අප අවට ජීවත් වන විවිධ මනෝභාවයන්ගෙන් යුතු චරිත හමු වේ. ඔවුන් මුහුණ දෙන ඇතැම් අත්දැකීමක් අපගේම අත්දැකීමක් ලෙස අපට හැඟේ.

පරාක්‍රම කොඩිතුවක්කු නිර්මාණකරුවාගේ නොසිඳෙන නිර්මල නිර්මාණ දිය උල්පතින් ගලා එන දිය දහරාවෙහි සිසිල විඳගැනීමට ඔහුගේ නවකතාවද කෙටිකතා සංග්‍රහයද කියවන්න. එහි සිහිල ඔබට දැනෙනු නොඅනුමානය.

 

බුද්ධදාස ගලප්පත්ති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here