පිහිනුම් ශූරියගේ තහනම ලිහිල් කරයි

0
2

තහනම් උත්තේජන භාවිත කිරීමේ චෝදනාවට හසුවී වසර 4ක තහනමකට ලක්වූ ඔස්ට්‍රේලියානු පිහිනුම් ශූරිය ෂයිනා ජැක්ගේ තහනම වසර දෙකකට අඩු කිරීමට ක්‍රීඩාව සඳහා වන බේරුම්කාර අධිකරණය පියවර ගත්තේය. ඇය සිතාමතා එවැනි ක්‍රියාවක් සිදු නොකළ බව තහවුරු වීමෙන් මෙසේ දඬුවම ලිහිල් කළ බව වාර්තා වේ.

වසර 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ දී ලෝක වාර්තාවක් පිහිටුවමින් මීටර් 100 නිදහස් ආර සහාය පිහිනුම් තරගයෙන් රන් පදක්කම දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකාවක වන ෂයිනා මේ තහනමට ලක්වූයේ පසුගිය වසරේදී සිදු කරනු ලැබු තහනම් උත්තේජන පරීක්ෂාවකිනි.

ඊට එරෙහිව ඇය විසින් ගොනු කරන ලද අභියාචනාව විභාගයට ගැනීමෙන් පසු ක්‍රීඩාව සඳහා වන බේරුම්කාර අධිකරණය මේ පියවර ගත් අතර, එ් අනුව ඇගේ තහනම ලබන වසරේ නිමාවට පත්වනු ඇත. කෙසේ වෙතත් සුදුසුකම් ලැබීමේ තරග සඳහා සහභාගි වීමේ අවස්ථාව අහිමිවී ඇති බැවින් 22 හැවිරිදි මේ පිහිනුම් ශූරියට ලබන වසරේ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි වීමේ අවස්ථාව අහිමි විය.

තරග තහනමට ලක්වීමෙන් පසු ඇයට පසුගිය වසරේදී දකුණු කොරියාවේ පැවැති ලෝක පිහිනුම් ශූරතාවලිය ද අහිමි විය. කෙසේ වුවත් නැවත පිහිනුම් තරග සඳහා සහභාගි වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවත්, ඉදිරියේදී නැවත දස්කම් අතරට එක්වන බවත් ඇය කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here