රුදුරු වසංගතයක ගිලුණු ලෝකයේ පාමුල සිට…

0
5

අමෙ­රි­කාවේ කොරෝනා ආසා­දි­ත­යන් වාර්තා වීම මිලි­යන 11.1ක් වන විට මරණ සංඛ්‍යාව 246000කි. ඉන්දි­යා­වෙන් රෝගීන් මිලි­යන 8.85ක් වාර්තා වන විට මරණ 130000ක් වාර්තා වී ඇත. බ්‍රසී­ලය දිශා­වට හැරුණු විට රෝගීන් මිලි­යන 5.86ක් වාර්තා වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 166000කි. ප්‍රංශය රෝගීන් මිලි­යන 1.98 සීමාව සල­කුණු කරන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 44548කි.

දැන් ලෝකය එක මිටට බය බිරාන්තව එකම වසංගතයක් පරාජය කිරීමට සටන් කරමින් සිටියි. කොවිඩ් 19 යනු මිනිසාට කටඋත්තර අහිමි කළ ඒ වසංගතයයි. අද වන විට ලොව පුරා රෝගීන් මිලියන 55.6 සීමාව සලකුණු කර තිබුණි. සුවය ලබා නිවෙස්වලට පිටව ගිය සංඛ්‍යාව මිලියන 38.1කි. මරණ සංඛ්‍යාව මිලියන 1.32 පසුකර තිබුණි. අමෙරිකාව සහ යුරෝපය දැන් එහි දරුණුතම අවදිය පසු කරමින් සිටියි. ප්‍රංශයේ සහ ඉතාලියේ තත්ත්වය ද බරපතළය. රෝහල්වලට දරාගත නොහැකි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කෙරෙමින් පවතින හෙයින් රෝගීන්ව අවට ඇති රෝහල්වලට මාරු කර යැවීමේ වැඩසටහනක් ද අරඹා තිබේ. පසුගිය සෙනසුරාදා වන විට ප්‍රංශයෙන් රෝගීන් 86,857 වාර්තා වී තිබුණි. ඉතාලි රෝහල්වල කොරිඩෝවල පවා වාතාශ්‍රක ආධාරයෙන් හුස්ම ගන්නා ලෙඩුන් සිටින ආකාරය දැක්වෙන ඡායාරූප අන්තර්ජාලය තුළ සංසරණය වුණි. පසුගිය සෙනසුරාදා වන විට ඉතාලියේ පැය 24ක් ඇතුළත පමණක් කොරෝනා රෝගීන් 39,811ක් වාර්තා වී ඇත. ඒ එරටින් වාර්තා වූ දෛනික වැඩිම රෝගීන් සංඛ්‍යාවයි. එරටේ කොරෝනා ආසාදිතව මිය ගිය රෝගීන් සංඛ්‍යාව 41,000 ඉක්මවා ගොස් ඇත. මේ හුදෙක් ඉලක්කම් නොවේ. මිනිස් ජීවිත ඉලක්කම් බවට පරිවර්තනය වී අවසානයේ අහෝසි වී යන ආකාරය පෙන්වන ශෝකී සටහන්ය.

සංඛ්‍යාලේඛන

අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම මිලියන 11.1ක් වන විට මරණ සංඛ්‍යාව 246000කි. ඉන්දියාවෙන් රෝගීන් මිලියන 8.85ක් වාර්තා වන විට මරණ 130000ක් වාර්තා වී ඇත. බ්‍රසීලය දිශාවට හැරුණු විට රෝගීන් මිලියන 5.86ක් වාර්තා වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 166000කි. ප්‍රංශය රෝගීන් මිලියන 1.98 සීමාව සලකුණු කරන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 44548කි. රුසියාවෙන් රෝගීන් මිලියන 1.95ක් වාර්තා වන විට මරණ සංඛ්‍යාව 33486කි. ස්පාඤ්ඤයේ රෝගීන් මිලියන 1.46ක් වාර්තා වන විට මරණ සංඛ්‍යාව 40769කි. බ්‍රිතාන්‍යයේ මිලියන 1.37ක රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන විට මරණ ගණන 51934කි. ඉතාලියේ තත්ත්වය ද ඊට නොදෙවෙනිය. මිලියන 1.21ක රෝගීන් සංඛ්‍යාවක් ඉතාලිය වාර්තා කරයි. ඒ මරණ 45773ක් සමඟය. මිලියන ගණන්වල රෝගීන් පසුකර ශ්‍රී ලංකාවට පැමිණෙන විට රෝගීන් සංඛ්‍යාව 17516කි. ඉන් 11806ක් සුවය ලබා නිවාස බලා පිටත්ව ගොස් ඇත. මේ ලිපිය ලියන මොහොත වන විට මරණ සංඛ්‍යාව 61කි.

මේ සටහනේ තවත් පසුපසට ගිය විට රෝගීන් වාර්තා වුවත් මරණ කිසිවක් සිදුව නැති රටවල් ද කිහිපයක් ඇත. කසකස්ථානය එක් රටකි. එරටින් රෝගීන් 159000ක් වාර්තා වී ඇත. අනෙක් රට පලස්තීනයයි. එරටින් රෝගීන් 72967ක් වාර්තා වී ඇති මුත් කිසිදු මරණයක් වාර්තා වී නොමැත. කැමරූන් හිද රෝගීන් 22583ක් වාර්තා වී ඇති මුත් මරණ කිසිත් නැත. මැඩගස්කරයෙන් ද රෝගීන් 17233ක් වාර්තා වී ඇති අතර මරණ කිසිවක් නැත. ග්වාඩෙලූප් රාජ්‍යයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 8098කි. එකදු මරණයක් සිදුව නැත. බොස්ට්වානාහි රෝගීන් 7835ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 0 කි. තවත් මෙවැනි රටවල් කිහිපයකි.

මරණ ප්‍රතිශතය

සෙසු රටවල් හා සසඳා බලන විට මරණ ප්‍රතිශතය අප රටේ අවම බව සැබෑවකි. එහෙත් අප ඒ වෙනුවෙන් උදම් ඇනිය යුතු ද? කිසිසේත්ම එය උදම් අනමින් ප්‍රීති විය යුතු තත්ත්වයක් නොවේ. මීටත් වඩා ප්‍රවේසම්කාරීව හැසිරීමට වග බලා ගැනීමයි අප විසින් දැන් කළ යුත්තේ. කොරෝනා වසංගතය පළමු ‍රැල්ල නිහඬව පාලනය කළාක් මෙන් දෙවැනි ‍රැල්ල පාලනය කර ගත නොහැකි විය. හදිසියේ රට තුළ පැන නැඟි කර්මාන්තශාලා ආශ්‍රිතව ඇති වූ රෝගි පොකුර ඊට මූලිකම හේතුවකි. මේ හදිසිකාරකය විසින් සෞම්‍යව පැවැති ජන ජීවිතය අවුල් කළා ද? එසේත් නැත්නම් අළු යට ගිනි පුපුරු තිබෙනු අප නුදු‍ටුවා ද? අපේ ප්‍රවේසම අවශ්‍ය ප්‍රමාණයට තිබුණාදැයි යළිත් වරක් ආපස්සට හැරී කල්පනා කර බැලිය යුතුය.

සෙසු රටවල් හා සසඳන විට නිදහස් අධ්‍යාපනය සේම මහජනතාවට නොමිලේ සෞඛ්‍ය පහසුකම් සැපයීම අතින් අපේ රට තිබෙන්නේ සතු‍ටුදායක තැනකය. කුඩා දූපතක් වුව එකිනෙකා වෙනුවෙන් කැප වන මිනිසුන් සිටින හෙයින් සෞඛ්‍ය සේවකයන් ඇතුළු ඒ ආශ්‍රිත සියලු සේවා සපයන්නන්ගේ කැපවීම ලඝු කළ යුතු නැත. එහෙත් අපට මීටත් වඩා ප්‍රවේසම් වී පෙර කී මරණ අවම ලැයිස්තුවට ඇතුළත්ව සිටීමට තිබුණා නොවේ ද? ඒ ඔබේ මනසටම තට්‍ටු කළ ඇසිය යුතු ප්‍රශ්නයකි. පිළිතුර පවා ඔබ දනී. මෙහි බරපතළකම පෙන්වන තවත් සුළු ඉලක්කම්මය උදාහරණයක් කිව හැකිය.

එක්සත් ජනපදයේ පසුගිය සතිය වන විට පමණක් දෛනික රෝගීන් සංඛ්‍යාව 132000 කරා ළඟා වෙමින් නව වාර්තාවක් සටහන් කර ඇත. එහි බරපතළකම කොතරම්ද යත් එක්සත් ජනපදයෙන් දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව කොරෝනා වසංගතය අතරතුර චීනයෙන් හමු වූ රෝගීන් සංඛ්‍යාව පවා ඉක්මවා යන්නට පටන් ගෙන තිබේ. එය ප්‍රතිශතයක් ලෙස දැක්වුවහොත් පසුගිය සතිය ඇතුළත පමණක් සියයට තිහක වැඩි වීමකි. මෙය බරපතළ තත්ත්වයකි. ටෙක්සාස් ප්‍රාන්තයේ පමණක් මිලියනයකට වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත. ලෝකය පුරා තත්ත්වය දැන් එයාකාරය.

නිරෝධායනය

ඒ සියල්ල මැද කුඩා දූපතක්ව අප මේ වසංගතය හා හැකි ශක්ති ප්‍රමාණයෙන් සටන් කරන බව ද අමතක කළ යුතු නැත. රෝගීන් නිරෝධායනය කරමින් පහසුකම් සැපයීමේ කටයුතුවල සිට ආශ්‍රිතයන් සොයා ගොස් නිරෝධායනය කිරීම තෙක් කාර්යභාරයක් මෙරටේ සෞඛ්‍ය සේවා නිලධාරීන් සිදු කරයි. ඒ ඉතා පහසුවෙන් ද නොවේ. දහසක් බාධක මැදය. ඒ කටයුතු අගය කළ යුතුය. අතපසු වීම් තිබිය හැකි බවට කිසිදු සැකක් නැත. සියල්ල එකාවන්ව පෙළට සිටගෙන මේ සටනට සහයෝගය දිය යුතුය.

මේ සියල්ල අතරතුර කොවිඩ් පරාජය කළ නවසීලන්තය ගැන ද සිහියට ගත හැකිය. සැප්තැම්බර් 21 වැනිදා වන විට නවසීලන්තයේ ඕක්ලන්ඩ් හැරුණු විට සෙසු සියලු ප්‍රදේශවල වසංගතය වෙනුවෙන් නිකුත් කර තිබූ සෞඛ්‍ය නීති-රීති ලිහිල් කිරීමට කටයුතු යොදා තිබුණි. නවසීලන්ත අගමැතිනිය පවසන්නේ “අපේ සාමූහික ක්‍රියාකාරීත්වය නිසා කොරෝනා වසංගත තත්ත්වය පාලනයකට යටත් කිරීමට හැකි විය.” යනුවෙනි. ඔවුන් ඕස්ට්‍රේලියාව සමඟ සංචාරක බුබුළු සංකල්පය යටතේ ගනුදෙනු කිරීමටත් පටන් ගනු ලැබීය. ඔක්තෝබරයේ මැද වන විට සිංගප්පූරුවේ දෛනිකව කොරෝනා රෝගීන් වාර්තා නොවුණි. ඒ එම වසරේ පෙබරවාරියෙන් පසු වීම ද විශේෂිතය. එබැවින් ඔක්තොබර් අවසන් සතිය වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට පනවා තිබූ දින 112ක නගරය වසා දැමීමේ තත්ත්වය අවසන් විය.

වසංගතය පැ‍රදවීම

නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා එඩ්‍රේන්ට අනුව ඔවුන් මුළුමනින්ම කොරෝනා වසංගතයෙන් මිදී ඇති අතර රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටි අවසන් රෝගියාත් රෝහලෙන් පිටව ගොස් ඇත. “මිලියන පහක එකමුතුව, කැපවීම සහ ‍රැක බලාගැනීම නිසා අපට වසංගතය පැ‍රදවීමට හැකි වුණා. දැන් අපට තිබෙන්නේ ආර්ථිකය යථා තත්ත්වයට පමුණුවා ගැනීමටයි.”

වසංගතය වෙත සංක්‍රමණය වීම වෙනුවට වසංගතය තුරන් කිරීමේ ක්‍රියා පටිපාටියට නවසීලන්ත රජය මාරු වී තිබුණි. සංක්‍රමණ පාලනය කිරීම, පාසල් වසා දැමීම වහ වහා ඇරඹුණි. වසංගතයේ චක්‍රය පාලනය කිරීම ඔවුන් ඇ‍රැඹුවේ ඒ ආකාරයෙනි. රෝගීන් 800 සීමාවෙන් පටන් ගත් මේ මෙහෙයුම අතිශය සැලසුම්සහගත එකකි. එමඟින් පාලනය කර ගත නොහැකි රෝගීන් සංඛ්‍යාවක් වෙත එළැඹීමට පෙරම සුළු රෝගීන් සංඛ්‍යාවකින් තීරණය කෙරුණකි. මහජනතාවට විශාල වශයෙන් එක්රැස් වීම සීමා කිරීමට හෝ නගර වසා දැමීමට නොගොස් සුළුවෙන් සියල්ල පාලනය කර ගැනීමට ඔවුන් සමත් විය. මේවා අපට ගත හැකි කදිම උදාහරණය. එසේ සාර්ථකව කොවිඩ් වසංගතය තුරන් කළ රටවල ක්‍රියා කලාප පිළිබඳත්, ඔවුන් ඒ වෙනුවෙන් කළ මෙහෙය පිළිබඳත් අධ්‍යයනය කිරීමෙන් අප රටට වාසියක් මිසක පාඩුවක් නම් අත් නොවන බව සිහිපත් කළ යුතුය.

මේ සියල්ල පසෙක තබා තවත් යමක් කළ හැකිය. ඒ, worldometers.info වෙබ් අඩවියට ගොස් ‘කොරෝනා වයිරස්’ යන උප මාතෘකාව ක්ලික් කිරීමයි. එවිට ලයිව් අප්ඩේට් වන දත්ත සහිත පි‍ටුවකට ඔබට පිවිසිය හැකිය. තත්පර ගණනක් ඇතුළත එම පි‍ටුව රීෆ්‍රෙෂ් කිරීමෙන් රෝගීන් සංඛ්‍යාවේ වෙනස මදක් නිරීක්ෂණය කරන්න. සෑම තත්පර ගණනකට වතාවක්ම මේ ඉලක්කම් ඉහළ යයි. ඔබ මේ ජීවමානව මුහුණ දෙමින් සිටින්නේ ලෝකය පුරා සිදු වෙමින් පවතින ව්‍යසනයක ඉලක්කම් සටහනකටය. කලින් කීවාක් මෙන් මේ ඉලක්කම් නොව මිනිස් ජීවිතයි. එහෙත් ඔබේ කැමැත්ත නොතකමින් මිනිස් ජීවිත ඉලක්කම් බවට පරිවර්තනය වෙමින් පවතී. ඔබත් ඒ අතර ඉලක්කමක් පමණි.

එන්නතක්

මේ අතර Pfizer සහ BioNTech සමාගම නිවේදනය කළේ ඔවුන් විසින් කොරෝනා වසංගතය මැඬලීමට එන්නතක් සොයාගත් බවයි. එය මිනිසුන් 43 500ක් භාවිත කරමින් අත්හදා බලා ඇති අතර එන්නතේ සුරක්ෂිත බව ගැන සමාගමට කිසිම සැක සංකාවක් නැති බවයි. මේ එන්නත මඟින් කොවිඩ් සෑදීම වැළකෙන අතර එමඟින් වසංගතයට එරෙහිව සටන් කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරවයි. එහි සාර්ථකත්වය 90%ක් බව ඔවුහු පවසති. මාත්‍රා දෙකකින් එය දීමට නියමිත බව තවදුරටත් ඔවුන් පවසා ඇත.

ඒ සමඟම මොඩර්නා සමාගම විසින් කොරෝනා වසංගතය මැඬලීමට තවත් එන්නතක් නිපදවා තිබේ. එහි සාර්ථකත්වය 94.5ක් ලෙස එම සමාගම දක්වා තිබීම සුවිශේෂීය. මොඩර්නා එන්නත මිනිසුන් 30000ක් යොදා ගෙන අත්හදා බලා ඇති අතර එහි සාර්ථකත්වය පිෆ්සර් එන්නතට වඩා වැඩි අගයක් ගනී. මේ අතරම තවත් එන්නත් කිහිපයක්ම පරීක්ෂණ මට්ටමේ පවතින බව සඳහන්ය. ඒ අතර චීනය සහ රුසියාවත් සිටී. මේ සුබ ආරංචිය.

එන්නතක් ලැබුණත්, නොලැබුණත් මේ නව ජීවන තත්ත්වය අප දිගටම පවත්වා ගත යුතු බව සමාජය තේරුම් ගෙන ඇති සැටියකි. මන්ද යත් එහි සාර්ථකත්වය තේරුම් ගැනීමට තව කාලයක් ගත වන බැවිනි. වසංගතය ලෝකය හැරදා ඉක්මනින් නොයන බවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් පැවසූයේ එය ලෝකය ආක්‍රමණය කර කෙටි කලකින්මය. කළ යුත්තේ අතිශය ප්‍රවේසම්කාරීව මේ වසංගතය සමඟම ජීවත් වීමට උගනීමයි. එය පහසු කාරියක් නොවන බවට පුන පුනා පැවසිය යුතු නැත. එහෙත් දැන් අප කිසිවකුට මේ පවතින තත්ත්වය මඟහැර කෙටි මාර්ග හෙවීම හෝ එය නොසලකා හැරීම කළ නොහැකිය.

 

කාංචනා අමිලානි

මූලාශ්‍ර:

https://bit.ly/35CA0Ut

https://bit.ly/38NlcEs

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here