ශාසනික මෙහෙවරක අභිමානය

0
10

වසර 2500 ක උරුමයට අනුව අපේ රට තුළ කවදත් ජීවත් වූයේ ආගම දහමට ලැදියාවක් ඇති ගුණගරුක මිනිසුන්ය. ඒ මිනිසුන් තුළ යහපත් සාරධර්ම පැවැති බවත්, එමෙන්ම එදා රට තුළ සෞභ්‍යාගයේ ද අඩුවක් නොපැවති බවත්, ඉතිහාසය සාක්ෂි දරයි. ශක්තිමත් රාජ්‍ය පාලකයකු යටතේ ජනතාව කවදත් ඒ සෞභාග්‍යය භුක්ති විඳිනු ලැබීය. මෑත ඉතිහාසයෙහි එම සෞභාග්‍යය රට තුළින් ක්‍රමයෙන් පහව ගොස්, රටවාසීන් තුළ සාරධර්මවල සෝදාපාළුවක් දක්නට ලැබුණි. තවද දේශපාලන වශයෙන් ද ශීඝ්‍ර පරිහානියක් ඇති වී උගතුන්, වියතුන් දේශපාලන ක්ෂේත්‍රයෙන් දුරස්ව කටයුතු කරන තත්ත්වයට මේ රට පත් වූ බව නොරහසක්. එදා පැවැති තත්ත්වය යටතේ පීඩාවට පත් ජනතාවගේ වාසනාවට ජනතා අපේක්ෂා මල්ඵල ගන්වමින් නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකත්වයට පත් වීම සතුටට කරුණකි. එතුමා රාජ්‍ය නායකත්වය අපේක්ෂා කළ අවස්ථාවේදී ජනතාව වෙත ඉදිරිපත් කළ දස වැදෑරුම් ප්‍රතිපත්ති මාලාව තුළ අන්තර්ගත විශේෂිත කරුණක් වශයෙන් අවධාරණය කර තිබුණේ ද, පිරිසුදු රාජ්‍ය පාලනයක් සහ විනයගරුක නීතිගරුක සමාජයක් නිර්මාණය කරන බවයි. 

එතුමා තුළ පැවැති බලාපොරොත්තුව ජනපතිවරණ වේදිකාවේ සිටම ප්‍රදර්ශනය වූ ආකාරය දක්නට ලැබුණි. ඇතැම් කාල වකවානුවල රාජ්‍ය පාලකයෝ රාජ්‍ය බලය ගෙන ඇත්තේ මුදල් බලය පදනම් කරගෙන වුවද, වත්මන් ජනාධිපතිතුමා රටේ යහපත උදෙසා සැකසූ තම දේශපාලන න්‍යාය පත්‍රය පමණක් ඉදිරිපත් කරමින් ප්‍රතිවාදියාට ප්‍රහාර, චෝදනා කිසිවක් එල්ල නොකර ජනතා හඬට ඇහුම්කන් දෙමින් ඉල්ලා සිටියේ ජනතාවගේ යුතුකම නිවැරැදිව, බුද්ධිමත්ව, අවංකවම ඉටුකරනු ලැබුවහොත්, ජනපති පදවියට පත්වූ පසු තම යුතුකම ද ජනතා සුභසිද්ධිය වෙනුවෙන් ඉටුකිරීමට පසුබට නොවන බවය.

මේ වන විට ජනපති පදවිප්‍රාප්තව වසරක් ගතවන ප්‍රීතිදායක අවස්ථාව උදාවෙමින් තිබේ. ඇතැමුන් ගත වූ වසර තුළ රටේ යහපතට අපේක්ෂිත තරමින් යමක් ඉටුවූයේ දැයි ප්‍රශ්න කළ හැකිය. ඒ පිළිබඳව අප කවුරුත් බුද්ධිමත්ව සලකා බැලිය යුතුය. ලෝකය පුරා අනපේක්ෂිත අයුරින් පැතිර යන මේ වසංගත තත්ත්වය හමුවේ අපේ රට පමණක් නොව, බලගතු රාජ්‍ය නායකයෝ පවා වර්තමානය තුළ ගැටලු රාශියකට මුහුණපා ඇත. අපේ රට මේ තත්ත්වයෙන් හෝ පවත්වාගෙන යනු ලබන්නේ අපේ රාජ්‍ය නායකත්වයේ ශක්තිමත් බව පදනම් කරගෙනය. ජනපති පදවියට පත්වීමේ රාජ්‍ය උත්සවයේ සිට වසරක් පුරාවට පවත්වනු ලැබූ සියලු රාජ්‍ය උත්සව තුළින් රටට ලබා දුන් ප්‍රධාන ආදර්ශය වූයේ අනවශ්‍ය වියදම් අවම කර,බොරු සෝභන කටයුතුවලින් බැහැරව රටේ යහපත වෙනුවෙන් ම කටයුතු කළ යුතුය යන පරමාදර්ශය යි. අල්ලස, දූෂණය රජකර වූ රටක් වශයෙන් අප රට පත්ව තිබූ යුගයක එම තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා දිවා රාත්‍රී වෙහෙස වන ජනපතිතුමාට රටවැසියාගේ ආශිර්වාදය සහ සහයෝගය දිය යුතුය. ජාති ආගම් භේදයකින් තොරව එම ශක්තිය, ආශිර්වාදය දීම රටවැසි සියලුදෙනාගේම පරම යුතුකමකි.

ජනාධිපතිවරයා වශයෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් කරනු ලබන වැඩපිළිවෙළ ප්‍රශංසා කටයුතුය. බුද්ධි අංශ ශක්තිමත් කරමින් ඔවුන්ගේ මානසික මට්ටම බිඳවැටීමට නොදී ගෙනයන වැඩපිළිවෙළ පළමුකොටම අපගේ ඇගයීමට භාජනය විය යුතුය. ඇතැමුන් රටේ සංවර්ධනය මනිනු ලබන්නේ ගොඩනැගිලි, මාර්ග පද්ධති හා විවිධ සැණකෙළි පදනම් කරගෙනය. ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමන්ට එබඳු ආකාරයේ බාහිර සංවර්ධනයක් මහා පරිමාණයෙන් ඉටුකිරීමට තරම් අවස්ථාවක් නොතිබුණත්, රජයේ නව නායකත්වය තුළින් ඇගයීමට ලක්විය යුතු කරුණු කාරණා බොහෝ තිබේ. ඉහත සඳහන් කළ පරිදි රටක බාහිර සංවර්ධනය කෙතරම් දුරට සිදු වුවත් රටේ වාසය කරන ළමා පරපුර, තරුණ පරපුර, මත්කුඩු, මත්වතුර, මුහුණු පොත් නිසා විනාශයට පත්වේ නම්, එම බාහිර සංවර්ධනයෙන් ප්‍රතිඵලයක් නැත. වත්මන් අතිගරු ජනපතිතුමන් එම තත්ත්වය මැනවින් අවබෝධකොට ගනිමින්, ළමා පරපුර, තරුණ පරපුර සුරක්ෂිත කරගැනීමට දරන ප්‍රයත්නය හා එම ක්‍රියාවලියම ගතවූ වසර පුරාවට ඇගයීමට ප්‍රමාණවත් වනු ඇත. මෙහිදී තව කරුණක් ප්‍රකාශ කළ යුතුය. බෞද්ධ ජීවිතයක විශේෂ ගුණාංගයක් වන සරල බව ජීවිතයකට මෙන්ම රටකට ද ඉතා වැදගත් වේ. 

මෑත ඉතිහාසයේ රාජ්‍ය නායකයකු තුළින් ප්‍රදර්ශනය නොවූ, සරල පැවතුම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුවිශේෂ ගුණාංගයක් වශයෙන් ක්‍රියාත්මක වීම රටේ සංවර්ධනයට ද උපකාරී වී ඇත. රටේ සංවර්ධනය සඳහා පැවැති මුදල් අනවශ්‍ය උත්සව ආදී කටයුතු සඳහා මහා පරිමාණයෙන් විනාශ නොකර අවශ්‍යම කටයුතු සඳහා යොදා ගැනීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය ද, මේ වන විට රට තුළ ක්‍රියාත්මක වී ඇත්තේ එතුමා තුළ පවතින ප්‍රතිපත්තිගරුක භාවය හේතුවෙනි. තව ද පෞද්ගලික සුඛ විහරණය පිළිබඳව නොසැලකීම මෙන්ම, අනවශ්‍ය ලෙස වරප්‍රසාද භුක්ති නොවිඳීම, මස් මාංශ ආදියෙන් වැළකී පංචශීල ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීම ආදී ගුණාංග ද මෙහිදී රාජ්‍ය නායකයකු වශයෙන් අප අගය කළ යුතුව ඇත. අභියෝග රාශියක් මැද ගත වූ වර්ෂයේ සංවර්ධන කටයුතු පිළිබඳ තවත් කරුණු කාරණා බොහෝ සේ තවදුරටත් මෙහිලා සඳහන් කළ යුතුව ඇත.

මේ සියලු කාරණාවන්ට අමතරව සුවිශේෂි වූ කරුණ නම්, අපේ රටේ නව වැනි පාර්ලිමේන්තුව ආරම්භ කරන අවස්ථාවේදී ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කොට සිටියේ “බෞද්ධ උපදේශක සභාවක් පිහිටුවා ඒ හරහා අවවාද අනුශාසනා අරගෙනයි මම මේ රට පාලනය කරන්නේ” යනුවෙනි. එය ඉතාමත් සුවිශේෂී වූ ස්වභාවයක් වන අතරම ප්‍රෞඪ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ද්වීපයටම අන්‍යන්‍ය වූවකි. රජදවස ඉතිහාසය පුරාවටම ශක්තිමත් රාජ්‍ය නායකත්වය පසුපස භික්ෂු නායකත්වයක් පැවැති ආකාරය පැහැදිලි වන කරුණක් වේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මෙරටට උපසම්පදාව රැගෙන ඒමට කටයුතු කළ රාජ්‍ය පාලකයෙකි. එතුමා විහාරයක් පූජා කරන සෑම අවස්ථාවකදීම එම සන්නසට ඇතුළත් කරනු ලැබුවේ ද, සම්බුද්ධත්වය ප්‍රාර්ථනාවෙන් මම මේ විහාර කර්මාන්තය සඳහා කටයුතු කරන බවයි. ඒ තුළින් පැහැදිලි වන්නේ ද, අපගේ ඉතිහාසයෙහි රජදරුවන් රාජ්‍ය පාලනයේදී ආගමික ලැදියාවට, භික්ෂු උපදේශකත්වයට ගරුකිරීම කෙතරම් දුරට සිදුකර ඇති ද, යන වගය. වර්ෂ 1815 දී ඉංග්‍රීසි ජාතිකයන්ටද සිදුවූයේ ගිවිසුමට ප්‍රකාරව බුදුදහමට ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීමටය. එම නිසා මේ රටේ සැබෑ නායකත්වයට එම අතීත ශාසනික සබඳතාව‍ සාර්ථක රාජ්‍ය පාලනයක් සඳහා තිබිය යුතුමය. 

එම කාර්යය වර්තමාන රාජ්‍ය නායකත්වය විසින් නිවැරැදිව තේරුම් ගනිමින් බෞද්ධ උපදේශනය ගෙන මේ රට දසරාජධර්මයෙන් පාලනය කිරීමට හා සුදුසු ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම රටක් වශයෙන් අගය කළ යුත්තකි. ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් නියෝජනය වන පරිද්දෙන් මෙරට ජාතික මට්ටමේ භික්ෂූන් වහන්සේ 40 නමකගෙන් සමන්විත බෞද්ධ උපදේශක සභාවක් ස්ථාපනය කරනු ලැබුවේ ආගමික ශාසනික කටයුතු පමණක් නොව, රාජ්‍ය පාලනය සම්බන්ධව ද භික්ෂූන් වහන්සේගේ අවවාද, අනුශාසනා ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙනය. රාජ්‍ය සමයෙන් පසුව එබඳු ආකාරයෙන් බෞද්ධ උපදේශක සභාවක් පිහිටුවනු ලැබූ එකම රාජ්‍ය නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බවත් සිහිපත් කළ යුතුයි. අතීත රජදවසින් පසුව රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙරට සිදුකරන ලද පළමු කඨින පින්කම පසුගිය 8 වෙනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෝමාවතී රජමහා විහාරයේදී පැවැත්වූ බවත් ප්‍රකාශ කළ යුතුය. මෙම බෞද්ධ උපදේශක සභාව සෑම මසකම තුන්වන සතියේ සිකුරාදා දින රැස්වන්නේ ජාතික ප්‍රශ්න, ජාතික ගැටලු පිළිබඳව ගරුතර මහා සංඝරත්නයෙන් උපදෙස් ගැනීමේ අපේක්ෂාවෙනි. එමෙන්ම අපගේ සියලු ප්‍රශ්න, ගැටලු පිළිබඳව ජාතික පදනමක් මත පිහිටමින් බෞද්ධ උපදේශන සභාවේ උපදේශකත්වය අනිවාර්යෙන්ම අවශ්‍ය බවද, ජනාධිපතිතුමා උපදේශක සභාවෙන් ඉල්ලා සිටියේ ය. පුරාවිද්‍යාව පිළිබඳව ලබාගත් උපදේශකත්වයට අනුව ඒ සඳහා අවශ්‍ය කරන කාර්යසාධක බළකායක් පිහිටුවා විනාශයට පත්වූ හා විනාශ වෙමින් පවතින පුරාවිද්‍යා භූමි ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබීම විශේෂයෙන් අගය කළ යුත්තකි. බෞද්ධ උපදේශක සභාව අඛණ්ඩව මේ රට තුළ ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය පවා උපදේශකත්වයක් සැපයීමට සුදුසු වන ආකාරයෙන් සම්භාවනීය මහා සංඝරත්නය සකස් වී ඇති බවත් ප්‍රකාශ කළ යුතුව ඇත. මෙම බෞද්ධ උපදේශක සභාවේ දී ජනාධිපතිතුමා අපේක්ෂා කරනු ලබන තවත් සුවිශේෂී කාර්යභාරයක් වූයේ මහා සංඝරත්නය පිළිබඳව තිබෙන්නා වූ ප්‍රශ්න විසඳීමටය. දුෂ්කර පළාත්වල විහාරස්ථානයන්හි සනීපාරක්ෂක පහසුකම්, ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග වැනි සියලු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමය. ඒ කාර්යභාරය ඉටුකරගැනීම සඳහා සසුන් උදාව නමින් ආරම්භ කළ ජාතික වැඩසටහනක් මාර්ගයෙන් ඒ යටතේ බුද්ධශාසන අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් එම සංවර්ධන කටයුතු හා නඩත්තු කටයුතු වෙනුවෙන් වැඩි දායකත්වයක් දීමේ ක්‍රමවේදයක් බෞද්ධ උපදේශක සභාව තුළින් සකස් කර ඇත.

සෞභාග්‍යමත් ධාර්මික දේශයක් ගොඩනැඟීමේ අරමුණ පෙරදැරිව එයම ප්‍රාර්ථනා කරමින් කටයුතු කරන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඒ උතුම් උදාර අරමුණ එතුමා අපේක්ෂා කරන ආකාරයෙන්ම ඉටුකර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නොඅඩුව තවදුරටත් දිය යුතු බව අපගේ අපේක්ෂාවයි. එතුමාගේ කැපවීම අගය කළ යුතුය.

අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරාධිකාරී 
පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති 
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ 
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක 
වේඬරුවේ උපාලි අනු නාහිමි

සටහන – හේමමාලා රන්දුනු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here