24 C
Colombo
Tuesday, November 24, 2020

මැදපෙරදිග සිරවී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව

මැදපෙරදිග රටවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවක් ලබා දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන්...
More

    Latest Posts

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    අඟුලාන උතුරත් දකුණත් හුදෙකලා බවින් නිදහස් කරයි

    අඟුලාන උතුර හා අඟුලාන දකුණ යන ග්‍රාම සේවා වසම් දෙක හුදෙකලා බවින් නිදහස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.   නිරෝධායන...

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    අතීත රහස් හෙළිදරවු කරන සංගමන් කන්දේ ගු හා සිතුවම්

    ශෛලමය පියගැටපෙළ

    අතීතයේ ලංකාවේ විසූ ජන කණ්ඩායම් පිළිබඳ විමසා බලන විට ආදිවාසීන්ට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. වනය මූලික කරගනිමින් දඩයමින් යැපුණු මේ ජන කොටස, සංචාරක ජීවිතයකට උරුමකම් කීහ. මේ සුවිශේෂ බව නිසාම ඔවුන්ගේ ජනාවාස ව්‍යාප්තිය, ජීවනෝපාය, අභිචාර විධි මූලික කරගනිමින්, මේ ජන සමාජය තුළ ඔවුන්ටම ආවේණික සංස්කෘතියක් බිහි විය. ආදිවාසී ජන සමාජය වෙත, මානව විද්‍යාඥයන්ගේ හා පර්​යේෂකයන්ගේ අවධානය යොමු කිරීමට මෙකී සාධක මූලික විය. මේ ජන කණ්ඩායම් පිළිබඳ කෙරුණු මුල් කාලීන පර්​යේෂණ පිළිබඳ සලකා බලන විට, පර්​යේෂකයන්ගේ වැඩි අවධානය, ඔවුන්ගේ අභිවාර විධි, සිරිත්-විරිත් හා දඩයම පාදක කරගනිමින් සිදු වූ වග හෙළිදරවු කරගෙන ඇත. එහෙත්, ඔවුන් නිර්මාණය කළ සිතුවම් කලාව, ආදිවාසි ජන සමාජයේ තවත් සුවිශේෂ පැතිකඩක් නිරූපණය කරයි. ඉන්දියාවේ බම්බේක්කාර්, ස්පාඤ්ඤයේ ලැස්කෝ හා ප්‍රංශයේ අල්ටමීරා වැනි ස්ථානවල පිහිටි ප්‍රාග් ඓතිහාසික සිතුවම් පර්යේෂකයන්ගේ වැඩි අවධානයකට ලක්ව තිබේ.

    ලංකාවේ ප්‍රාථමික ශෛලියේ ගුහා චිත්‍ර පිළිබඳ පළමුව යම් තරමක හෝ අවධානය යොමු කළේ බටහිර ජාතිකයෝය. මුල් කාලයේ ජෝන් ස්ටීල් වැන්නන් පර්වත චිත්‍ර ඇති ස්ථාන වෙත ළඟා වූයේ, දහසකුත් බාධා මධ්‍යයේය. එහෙත්, ඒ චිත්‍ර පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් එකල සිදු නොවීය. ගල් ගුහාවක බිත්තියක් මත ඇඳ ඇති චිත්‍ර අතර වන සබැඳියාව කෙරෙහි මුල්කාලීන ගවේෂකයන්ගේ අවධානය යොමු නොවිණි. ගුහා බිත්ති මත ඇති චිත්‍ර පිළිබඳ පමණක් ඔවුහු වාර්තා කර තැබූහ. මේ නිසා ලෙන් සිතුවම් අධ්‍යයනය කෙරෙහි මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ වූයේ අඩු අවධානයකි. එය ගැඹුරු පර්​යේෂණයකට වස්තු වන විෂයයක් නොවේය යන අදහසක් ද යටත් විජිත මානසිකත්වය මඟින් ඇති කර තිබිණ. ලෝකයේ සෙසු රටවල හමු වන ලෙන් චිත්‍ර හා සසඳා බලන විට මෙරටින් හමු වන ලෙන් සිතුවම් දුර්වලය යන මතයක් ද යුරෝපීයයන් විසින් මවා තිබිණි.

    ලංකාවේ ප්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් වැඩි වශයෙන් වාර්තා වන්නේ, දිවයිනේ නැඟෙනහිර කලාපයෙනි. ප්‍රාථමික සමාජ පරිසරයක දිවි ගෙවූ සමාජ ජීවියකුගේ කලා කෘති මඟින් ඔවුන්ගේ සමාජීය දිවියත් සන්නිවේදන ක්‍රියාවලියෙහි විවිධ මානත් හඳුනාගැනීමට ඉඩ-කඩ ලැබේ. එය අතීත ප්‍රාථමික සමාජ ප්‍රතිනිර්මාණය කිරීමේදී වැදගත් වන්නකි. ඒ ඔස්සේ ඔවුන්ගේ සිතුම්-පැතුම් හා විශ්වාස පිළිබඳ යම් ඉඟියක් ලබාගැනීමට ද හැකි වේ.

    වර්ණ රැසක් භාවිත කරමින්, සුමුදු පසුතලයක තෙලි තුඬකින් සිතුවමක් ඇඳීම මෙන් ගල් පතුරකින් හෝ ඇඟිලි තුඩක තවරාගත් අළු වැනි ද්‍රව්‍යයකින් රළු ගල් පසුතලයක සිතුවමක් ඇඳීම පහසු කටයුත්තක් නොවේ. එහෙත් මින් වසර සිය දහස් ගණනකට පෙර මේ මිහිතලය මත පියවර තැබූ මානවයෝ තම සිතැඟි පැතුම් හා හැඟීම් පිළිබඳ යම් යම් ඉඟි සිය ගල්ගුහාවල බිත්ති මත සටහන් කර තැබූහ. ඒ සෑම හැඩතලයකින්ම පිළිබිඹු වන්නේ ඉතිහාසයේ එක්තරා සුවිශේෂ කාලපරිච්​ඡේදයක සන්නිවේදනයේ ස්වභාවයයි. නූතන මානව සන්නිවේදනයේ මුහුණුවර හැඩගැසීමෙහිලා මේ සෑම හැඩතලයක්ම ඉතා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන්න ඇත. ප්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් අධ්‍යයනය මඟින් ඒ කාර්යභාරයේ ස්වරූපය පිළිබඳ වත්මන් පරපුරට යම් අදහසක් ලද හැකිය.

    මේ ලෙන් චිත්‍ර පිළිබඳ විග්‍රහ කර බැලීමේදී, ඒවායේ කාල නිර්ණය පිළිබඳ විද්වතුන් දක්වන අදහස් වෙසෙසින් වැදගත් වේ. මේවායේ කාල නිර්ණය පිළිබඳ විද්වතුන් අතර මෙතෙක් එකඟතාවක් ඇති වී නැත. පී.ඊ.පී. දැරණියගලයන් යුග තුනකට බෙදා, මේ සිතුවම් පිළිබඳ අදහස් දක්වා ඇත. ඔහු දක්වන ආකාරයට මේ සිතුවම්, පූර්ව ශිලා යුගය, මධ්‍ය ශිලා යුගය, අපර ශිලා යුගය යනුවෙන් යුග තුනකට අයත් වෙයි. ඩී.බී. නන්දදේවයන් ද මේ සිතුවම් පිළිබඳ කාල නිර්ණය කර තිබේ. ඔහුට අනුව ‍මේ සිතුවම් ප්‍රාග් ඓතිහාසික යුගය (අදින් වසර 2800 සිට 2600ට එහා යුගය), මුල ඓතිහාසික යුගය (අදින් වසර 2600 සිට 2300ට එහා යුගය) හා පූර්ව ඓතිහාසික යුගය (අදින් වසර 2000ට පෙර යුගය) යනුවෙන් කොටස් තුනකට බෙදේ. මේ කාල නිර්ණ අනුව මේ චිත්‍ර නිශ්චිත කාල පරිච්​ඡේදයකට යටත් කර සාකච්ඡා කිරීම ගැටලු සහගතය. එහෙත් ආදිවාසි ජන සමාජයේ සන්නිවේදන ක්‍රියාවලියේ විශේෂත්වය පිළිබඳ විමසා බැලීමට මේ රූ සටහන්වල කාල නිර්ණය බාධාවක් නොවේ.

    ආදිවාසි ජනයාගේ ලෙන් සිතුවම් අදට ද ශේෂව පවතින ස්ථානයක් ලෙස සංගමන්කන්ද හඳුන්වා දිය හැකිය. මේ ස්ථානය පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, සංගමන්කන්ද ග්‍රාම නිලධාරි වසමෙහි පිහිටා ඇත. ප්‍රාදේශීය දෙමළ ජනයා මේ ස්ථානය හඳුන්වන්නේ, ‘පඩිවෙට්ටුමලෛයි’ (පඩි කපන ලද කන්ද)’ ලෙසටය. මෙය, ‘පන්සල් ගල’ ලෙස සිංහල වහරට එක්ව ඇත. කඳුකර ලක්ෂණ සහිත ඉහත කී ප්‍රදේශයේ අක්කර 2000කට වැඩි භූමිය පුරා විසිරී ඇති ගල්කුළු රැසකි. ඒ අතර කටාරම් කොටන ලද ගල් ගුහා ද වේ. මේ භූමිය පුරා, අතීත විහාරාරාමයක නටබුන් විසිරී ඇත. පොතුවිල් අක්කරෙයිපත්තුව මඟට දර්ශනය වන විශාල පියගැටපෙළ සමඟ මෙහි පුරාවස්තු විසිරීම ඇරඹේ.

    මේ පියගැටපෙළ, පර්වතයේ ​කොටස් තුනක් පුරා විහිදේ. එහි පියගැට 87ක් පමණ ඇත. අතීතයේ මේ පියගැටපෙළට අත්වැලක් හෝ පියස්සක් හෝ ඉදි කර තිබූ බවට සාධක්‍ අදද දක්නට ලැබේ. පියගැටපෙළට දෙපසින් ගල් තලාවේ ‘තව්’ හෙවත් යමක් සවි කිරීමට කළ සිදුරු රැසක් දැකිය හැකිය. මේ පියගැටපෙළ දිවෙන්නේ, පර්වතය මුහුනෙහි ඇති ස්තූප ගොඩනැඟිල්ල අසලිනි. මෙය අද බොහෝ සෙයින් නටබුන් වී ගොසිනි. පර්වතයේ උතුරු පෙදෙස පුරා නටබුන් රැසක් විසිරී පවතී. ඒ අතර ගල් කණු, ගල් පුවරු හා ස්තම්භ සවි කර තිබෙන්නට ඇතැයි සිතිය හැකි සිදුරු සහිත වෘත්තාකාර ගල් කැබැලි ද වේ. ගල් තලාවේ නැඟෙනහිර දෙසින් ස්වාභාවිකව නිර්මාණය වූවායැයි සිතිය හැකි විශාල පොකුණකි. ඒ ආසන්නයේ පර්වත ලිපියක කොටස් අදද දක්නට ලැබේ. එය අපර බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියවුණු බව පුරාවිද්‍යා මතයයි. මෙකී සාධක හේතුවෙන් සංගමන්කන්ද යනු පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුතු ක්ෂේත්‍රයක් ලෙස ද හඳුන්වා දිය හැකිය.

    ගුහා සිතුවම්

    සංගමන්කන්දේ ගුහා චිත්‍ර සහිත ලෙන, ස්වාභාවිකවම කොටස් දෙකකට බෙදී සෑදුණකි. මෙහි එක් කොටසක සිට අනෙක් පසට ඇතුළතින් ගමන් කළ හැකි පරිදි විවරයක් ස්වාභාවිකවම සෑදී තිබේ. මේ ලෙන තුළ ප්‍රධාන වශයෙන් චිත්‍ර හමු වන ස්ථාන දෙකක් නිරීක්ෂණය කළ හැකිය. මේ ස්ථානයෙන් පැහැදිලිව හඳුනාගත හැකි චිත්‍ර සටහන් 9ක් පමණ හමු වෙයි. මේ වන විට සෙසු රූපසටහන් විනාශ වී යමින් පවතී. අදට ශේෂව පවතින රූපසටහන් අතර මානව රූප, මානව සත්ත්ව මිශ්‍රිත රූප, සත්ත්ව රූප, ජ්‍යාමිතික රූප හා වෙනත් හැඩතල දක්නට ලැබෙයි.

    මේ චිත්‍ර සටහන් මඟින් ආදිවාසි ජන සමාජයේ සන්නිවේදන ක්‍රමෝපාය, ඔවුන්ගේ සංස්කෘතිකාංග, ආගමික විශ්වාස ආදි කරුණු නිරූපණය වෙයි. වැදි ජන සමාජයේ පාරම්පරික ව්‍යවහාර ඇසුරෙන්, ඒවායින් ඉඟි වන දෑ පිළිබඳ යම් අදහසක් සහ අවබෝධයක් ලද හැකිය. සංගමන් කන්දෙන් හමු වන මානව රූපය පිළිබඳ සලකා බැලුව හොත්: එමඟින් එකල ජනයාගේ අභිචාර විධි පිළිබඳ අදහසක් ලද හැකිය.

    මේ සටහනෙහි දැක්වෙන තැනැත්තා දෑත් දෙපසට විහිදමින්, කිසියම් නර්තනයක යෙදෙන බවක් දක්නට ලැබේ. වැදි ජනයා, සිය පුද-පූජා පැවැත්වීමේදී, එහි ප්‍රධාන අංගයක් ලෙස නැටුම් භාවිත කරයි. ආවේශ වීම ඔවුන්ගේ නැටුම්වල ප්‍රධාන ලක්ෂණයකි. මෙහිදී පයෙන් පයට පියවර මාරු කරමින්, විළුඹෙන් පොළොවට තට්ටු කරමින්, අඩ කවයක ආකාරයෙන් දකුණට හා වමට හැරෙමින් නර්තනයේ යෙදීම ස්වභාවයයි. රූපසටහන මඟින් මෙබඳු නර්තනයක් නිරූපණය වෙතැයි සිතිය හැකිය. නැටුම් සඳහා ඔවුන් යොදාගන්නේ පිරිසේ සිටින යම්කිසි විශේෂ පුද්ගලයෙකි. කිරි කොරහා නැටීම වැනි අවස්ථාවක තමා දුටු දෙයක් හෝ තම අත්දැකීමක් හෝ ඇතැම් විට මෙලෙස සිතුවම් කර තබන්න ඇත.

    මේ රූපසටහන මඟින් ආදිවාසි සමාජයේ එකල පැවැති ස්වරූපය පිළිබඳ යම් අදහසක් ගම්‍ය වෙයි. ඔවුන් කා-බී ප්‍රීතියෙන් නැටුම්-ගැයුම් පවත්වන අවස්ථාවක් මේ මානව රූපයෙන් නිරූපණය වේයැයිද අදහස් කළ හැකිය. එසේ ප්‍රීතිමත්ව දිවි ගෙවීමට නම්, මේ ප්‍රදේශයේ මනා දේශගුණික තත්ත්වයක් හා ආහාර සපයාගැනීමේ පහසුවක් තිබෙන්නට ඇත. මේ සුවදායක හිතකර පරිසරය පසුකාලීනව මෙහි විහාර ආරාම සංකීර්ණයක් බිහි වන්න ද පසුබිම වන්නට ඇත.

    මානව හා සත්ත්ව රූප සම්මිශ්‍රිතව යෙදෙන රූප සටහනක්ද සංගමන්කන්දේ ගුහා චිත්‍ර අතර වෙයි. ඇතකු හෝ අලියකු හෝ සමඟ සිටින මිනිස් රුවක් මින් නිරූපණය වෙයි. ඇතා සහ මිනිස් රුව ඉතා පැහැදිලිව නිරූපණය කර ඇති ආකාරය අදටද දක්නට ලැබේ. මේ සිතුවම මඟින්, වම් පසට ගමන් කරන ඇතකු පිට නැඟි මානව රූපයක් නිරූපණය වෙයි. අසකු පිට යන යුරෝපීයකු දුටු ආදිවාසි මානවයකු පිහිල්ලගොඩ ගල් ගෙයි ඇඳි සිතුවමක් පිළිබඳ ‘සෙලිග්මාන්’ සිය ‘වැද්දා’ කෘතියෙහි වාර්තා කරයි. ඒ අනුව සලකා බලන විට, ඇතකු පිට නැඟි පුද්ගලයකු දුටු ආදිවාසියකු එය මෙසේ සිතුවමට නැඟුවා විය හැකිය.

    ලංකාවේ ආදිවාසි ජනයා, අලි-ඇතුන් හීලෑ කරගත් බවට සාක්ෂ්‍ය හමු නොවේ. එහෙත්, සංගමන්කන්දේ මේ ස්ථානය අවට අදටත් අලි ගැවසෙති. නිදැල්ලේ සැරි සරන අලි ඇතුන් අල්ලාගෙන, මෙරට රාජ්‍ය අවශ්‍යතාවලට හා වෙ​ළෙඳ කටයුතුවලට රැගෙන ගිය වගට තොරතුරු, ඉතිහාසයෙහි සඳහන් වෙයි. සංගමන්කන්ද අවට ස්වාභාවික පරිසරයෙන් අල්ලාගත් ඇතකු හීලෑ කර රැගෙන යන ආකාරය දකින ආදිවාසියකු එය මෙලෙස සිතුවමට නඟන්න ඇත.

    ඇතුන් සහිතව පෙරහර පැවැත්වීම ද මෙරට සංස්කෘතියෙහි දක්නට ලැබෙන සුවිශේෂ අංගයකි. එවන් පෙරහරක ඇතුන් පිට යන්නකු දකින ආදිවාසියකු එය මෙලෙස සටහන් කර තබන්න ඇතැයි පැවසුව හොත්, එයද බැහැර කළ නොහැකි මතයකි. එවන් අවස්ථාවක් මෙමඟින් නිරූපණය වන්නේ නම් එමඟින් වැදි ජනයාගේ අභ්‍යන්තර සංක්‍රමණ පිළිබඳ අදහසක්ද ඉස්මතු වෙයි.

    සංගමන්කන්ද එක් පසකින් සීමා වන්නේ මුහුදු වෙරළෙනි. අවට ඇත්තේ වන ගහනයයි. මේ නිසා සංගමන්කන්ද අවට පරිසරයේ අලි-ඇතුන් සහිත පෙරහරක් පවත්වන්න ඇතැයි සිතිය නොහැකිය. යම් කටයුත්තකට සිය වාසභූමියෙන් බැහැරව යන ආදිවාසියකු තමා දුටු දෙය යළි පැමිණ මෙසේ සිතුවම් කරන්න ඇත.

    සංගමන්කන්ද ගුහා සිතුවම් ​අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ සත්ත්ව රූපයි. මේ රූපසටහන් අතුරින් වැඩි ප්‍රමාණයක අලියා හෝ ඇතා හෝ නිරූපණය කර තිබේ. මේ සත්ත්ව රූප අතරින් 03 රූපය සුවිශේෂය. එමඟින්, අලියෙක් (ඉහළ) හා ඇතෙක් (පහළ) ලෙස සතුන් දෙදෙනකු සිතුවම් කර ඇත. ඒ සතුන් දෙදෙනා මෙහි දක්වා ඇත්තේ එකිනෙකට සම්බන්ධ ලෙසිනි. එහෙත් එය, ඔවුන්ගේ ලිංගික සබඳතා පවත්වන අවස්ථාවක් නොවේ. මේ සිතුවමෙහි වන තවත් සුවිශේෂතාවක් වන්නේ, සෙසු රූප හා සසඳා බලන විට, මේ රූප තරමක් සියුම් රේඛාවලින් ඇඳ තිබීමයි.

    මේ අනුව ක්ෂේත්‍රය තුළ හමු වන සිතුවම් එකම අයකුගේ නිර්මාණ නොව, සමූහයක් විසින් අඳින ලද ඒවා යැයි සිතිය හැකිය. ඇතැම් විට එය පරම්පරා දෙකක හෝ කිහිපයක හෝ නිර්මාණාත්මක ලක්ෂණ පිළිබිඹු කරන ලෙන් සිතුවම් වීමටද පුළුවනි. තමා අවට පරිසරයේ වෙසෙන සතුන් ඔවුන් සිය වාසස්ථානයේ ශෛලමය බිත්තිය මත මෙලෙස සටහන් කර තබන්න ඇත. මේ ආකාරයට අලි-ඇතුන් විශේෂ අවධානයකට පාත්‍ර වූයේ, ඔවුන් ආදිවාසි ජන ජීවිතයට තර්ජනයක් වූ නිසා විය හැකිය.

    මේ ගුහා සිතුවම් අතර හමු වන 04 සහ 05 රූප මඟින්, අලියකුගේ හෝ ඇතකුගේ හෝ රූප නිරූපණය කර ඇත. 4 වැනි රූපයේ, දකුණු පසට හැරී ඇති අලියකුගේ රුවක් සිතුවම් කර ඇත. 05 වැනි රූපය මඟින්, වම් පසට හැරී සිටින අලියකුගේ රුවක් දක්නට ලැබෙයි. 05 වැනි රුවෙහි සිටින අලියාගේ වලිගය නිරූපණය කිරීමේදී, සුවි​ශේෂ අවධානයක් යොමු කර ඇත. 04 වැනි රූපයේ ඇති සුවිශේෂත්වය වන්නේ, එය සෙසු රූප හා සසඳා බලන විට, යම් අසම්පූර්ණ ස්වභාවයක් දක්නට ලැබීමයි. මේ සුවිශේෂ බව එය ඇන්ද තැනැත්තාට අනන්‍ය වූ ස්වරූපයක් ලෙස හඳුනාගත හැකිය.

    සංගමන්කන්ද ලෙන් සිතුවම් අතර හමු වන තවත් සුවිශේෂ ලෙන් සිතුවමක් වන්නේ, ඇත් හෝ අලි හෝ රූපවලින් වෙනස් වූ චිත්‍ර සටහනයි. එහි, ඉදිරියට දික් වූ අං යුගලයක් වැනි යමක් දැක්නට ලැබේ. තමන් දඩයම් කරන්නට යෙදුණු මුවා, ගෝනා වැනි සත්ත්ව කාණ්ඩවල රූසටහන් සිය ගුහා බිත්ති මත ආදිවාසීන් මෙලෙස සටහන් කරන්නට ඇත. මේ සිතුවම ඔවුන් දඩයම් කළ සතකුගේ රුවක් ලෙසද හඳුනාගත හැකිය.

    ආදිවාසි ලෙන් සිතුවම් අතර හමු වන සෙසු සටහන්, ජ්‍යාමිතික හැඩතලය. මෙහි අංක 07 රූප සටහන මඟින්, සිහින් ඊ හිසක ස්වරූපයක් දක්නට ලැබෙයි. එය ශෛලමය බිත්තියේ පහළ සිට ඉහළට යොමු වූවකි. අංක 08 රුව මඟින් දැක්වෙන ඊ හිස, ඉහත සඳහන් ඊ හිසට වඩා පුළුල් රේඛාවකින් ඇඳි, ශෛලමය බිත්තියේ පහළ දෙසට යොමු වූවකි. මේ සටහන් මඟින්, ඔවුන් භාවිත කළ ආයුධ, එනම් හෙල්ල හා ඊ තලය වැනි දේ නිරූපණය කරන්නට ඇත. ආදිවාසි ජන සමාජය තුළ ඊ හිසක සලකුණ, සිය අයිතිය අන් අයට හැඟවීම පිණිස ද යොදාගැනිණ. මේ රූප සටහන් මඟින්, ඇතැම් විට එවැන්නක් සන්නිවේදනය වූවා විය හැකිය.

    කවාකාර හැඩතලයක් ද මේ ගුහා චිත්‍ර අතර දක්නට ලැබෙයි. එය, කොටස්වලට බෙදන ලද වෘත්තයක රුවක් ලෙස හඳුනාගත හැකිය. මෙය, ඔවුන් පරිහරණය කරන ලද ‘මලු දෙම’ ලෙස ද අදහස් කළ හැකිය. ආදිවාසි ජනයා බුලත්, පුවක් වැනි දේ බහා ලීමට මේ ‘මලු දෙම’ යොදාගත්හ. වර්තමානය වන විට මේ සිතුවම ඇඳ ඇති ශෛලමය බිත්තියේ, තෙත සහිත ස්වරූපය හේතුවෙන් එහි ස්වරූපය නිවැරදිවම නිශ්චය කිරීම අපහසුය. ප්‍රාථමික ශෛලියේ ගුහා චිත්‍ර පිළිබඳ විමසා බලන විට, ඒවා ඇඳීම සඳහා භාවිත කරන ලද ප්‍රධාන ක්‍රම දෙකක් දක්නට ලැබේ. එනම්, ඇඳීම හා සීරීමය. සංගමන්කන්දේ ගුහා චිත්‍ර නිර්මාණය සඳහා ඇඳීමේ ක්‍රමවේදය යොදාගෙන ඇත. එය, මෙරට ප්‍රාථමික ශෛලි​යේ ගුහා චිත්‍ර සඳහා වැඩි වශයෙන්ම භාවිත කර ඇති ක්‍රමවේදයයි. ගල් තලාවක් මත චිත්‍ර ඇඳීම පූර්ව සූදානමකින් කළ යුත්තකි. ඊට පූර්ණ අවධානයක් සහ මනා සංයමයක් ද අවශ්‍යය. සංගමන්කන්දේ චිත්‍ර සටහන් විමසා බැලීමේදී මේ චිත්‍රවල මෙකී ලක්ෂණ අඩංගු බව විශද වෙයි. මෙහි මානව රූප හා සත්ත්ව රූප ඉතා පැහැදිලිව නිරූපණය කර තිබීම ඊට උදාහරණ සපයයි.

    මේ සිතුවම් පිළිබඳ සංසන්දනාත්මකව විමසා බැලීමේදී, ඒවා අතැඟිලි උපයෝගි කරගෙන ඇඳි බවක් දක්නට ලැබේ. මෙහි දැක්වෙන සිහින් ඊ හිස සහිත රුව (අංක 07 රූපය), ඇඟිල්ලක තවරා ගත් අළු වැනි මාධ්‍යයක් භාවිත කරමින් අඳින්න ඇත. මේ සටහනෙහි ඇත්තේ, සිහින් රේඛාමය ස්වරූපයකි. මෙහි දැක්වෙන පුළුල් රේඛාවක් ලෙස විහිදෙන ඊ හිස සහිත රුව (අංක 08 රූපය), අත්ලෙහි තවරාගත් මාධ්‍යයක් භාවිත කරමින් සටහන් කර තිබේ. ඇතැම් විට එය හෙල්ලක ස්වරූපය හා ඊ තලයක ස්වරූපය අතර වෙනස දැක්වීමට ආදිවාසීන් ගත් උත්සාහයක් විය හැකිය.

    මේ චිත්‍ර සටහන් මඟින්, ක්ෂේත්‍ර ගැඹුර පිළිබඳ යම් අදහසක් ඉදිරිපත් කිරීමට ද ආදිවාසීන් උත්සාහ දරා ඇත. මෙහි දැක්වෙන සත්ත්ව රූප අතරින් අංක 03 රූපය මඟින්, එකිනෙකාට ආසන්නයේ සිටින සතුන් දෙදෙනෙක්, ද්විමාන රළු තලයක නිරූපණය කර ඇත. මෙහිලා එක් සතකුට ඔබ්බෙන් අනෙක් සත්ත්වයා සිටින බව නිරූපණය කිරීමට උත්සාහ දරා ඇත. මේ චිත්‍ර සටහන් සියල්ල පිළිබඳ විමසා බලන විට, ඒවායින් හෙළි වන සන්නිවේදනාර්ථ කිහිපයක්ම හඳුනාගත හැකිය. මේ සටහන් එම යුගයේ විසූ මානවයන්ගේ අව්‍යාජ නිර්මාණය. ඔවුන්, තමා අවට දක්නට ඇති දෑ හෝ සිය අත්දැකීම් මෙලෙස චිත්‍රයට නැඟීය. එබැවින් මේ ගුහා සිතුවම් මෙරට එක් කාල සීමාවක විසූ ජනකොට්ඨාසයක සමාජීය තතු විවර කරන ප්‍රකාශන ලෙස හඳුනාගත හැකිය. මේවා මඟින් හෙළි වන්නේ, ප්‍රාථමික කුරුටු චිත්‍ර කලාවක ආරම්භයයි. එමඟින්, ආදි මානවයා සතු සන්නිවේදන ශක්‍යතාව විවරණය වෙයි. එබැවින්, සංගමන්කන්දෙන් හමු වන මේ ආදිවාසි චිත්‍රසටහන් මෙරට මානව සන්නිවේදනය අද දක්වා වර්ධනය වීමේ ඓතිහාසික ගමන් මඟේ සුවිශේෂ කාල පරිච්ඡේදයක් නියෝජනය කරයි.

     

    දුමින්ද ජයවර්ධන

    Latest Posts

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    අඟුලාන උතුරත් දකුණත් හුදෙකලා බවින් නිදහස් කරයි

    අඟුලාන උතුර හා අඟුලාන දකුණ යන ග්‍රාම සේවා වසම් දෙක හුදෙකලා බවින් නිදහස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.   නිරෝධායන...

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.