ඇතුගල්පුර රාජධානියේ විසිතුරු කියාපාන ‘කුරුණෑගල විස්තරය’

0
17
කුරුණෑගල - බ්‍රිතාන්‍ය සිතියම

ලංකාවේ පස්වැනි රාජධානිය වශ‍යෙන් සැල‍කෙනු‍යේ කුරුණෑගල, නැති නම් ඇතුගල්පුරයයි. මහා පර්වත තුනක් ආශ්‍රයෙන් ‍ගොඩනැඟුණු කුරුණෑගල රාජධානිය නිල වශ‍යෙන් ආරම්භ වනු‍යේ වත්හිමි බුව‍නෙකබාහු, එසේත් ‍නැති නම් දෙවැනි බුව‍නෙකබාහු (ක්‍රි.ව. 1393-1398) නමින් හැඳින් වූ රජු‍ගේ මූලිකත්ව‍යෙනි.‍ පො‍ලොන්රු රාජධානිය බිඳවැටී‍මෙන් පසු කාලිංග මාඝ ආක්‍ර‍මණවලට මුහුණ දී ගත ‍නොහී, දළදා වහන්සේ ‍කොත්ම‍ලේ පුසුල්පිටි‍යේ සඟවා තැබූ කාලවකවානුවක දෙවැනි විජයබාහු ‍නො‍හොත් වත්හිමි විජයබාහු රජ‍ු දඹ‍දෙණිය සිය රාජධානි ‍කර‍ගෙන ඇති කළ නව යුගය ලංකාවේ අනාගතයට ‍බෙ‍හෙවින්ම වැඩදායක විය. එහෙත්, දඹ‍දෙණි රාජධානිය පැවතුණේ ඉතා ටික කලක් පමණි. ඉන් පසු යාපහුව බලකොටු නගර‍යේ ආරක්ෂක රැකවල් මැද දළදා වහන්සේ තැන්පත් කර තිබූ අතර, විවිධ සතුරු බලවේග ක්‍රියාත්මක වී දළදා වහන්සේ පැහැරගන්න ‍පවා ක්‍රියා කර ඇත.

පසුව මේ සියලු සතුරු කරදර ඉවත් ‍කරගෙන, දළදා වහන්සේ නැවතත් කුරණෑගලට වැඩමවා, නව රාජධානියක් ස්ථාපිත කිරීමට කටයුතු යෙදිණි. දළදා වහන්සේ කුරුණෑගලට වැඩමවන අතරවාර‍යේ, නගරයට ආසන්න‍යේ පිහිටි රත්කැරැව්වේ නමැති අනුරාධපුර යුගයට අයත් පැරැණි පුදබිමකදී දළදා වහන්සේ ප්‍රාතිහාර්යය පෑම, කුරුණෑගල ස්වර්ණමය යුගය ගැන කියාපෑ අනාවැකියක් විය. කුරුණෑගල ජනාවාසයට ඈත අතීතයක් ති‍බෙන බව, නගරය අසල විල්බා දනවුවේ පවතින කුවේණි පුරාවෘත්තය මඟින් පැහැදිලි වේ. පර්වතවලින් ලැ‍බෙන ආරක්ෂාව, හාත්පසින් ගලන සිසිල් දිය දහරා හරස් කර බඳවා ලූ වැව් සහ කුඹුරුවල සශ්‍රීකත්වය, මනරම් වන උයන් දැක සැනහුණු ජනීජනයාට නායකත්වය දුන් ප්‍රභූ දනන් නිසා කුරුණෑගල රාජධානිය යනු ඉතිහාස‍යේ යම් සන්ධිස්ථානයක් බඳුය. මේ රාජධානි‍යේ පිහිටීම සහ ‍සේවා පිළිබඳ ලියවුණු පැරණිතම විස්තරයක් වනු‍යේ, 13 වැනි සියවසේදී ලියවුණු ‘කුරුණෑගල විස්තරය’ යි. මේ එහි දක්වා සිටින ‍තොරතුරු සමුදායයි:

“හිරු නමස්කාර කරන ගල පිට පහුරු සතරක් හා ගල උඩ මාලිගා සතරක් හා ගල පහළ පහුරු සතරක් නුවරට ආධාර බැම්මක් හා කුරුමිණියාගලට පහතින් අසූ රියන් මහ ගබඩාවක් හා සැත‍පෙන මාලිගා‍වෙ සිට ඉබ්බාගලට පන්තිස් බඹයක් හා සැත‍පෙන මාලිගා‍වේ සිට බස්නා අතට ති‍බෙන මහ ගල් තාප්පෙ විසි බඹයක් හා සැත‍පෙන මාලිගාවෙ සිට දකුණු දිශාවට ති‍බෙන නිරාවිය ‍දො‍ළොස් බඹයක් හා ඌරාළින් තුන්සියයක් හා මහබල ඇමැතියන්ගේ ‍ගෙවල් පන්සීයක් හා නළු නාටක ස්ත්‍රීන් වසන ‍ගෙවල් පන්සීයක් හා රදා ‍ගෙවල් අට සීයක් හා තුන්සීයක් ‍බෙරවා ‍ගෙවල් හා අටසීයක් බඩහැල ‍ගෙවල් හා සත්සීයක් දඬුබඩු ‍ගෙවල් හා නවසීයක් නවන්දන්න වූ ආචාරි ‍ගෙවල් හා අස්පන්ති හතරක් හා ඇත් පන්ති තුනක් හා දඩ මී‍ගොන් පන්ති ‍දෙකක් හා කුරුල්ලන් මඩුවක් හා කුක්කන් මඩුවක් මහවල කඩු හරමයන් සියයක් හා හස්තයට ගත් ‍නෙළුම් මල ‍සෙ නුවර සතර වීදි තැනී ති‍බෙන්නේය.

දළදා මාලිගාවේ පියගැටපෙළ

“දකුණු දිශාවට ති‍බෙන නිරාවියට පහළින් ගල් බැඳි ළිඳ ද උල්පැන් ළිඳ ද සැත‍පෙන මාලිගා‍වෙ සිට බස්නා අතට මහ දුනු සියයක් ගිය තැන විල් ‍තෙරක් ද ඒ විල වට සපු, දුනු‍කෙ, නා, පනා, සිහිනිද් ද, ‍බෝලිද්ද, සමන්, බඳු වද, ‍පෙතන්, ගිනිහිරිය, ‍කො‍බෝලීල, කට‍රොලු, පිච්ච මල් ගැවසුණාය.‍ මෙ‍සේ මහදුනු සියයක් ගිය තැන දළදා මාලිගාව ද ඒ තැන සිට නැ‍ඟෙනහිරට නව බඹයක් ගිය තැන කළුග‍ලෙන් සත් රියනක් ‍කොටා, විසි එක් දහසක් මසුරන් තබා, උඳු බිඳක් පමණ බිඳලූ ශරීර ධාතූන් වහන්සේ ද එතැන සිට අගලින් එ‍ගොඩ මහා ‍දේවා‍ලේ ද ඊට බස්නා අතින් හැට බඹයක් ගිය තැන නාථ ‍දේවා‍ලේ ද ඊට හැට බඹයක් ගිය තැන කතරගම ‍දේවා‍ලේ ද උඩවහල වත්ත ආරාධනා මළුවය.

“පල්ලෙ වාහල වත්තෙ වී ගුලය. උඩගන් පල්ලෙ ගන් පහ කටුබුරුල්ලෙ ගන් දහය ද, එහස්ති පුර නුවර බස්නා අත බමුණු වීදිය ද උතුරු දිගට මහ වීදිය ද, එනුවරට පර්වත තුනක් ආධාරව ති‍බෙන්නාය. බස්නා අතින් අඟංගලය. නැ‍ඟෙනහි‍රෙන් ලූනු කැටියා ගලය. උතුරු දිගින් ආඳාගලය. එනුවරට දකුණු දිගින් වීරබාහු ගමය. නැ‍ඟෙනහිරට මිල්ලව යන ගමය. උතුරු දිගට කටගමුව යන ගමය. බස්නා අතින් තිත්තවැල් ගමය. එනුවර වැව් හතරක් ආධාරව ති‍බෙන්නේය. බස්නා අතින් විල්ගොඩ වැවට හැතැක්මක් ද දකුණු දිග වේනරු වැව හැතැක්ම ‍දෙකක් ද බස්නා අතින් තිත්වැල්ලෙ වැව හැතැක්ම ‍දෙකක් ද උඩවත්තෙ වැව නුවරට සමීපවය. කිඹුල් ‍කොටුවට පහළින් ගල් පාලම ද සැත‍පෙන මාලිගාවෙ සිට දකුණු දිගට ති‍බෙන නීරා ‍දොළසේ භාගය ද ඊට බස්නාතින් ගල් බැඳි ළිඳ ද ඇතුගල පිට ගල බැඳි ‍පොකුණ ද හුනුපොළට මෙපිටින් ගල් බැඳි ළිඳ ද ‍මෙතැන උණු පැන් පණිවුඩ තැනය. කරල්යාවලට පහළින් කයිකාවල කඩවත පීලිකඩ කඩවතද, මරලුවා‍වෙ කඩවත ඌරුපාකඩේ කඩවත ද කල‍හො‍ගෙදර කඩවත ද වදාක‍ඩෙ කඩවතද ති‍බෙන්නේය.”

ඉපැරණි ගල් කැටයම්

මේ විස්තර‍යේ සඳහන් ‍බො‍හෝ නම්-ගම් අද වන විට මැකී ‍ගොසිනි. එයට ‍හේතුව, නගර‍යේ පවතින ඉඩම්, බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ක්‍රමානුකූලව ‍වෙන්දේසි කිරීමය. ඔවුන්ගේ පරිපාලන මධ්‍යස්ථානයක් වශ‍යෙන් නගරය දියුණු කිරීම ද ‍කොළඹ-අනුරාධපුර මාර්ගයත්, දඹුලු මාර්ගය තැනවීමත් ‍හේතු ‍කොටගෙන ‍මෙය සිදු විය. ඉහත කී කුරුණෑගල විස්තරය අනුව, රජු‍ගේ මාලිගය පිහිටා තිබී ඇත්තේ, ඇතුගල මුදු‍නේය. මාලිගා සතරක් ගැන ‍මෙහි සඳහන්ය. එහෙත්, මාලිගාවල නටබුන් අද වන විට ප්‍රමාණවත් පරිදි දැකිය ‍නොහැකිය.‍ මේ විස්තර‍යෙහි, සැත‍පෙන මාලිගය යනු‍වෙන් දැක්වෙන ස්ථානය, ගල පාමුල දැනට පැරණි කච්චේරිය පිහිටා ති‍බෙන භූමිය වන බවට නිසැකය. පැරණි බ්‍රිතාන්‍ය නිලධාරීන්ගේ සටහන් අනුව එය අපට ‍තේරුම් ගත හැකිය. එම මාලිග‍යේ නටබුන් පදනම් භාවිත ‍කොට කච්චේරි ‍ගොඩනැඟිල්ල තනවා ඇති බව පැහැදිලිය. මාලිගයට නුදුරින් මහදුනු සියයක් ගිය තැන, දළදා මාලිගය පවතින බව කියා තිබේ. 2011 වසරේදී දළදා මාලිගයැයි දැන් හඳුන්වන වයඹ පළාත් සභා ‍ගොඩනැඟිල්ල අසල ති‍බෙන ගල් උළුවස්ස වටා, ග‍ඩොළු බැමි විය. දැන් එය නැත. පඩි‍ පෙළ ‍වෙනම පවතී. මේ උළුවස්ස, දළදා මාලිගයක ‍කොටසක් ද? යන්න තව දුරටත් විමර්ශනය කළ යුතුය.‍ මේ ස්ථානයට නුදුරින් වූ ගල් තලාව මත කැපූ, කුඩුම්බි වළවල් කීපයක් හා ගල් පඩි කීපයකි. පැරණි මිනුම් ක්‍රම අනුව ‘මහ දුන්නක්’ යනු, මහ බඹ හතරකි. බඹයකට අඩි හයකි. එවිට මහදුනු සියයක් යනු අඩි හයසියයකි. මේවා පිළිබඳ ගවේෂණාත්මක විමර්ශනයක් කිරීමට, මේ මිනුම් ප්‍රයෝජනවත්ය. දැනට පුරාවිද්‍යා ‍දෙපාර්තමේන්තුව මඟින් ගල් උළුවස්ස සමීප භූමි‍යේ කැණීම් ආරම්භ කර තිබේ.

සතරවැනි පරාක්‍රමබාහු රජ සම‍යේ දී, කුරුණෑගලට සතුරු ආක්‍රමණයක් එල්ල වූ බව, නාරන්බැද්ද ‍සෙල් ලිපි‍යෙන් දැනගත හැකිය. ඒ අවස්ථාවේ බො‍හෝ තැන් විනාශ වන්න ඇත. අනතුරුව ගම්පොළට රාජධානිය ‍ගෙන යෑ‍මෙන් පසු කුරුණෑගල ශ්‍රීවිභූතිය අවසන් වන්න ඇත. බ්‍රිතාන්‍ය පාලන සම‍යේ උඩරට වැසියන් සහ සත් ‍කෝර‍ලේ වැසියන්, ඉංග්‍රීසි ආණ්ඩුවට එදිරිව කළ අරගල‍යේදී කැරලිවලට මුහුණ දීම සඳහා බ්‍රිතාන්‍ය හමුදාව සිය වාසස්ථාන වශ‍යෙන් කුරුණෑගල නගරය ‍තෝරාගෙන තිබේ. අනතුරුව, දහනව වැනි සියව‍සේ අග භාග‍යේදී, පළාත් පාලන ආයතන – එනම්: වර්ෂ 1892දී නගර සභා සහ ‍ලෝකල් බෝඩ් නම් පාලන ආයතන – ඉංග්‍රීසින් විසින් බිහි කරන ලද්දේ, නගරවල සනීපාරක්ෂක කටයුතු විධිමත් කරලීමටය. ඒ අනුව, කුරුණෑගල නගර‍යේ වරින් වර සිදු කළ වැඩිදියුණු කිරීම්වලට ඉංග්‍රීසීන් අත ගසා තිබෙන බව පැහැදිලිය. ඔවුන්ගේ පරිපාලන ‍ගොඩනැඟිලි සංවර්ධනයට මුල් තැන ලැබී ඇත. රජු‍ගේ සැත‍පෙන මාලිග‍යේ කොටස් ගලවා දමා, ඒ අසල කච්චේරි ‍ගොඩනැඟිල්ල තැනූ බව පැහැදිලි වන සාක්ෂ්‍ය එමටය. එ‍සේම, පැරණි ‍ගොඩනැඟිලිවල ගල් ගලවා, නගර‍යේ කානු පද්ධතිය සකස් කළ බවට හැඟ‍වෙන ලියවිලි කිහිපයක්, ‍‘ලෝකල් බෝර්ඩ්’ වාර්තාවල දක්නට ලැබේ.

ඉන් පසු නගරයට ජලය සැපයීම ගැන ඔවුන් උනන්දු වී ඇත. ගල මුදු‍නේ සිට ගලන සිසිල් දිය, දිය ඇල්ලක් ‍මෙන් පහළට වැටී, දිය ගලා ගිය මනරම් පරිසරයක් කුරුණෑගලට තිබිණි. හතර වටේ වැව් හතරකි. වේනරු වැවත්, උඩවත්ත වැවත්, තිත්තවැල්ල වැවත් (සාරගම) අදටත් ජීවමානව තිබේ. එහෙත් විල් ‍ගොඩ වැව, මැද මී ගහ වැව මෙන්ම ‍කොකටියාව යන වැව් විනාශ වී, ඒ මත ‍ගොඩනැඟිලි ඉදිව ති‍බෙන ආකාරය දැකිය හැකිය. විල්ගොඩ වැව සෑදී ඇත්තේ විල් පහක් එකතු වී‍මෙනි. වේනරු වැව පිළිබඳ අගනා පුරාවෘත්තයක්, බ්‍රෝහියර් විසින් දක්වා තිබේ. ඒ මෙ‍සේය:

දළදා මාලිගාවේ උළුවස්ස
 

“පුරාණ‍යේ එක් නියං සමයක වැව් සියල්ල හිඳී ගිය නමුත්, වේනරු වැව පමණක් ජල‍යෙන් පිරී තිබිණි. මේ නිසා, අලි-ඇතුන් සහ වනසීපාවුන් විශාල ප්‍රමාණයක් වතුර බීමට පැමි‍ණෙන්න පටන් ‍ගෙන ඇත. මිනිසුන්ට වතුර හිඟ වන්නට පටන් ගැනුණු ‍හෙයින්, එක්තරා මහලු කාන්තාවක විසින් ‍කොළ පැලැල්ලක් වියා, වැව ආවරණය කරන ලදි. එහෙත් මේ පැලැල්ලත් කඩාගෙන පැමිණි අලි-ඇතුන් නිසා ‍කෝපයට පත් කාන්තාව, ශාපයක් ක‍ළේ ලු. ඒ ශාපය නිසා, අලි-ඇතුන් ගල් වී, ඇතුගල සැදුණු බව ද කියයි. ‍කොළ පැලැල්ලෙන් ආවරණය වූ ප්‍රදේශ‍යේ පිහිටි කන්ද, අදටත් ‍කොළ පැලලි කන්ද ‍ලෙස ව්‍යවහාර ‍වෙයි.”

වර්තමාන කුරුණෑගල නගර‍යේ පිහිටි වැව ‘උඩවත්ත වැව’ ‍ලෙස කුරුණෑගල විස්තර‍යේ දක්වා තිබේ. පසු කාල‍යේ එයට ‘රන්තලි‍යේ වැව’ යැයි කීවේ වත්හිමි කුමරුගේ කාල‍යේ රන් තලියක් මතු වීම නිසා‍ලු. වැවේ සොරොවු දෙකක් ක්‍රියාත්මකව තිබී ඇත. මෑත කාල‍යේ ‍මේ වැව පිළිසකර කරන විට වසර 900ක් පමණ පැරණි යැයි සැල‍කෙන, අඩි 32ක් දිග කුඹුක් දැවමය විශාල ඔරුවක් මතුව තිබේ. එය දැනට පුරාවිද්‍යා කාර්යාලය අසල තැන්පත් කර ඇත. වැවේ වාන පිහිටා තිබී ඇත්තේ යන්තම්පලාව පැත්තෙනි. ‘වාන වීදිය’ යැයි නාමයක් තවමත් දක්නට ඇත. පුරාණ ‘රජපිහිල්ල’ රජුන් ස්නානය කළ තැනයි. ඒ ස්ථාන‍යේ ද ඇත්කඳ විහාරය අසල ද පැරණි ළින් ‍දෙකක් තිබී ඇත. 1883දී ‍මෙය අලුත්වැඩියා කර ඇත. ඊට අමතරව 1895දී අධිකරණ කාර්යාල භූමි‍යේ තිබූ ළිඳක් ඉංග්‍රීසීන් විසින් ප්‍රතිසංස්කරණය කර තිබේ. එ‍සේම වසංගත ‍රෝහල් භූමි‍යේ තිබූ ළිඳක් ද පිළිසකර කර තිබේ. කුරුණෑගල විස්තර‍යේ සඳහන් පැරණි ළින් රාශිය ගැන සාක්ෂ්‍ය අද වන විට ඉතා අවමය.

උඩවත්ත වැ‍වෙන් ගලන ඇළ, ‘වාන් ඇළ’ වශ‍යෙන් ද වේනරු‍වෙන් ගලන ඇළ, ‘බූ ඇළ’ වශ‍යෙන් ද හඳුන්වනු ලැබේ. ඒ ඇළ දෙකම එක්ව මගුරු ඔයට වැටේ. මල්කඩුවාව යැයි ව්‍යවහාර වන ‍පෙ‍දෙස පැරණි විලකි. රජුට මල් ‍නෙළා‍ගත් මේ විල දැන් දක්නට නැත. ‍කොකටියාවත්, මැදමීගහ වැවත් මේ ආසන්න‍යේ ති‍බෙන්න ඇත. හකුරුකැටියාව නමින් වූ තවත් වැවක් තීබී ඇති බවට සාක්ෂ්‍ය හමු‍ වෙයි. පැරණි නගරයට පිවි‍සෙන කඩවත් අතරින් නුවර පා‍රේ ඇළ ආසන්න‍යේ පවතින පිළීකඩ කඩවත, මරලුවාවේ කඩවත සහ වදාක‍ඩෙ පමණක් අද නාමික වශ‍යෙන් ජීවමානය. නුවර පැත්තට යනවුන් පිළී උනා ඇ‍ළෙන් එ‍ගොඩ වූ‍යේ, පිළීකඩව‍තේදීය.

 

1890 සිටම ඉංග්‍රීසීන් නගරය ‍ගොඩනැඟීමට ‍බො‍හෝ ‍දේ කර ඇත. ඉඩම් ‍වෙන්දේසිවල දී වැඩි ප්‍රමාණයක් මිල දී ‍ගෙන ඇත්තේ, මුස්ලිම් වාණිජයෝය. ඔවුහු පසු කාල‍යේ ‍ලෝකල් ‍බෝඩ්හි ප්‍රධාන සාමාජිකයෝ වූහ. මෑතකදී කඩා බිඳ දමන ලද පැරණි නගර ශාලා ‍ගොඩනැඟිල්ල ගැන මීට පෙර අගනා ලිපියක්, ධ‍නේශ් ‍විසුම් පෙරුම මහතා විසින් පුවත්පත් අති‍රේකයකට සපයා තිබිණි. මේ ‍ගොඩනැඟිල්ල ආසන්න‍යේ දඹුලු මාර්ගය පුළුල් කිරීමේදී දැමූ ‍කොන්ක්‍රීට් කානුව හෑරීමේදී පැරණි ගල් කානුවක ‍කොටස් හමු විය. මේවා පැරණි ගල් තලා බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ. 1892 සිට කළ නගර සංවර්ධන කටයුතුවල දී ඉංග්‍රීසීන් විසින් සාදවන ලද කානු පද්ධති‍යේ ‍කොටසක් ‍ලෙස ‍මෙය හැඳින්විය හැකිය. ‍මෙවැනි කානු රාශියක් නගරය පුරා 1907 දක්වාම සාදවන ලද බව ‍ලෝකල් බෝඩ් වාර්තා ‍මෙන්ම, කුරුණෑගල කච්චේරි වාර්තා මඟින් ද පැහැදිලි වෙයි.

නෙළුම් මලක පෙති ලෙස විහිදී ගිය වීදි අතුරින් එක් පෙත්තක වීදි යුගලක් පමණක් අද වන විට දක්නට ඇත. විශාල ඉතිහාසයක් ති‍බෙන නගරයක පැරණි ශ්‍රී විභූතිය ‍මෙන්ම එහි නටබුන් වූ ‍කොටස් ගැන විධිමත් ගවේෂණයක් ‍මෙ‍තෙක් සිදු කර ‍නොතිබීම ඛේදජනකය. ‍මේ ලිපිය එවැනි විමර්ශනයකට මඟ ‍පෙන්වීමක් වේවා!

(විශේෂ ස්තුතිය: සුදත් බණ්ඩාර, තමලු අකලංක හා චාමරට)

 මතුගම ‍සෙ‍නෙවිරුවන්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here