එංගලන්ත පිලේ පාකිස්තාන සංචාරය තවත් කල් යයි

0
11

වසර 15කට පසු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සැලසුම් කර තිබූ පාකිස්තානයේ තරග සංචාරය තවදුරටත් කල් දැමීමට සිදු වී ඇතැයි වාර්තා වේ.

විස්සයි20 තරගාවලියක් ලෙස ලබන වසරේ ජනවාරි – පෙබරවාරි කාලය තුළ පැවැත්වීමට නියමිතව තිබූ මේ තරගාවලිය එම වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට දැන් අවධානය යොමුව තිබේ.

මේ කාලය තුළ එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් කිහිප දෙනකුට තරගාවලියට එක්වීමට නොහැකි වීමත්, එම කාලය තුළ තරගාවලිය පැවැත්වීම සඳහා දෙරටේ ක්‍රිකට් ආයතනවලට විශාල පිරිවැයක් දැරීමට සිදු වීමත් මීට හේතු වී ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසයි.

එබැවින් ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේදී එම තරගාවලිය පැවැත්වීමට අවධානය යොමු වී තිබේ.

එළැඹෙන ජනවාරි මාසයේ එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බැවින් මේ තරගාවලියට හිමිවන කාලය සීමිත වීමත් එංගලන්ත විස්සයි20 කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනකු බිග්බෑෂ් ලීග් තරගාවලියට එක්වීමට ගිවිසුම් අත්සන් කර තිබීමත් නිසා තරගාවලිය කල් දැමීම එකම විකල්පය බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ අවධාරණය කරයි.

කරච්චි ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත එම තරගාවලිය සඳහා එංගලන්ත ක්‍රීඩකයන් වි⁣ශේෂ ගුවන් යානයකින් ගෙන්වා ගැනීමට සිදු වීම හා ඔවුන්ට පුහුණුවීම් සඳහා ඩුබායි ක්‍රීඩාංගණය වෙත යෑමට සිදු වීමෙන් දෙරටේම ක්‍රිකට් ආයතනවලට විශාල පිරිවැයක් දැරීමට සිදු වනු ඇත.

ඔක්තෝබර් මාසය තෙක් තරගාවලිය කල් දැමීමෙන් ලෝක කුසලාන තරගාවලියට එක්වන පූර්ණ එංගලන්ත සංචිතය සමඟින් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවන බව දෙරටේ ක්‍රිකට් ආයතනවල අදහස වී තිබේ.

එංගලන්ත කණ්ඩායමක් අවසන් වරට 2005දී පාකිස්තානයේ තරග සංචාරයක නිරත වූ අතර, මෙවර සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ පාකිස්තානය තුළ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ සුරක්ෂිත බව තහවුරු කිරීමය.

2009 වසරේ ලාහෝර්හිදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ පාකිස්තානයේ අන්තර්ජාතික තරගාවලි සියල්ල නතර විය. ඉන් වසර 10කට පසු යළිත් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව පාකිස්තානයට රැගෙන ගියේ ද ශ්‍රී ලංකා කණ්ඩායම විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here