ඔබේ ගී හඬ ඇසෙන්නෙ නැහැ

0
15
සවන් පිනවන්නෙ නැහැ…
නොවැම්බර් 19, 2020

පෝල් අයියා මොකද කසාදයක් කරගත්තෙ නැත්තෙ?

අප සරසවිය පුවත්පත මඟින් සංවිධානය කළ සංගීත ප්‍රසංගයකට ත්‍රිකුණාමලයට යන අතරතුර දී පෝල් ප්‍රනාන්දුගෙන් අපි එලෙස විමසුවෙමු.

මොන කසාදද මල්ලි…

මේ ජීවිතයේ ඔහොම්මම ගෙවිලා යයි. තනියට යාළුවෝ ඕනතරම් ඉන්නවා. එදා ඔහු කීවේ සැහැල්ලුවෙනි. ඒ සුන්දර සැහැල්ලුව මියන තෙක්ම ඔහුගේ සිතෙහි තිබුණි. කොරෝනා වසංගතයේ කෙරෙහි මිනිසුන්ගේ සිත් යොමු වී තිබෙන කාලෙක පෝල් ප්‍රනාන්දු නැමැති ඒ ආදරණීය ගායකයා රහසේම නික්ම ගොස් සිටියේය. පෝල් ප්‍රනාන්දු කවුදැයි ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. කිසියම් කෙනෙක් ඔහුගේ මුහුණ හෝ නම නොහඳුණ සිටියද පෝල් ගැයූ ගීත නොඅසා තිබෙන්නට නුපුළුවන. එතරම්ම ඒවා නිතර දෙවේලේ ඇසෙන ගීතය. වසර පනහකට ආසන්න කාලයක් ප්‍රසංග වේදිකාවේදීද ඔබ හමුවුණු පෝල් සුවිශේෂී කටහඬක් සහජ උරුමයෙන් ගෙන ආ අයෙක් කියා කිව්වොත් වැරැදි නැත. සඳපාන වගේ ඔබෙ රුව දිලිසිලා ගීතය සිය දහස් වරක් ඇසූවද නැවත නැවතත් අප සවන් සිප ගන්නවාට කැමති එහෙයිනි. පෝල්ට තිබුණේ ගැඹුරු කට හඬකි. එමෙන් ම ගැයූ ගීත ද එකිනෙකට වෙනස්ය. තරුණ පෝල්ට නළුවෙකුට තරම් ආකර්ෂණීය රුවක්ද තිබිණ.

1951 උපන් පෝල් ගීත ගායනයට අවස්ථාවන් හොයමින් සිටි කාලයක් විය. එමෙන්ම එකල ඔහුට රාජේශ් ඛන්නාගේ පිස්සුවක්ද තිබිණි. ඔහු කොණ්ඩය සැකසුවේ ගමන් විලාසය හදා ගෙන තිබුණේ ඒවා විදිහටය. 1960 දශකයේ අග භාගයේ පමණ මොරටුව බෞද්ධ මන්දිරයේ දී ආධුනික ගායන තරගයක් පැවැත්විණි. ඒ වග ආරංචි වූ පෝල් ද එතැනට ගොස් සක්මන් කරමින් හිටියේ තමන්ට ද අවස්ථාවක් සොයා ගැනීමේ අටියෙනි. විවිධ ආධුනිකයන් වේදිකාවට නැඟ ගීත ගයා බැස යද්දී තමන්ගේ වාරය උදාවන තුරු පෝල් ඇඟිලි ගනිමින් සිටියේය. තමන්ගේ නම කියවෙන ඇසුණු පෝල් ක්ෂණයකින් වේදිකාවට නැඟ ගැයුවේ එම්. එස්. ප්‍රනාන්දුගේ ඉතා ජනප්‍රිය ගීතයක් වූ අශෝක මල් මාල නෙලාලා ගීතයයි. පෝල්ගේ වාසනාව පෑදෙන්නේ එතැනිනි. තවත් අයුරකින් කිව්වොත් එම ආධුනික ගායනා ප්‍රසංගය පෝල්ගේ සංගීත ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය. ඔහු ගීත ගයා ප්‍රසංග වේදිකාවෙන් පහළට බසිනවාත් එක්කම එක්තරා පුද්ගලයෙකු ඔහු ළඟට පැමිණියේය. ගැඹුරු හඬින් ගී ගැයූ පෝල්ගෙන් ඔහු විමසුවේ, ඒ ගීතය ගැයුවේ තමන්ගේම කටහඬින් ද නැත්නම් මවා ගත් හඬකින් ද යන්නයි. නැත යනුවෙන් පවසා පෝල් නැවතත් අශෝක මල් ගීතයේ කොටසක් ගැයීය. පෝල්ට ඇත්තේ අපූර්ව කටහඬක් බව හඳුනා ගත් ඔහු පෝල් ඉන්නා තැන විමසා පසුවැනිදා ඔහු හමු වන්නට එනවා යැයි පවසා තාවකාලිකව සමුගත්තේය. කියූ වේලාවට පෝල් හමුවට අමුත්තා පැමිණියේ හිස් අතින් නොවේ. ඔහුගේ අතේ ගී පද රචනා කිහිපයක් විය. තමන්ගේ ජීවිතයේ වටිනාම තිළිණය එදින ලැබේවියැයි පෝල් හීනෙකින්වත් හිතන්නට නැතිව ඇත. පෝල් හමුවට පැමිණි තැනැත්තා ප්‍රියා පීරිස්‍ ය. ඔහු එදින පෝල්ට ස්වතන්ත්‍ර ගීයක් පුරුදු කළේය. ඒ සඳපාන වගේ ඔබෙ රුව දිලිසිලා නැමැති ගීතයයි. ඒ මොහොතෙහිම එම ගීතය පෝල් ප්‍රියාගේ සිත් ගන්න අයුරින් ගැයුවේය. අනතුරුව ඒ ගීතයෙන්ම සුවහසක් රසික රසිකාවන්ගේ ද සිත් ඇද බැඳ තබා තබා ගැනීමට පෝල් සමත් විය. පෝල් ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගෙනාවේ ද එම ගීතයය. ඔහු එය නොගැයූ ප්‍රසංග වේදිකාවක් නොවීය. එවන් වූ වටිනා ගීතයක් ලබාදී තමන් ගායකයකු බවට පත් කළ ප්‍රියා පීරිස් තමන්ගේ ගුරුවරයා ලෙස මහත් අභිමානයෙන් නිතර ම පාහේ මතක් කළේය.1970 වර්ෂයේ පෝල් තමන්ගේ පළවෙනි ගීත එකතුව එළිදැක්විය. එම තැටියට ගීත හතරක් ඇතුළත් විණ. සඳ පාන වගේ, රන් සමනලයා, සුදු රෝස මලක් සහ තොප්පි වෙළෙන්දා එම ගීතයන්‍ ය.

පෝල් මයික්‍රෆෝනය අතට ගෙන ප්‍රසංග වේදිකාවේ ගීත ගයන්නේ එක ස්ථානයක සිට නොව රිද්මයානුකූලව එහෙ මෙහෙ ඇවිදිමිනි. එය ද පෝල් ගී ලොව තුළ තැබූ අනන්‍යතා ලකුණක් වන්නේය.

ගොළු හදවත විවර කරන්න, රුවන් මාලිගා, එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ, ආවේ වන බඹරෙක් වාගේ, දෙමාපියන් කියන නිසා හිතුණා බඳීන්න, ප්‍රනාන්දු ප්‍රනන්දු, උසි බාබා, රන් කිරිල්ලියේ පියා සලාලා, කිරි සයුර කළම්බා, සුපුන් සඳක් අහසේ පාවුණා, සුපුන් සඳ පායලා නෑ, මාගේ පාසල් කාලය, දෝන කතිරිනා, මාගේ මාලා නැතුව සිටින්න, පාන්දරින් පාන් මාමා පාන් ගේනවා, පෝල් ගැයූ ගීත අතරින් කිහිපයක්ය. මේවා බොහොමයක් වේග රිද්මය වුවත් සරල ගීත වේ. පෝල් ප්‍රසංග වේදිකාවේ ද අතිශය කාර්යබහුල ශිල්පියෙකි. එමෙන්ම සරසවිය පුවත්පතෙහි සංගීතමය වැඩසටහනකට ආරාධනා කළොත් දිනය සහ වෙලාව පමණක් අසා වෙන කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව ඔහු පැමිණෙයි. ඒ ඔහුගේ හැටිය. ඔහු සමඟ අපි ත්‍රිකුණාමලයේ ප්‍රසංගයකට ගිය ගමන කිසි දිනක අමතක වන්නේ නැත. යම් අසනීප තත්ත්වයකින් පෙළුනත් පෝල් එය ගණන් නොගෙන අප හා ඒ ගමන යන්නට එක්විය. ඔහු එලෙස ආවේ සරසවියට ඇති ළෙන්ගතුකම නිසාමය. අසනීපය පසෙක තමා එදා ප්‍රසංග වේදිකාව දෙවනත් කරමින් ඔහු ගීත රැසක්ම ගැයීය. සුපුරුදු රංගනය ද එදිනම එලෙසම තිබිණ. සංගීත ක්ෂේත්‍රයේ පැත්තෙන් අති විශාල ජයග්‍රහණයන් සංඛ්‍යාවක් හිමිකර ගත්තත් පෞද්ගලික ජීවිතය තුළ පෝල් සදා තනිකඩයකු විය. කඩවසම් බව නිසා කාන්තා ආකර්ෂණය ද නොඅඩුව ලැබුණු බව තනිකඩ බව ගැන විමසද්දී ඔහු නොසඟවා ප්‍රකාශ කළේය. ආදර සබඳතා රැසක් තිබුණ බවත් ඒවා කෙටි කලකින් ම තමන්ට එපාවූ බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය. වෘත්තිමය ගායකයකු වූ ඔහුට ඇති තරම් ප්‍රසංග වේදිකාව සඳහාද ආරාධනා ලැබුණේය. එහෙත් ඔහු හම්බ කරගත් මුදලක් කෙදිනකවත් ඉතුරු කළේ නැත. කිසිදු විඳවීමකින් තොරව ඔහු ජීවිතය හොඳට වින්දේය.

ඕවර් ටයිම් ඕනෙත් නැහැ

පඩි වැඩියෙන් ඕනෙත් නැහැ

තියෙන ලියුම් දාලා නිකම් මාරු වෙමු මචං

කසාදයක් බැඳලත් නැහැ

ගෙදර පවුල් බරකුත් නැහැ

නටන ඕන නාඩගමක් නටමු මචං දැන්

මුණ ගැහෙනා හැම කෙල්ලට ආදරයක්

ඇතැත් නැතත් අයි ලව් යූ කියලා

හිමිං යාළු වෙමු මචං

පොරොන්දු කඩ වුණාදෙ බං

තවමත් අපි තරුණයි බං

නටන ඕන නාඩගමක් නටමු මචං දැන්

නමැති පෝල් ගැයූ එම ගීතයෙන් කියවෙන්නේ ඔහුගේ ජීවිතය කියා ද විටෙක සිතේ. ඔහු පවසන පරිදි ඔහුගේ ජීවිතය පුළුන් රොදකටත් වඩා සැහැල්ලුය. පස් දෙනෙකුගෙන් යුතු පවුලක බාලයා වූ පෝල් ජීවිතයේ අවසාන කාලය ගෙවා දැමුවේ තම වැඩිමහල් සහෝදරයකුට අයත් හෝටලයක කාමරයකය. ඔහු තමන්ව පියෙකු මෙන් බලා ගන්නා බවට ද වරෙක පෝල් පවසා සිටියේ ඔහු සමීපව ඇසුරු කළ යහළුවන් කිහිප දෙනෙකු ද සිටියේය. පෝල් තනිකම මකා ගත්තේ එම මිතුරු සමාගමෙ ඇල්ම බැල්මෙනි. ඒ පෝල් ප්‍රනාන්දු නැමැති ගායකයා සදහටම අප අතරින් නික්ම ගොසිනි. බයිලා ලොව කිරුළු පැලැන්දූ කුමාරවරුන් රැසක් සිටි කාලයක පෝල් කිරුළු නොපළන් බයිලාවේ කුමාරයා විය

 

සුපුන් සඳ පායලා නැහැ

අහසෙ රන් තරු දිලෙන්නේ නැහැ.

ඔබේ ගී හඬ ඇසෙන්නෙ නැහැ

සවන් පිනවන්නේ නැහැ….

සුර ලොව තවත් රසවත් කරන්නට තවත් එක් රසවතෙක් එලෙස මේ ලෝතලයෙන් සමුගෙන ගියේය.

පෝල් ඔබට මොක් සුව…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here