කාය වර්ධන පුහුණුකරුවන්ගේ සුදුසුකම් සෙවීමට ලබන වසරේදී ක්‍රමවත් වැඩපිළිවෙළක්

0
14

මෙරට ස්ථාපිත කර ඇති කාය වර්ධන මධ්‍යස්ථාන සංඛ්‍යාව පිළිබඳ සහ එහි පුහුණුකරුවන්ගේ සුදුසුකම් පිළිබඳ සොයා බැලීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවී තිබේ. ශ්‍රී ලංකාවේ කාය වර්ධන මධ්‍යස්ථාන කොපමණ සංඛ්‍යාවක් පිහිටා තිබේ දැයි යන්නත්, එහි පුහුණුකරුවන් සුදුසුකම් ලබා ඇත්තේ කිනම් ආකාරයෙන් ද යන්නත් ගැටලු සහගත බව අවධාරණය කරමින් අමාත්‍යවරයා ඒ පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බව කියා සිටියේය.

බෝ නොවන රෝග ඉහළ යාමේ ප්‍රවණතාවය අඩු කිරීම සඳහා ජනතාව අතරට ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම් රැගෙන යාමට හා ක්‍රීඩා සංස්කෘතියක් රට තුළ ඇති කිරීම අරමුණු කරගත් ”ශාරීරික යෝග්‍යතා සමාජ” ඇති කිරීමේ වැඩසටහනේ පළමු අදියර ලෙස බස්නාහිර පළාතේ ඇවිදින මංතීරු ආශ්‍රිතව ක්‍රියාකාරීව සේවයේ යෙදෙන ශරීර සුවතා උපදේශකවරු සඳහා පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

‘මෙතෙක් විවිධ ප්‍රදේශවල ඉදි කර ඇති ඇවිදින මංතීරු හා අය වැය තුළින් යෝජිත ඇවිදින මංතීරු 1000 කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාව පුරා ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට තිබෙන ලොකුම අභියෝගය තමයි මේ පුහුණුකරුවන් නියාමනය කිරීම සහ පුහුණුකරුවන් අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් නොතිබීම. උදාහරණයක් ලෙස ගත් විට අනෙකුත් සෑම ක්‍රීඩාවකටම ජාතික සංගමයක්, ක්‍රීඩා සංගමයක් සමග ජාතික මට්ටමේ අධීක්ෂණයක් තිබෙනවා. ඒම පුහුණුකරුවන්ට ජාතික වශයෙන් හෝ අන්තර්ජාතික වශයෙන් පුහුණුකරුවෙකු ලෙස ශ්‍රේණිගත සුදුසුකමක් තිබෙනවා. නමුත් තිබෙන ගැටලුව තමයි ලංකාවේ කාය වර්ධන මධ්‍යස්ථාන කීයක් තිබෙනවා ද? ඒහි පුහුණුකරුවන් සුදුසුකම් ලබා තිබෙන්නේ කුමන ආකාරයකට ද කියන ඒක හොයාගන්න බැරි වීම. ලබන වසරේදී ඒ සම්බන්ධව ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ තොරතුරු රැස් කිරීමක් සිදු කරන්න බලාප‌ොරොත්තු වෙනවා.‘ අමාත්‍යවරයා කීවේය.

එහිදී පුහුණුකරුවන් තම සේවය සිදු කරගෙන යාමේදී මුහුණපාන අපහසුතා පිළිබඳ සාකච්ඡා කළ අමාත්‍යවරයා ඔවුන්ගේ වෘත්තීයභාවය හා දැනුම පිළිබද කඩඉම් පරීක්ෂණ මගින් ශ්‍රේණිගත කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම, පිළිගත් හැඳුනුම්පතක් නිකුත් කිරීම, එක් පුහුණුකරුවකු සඳහා ක්‍රීඩකයකු භාර දී එම ක්‍රීඩකයාගේ ශරීරික ව්‍යායාම පුහුණුකරු බවට පත් කිරීම, අවශ්‍ය මංතීරු කෘත්‍රිම ධාවන පථ යොදා නවීකරණය කිරීම ආදී බොහෝ කරුණු කෙරෙහි අවධානය යොමු කළේය.

මේ අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී.විජේරත්න, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලාල් ඒකනායක මහත්වරුන් ද කොළඹ ප්‍රදේශයේ ශාරීරික සුවතා පුහුණුකරුවන් පිරිසක් ද සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here