ජම්බු වෙනුවෙන් ලක් කිරුළ පුද දුන් ජම්බුතිස්ස හෙවත් සංඝතිස්ස

0
21

මහියංගණ තොටමුණ අසල තුරඟ සල්පිලය. නා නා විධ තුරඟුය. එක එක පාට, එක එක වංශ අශ්වයන් සේමය. අස් රිය ද නා නා විධය. නා නා විධ තුරඟු ද නා නා අස්රිය ද බලමින්, තිදෙනම සල් වටා ගමනේය. මිතුරන් තිදෙනාගේ තුන්කොන් ආශාව පැහැරගන්නේ දුඹුරු තුරඟුන් බැඳි රක්ත තුරඟ රියටය. තුරඟ රිය මිල දී ගත් තිදෙන රියට නැඟී වට පිට බැලූහ. අස්රියට නැඟුණු විට තිදෙනාටම තමතමන් ගැන අමුතු එඩියක් නැඟුණා වැනිය. එම එඩිය හිතට ගෙනා සවිය කුල්මත්ය. හේෂාරවයක් නැඟී හාත්පස විහිද යත්ම, තොටමුණ වටා සිටි පිරිසම එදෙස බැලී. තුරඟ රියේ සිටින තරුණයන් තිදෙනා රජුන් වනැයි ඔවුන්ට සිතුණේය. වටපිට සල්වල ජනයා ද වෙළෙන්දන් බලන බැල්මට තු‍ටු සිතක්ම උපන්නේය. තිදෙනම තිදෙනාගේ මුහුණු බලා හිනැහී යළි අහස බැලූහ. වලා යායවල් සේල වාගේය. පාවි පාවී ඇදී යන්නේය. වලා සේල අහසින් නෙත් ගත් තිදෙනාගේත් නෙත් එකට හමු වුණේ නිතැතින්මය.

“කවර දෙසට ගමන් අරඹමුද?”

“අගනුවර අනුර නුවරටම මිස, වෙන කවර දිශාවටද?”

තිස්ස විමසූ පැනයට පිළිතුරු පෑවේ අභයය. බෝධි දෙදෙනාගේ පැන-පිළිතුරු සිතමින් හිනැහුණා මිස, කිසිත් නොකීය. කිසිවක් නොකියන මිතුරා දෙස මිතුරෝ දෙදෙනොම බලා සිටියහ. මිතුරා නිහඬ සිනාවේය; කිසිත් නොදොඩාම සිනාවේමය. සැලවි කුරුල්ලකු අහසින් පියාඹා මියුගුණ සෑය දෙසට පියඹා ගියේ ඒ ඇසිල්ලේමය. මියුගුණ මහ සෑයේ ඝණ්ටා නාදය හාත්පස දෙදරවා හඬ නැඟීය. සැණෙකින් මහියංගණ තොටමුණ සල් පුරා ජනී ජනයා ද එපුවත දැනගත්හ. එපුවත තුරඟ රියේ සිටින මිතුරන් තිදෙනාගේ දෙසවන් පත් වූයේ මොහොතකිනි. ඒ දෙවැනි සිරිනාග රජතුමා මිය ගිය පුවතය. වෝහාරික තිස්ස රජතුමාගේ පුත්‍රයා වූ සිරිනාග ලක් කිරුළ දැරුවේ යාන්තම් දෙවසරකි. දෙවසරක් ඇවෑමෙන් ඔහු කිරුළ ද දිවිය ද අත්හැර යන මොහොතය. ඒ මොහොතේම අස් රියක් මිලයට ගෙන එයට නැඟී, අනුර නුවරට පැමිණෙන මේ මිතුරන් සිදු වීම ගැන බොහෝ දේ සිතුවේය.

මනරම් අනුරාධ නුවරට පිවිසි විට ඔවුහු තිසා වැව් අන්තයෙන් නුවරට පා තැබූහ. තිදෙන අස්රිය තිසා වැව් ගිමන් සංහිඳෙහි නවතා, සිත්කළු නුවර සිරි දකිමින් පා ගමනින් ඇවිද යන්නට වූහ. දෙවන සිරිනාග මිය ගිය විට, එතුමාගෙන් කිරුළ ඔහු පුතු විජයිඳු හෙවත් විජය කුමාරයාගේ හිස මත ප්‍රාප්ත වන මොහොතය. තිසා වැව් අගින් නුවර පා නඟන මේ මිතුරන් තිදෙනාගේ පා හඬ සවන් පත් අන්ධ දේහනාද පණ්ඩිතයා මවිත විය. ඔහුගේ ශාස්ත්‍ර ඥානයේ අවදිය සඟවා තබාගත නොහැකි විය. දේහනාද පණ්ඩිතයාගේ මුවින් ස්වයංසිද්ධව වදන් පිට විය.

“මේ පොළො හිමියන් තුන් දෙනා පෘථිවි තොමෝව උසුලන්නේමය…”

දේහනාද පණ්ඩිතගේ වදන් ඇසුමෙන් තිදෙන තවත් කුල්මත් වූහ. එය මහියංගණ තොටමුණින් නැඟුණු හේෂාරවයටත් වඩා උණුසුම් පුවතකි; අනුරාධ නුවරට පා තබන්න සිතන විටම සිරිනාග රජු මළ පුවත ලද විට ලද උණුසුමටත් වඩා උණුසුම්ය. උණුසුමෙන් තිදෙනා විත් නතර වූයේ රාජාංගණය පාමුලය. බිහිදොර විවර විය. මහියංගණයෙන් සැපත්ව ඇති අයස්කාන්තයන් තිදෙනාම වහා කැඳවන්නැයි රජු විජය කුමාර අණ දුන්නේය. රාජකීය අණ අකුරටම ක්‍රියාවට නැංවිණි. බිහිදොර රාජ ද්වාරය අසලට කැඳවාගෙන පැමිණි මිතුරෝ තිදෙන එහි සිට රාජ මණ්ඩපයට කැඳවනු ලැබූහ. විජය කුමාර රජු එක එල්ලේම නෙත දී බලා සිටියේය. තිස්ස, බෝධි සහ අභයද නෙත් රජුට දී බලා හිඳ වැඳවැටී ආචාර සමාචාර දැක්වූහ.

“තොප තිදෙනා දු‍ටු පමණින් බැඳී ගියෙමි.”

විජය කුමාර රජතුමා ප්‍රීතියෙන් යුතුව කීවේය. රජුගේ ප්‍රීතිය කොතරම්ද යත්: මිතුරන් තිදෙනාම තම සමීපයට ගන්න තරම් මනාප සිතක් පහළ විය. විජය කුමාර රජ තුන්දෙනාවම තම රාජෝපස්ථානයට පත් කරගනිමින්, රාජ ගෘහයේම වාසි කොට ගත්තේය. මේ ක්‍රිස්තු වසරින් දෙසිය හතළිස් එක්වැනි වසරය. ලක් ඉතිහාසයේ ගෙවී යමින් තිබුණේ පටලැවිලි සහිත කාල සමයක්ය. එයට තුඩු දී තිබූ ප්‍රබල හේතුව වූයේ, මහා විහාරය සමඟ තරගකාරිව අභයගිරිය නැඟී ඒමත්, එයට ප්‍රතිවිරෝධිව මහා විහාරය නැඟී සිටීමේ ව්‍යායාමයත්ය. එය පෙරළා ථෙරවාදය සහ මහායානය අතර දාර්ශනික භේදයේ ප්‍රායෝගිකත්වය වූවේය. දර්ශනවාද ප්‍රායෝගි වූයේද තම දැක්මට අවනත දේශපාලන බලය තනාගැන්මට උත්සුක වීමෙනි. ඒ අනුව එම අරගලයෙන් ථෙරවාදය ජය ලබන්නේ විජය කුමාර රජතුමාගේ මුත්තණුවන් වූ වෝහාරික තිස්ස රජුගේ රාජ්‍ය පද උදානය සමඟය.

ඒ සමඟ අභයගිරියෙන් වෙන්ව සිටි වෛතුල්‍යවාදීහු රාජ්‍යය මර්දනයට ලක් වූහ. වෛතුල්‍යවාදීන්ගේ පරාජය සමඟ අභයගිරි භික්ෂු ප්‍රවාහයද පසුපසට විසි වී ගියේය. ඒ පරිසරය සමඟ ථෙරවාද සංඝයා වහන්සේ රාජ්‍ය බලය තම රිසි පරිදි හැසිරවීමේ තත්ත්වය උද්ගත වන්නේය. මේ තත්ත්වය රාජ්‍ය බලය සඳහා රජු හා රජුගේ සහෝදරයන් අතර ගැ‍ටුම දක්වා දුරදිග ගියේය. එහි දුරදිග පැටලීමේ කලබලය උනුනුන් මරාගන්නා වසර ගණනාවක දීර්ඝ ලේ ගලන ගැ‍ටුමක් විය. එහි ප්‍රතිඵලය වෝහාරික තිස්ස රජු මරාදමා, ඔහු සොහොයුරු බලයට ඒමට මාන බැලීමය. වෝහාරික තිස්ස රජුගේ මල්ල වූ අභයනාග ඒ සඳහා සිදු කළේ අයියාගේ බිසව සමඟ සංසර්ග රාගයේ වෙළීමය; රාගි වූ අගබිසව මාර්ගයෙන් අයියා මරා රජවීමය. මේ කුමන්ත්‍රණය යට සිටියේ බලකාමි අභයගිරියේ දේශපාලන භික්ෂූන් වහන්සේය. අවසානයේ වෝහාරික තිස්ස මරණයට පත් වී, අභයනාග රජ වූවේය. අභයනාගගේ රාජ්‍යය ඔහු ඇවෑමෙන් ඔහු පුතුට අත්පත් වීමට ඉඩ දීමට බැරිය. එය මා ගත යුතුයැයි සිතූ වෝහාරික තිස්ස රජු පුත් සිරිනාග සුළුපියාද පුතුද මරා මහා විහාරයේ දේශපාලන සංඝයා වහන්සේගේ ආධාරයෙන් බලය හිමි කරගන්තේය. මෙසේ රජ වූ සිරිනාග දෙවන සිරිනාග ලෙස රජ වී මිය ගියේ, විජය කුමාර නම් ඔහුගේ පුතුට රාජ්‍ය පවරා දීමෙනි. විජය කුමාරගේ පසඟ උපස්ථායකයන් ලෙස මෙලෙස පත් වූ මිතුරෝ දැන් සැමගේම මිතුරෝය.

තිදෙනාට හැම කල්හි සිහිපත් වූයේ අනුරනුවර පා තබන දා වූ සිදු වීමය. ඒ සැණින් හදවත් දෝංකාර නංවන්න පටන් ගත්තේ දේහනාද පණ්ඩිතගේ වදන්ය. දු‍ටුමතින්ම තමන් තිදෙනා රජුගේ මනාප රිසියන් වූයේ පෙර පිනටය. එය උදා කරගත යුතුමය. තිදෙන කාටත් රහසින් කතිකා කොට ගත්හ. තිස්ස, බෝධි සහ අභය කල් යල් බලමින් සිටියහ. රජකු රාජෝපස්ථානයෙන් සතපවමින්ම සිට පලක් නැත. රජ සුව අපම ගත යුතුය. ඒ සඳහා තිදෙන දෙකට බෙදී වාදාභිමුඛ පසමිතුරන් සේ හැසිරෙමින්, සංඝ භේදයද භාවිත කළෝය. දෙපිලේම දේශපාලන සංඝයාගේ ප්‍රාර්ථනා සිද්ධ කරන්නන් බවට මේ තිදෙන කෙමෙන් පත් වූහ.

කාලය තමන් තිදෙනාට මොහොත දී ඇති බව වැටහී ගියේය. මේ මොහොතය. තවත් කල් බලා සිටීමට හේතුවක් නොවීය. විජය කුමාර රජු සමහන් මැඳුරට පෙරදා සේම පැමිණියේය. මිතුරෝ තිදෙන මී තෙල් පහන් යාය දල්වමින් පැමිණියහ. පොකුණු තලයට පහන් සිළු එළි පතිතව තඹුරු මල් හිනැහේ. රජු, විජය කුමාර පෙර පරිදිම මනස්කාන්ත දිය සිත්තමහි දෑස ඔබා මන්මත්ව සිටියේය. මිතුරෝ තිදෙනම රජු වට කොට ගෙන ගෙල සිඳ දැමුවහ. විජය කුමාර රජුගේ හිස හිනැහෙන තඹුරු විලේ පතිත වී පා වී ගිලී ගියේය.

“වහා දුව යනු! ගොස් නුඹ කිරුළ හිස පලඳා රාජාසන මස්තක වනු!”

“මම!?”

“ඔව්. නුඹ! මා මිතුර, නුඹ! පළමුව නුඹ රජ විය යුත්තේය…”

ක්‍රිස්තු වර්ෂ දෙසිය හතළිස් දෙකේදී තම එක් අවුරුදු පාලනය නිමා කරගත් විජය කුමාර රජ සමහන් කුටියේම ඝාතනය විය. තිස්ස ලක් කිරුළ දරමින් සංඝතිස්ස නමින් රජ වූයේ, රටවැසියා මවිතයෙන් මවිතයට පත් කරවමිනි. එය හරියටම යසලාලකතිස්ස රජු ඝාතනය වී, සුභ රජ වූ රාත්‍රිය වගේය. මේ හරියටම ඉන් වසර එකසිය අසූ අටක් ගෙවී ගිය දවසකය. සංඝතිස්ස ලක් රජය තම උරුමව ලද වාසනාවෙන් උදම්ව තු‍ටු ප්‍රීතියේ රට ගිල්වා ලූයේ, රටවැසියාට ජම්බු බෙදමිනි. එබැවින් එතැන් පටන් රට වැසියා සංඝතිස්සට කීවේ ‘ජම්බු තිස්ස’ කියාය. රජුට තිබුණේ පුදුම සහගත ජම්බු ලෝලයකි. සංඝතිස්ස රජතුමා ජම්බු අනුභවයට කොතරම් ප්‍රිය වූයේද යත්: ඔහුගේ ආශාව රජ වූ විට රාජකීය බලය සමඟ ඔදවැඩී ගියේය. ඒ නිසා මේ කාලය තුළ ලක්දිව හැම තැනම ජම්බු වවන්න රජු ක්‍රියා කළේය. ‘දඹ උයන් දිවි උයන්’ නමින් දඹ (ජම්බු) උයන් හැම අත පතළ කළේ සංඝතිස්ස රජුය. සැබැවින්ම රජුගේ ජම්බු ලෝලයට කෙළවරක් නොවීය.

ඔහු රාජකීය සේවයට පවා ‘දඹලේනා’ නමින් ධූරයක්ද ස්ථාපිත කළේය. එනම්: ජම්බු කටයුතු භාර ලේකම්වරයාය. ඔහුට පැවරුණු කාර්යය වූයේ, රට සතර අත ජම්බු ප්‍රචලිත කිරීමය; ඒ වගේම රජුගේ අනුභවය සඳහා ප්‍රණීත හා විවිධ දුර්ලබ ජම්බු ඇති ස්ථාන සොයා දැන්වීමය. දැන්වූ විගස රජු රටේ කවර දෙසක තිබුණද, ඒ ගමට ‘දඹ චාරිකා’ නමින් චාරිකා චාරිත්‍රයක් පටන් ගත්තේය. ජම්බු චාරිකාවට වඩින රජු පිළිගන්න ගම්මු සැදී-පැහැදි සිටියහ. තම ගමට පැමිණ, තම ගසින් ජම්බු රස බලන රජු ගැන පුදුම ගෞරව ආලයකින් හුදී ජන සිත් ආස්වාද වූවේය. මංසන්ධියක් මංසන්ධියක් ගානේ ජම්බු තුරු සි‍ටුවිණි. බැලූ බැලූ අත ජම්බු උයන්ය. සංඝතිස්ස රජුට ද වෙන වැඩක් නොවීය. රසවත් ජම්බු ඇති ගමක් ගෙවත්තක් ගැන දඹලේනා දැන්වූ විගස එහි යන්නේය.

රාජකීය කාර්ය කවරක් තිබුණද, ඒ සියල්ල අහෝසි කර එහි යෑම ඔහු ප්‍රමුඛත්වයේම තැබුවේය. මිතුරු ඇසුරක්, සුරා පානයක් හෝ දූ කෙළියක් ගැන රජුට වුවමනාවක් නොවිණි. අඩුම තරමේ රාජකීයත්වය සමඟ රජුට උරුම වූ සුරූපී අන්තඃපුර ළඳුන් වේවා, රජු භාවිත කළේ ජම්බු කෑමටය. පසු කල් යත්ම රජු ජම්බු චාරිකාවට ගියේ අන්තඃපුර ළඳුන් පිරිවරාය. අසීමිත ධනයක් වැය වූ මේ ජම්බු චාරිකා, රටවැසියා කුල්මත් කළ තරම්ය. එහෙත් කල් යත්ම, එය ජනතාවට හිසරදයක් වන තරම් විය. දැනුමැති ජනයාගේ ඉවසීමේ සීමාවටම පැමිණේ. එහෙත් රජු, රසවත් ජම්බුම සොයයි. විවිධ රසයෙන්, විවිධ පැහැයෙන්, විවිධ හැඩයෙන් යුත් ජම්බු සොයා ගෙනැවිත් රජුගේ භාණ්ඩාගාරයෙන් වස්තු ලබාගැනීමේ ‍රැවටිලිකාරයෝ බිහි වූහ. ජනතාවට තිබුණේ රජුට ජම්බු සොය සොයා දීමය. වෙනත් වැඩක් නොවීය. සැබැවින්ම රජුගේ සිතැඟි අනුව ජම්බු පල දරන්නේ නැත. ජම්බු වුවද පල දරන කාලයක් වේලාවක් ඇත. කල් යත්ම බලකාමය, ජම්බුකාමය එක් වූ අමුතු කාමයක් බවට ඔහුගේ ජම්බුකාමය පත් විය.

විනෝදයත්, සතුටක් දැනවූ අහිංසා ලෝලත්වයක් වුවද, රජකු සේම උමතුව රටට මහ බරක් වන්නට කල් නොගියේය. රජුගේ අසීමිත ජම්බුකාමය පිනවීමට මං නැති විට කළ හැකි එකම මඟ ජම්බු ආනයනයය. ඒ අනුව යාබද රටවලින් අමුතු ජම්බු ගෙන්වීමද සිදු වේ. සංඝතිස්ස රජතුමා ඒ තරම්ම ජම්බු උමතුවේ උමතුවෙක් විය. දඹලේනාටද දැන් ජම්බු සොයා දෙන්න බැරි තරම්ය. සංඝතිස්ස දැන් වසර හතරක රජකම දරාය. මේ වසර හතර තුළම ඔහු සිරිලක දන්නා හැම ගමකම ගොස් ජම්බු කෑවේය.

දිනෙක ජම්බු ලේනාට අමුතු ආරංචියක් ගෙන ‘වන්නි දණ්ඩා’ පැමිණේ. වන්නි දණ්ඩා යනු වන්නි මහවනයේ දණ්ඩ නායක වන්නියා හෙවත් දණ්ඩ පුරුෂයාය. ඒ අනුව වන්නි දණ්ඩා අපූරුම ජම්බු වර්ගයක් ඇති තැනක තතු විත්තියක් රජුට ඔප්පු කළේය. රජු පස්වනක් ප්‍රීති ප්‍රමෝදයේ ඉපිලී, ඒ අමුතුම අමුතු ජම්බු සොයා චාරිකාවට පිවිසෙන්න අණ කළේය. වන්නි දණ්ඩා කී ජම්බු තිබුණේ මන්නාරම් දූපතකය. මන්නාරම් දූපත් ජම්බු රසවිඳ, සංඝතිස්ස රජතුමා සතුටේ ඉපිළුණේය. මෙතුවක් මෙතරම් රසබර ජම්බු ඔහුට කිසි කලෙක බුදින්න නොලැබිණි. ඔහු දැන් මන්නාරම් ජම්බුම සොයා සතිපතා මන්නාරම් දූපතට යයි.

තනිවම නොව, අන්තඃපුර ළඳුන් පිරිවරාය. මන්නාරම් දූපත්වාසීන් සතුටේ කිමිදුණේ, දන්නා ඉතිහාසයේ පළමු වතාවට රජ උතුමකු තම දූපතට පය තැබූ සතුටටය. කල් යත්ම රජතුමා මිතුරකු තරම් ළබැඳිය; දූපතට සතිපතාම පැමිණේ. රසට රස රතට රතේ සුවඳ බේරෙන ජම්බු සුරතින්ම නෙළමින් බුදී. රජකු පැමිණි විට පළාතම පිබිදේ. මෙසේ වුවද කල් යත්ම මන්නාරම් දූපත් වාසීන්ට මේ ජම්බු රජතුමාව වදයක් වූයේය. කොතරම් අගයක්, ගෞරවයක් වුවද, රජකුගේ රාජකීය බර ජනතාවට වදයක් වන්නේය. රජකුට අනුව තම පුරුදු පිළිවෙත් වෙනස් කරගෙන පැවතීම ජනතාවට හිසරදයක් තරම්ය. ඒ වගේම ජම්බුලෝලි රජකු සිංහාසනයේ නංවාගෙන රටම විපතක වැටී ඇතැයි වැටහුණේය. අහඹු සිදුවීමකින් ලක් රජ කිරුළ උරුම කරගත් මිත්‍රයන් තිදෙනාගෙන් පළමු කුමරු ඒ සා ජම්බු ප්‍රේමයකින් උමතුව සිටියේය. රජතුමා ප්‍රමුදිත කරමින් මන්නාරමේ ජම්බු ඇති තරමට හැදී වැඩුණේය. කවි මාලකයෙන් ගී නාදකයන් නෘත්‍යචාරයන් ජම්බු ගැනම නිර්මාණ ගොතා රජුට ගැයුවේය; වැයුවේය; නැ‍ටුවේය. රාජ්‍ය නිලධාරීන් ජම්බු ගැනම පුවත් මවමින්, රජු තු‍ටු සතුටේ කිමිදෙවුවේය.

මන්නාරම් ජම්බු සොයාගෙන රජු එහි ඊමෙන්, මන්නාරම් තොට වෙළෙඳාමට බාධා විය; මන්නාරම් කෙවුල් ජනයාට ද වධ-කරදර විය; මුතුපර කිමිදෙන්නන්ට ද වදයකි. සියලු වැඩ නවතා රජුගේ ජම්බු චාරිකාවට පැහැදී සිටිය යුතු විය. මුලදී ජනයා විඳි රාජ සම්මත ගෞරවය කොතරම් උමතු වධයක් බවට පත් වුවාද කියන්නේ නම්: ජනතාව ජම්බු රජ්ජුරුවන්ට ‘ජම්බු පිස්සා’ යැයි කියන්න පටන් ගත්තේය. මේ ජම්බු පිස්සා පලවා හැරීමට මඟක් නැතිව ළතවූවේය. ඒත් සංඝතිස්ස රජුට මේ ගැන වගේ වගක් නැත. ඔහු රිසිය ජම්බුය. ඔහු පැතුම් ජම්බුය.

ඔහු ප්‍රීතිය ජම්බුය. ජම්බුම සොයා, ජම්බුම වෙනුවෙන් ඔහු රජ පදවිය භාවිත කරයි. ලක් කිරුළේ රාග උමතුව ගැන ලියවී ඇත. සුරා ලෝලීහු ද ඇත. ස්ත්‍රී ලෝලීහු ද, කලා ලෝලීහු ද ඇත. ඒ අතර පරිසර ලෝලීන් මෙන්ම යුද ලෝලීහු ද ඇත. ඒත් ජම්බු ලෝලියෙක් වන්නේ සංඝතිස්ස රජතුමාය. මේ ජම්බු උමතුව කොතරම් ජනප්‍රිය වුවද කාලයකදී එය ජනතා වෛරයට පාත්‍ර විය. සිදු වූයේ මන්නාරම් දූපතේ ජම්බුවලට වස කවා තැබීමය. සංඝතිස්ස රජතුමා පෙර පරිදිම විත් තු‍ටු ප්‍රීතියෙන් පිබිද, තම සුරතින් නෙළා ජම්බු බුදින්නට වන. මොහොතකින් ජම්බු තුරු වදුලේම ජම්බු තිස්ස ජීවිතක්ෂයට පත් විය. ඒ ලක් කිරුළ ජම්බු වෙනුවෙන් පුද දුන් සංඝතිස්ස රජතුමාගේ අවසානයය.

සුජිත් අක්කරවත්ත

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here