දිව ඔසුවක් බඳු කුරුඳු

0
10

‘‘කුරුඳු යනු ඉතාමත් රසවත් කුළුබඩු විශේෂයකි. අවුරුදු දහස් ගණනකට පෙර පටන්ම එහි ඇති සුවිශේෂී වූ ඖෂධීය ගුණය නිසාම ඉතාමත් ඉහළ අගයක් කුරුඳු සඳහා පැවතුණා. නවීන විද්‍යාව පවා දැන් අතීතයේ මිනිසුන්ගේ පිළිගැනීම තහවුරු කොට තිබෙනවා. මේ අප ඔබට ඉදිරිපත් කරන්නේ එවැනි විද්‍යාත්මක පර්යේෂණ මඟින් තහවුරු වූ කුරුඳු මඟින් ලැබෙනා සෞඛ්‍ය ප්‍රතිලාභ 10ක් පිළිබඳවයි ” මෙසේ පවසමින් මෙම වෛද්‍ය පර්යේෂණ වාර්තාව පසුගිය වසරේ ජූලි මසදී ලෝකයට ඉදිරිපත් කරනු ලැබූයේ, ඕස්ට්‍රේලියානු හා ෆින්ලන්ත උසස් අධ්‍යාපනය හදාරා විද්‍යාර්ථිකයකු වූ පෝෂණය හා ආහාර විද්‍යාව පිළිබඳ ආචාර්ය ජෝ ලීච් විසිනි. ආසියාතිකයන් හා විශේෂයෙන්ම දේශීය වෙදකමට සමීප ලාංකිකයන් වන අපට ‘කුරුඳු’ ගුණ පිළිබඳ අමුතුවෙන් හඳුන්වා දීමට අවශ්‍ය කාරණාවක් නොවූවත්, විද්‍යාවට සමීප නූතන පරම්පරාවට මෙය, අපගේ පැරැන්නන්ගේ ඥානය හා අතීත සුවබර දිවියේ රහස් හඳුනා ගැනීමට මහඟු අවස්ථාවකි.

මේ ආචාර්ය ජෝ ගේ ඉදිරිපත් කිරීමයි.

1.කුරුඳු යනු බලවත් ඖෂධීය ගුණ රාශියක් සංයෝග වූ උසස් කුළුබඩුවකි. කුරුඳු යනු ‘ සිනමෝමම් ‘ නම් ශාකයෙන් ලබාගන්නා අභ්‍යන්තර පොත්තයි. පුරාණ ඊජිප්තුව දක්වා දිවෙන ඉතිහාසයක් පුරා එය අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කර ඇත. එය ඉතා දුර්ලභ හා වටිනා වූ අතර, රජවරුන් සඳහා දෙනු ලබන තෑග්ගක් ලෙස සලකනු ලැබීය.

කුරුඳු විශේෂ දෙකක් තිබේ. එනම්, සිලෝන් සිනමන් (කුරුඳු ) මෙය සෑම විටම ‘ සත්‍ය ‘ කුරුඳු ලෙසින් හඳුන්වයි.

කැෂියා සිනමන් (කුරුඳු ) අද බහුලව අලෙවියට ඇති වාණිජ මට්ටමේ කුරුඳු වර්ගයයි.

කුරුඳු නිපදවනු ලබන්නේ කුරුඳු ශාකයේ කඳන් කැපීම මඟිනි. ඇතුළත පොතු කොටස වෙන් කරගෙන දැව කොටස ඉවත් කරනු ලබයි.

එය වියළීමෙන් පසු, කවාකාර ලෙස ඇතුළට රෝල් වීමක් සිදුවෙනවා. ඒවා කුරුඳු කෝටු ලෙස හැඳින්වේ. මෙම කෝටු කුඩු කරගැනීමෙන් කුරුඳු කුඩු ලබාගත හැකියි.

කුරුඳු තෙල්වල ඉතාමත් උසස් සුවඳක් හා රසයක් ඇත්තේ එහි අන්තර්ගත ඉහළ සිනමන්ඩිහයිඩ් නැමැති ස්වභාවික රසායනික සංයෝගය නිසාවෙනි.

විද්‍යාඥයන්ගේ විශ්වාසයට අනුව මෙම ඉහළ සංයෝගය සෞඛ්‍ය සහ පරිවෘත්තීය ක්‍රියාවලිය සඳහා බලවත් බලපෑමක් එල්ල කරනු ලබයි.

2.කුරුඳු ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇත.

නිදහස් මූලධාතු මඟින් ඇති කරන ඔක්සිකරණ හානිවලින් ශරීරය ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිඔක්සිකාරක ගුණාංග කුරුඳුවල පිරී ඇත. ප්‍රබලතම ප්‍රතිඔක්සිකාරකයක් වන පොලිෆෙනෝල් (ෆයිටොකෙමිකල්ස් නම් ජීව විද්‍යාත්මක, ස්වභාවික විටමින් හා ප්‍රෝටීන්වලින් පිරිපුන් මොළයේ හා හදවතේ ක්‍රියාකාරිත්වයට පිටිවහල් වන පිළිකා මර්දනකාරී සංයෝග 500 ක එකතුවක් ) ප්‍රබල සංයෝගයක් ඇත.

අධ්‍යයනයේදී සොයාගෙන ඇත්තේ කුළුබඩු 26ක් හා සන්සන්දනාත්මකව බැලූ විට කුරුඳු පැහැදිලිව ඉදිරියෙන්ම ඇති ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරී කුළුබඩු වර්ගයක් බවයි. සුදුලූනු හා කප්පරවල්ලිය ඔරිගානො වැනි සුපිරි ඝනයේ ප්‍රතිඔක්සිකාරක අභිභවමින් මෙම ජයග්‍රහණය හිමිවී ඇත.

තවදුරටත්, එය ඉතාමත් ප්‍රබල ස්වභාවික ආහාර කල් තබා ගැනීමේ උපායක් ලෙසත් භාවිත කළ හැකියි.

3.කුරුඳු ප්‍රති ප්‍රදාහ ගුණයෙන් ද අනූනයි.

කුරුඳුවල ප්‍රදාහ තත්ත්ව වලට එරෙහිව ප්‍රතික්‍රියා කිරීමේ හැකියාවක් ඇත.

ප්‍රදාහ මඟින් සිරුරට යම් වාසියක් ද ඇත. එමගින් සිරුරට ඇතුළු වන ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සිරුර ආරක්ෂා කර ගැනීම සඳහා ඒවාට එරෙහිව සටන් කරන පටක සහ පද්ධති ආරක්ෂා කරයි.

කෙසේනමුත්, ප්‍රදාහ තත්ත්ව උග්‍ර වූ විට හෝ සිරුරේම පටකවලට එරෙහිව ඇති වුව හොත් එය හානිදායක වේ.

මෙවැනි තත්ත්ව වලදී කුරුඳු ප්‍රයෝජනවත් වේ.පරීක්ෂණ මගින් හෙළි වී ඇති අාකාරයට කුරුඳුවල ඇති සැර ගතිය සහ ප්‍රතිඔක්සිකාරක හැකියාව නිසා එය උග්‍ර ප්‍රදාහ තත්ත්ව පාලනයට ප්‍රයෝජනවත් වේ.

4.කුරුඳු හෘදය රෝග අවදානම කපා හරී.

ලොව වඩාත්ම අකල් මරණ සඳහා හේතු වන සාධකයක් වන්නේ හෘදයාබාධය. මේ සඳහා සොයාගෙන ඇති පරිදි හෘදයාබාධ අවදානම අඩු කරනා ගුණාංග කුරුඳු සතුව ඇත.

කුරුඳු මඟින් කොලෙස්ටරෝල් මට්ටම පාලනය වන අතර, එය සමස්ත කොලෙස්ටරෝල් මට්ටමින්, අහිතකර ලෙස හඳුන්වන LDL කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම් අඩු වන අතර, හිතකර ඒවා වන HDL කොලෙස්ටරෝල් මට්ටම ස්ථායි වේ.මේ හේතුවෙන් ආඝාත අවදානම ද අඩු කරනු ලබයි.

ඉතාම ආසන්නයේ කරන ලද අධ්‍යයනයේදී හෙළි වු සුවිශේෂී හෙළිදරව්ව නම් කුරුඳු කුඩු මිලිග්‍රෑම් 120 මාත්‍රාව දිනකට ගැනීමෙන් කුරුඳුවල ඇති බලපෑම ගත හැකි බවය. මේ අධ්‍යයනයේදීම කුරුඳු හිතකර කොලෙස්ටරෝල් HDL මට්ටම ඉහළ දමන බවටත් හෙළිවී ඇත.

කුරුඳු පිළිබඳ සත්ව අධ්‍යයනයේදී, එමගින් රුධිර පීඩනය අඩුවන බව පෙන්වා දී තිබේ.

මෙම සියලුම කරුණු සලකා බැලීමේදී කුරුඳු වලින් ශීඝ්‍රයෙන් ඔබේ හෘදය රෝග කපා හැරීමේ හැකියාවක් ඇති බවට සොයාගෙන තිබේ.

5.කුරුඳුවලට හෝමෝන ඉන්සියුලින් සඳහා ඇති සංවේදිතාව වැඩි දියුණු කළ හැකිය.

කුරුඳුවල ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩු කිරීමේ හැකියාව පවතී.

6. කුරුඳු රුධිර සීනි මට්ටම අඩු කරයි.

ඉන්සියුලින් ප්‍රතිරෝධය සඳහා ප්‍රයෝජනවත් බලපෑම් හැරුණු කොට කුරුඳු මගින් රුධිරගත සීනි මට්ටම අඩු කළ හැකිය.

පළමුවැන්න, කුරුඳු ආහාර වේලකට පසු ඔබේ රුධිරයට ඇතුළු වන ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරයි.

එය ජීර්ණ ජීවිකාරක එන්සයිම සමඟ මැදිහත් වීමෙන් සිදු කරයි. එමඟින් ඔබගේ ආහාර ජීරණය තුළ කාබෝහයිෙඩ්‍ර්ට ජීරණය මන්දගාමී කරයි.

දෙවැන්න, කුරුඳු වල සංයෝගයට ඉන්සියුලින් ලෙස අනුකරණ කරමින් සෛල මත ක්‍රියාකිරීමට හැකියි.

මෙය ඉන්සියුලින්වලට වඩා බෙහෙවින් සෙමින් ක්‍රියාකාරී වුවත්, ඔබගේ සෛල මගින් ග්ලූකෝස් උරා ගැනීම බෙහෙවින් වැඩි කරයි.

7.කුරුඳු ස්නායු රෝග වැළැක්වීමට උපකාරීවෙයි.

ස්නායුජනක රෝග වනුයේ ක්‍රමයෙන් මොළයේ සෛලවල ආකෘතිය හෝ ක්‍රියාකාරිත්වය අක්‍රිය වීමට පටන් ගැනීමයි.

ඇල්සයිමර් හා පාකින්සන් යනු මෙහි ලා සුලබව ඇති වන රෝග තත්වයන් දෙකකි.

කුරුඳුවල ඇති සංයෝග මඟින් ඇල්සයිමර් රෝගය සඳහා මොළයේ ඇතිවන ‘ටෝ’ නැමැති ප්‍රෝටීනය නිශේධනය කිරීමේ හැකියාව කැපී පෙනෙන ලෙස සොයාගෙන තිබේ.

පාකින්සන් රෝගය සඳහා මීයන් යොදාගෙන කරනු ලැබු පරීක්ෂණකදී, කුරුඳු වලින් නියුරෝන ආරක්ෂා වෙන බවත්, එය නියුරෝන සම්ප්‍රේෂණ මට්ටම සාමාන්‍ය මට්ටමට පත් කරන අතර, මොළයේ මෝට ක්‍රියාකාරිත්වය ඉහළ දමනු ලබන බවට සොයාගෙන තිබේ.

8.කුරුඳු පිළිකාවට විරුද්ධ සටන්කරුවෙක්.

සමස්තයක් ලෙස එය පිළිකා සෛල නැවත ඇතිවීම වළක්වන අතර, එම පිළිකා සෛලවලට කුරුඳු විස බවක් පෙන්නුම් කරයි.එමඟින් එම සෛල මියයෑම සිදුවෙයි.

මීයන් භාවිතයෙන් හා පර්යේෂණාගාර තුළ සිදු කළ අධ්‍යයනවලින් මහබඩවැලේ පිළිකා අවස්ථාවකදී විසබීජ හරණය කරන එන්සයිම ක්‍රියාකාරිත්වය සඳහා කුරුඳු ඉතාමත් ප්‍රබල උපකාරයක් වී ඇත,මෙමඟින් තවදුරටත් පිළිකා සෛල ව්‍යාප්තිය වළක්වනු ලබයි.

මෙම පර්යේෂණය මඟින් තවදුරටත් ඔප්පු වූයේ මහබඩවැල ආශ්‍රිත ප්‍රතිඔක්සිකාරක ආරක්ෂා කිරීමට කුරුඳු ක්‍රියාවලිය බලපෑමක් ඇතිකරන බවයි.

9.කුරුඳු බැක්ටීරියා හා දිලීර ආසාදන වලට එරෙහිව ක්‍රියාකරයි.

සිනමන්ඩිහයිඩ් කුරුඳුවල අඩංගු ප්‍රධානතම සංයෝගයක් වෙයි, එමගින් විවිධාකාර බැක්ටීරියා ආසාදන වර්ග රැසකට විරුද්ධ සටන් කරයි.

ශ්වසන ආසාදන හටගන්නා දිලීර මැඬලීම සඳහා කුරුඳු තෙල් ප්‍රථිඵලදායී ඔසුවකි.

එයට තවදුරටත් ලිස්ට්‍රියා සහ සැල්මොනෙල්ලා යන බැක්ටීරියා වර්ධනය නිශේදනය කිරීමට ද හැකියි. කුරුඳුවල ඇති ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය හේතුවෙන් දත් දිරායෑම හා මුඛ දුර්ගන්ධය නැති කර දැමීමට හැකියි.

10.කුරුඳු HIV වයිරසයට විරුද්ධව සටන් කිරීමට උපකාරී වෙයි.

රසායනාගාර අධ්‍යයනයකදී ඖෂධීය ශාක 69 අතුරින් වඩාත් ප්‍රතිඵලදායී HIV ඖෂධීය ශාකය ලෙස කුරුඳු තෝරා ගෙන ඇත.

ශ්‍රී ලංකාවට පමණක් අනන්‍ය වූ ‘සත්‍ය කුරුඳු’ භාවිතය උචිතය. සියලුම කුරුඳු විශේෂ එක සමාන නොවේ.

කැෂියා කුරුඳු ප්‍රභේදවල සැලකිය යුතු ප්‍රමාණාත්මකව ‘කුමරින්’ නම් රසායනික සංයෝගය අඩංගු වේ.මෙහි අධි මාත්‍රාව හානිදායක වියහැකිය.

සියලුම කුරුඳුවල සෞඛ්‍ය ප්‍රතිලාභ ඇතත්, කැෂියා කුරුඳුවල අඩංගු ‘කුමරින්’ සංයෝගය හේතුවෙන් එය දිගුකාලීනව ගැටලු ඇතිවීමට හේතුවිය හැකියි.

සිලෝන් සිනමන් නමින් හඳුන්වන සත්‍ය කුරුඳු ( true cinnamon ) ශ්‍රී ලංකාවේ වැවෙනා කුරුඳු විශේෂයයි. මෙය වඩාත් සුදුසු කුරුඳු ලෙස හැඳින්විය හැක.අධ්‍යයනයේදී හෙළිදරව්වී ඇත්තේ මෙහි කැෂියා කුරුඳු ප්‍රභේදවලට වඩා අවම ප්‍රමාණයක් ‘කුමරින්’ අඩංගු බවයි.

අවාසනාවකට වෙළඳපොළ බහුලව ඇත්තේ ලාභදායී කැෂියා කුරුඳු නිෂ්පාදනයයි. සත්‍ය කුරුඳු ඔබට ශ්‍රි ලංකාවේ බෙහෙත් බඩු අලෙවිසල්වලින් හෝ අන්තර්ජාල මඟින් භාණ්ඩ ඇණවුම් ගෙන්වන්නන් මඟින් ගෙන්වාගත හැකි බවත්,මේ කුරුඳු කුඩා කෝටු ලෙසින් විකිණීමට ඇති බවත්, ආචාර්ය ජෝ ඔහුගේ ලිපියේ දක්වා ඇත.

විද්‍යා ඥානය ඔස්සේ බටහිර ජාතිකයන් සොයා එන අගේ ඇති අපේ දිව ඔසු නූතන අපේ පරම්පරාවටත් භාවිතයට හුරු කොට ආරෝග්‍යයේ පරම ලාභය ඔවුන්ටත් අත්කර දෙමු.

මොනිකා ලියන්ජලී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here