දේශීය ආර්ථිකය ගොඩනැඟීමට හැරවුමක ඇරඹුමක්

0
14
Author(s): 
ධම්මික සෙනෙවිරත්න

කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් පර්යේෂණාගාර පහසුකම්, උපකරණ, අමතර කාර්ය මණ්ඩල, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා පහසුකම්, සේවා පහසුකම් ආදිය සඳහා රුපියල් මිලියන 18000ක් වෙන් කිරීම ද ඉතාමත් වැදගත්ය. වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1000/= දක්වා ඉහළ නංවන බව මැතිවරණයේදී ද පොරොන්දුවක් විය. එය මේ අය-වැයෙන් යථාර්ථයක් වී තිබේ. එය පොරොන්දු ඉටු කිරීමක් මෙන්ම අපේ ආර්ථිකයේ ජීවනාලියට අයත් වතු කම්කරු ප්‍රජාවගේ අයිතිවාසිකම් හිමිකරදීමක් ලෙස ද වැදගත්ය.

දෙදහස් විසි එක වර්ෂය සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර අය-වැය ලේඛනය මෙරට 75 වෙනි අය-වැයයි. එමෙන්ම මෙය ඉතිහාසයේ අභියෝගාත්මකම අය-වැය ලෙස ද හැඳින්විය හැකිය. මේ අය-වැය ඉදිරිපත් වන විට ලෝකයම කොවිඩ් වසංගතයෙන් වෙළාගෙන ඇත. ලොව දියුණු යැයි සම්මත රටවලට පවා එය ජය ගත නොහැකි වී ඇති අතර, ආර්ථිකයන් කඩා වැටී තිබේ. ජන ජීවිත අසීරුතාවලට මුහුණ දී ඇති කාලයක එය නිවැරදිව කළමනාකරණය කරමින් ඉදිරියට මුහුණදීමට හැකි විය යුතුය. එය අභියෝගයකි. තවත් අභියෝගයක් නම්, පසුගිය වසර කිහිපය තුළ කඩා වැටුණු ආර්ථිකය යළි නඟාසිටුවීමය. පසුගිය වසර කිහිපය තුළ පැවැතියේ නිෂ්පාදන ආර්ථිකයක් නොව පරිභෝජනවාදී ආර්ථිකයකි.

ඉදිරි දැක්මක්

මේ අය-වැය ලේඛනය තුළ අය-වැයක අන්තර්ගත විය යුතු කාරණා විෂයානුබද්ධව ඇතුළත්ව ඇත්තේ ඉදිරි දැක්මක් සහිතව වීම ද වැදගත් කාරණයකි. එමගින් කෙටි – මධ්‍ය හා දිගු කාලීන වශයෙන් දම්වැලක මෙන් සම්බන්ධතාවන් ද ගොඩනඟා තිබේ. එම අදියර තුන ඔස්සේම රටේ සෑම ජන කොටසක් කරාම ප්‍රතිලාභ බෙදී යන ආකාරයේ අය – වැයක් ලෙස ද මෙය හැඳින්විය හැකිය. එමගින් ආදායම් විෂමතාව අඩු කිරීමට කටයුතු කර ඇත. ඕනෑම අය – වැයක් තුළ අඩු-පාඩු ගණනාවක් ද තිබිය හැකිය. ඒවා සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරන අය මෙන්ම ඒවා නිවැරදි කිරීමට දරන ප්‍රයත්න ද දැකිය හැකිය. මේ අවස්ථාවේදී වඩාත් වැදගත් වන්නේ මෙහි ඇතුළත් ප්‍රතිලාභ රටේ සහ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් යොදා ගැනීමය. ඒ වගකීම දේශපාලනඥයන්, නිලධාරි තන්ත්‍රය මෙන්ම ජනතාවට ද පැවරේ. අප මෙවර අය – වැය ලේඛනය දකින්නේ මෙම පසුබිම ඔස්සේය.

විෂයානුබද්ධව, රටක අය – වැය ලේඛනය යනු ඉදිරි වර්ෂය සඳහා ‍අපේක්ෂිත ආදායම, එය වියදම් කරන ආකාරය හා වියදම් කිරීමේදී ආදායම් හා වියදම් අතර යම් අතිරික්තයක් හෝ හිඟයක් තිබේ නම් එය පියවා ගන්නා ආකාරය ඇතුළත් ‍ලේඛනයයි. එහි ආදායම් ලැබෙන මාර්ග මොනවා ද යන්න මෙන්ම ඒවා වියදම් කරන්නේ කෙසේ ද යන්න සවිස්තරාත්මකව දැක්වේ. මෙය නිවැරදිව ඉටු වී තිබේ. 2021 වර්ෂය සඳහා රජය අපේක්ෂා කරන ආදායම රුපියල් බිලියන 1961කි. වියදම රුපියල් බිලියන 3525කි. වැදගත්ම කාරණය මේ දෙක අතර ඇති පරතරයයි. එම හිඟය රුපියල් බිලියන 1564 කි. මේ හිඟය පියවා ගන්නේ කෙසේ ද යන්න ඉතා වැදගත්ය. එය රටට, ජනතාවට ද බරක් නොවන අයුරින් හා ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති මාලාවට අනුව කරන්නේ කෙසේ ද යන්න ඉන් පිළිබිඹු විය යුතුය.

ඉන් රුපියල් මිලියන 2900ක් දේශීය හා විදේශීය වශයෙන් හානිදායක නොවන ණය ක්‍රම යටතේ සපයා ගන්නා බව පැහැදිලිව දැක්වේ. එමෙන්ම අය – වැය පරතරය 8% දක්වා අඩු කර ගැනීමට අපේක්ෂිතය. එය ඉතා යහපත් මූලික ලක්ෂණයකි. එම හිඟය පියවා ගන්නා අයුරු එලෙස විනිවිදභාවයෙන් යුතුව හා ඉතා සරලව දැක්වීම වැදගත්ය.

ඉදිරි වර්ෂය සඳහා වන වියදම් පිළිබඳ අවධානය ‍යොමු කරන විට අපට බොහෝ විට රටේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීමට සිදු විය. ආරක්ෂක අංශ උපරිමයෙන් දිරිගැන්විය යුතුය. බලගැන්විය යුතුය. ඒ සඳහා රජයේ සමස්ත වියදමෙන් රුපියල් බිලියන 355ක් හෙවත් 10.07%ක් වෙන් කර තිබීම අගය කළ යුතුය.

එමෙන්ම, කොවිඩ් 19 ගෝලීය වසංගතයක් බවට පත්ව තිබියදී හා අප ද රටක් ලෙස ඊට මුහුණ දෙමින් සිටියදී සෞඛ්‍ය අංශය සඳහා රුපියල් බිලියන 159 ක් එනම්, 4.52% ක් වෙන් කර තිබේ. මෙම වසංගතය පාලනය කිරීමට විධිමත් ක්‍රියාමාර්ග ගනිමින් තිබියදී එවැනි මුදලක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කිරීම ඉතා සාධනීය තත්ත්වයකි.

රටක ජීවනාලිය මෙන්ම අනාගත ආයෝජනය ද වන අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 126 කි. එනම්, මුළු වියදමෙන් 3.58% කි. 2018 වසරේදී අධ්‍යාපනය සඳහා වෙන් වූයේ 1.9% කි. මෙවර, මෙවැනි මුදලක් වෙන් කිරීම අනාගතය වෙනුවෙන් කළ පලදායී ආයෝජනයක් ලෙස සැලකිය හැකිය.

එම මූලික කාරණාවලට අමතරව තවත් වැදගත්ම කාරණයක් නම්, වියදම් කේන්ද්‍රගත නොවී හොඳින් විමධ්‍යගතව තිබීමය. කැබිනට් අමාත්‍යාංශ යටතේ පමණක් මුදල් වෙන් කිරීම වෙනුවට, මෙවර රාජ්‍ය අමාත්‍යාංශවලට ද වෙනමම මුදල් වෙන් කර තිබේ. එය මේ අය – වැයේ ඉතා යහපත් ලක්ෂණයකි.

මෙම අය – වැය මගින් අපේ රටේ නිෂ්පාදනයට සම්බන්ධ වන අය ඍජුවම හඳුනාගෙන තිබීම ද වැදගත්ය. එය පහළම මට්ටමේ සිට ඉහළම මට්ටම දක්වාම අවධානය යොමු කරමින් සිදුව තිබේ. නිදසුනක් ලෙස සමෘද්ධිලාභීන් යනු ඉතා අවම ආදායම්ලාභීන්ය. ඔවුන් සවිබලගැන්විය යුතුය. මේ අය සඳහා ස්ථාවර ඉතුරුම් ක්‍රම හඳුන්වා දී ඇත. ඔවුන්ට සමාජ ආරක්ෂණයක් දීමට ද පියවර ගෙන ඇත. ස්ථිර සේවයක නොයෙදෙන අයට එවැනි ආරක්ෂණයක් තිබීම ඉතා වැදගත්ය. ගොවි, ධීවර වැනි ප්‍රජාවන් සඳහා ස්ථාවර ඉතුරුම් ක්‍රම, විශ්‍රාම වැටුපක් හිමි කර දීම එය පැහැදිලිව පිළිබිඹු වන අවස්ථාය.

කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් පර්යේෂණාගාර පහසුකම්, උපකරණ, අමතර කාර්ය මණ්ඩල, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා පහසුකම්, සේවා පහසුකම් ආදිය සඳහා රුපියල් මිලියන 18000ක් වෙන් කිරීම ද ඉතාමත් වැදගත්ය.

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1000/= දක්වා ඉහළ නංවන බව මැතිවරණයේදී ද පොරොන්දුවක් විය. එය මේ අය-වැයෙන් යථාර්ථයක් වී තිබේ. එය පොරොන්දු ඉටු කිරීමක් මෙන්ම අපේ ආර්ථිකයේ ජීවනාලියට අයත් වතු කම්කරු ප්‍රජාවගේ අයිතිවාසිකම් හිමිකරදීමක් ලෙස ද වැදගත්ය.

බොහෝ දෙනා අපේක්ෂා කළ දෙයක් නම් බදු සංශෝධන සිදුවනු ඇති බවය. වියදම් පියවා ගැනීම සඳහා බදු ඉහළ යනු ඇතැයි ද අපේක්ෂා කෙරිණි. එහෙත් බදු ඉහළ දැමීමක් නොපෙනේ. වැට් බද්ද ඉහළ යනු අප පවා අපේක්ෂා කළ ද එවැන්නක් සිදු නොවීය. එම අගය එලෙසම පවත්වාගෙන යෑමට කටයුතු කර ඇත.

බදු

ජාතිය ගොඩනැඟීමේ බද්ද විනිවිදභාවයකින් යුතුව ගෙන යෑමට මෙන්ම බදු පිළිබඳ ඇති යම් යම් කාරණා, ගැටලු ආදිය නිරාකරණය කර ගැනීමට හා සහන සලසා ගැනීමට බදු පිළිබඳ අභියාචනා උසාවියක් පිහිටුවීමට ද මින් යෝජනා විය. රජයට ආදායම් ලැබෙන්නේ බදුවලිනි. බදු නොලැබී ගිය හොත් ආදායම අහිමි වේ. බදු කළමනාකරණය සඳහා බදු නියාමනය එක් අංශයක් යටතේ සිදු කිරීමට ද පියවර ගෙන ඇත. එය ද මෙවැනි අවස්ථාවක ඉතා වැදගත්ය.

ඉදිරි වසර 5ක් සඳහා ධීවර, කෘෂි, සත්ත්ව හා පශු සම්පත් වැනි නිෂ්පාදන බදුවලින් නිදහස් කර තිබේ. එය ධීවර, ගොවි ආදී ප්‍රජාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට පසුබිම සලස්වයි. පසුගිය වසර කිහිපය තුළ අප රටේ පැවැතියේ පරිභෝජනවාදී ආර්ථිකයක් මිස නිෂ්පාදන ආර්ථිකයක් නොවන බැවින්, මෙවැනි පියවර අගය කළ යුතුය. 2014 වර්ෂයේදී මෙරට සහල් අතිරික්තයක් තිබූ මුත්; 2018 වර්ෂයේදී මෙරට සහල් අවශ්‍යතාවයෙන් 41%ක් ගෙන්වූයේ පිටරටිනි. එම පරිභෝජනවාදී ආර්ථිකය යළි නිෂ්පාදන ආර්ථිකයක් බවට පත් කිරීමට අවශ්‍ය සානුබල මෙම අය-වැය මගින් සකසාදී ඇත. ඊට අවශ්‍ය ශක්තිමත් පදනම සපයා ඇත.

ව්‍යාපාරික ප්‍රජාව දිරිගැන්වීම සඳහා ඔවුන් වෙනුවෙන් ආදායම් බදු නිදහස් කිරීම් ද ප්‍රකාශයට පත්විය.

දේශීය සමාගම් ශක්තිමත් වීම ද ආර්ථිකයේ වර්ධනයට හේතු වේ. ලියාපදිංචි නොවූ දේශීය සමාගම් දෙසැම්බර් 31 වැනිදාට පෙර කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි කරන්නේ නම් 50% ක ආදායම් බදු සහන ප්‍රකාශයට පත් කෙරිණි. ශක්තිමත් දේශීය ව්‍යවසායන් මේ ඔස්සේ අනාගතයේ නිර්මාණය වනු ඇත. එමෙන්ම මෙවැනි ව්‍යාපාරවලින් ඉදිරි තුන් වසර තුළ අයකරන්නේ 14%ක් වැනි අවම බද්දකි. එමගින් මෙවැනි සමාගම්වලට ස්ථාවර පදනමක පිහිටා සිය ව්‍යාපාර දියත් කළ හැකිය.

තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ නිෂ්පාදන සඳහා බදු නිදහස් කිරීම් මෙන්ම තාක්ෂණ පීඨ ඇති කිරීම වැනි පියවර සඳහා ද යොමු වී තිබේ. මේ ක්ෂේත්‍රය වෙනුවෙන් කෙරෙන ආයෝජන පලදායකය. ඒ සඳහා ආයෝජකයන් දිරිගැන්වෙන අයුරින් සහන හිමිකරදී ඇත.

නොරොච්චෝලේ, ඉහළකොත්මලේ වැනි බලාගාර ඉදි වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමයේදීය. නැවත වරක් අනාගත බලශක්ති අර්බුදය දෙස දූරදර්ශීව බලමින් මෙගා වොට් 300ක ගල් අඟුරු බලාගාරයක් වැඩි දියුණු කිරීම වෙනුවෙන් සහ මෙගාවොට් 600ක ස්වභාවික වායු බලාගාරයක් ලක්විජය බලාගාරයට සම්බන්ධව ඉදි කිරීමටත් යෝජනා කෙරිණි. රටක අනාගත ආර්ථික සැලසුම්වලට අදාළව මෙය ඉතා සාධනීය ලක්ෂණයකි.

තාක්ෂණ ක්ෂේත්‍රයේ පුළුල් කිරීම් සඳහා රුපියල් මිලියන 8000ක් වෙන් කර ඇත. ඒ යටතේ දිස්ත්‍රික්ක 5ක නව තාක්ෂණික උද්‍යාන 5ක් ඇති කෙරේ. මහනුවර, ගාල්ල, කුරුණෑගල, මඩකළපුව හා අනුරාධපුර වශයෙන් ඒවා ස්ථාපිත ‍කිරීමට නියමිතය. තාක්ෂණ ක්ෂේත්‍රය එලෙස පුළුල් වන විට ඊට අවශ්‍ය වෘත්තීය නිපුණතා අධ්‍යාපනයක් ද තිබිය යුතුය. ඊට යොමුවන ශිෂ්‍ය ප්‍රමාණය ලක්ෂ 2 දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇත. වෘත්තීය අධ්‍යාපනය හදාරන සිසුන්ට රුපියල් 4000/- ක මාසික දීමනාවක් ද දීමට යෝජනා විය. ඉන් නොනැවතී එම අධ්‍යාපනය නිම කළ පසු මේ පිරිස ස්වයං ව්‍යාපාර සඳහා ද යොමු කරමින් 4% පොලියක් යටතේ වසර 3 කට ‍සහනදායක ණයක් ලෙස රුපියල් ලක්ෂ 5 දක්වා රාජ්‍ය බැංකු මගින් ණය මුදලක් ගැනීමට ද පහසුකම් සලස්වා ඇත. අපේ රටේ අධ්‍යාපනය කේන්ද්‍රගතව ඇති තැන්වලින් විමධ්‍යගත කරමින් දිස්ත්‍රික්කයකට එක බැගින් නේවාසික නොවන නගර විශ්වවිද්‍යාල ඇති කිරීමට ද කටයුතු කර ඇත. එවිට එම දිස්ත්‍රික්කයේ සිසුන්ට ඒවායේ අධ්‍යාපනය හැදෑරීමට ද එහිදී දක්වන කුසලතා ඔස්සේ ජාතික විශ්වවිද්‍යාල කරා යොමු වී උපාධි හිමිකර ගැනීමට ද ඉඩ ප්‍රස්ථා ලැබෙනු ඇත. මේ වෙනුවෙන් රුපියල් මිලියන 1000ක් වෙන්කර තිබේ.

දිරි ගැන්වීම්

දේශීය වශයෙන් දියර කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ඉහළ දැමීමට ද පියවර ගෙන ඇත. එය කිරි ගොවියාට මෙන්ම රටේ ආර්ථිකයට ද වාසිදායකය. දේශීය අත්යන්ත්‍ර රෙදිපිළි ආදී අපේ කර්මාන්තවලට ද මෙවර අයවැයෙන් ලැබී ඇති දිරිගැන්වීම් හා සහන වැදගත්ය. අභියෝගාත්මක අවධියක් පසුකරන සංචාරක කර්මාන්තය වෙත යොමුකර ඇති අවධානය ද එලෙසමය. සුළු අපනයන බෝග ඇතුළු සාම්ප්‍රදායික නොවන අපනයන වෙත ද අවධානය යොමු කර තිබීම පලදායී වේ.

4G තාක්ෂණය පුළුල් කිරීම සඳහා ටෙලිකොම් වෙත රුපියල් මිලියන 15000ක් ආයෝජනය කිරීමට ද පියවර ගෙන ඇත. එහි ප්‍රතිලාභ රට පුරා ලැබෙනු ඇත. අධ්‍යාපනය, තාක්ෂණය හා නව දැනුම් පිපාසයෙන් පෙළෙන සමාජයකට එය ඉතා පලදායී වනු ඇත. ඉනුත් ඔබ්බට යමින් රට පුරා සියලු ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා ද සපයා දීමට ද පියවර ගෙන තිබේ.

රණවිරුවන් සඳහා නිවාස ණය, ව්‍යවසායන් දිරිගැන්වීම, වෛද්‍ය ආධාර, සුබසාධනය ආදී වැඩපිළිවෙළ සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කිරීම සිදු විය. මෙවැනි යෝජනා රටක් වශයෙන් අපි අගය කළ යුතුය. 

සේවක සංඛ්‍යාව 50 ට වැඩි ව්‍යාපාර සඳහා සේවකයන් වෙනුවෙන් පිරිවැටුමෙන් 0.25%ක සෞඛ්‍ය රක්ෂණයක් දීමට ද යෝජනා විය. සේවක සංඛ්‍යාව 5ට වැඩි තොග හා සිල්ලර වෙළෙඳාම, හෝටල් ආදිය සඳහා රක්ෂණ ක්‍රමයක් ක්‍රියාවට නැංවීමට ද පියවර ගැනේ. රාජ්‍ය සේවක අග්‍රහාර රක්ෂණ ක්‍රමය කොවිඩ් 19 රෝගය සමඟ සම්බන්ධව නැති බැවින් ඊට සමගාමීව ඒ සඳහා රාජ්‍ය දායකත්වයක් දීමට ද යෝජනා විය. මේ සියල්ල මේ රටේ ජනතාවට ලැබෙන පැසසිය යුතු ප්‍රතිලාභය.

රටක අනාගතය වෙනුවෙන් ශක්තිමත් දරු පරපුරක් බිහි කිරීම සඳහා මවුවරුන්ගේ පෝෂණය ද ඉහළ නංවමින් ත්‍රිපෝෂ සඳහා ගන්නා අමුද්‍රව්‍ය වෙනුවෙන් රුපියල් මිලියන 1500ක අමතර ප්‍රතිපාදන ද වෙන් කෙරිණි. එමඟින් ගොවීන්ගෙන් එම නිෂ්පාදන මිල දී ගැනීමට, ඒවා ගබඩා කිරීමට ආදී වශයෙන් පහසුකම් සැලසේ.

ජවසම්පන්න, සෞඛ්‍ය සම්පන්න පරපුරක් බිහි කිරීම සඳහා මෙන්ම මානසික, ශාරීරික ශක්තිය ඉහළ පරපුරක් වෙනුවෙන් නැවතත් සුසන්තිකා, සුගත්, ශ්‍රියානි, දර්ශා වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීම සඳහා ක්‍රීඩා ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නංවමින් පාසල්වල කෘත්‍රිම ධාවන පථ 10ක් ඉදිකෙරෙනු ඇත. එපමණක් ද නොව වසර 2032 ඔලිම්පික් උලෙළ පැවැත්වීම අරමුණු කර බිම් සැකසීම මෙවර අයවැයෙන් ඇරැඹී තිබීම ද වැදගත්ය.

නව රටක් ගොඩනැඟීමට, දේශීය ආර්ථිකයක් ගොඩනැඟීමට අවශ්‍ය හැරවුමක ඇරඹුම මෙන්ම පදනම මේ අයවැය ලේඛනය තුළ ගැබ්ව තිබේ. අපේ අනාගතය සුබවාදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here