බුදුපුත් තෙරුන් දුටු ධර්මයේ විශිෂ්ටත්වය

0
16

පසුගිය සතියේ පූජාවලිය පිළිබඳ හැඳින්වීමේ ලිපිය අවසන් කළේ පූජාවලිය ඇසූ දෙවැනි පැරකුම්බාවන් සතුටුව, රට පුරා සැණකෙළි පවත්වා, මුළු රාජ්‍යයෙන්ම මේ කෘතිය පිදූ ආකාරය පැහැදිලි කරමිනි. මේ ලිපියේදී පූජාවලියෙහි පළමු පරිච්ඡේදය ඇසුරෙන් විවරණයක් සැපයීම සිදු කරන්නෙමු.

කතුවර බුද්ධපුත්‍ර හිමියන් පූජාවලිය අරඹන්නේ, නව බුදු ගුණ පාඨය පිළිබඳ විවරණයක් සපයමිනි. එහිදී “අරහං බුදු ගුණයට අර්ථ රාශියක් දක්වමින් යන මේ ආදි අර්ථයෙනුදු අර්හත් නම් වන සේක” යනුවෙන් දක්වති. අනතුරුව බුදු ගුණ වර්ණනා කරලීමේ අපහසුතාව, අපූර්ව උපමාවලියක් ඔස්සේ දක්වන්නේ මෙසේය:

“එක් සක්වළෙක මිනිසුන් මහ මුහුද පැන් ඉස නිමවා ලිය නොහැක්කා සේ, එක් දිවයිනෙක මිනිසුන් මහමෙර ඔසවා ලිය නොහැක්කා සේ, එක් තෙලිතුඬකින් හිමව්ගල සොලවා ලිය නොහැක්කා සේ, එක් සියොතක්හුගේ පතින් අහස් කුස වසා ලිය නොහැක්කා සේ, එක් සතකු ඇඟිල්ලෙන් ගුවන් කුස මැන නිමවා ලිය නොහැක්කා සේ, එක් ගමෙක මිනිසුන් මහ ගඟ පැන් උකා බී නිමවා ලිය නොහැක්කා සේ … එක් සත්ත්වයෙකුගේ මුඛයෙන් තබා බුද්ධෝත්පාදයෙක උපන් තුන්ලෙව්හි හැම නියවතුනුදු බුදු ගුණ වණත් නිමවා ලිය නොහැක්කේමය.”

මේ උපමාවලියෙන් බුදු ගුණයෙහි අනන්ත බව ප්‍රකට කෙරෙන අතර, බුද්ධපුත්‍ර හිමියන් මෙවැනි නිර්මාණාත්මක උපමා භාවිත කිරීමෙන් දඹදෙණි යුගයේ හෙළ බස රමණීය ලෙස ගත් වහරට යොදා ගත් ආකාරය පැහැදිලි වෙයි. බුදු ගුණයෙහි අනන්ත බව පසක් කළ ගත්කරුවා, අනතුරුව ඒ බුදුන්ගේ ධර්මයෙහි ඇති අද්භූත ධර්මය කල්පයක් මුළුල්ලෙහි වර්ණනා කළද නිමා කොට නොහැකි බව කියාපායි. ඒ බව කියන්නට සාගරයෙහි ඇති අද්භූත ධර්මතා අටක් ඇති බව පෙන්වමින්, ඒ අද්භූත ධර්ම එලෙසින්ම ධර්මය තුළ ක්‍රියාත්මක වන අයුරු පෙන්වා දෙයි.

1. සාගරය ක්‍රමයෙන් වෙරළේ සිට අතිගාම්භීර්යයට විහිදී යන්නා සේ, තථාගත ධර්මයද සරලත්වයේ සිට සුවාසූ දහසක් ධර්මස්කන්ධය තෙක් ගම්භීරත්වයට පත් වන බව පළමු අද්භූත ධර්මයයි.

2. ඒ සාගරයෙහි සුවහසක් රළ පන්ති වෙරළ නොඉක්මවනවා සෙයින්, තථාගත ශ්‍රාවකයන් ජීවිතය යතත්, ශික්ෂාපද නමැති වෙරළ ඉක්මවා නොයන බව දෙවැනි අද්භූත ධර්මයයි.

3. ඒ සාගරයෙහි කවර කසළයක් හෝ සාගර මධ්‍යයෙහි නොරඳා වෙරළ වෙත රැගෙනවිත් පිරිසුදු කරන්නා සේ, බුදුන්ගේ ශ්‍රාවක ජනයා කෙලෙස් කුණපයන් පහ කොට පාරිශුද්ධ වීම තෙවැනි අද්භූත ධර්මයයි.

4. මහා සමුද්‍රයට ගංගා, යමුනා ආදි විවිධ ගංගාවන්ගේ ජලය එක් වී, එකම ජලයක් වන්නා සේ, බුදුන්ගේ ශාසනයට ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ ආදි විවිධ ලාමක චණ්ඩාල කුලවලින් පැමිණ පැවිදි බවට පත් වන විට එම ජාති, ගෝත්‍ර, නාම හැර එකම ‘බුද්ධපුත්‍ර’ නාමයට පැමිණීම, සතර වැනි අද්භූත ධර්මයයි.

5. මහා සමුද්‍රය වෙත කවර තරම් මහා වැසි වැස්සත් උතුරා නොයන්නා සේ, බුදුන්ගේ සසුනෙහි ගුණ අඩු නොවීම පස්වැනි අද්භූත ධර්මයයි.

6. මහා සමුද්‍රයෙහි ජලය එකම ලුණු රසක් ගන්නා සේ, බුදුන්ගේ සද්ධර්මය වෙනත් රස නොගෙන, එකම නිවන් රසයක්ම ගැනීම සවන අද්භූත ධර්මයයි.

7. මහා සමුද්‍රයෙහි නා නා විධ වූ රත්නයන්ගෙන් පිරී පවතින්නාක් මෙන්, බුදුන්ගේ ධර්මයද ධර්ම රත්නයක් වන බැවින්, එය සත්වැනි අද්භූත ධර්මය වෙයි.

8. මහා සාගරයෙහි තිමිංගල ආදි මත්ස්‍ය රාජ්‍යයන්ගෙන් ගහන වන බැවින්, බුදුන්ගේ සද්ධර්ම සාගරයද, සැරියුත්, මුගලන්, නන්ද, රාහුල ආදි මහා ශ්‍රාවකයන්ගෙන් යුතු වන බැවින්, මෙය අට වැනි අද්භූත ධර්මයයි.

මේ සටහන බුදුපුත් තෙරුන්ගේ නිර්මාණාත්මක කුසලතාව කුළු ගන්වයි. මහා සමුද්‍රයේ විවිධතා රාශියක් දහමින් උපුටමින්, ධර්මයේ විශිෂ්ටත්වය කියා පෑම එක් අතකින් දඹදෙණි යුගයේ ධර්මය අමතක කළවුන් වෙත ධර්මය කැඳවා ලීමට දැරූ උත්සාහයක් සෙයින් අගය කළ හැකි වෙයි. මෙසේ ලියන ගත්කරුවා, එක් බුදු කෙනකුන්ගේ ගුණ වර්ණනා කරන්න ගිය හොත්, කල්පයක් ගෙවී ගිය ද, බුදු ගුණ අවසන් නොවන බව කියාපාන්නේ, බුදු ගුණ නොදත් සමාජයට බුදුන්ගේ ගුණ හඳුන්වා දීම සඳහාය.

මෙය තවත් ප්‍රකට කොට දැක්වීම සඳහා, කළුබුද්ධරක්ඛිත තෙරුන්ගේ කථා පුවත ගත්කරුවා අනතුරුව ගෙනහැර පායි. කළු බුද්ධරක්ඛිත තෙරුන් දිනක් අනුරපුර කළු තිඹිරි ගසක් මුල සිට කාලකාරාම සූත්‍රයෙන් දෙසූ දහමක්, සද්ධාතිස්ස රජතුමන් රාත්‍රිය මුළුල්ලේම කිසිවකුටත් නොදැනෙන සේ අසා, උදෑසන හමාර වූ විට ශබ්ද නඟා සාධුකාර දුන්නේය. එවිට මහ තෙරහු මේ රජ බව දැන විමසා සිටි කල්හි, රජතුමන් කොතරම් පැහැදුණේද යත්: ලංකා රාජ්‍යය තෙරුන්ට පුදා තිබෙයි. එවිට තෙරුන් රජුට කළ ප්‍රකාශය, නූතනයේ කාට කාටත් බෙහෙවින් වටී. පූජාවලියෙහි එය මෙසේ දැක්වෙයි:

“මහරජ, තොපගේ රාජ්‍යයෙන් අපට කම් නැත. අපට අපගේ දහම් රාජ්‍යය පමණ. අප සතු රාජ්‍යය දුක්පතුනට පීඩා නොකොට, නොබදු අය නොගෙන, තුනුරුවන් රක්ෂා කොට, දැහැමෙන් රජය කරවයි. රාජ්‍යය රජ්ජුරුවන්ටම පාවා දී, සමු දී යවා වදාළ සේක.”

භික්ෂූන් රාජ්‍ය පාලනය නොකළ යුතු බවත්, එහෙත් ප්‍රබල උපදේශකයකු විය යුතු බවත් මෙයින් ප්‍රකට කෙරෙන සත්‍යය දඹදෙණි සමාජයටත් වඩා නූතනයට කවර තරම් ගැළපේද?

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here