24 C
Colombo
Tuesday, November 24, 2020

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...
More

    Latest Posts

    සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

      ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ...

    අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

    ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    'ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.' යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව...

    කොරෝනා පෙරට දමා ජනතාව කුලප්පු කරන්න එපා විපක්ෂ නායකට රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

    කොරෝනා වසංගතය ප්‍රශ්නයක් බවට පත්කර ඉන් ජනතාව කුලප්පු නොකරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම...

    මඬෙන් වැසී ගිය අතීත උරුමය: තෝනිගල සෙල් ලිපිය

    ලොව පුරා ඇති සෙල් ලිපි මඟින් කුමක් හෝ පණිවිඩයක් ප්‍රකාශ වෙයි. එහෙත්, එවැනි බොහෝ සෙල් ලිපි, කිසිවකුටවත් කියවීමට නොහැකි වීම මුහුණදෙන දැඩි අර්බුදයකි. වවුනියාවේ පිහිටි, ප්‍රාකෘත භාෂාවෙන් ලියවුණු තෝනිගල සෙල් ලිපිය, ආචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ට ඉතා පහසුවෙන් කියවීමට හැකි විය. මෙතෙක් හමු වී ඇති සෙල් ලිපි අතුරින්, බැංකු හා ආර්ථික ක්‍රමයක් පිළිබඳ තොරතුරු විග්‍රහ කෙරෙන එකම සෙල් ලිපිය මෙය බව ඒ අනුව සොයා ගැනිණි.

    වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ, ආනමඩුව ප්‍රදේශයේද ‘තෝනිගල’ නමින් සෙල් ලිපියක් ඇත. එහෙත් ඒ මඟින් කියවෙන්නේ වෙනම කතාවකි. වවුනියාවේ තෝනිගල සෙල් ලිපිය, වවුනියාවේ සිට සැතැපුම් හයක් දුරින්, හොරොව්පතාන දක්වා වැටී ඇති, ඒ-88 ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇත. වන්නියේ භාෂා හා නාම ව්‍යවහාරය දෙමළ ඌරුවක් ගත් බැවින්, තෝනිගලට මේ නම ලැබී ඇත්තේද දෙමළ භාෂාවේ වදන් භාවිතයට අනුකූලවය. දෙමළ භාෂාවෙන් ‘තෝනි’ යනු ඔරුවයි. මේ සෙල් ලිපිය පිහිටි ස්ථානයට නුදුරෙන් පිහිටි ගල් තලාවේ, ඔරුවක හැඩය ගත් කුඩා පොකුණු කීපයක් ඇති බැවින්, මේ සෙල් ලිපිය අයත් පළාතම තෝනිගල වශයෙන් නම් දරා තිබේ.

    මේ සෙල් ලිපියට මීටර් 10ක් පමණ දුරින් තවත් කුඩා සෙල් ලිපියක් වෙයි. එය සොයා ගත්තේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොවේ. ප්‍රධාන තෝනිගල සෙල් ලිපිය නැරඹීම සඳහා එවකට වවුනියාවේ දිසා විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ උනම්බුවේ මහතා පවුලේ උදවිය සමඟ එහි පැමිණි අවස්ථාවක, තෝනිගල සෙල් ලිපිය පිහිටි ගල් තලාවේ එහා මෙහා ඇවිදිමින් සිටි වයස අවුරුදු 21ක පමණ දියණිය එය දැක, සිය පියාට පෙන්වා තිබේ. ඒ අනුව උනම්බුවේ දිසා විනිසුරුවරයා ඒ බව පුරාවිද්‍යා නිලධාරීන්ට දැන්වීමෙන් පසු නිලධාරීන් පැමිණ, ඒ සෙල් ලිපියද තහවුරු කර ඇත. මේ කුඩා සෙල් ලිපිය, තෝනිගල සෙල් ලිපියේම කොටසක් නොව, වෙනත් කුඩා සෙල් ලිපියකි. ඒත්, මේ දක්වාම එය කියවා නැත.

    ඉකුත් යුද සමයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ සෙල් ලිපිය ආරක්ෂා කිරීම ඉතා අසීරු කාර්යයක් විය. කාලතුවක්කු හෝ මෝටාර් උණ්ඩයක් හෝ සෙල් ලිපිය මතට පතිත වී, එය විනාශ වේය යන බිය හා සැකය මත, මුළු සෙල් ලිපියම විශාල මඩ තට්ටුවකින් වසා දැමිණි. සෙල් ලිපිය වූ සීමාව වටා අඩියක් පමණ උසට බැම්මක් බැඳ, ඒ බැම්ම පිරෙන්නට මඩ පිරවූයේ, මෙහි අක්ෂර ආරක්ෂා කිරීමටය. සෙල් ලිපි ආරක්ෂා කිරීමට මඩ පිරවීමේදී, මේ සෙල් ලිපි දෙක වටාම බැමි බැඳ, මඩ පුරවා තිබේ. මේ වන විට යුද්ධය හමාර වී වසර දොළහක් පමණ ඉකුත්ව ඇතත්, මඩ තට්ටු ඉවත් කර, සෙල් ලිපි දෙක සුද්ධ පවිත්‍ර කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙතෙක් කටයුතු නැත. ඒ නිසා, ලෝක ප්‍රසිද්ධ සෙල් ලිපියක්, වසර තිස් පහක්ම මඩෙන් වැසී ගොස්, කිසිවකුට දැක බලා ගැනීමට නොහැකි පුරාවස්තුවක් බවට පත්ව ඇත.

    මේ සෙල් ලිපිය පිහිටුවා ඇත්තේ කිත්සිරිමෙවන් රජ සමයේ වුවද, ඒ රජුගේ පියා වූ මහසෙන් (ක්‍රි.ව. 274-301) රජු පිළිබඳ තොරතුරු මෙහි සඳහන් කරනුයේ, කිත්සිරිමෙවන් රජුට ඇති රාජ්‍ය උරුමය පිළිබඳ දැක්‌වීමට මෙන්ම, ජනතා ප්‍රසාදය ලබා ගැනීමට විය යුතුය.

    මහාවංසයට අනුව මහසෙන් රජු ගෝඨාභය (කි.ව. 249-262) රජුගේ පුත්‍රයෙකි. මහසෙන් රජතුමා මහා විහාරය සමඟ උරණව, එම විහාරයට දැඩි හානි කළ බව, මහාවංසයේ සඳහන් වේ. (මහාවංසය, 37.178). මෙහි, ‘මහසෙන මහරජ’ යන සංඥා නාමයට ඉදිරියෙන් ඇති ‘පුවිය’ යන පදයෙන් ‘පෘථිවීශ්වර හෝ පෙර සිටි’ යන අදහස අර්ථවත් කරන බව උගතුන්ගේ මතයයි. (අමරවංශ හිමි, 1969 (140)

    ලංකාවට දන්ත ධාතූන් වහන්සේ රැගෙන එන විට උතුරු පළාත භාරව රජ කළේ කිත්සිරිමෙවන් රජුය. කීර්ති ශ්‍රී මේඝවර්ණාභය ලෙසද හඳුන්වනු ලබන මොහු, එකල තෝනිගල සෙල් ලිපියේ සඳහන්ව ඇති ‘යහිසපවය හෙවත් යහිස පවත’ ලෙස හැඳින්වූ විහාරස්ථානය ආශ්‍රිතව (වර්තමානයේ මඩුකන්ද ශ්‍රී දළදා රජමහා විහාර ප්‍රදේශය) මාලිගයක වාසය කර තිබේ. තෝනිගල සෙල් ලිපියේ ප්‍රධාන පේළි 17ක් දැකිය හැකිය. 1974 වසරේදී මේ සෙල්ලිපිය වෙත යෑම සඳහා, එවකට වවුනියාව සංස්කෘතික නිලධාරි වශයෙන් සේවය කළ ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, වැඩිහිටියන් මේ මඟ සකසන විට, එම සෙල් ලිපියේ අකුරු, ගල් තලාව මත ඉතා පැහැදිලිව, ගැඹුරට කොටා තිබුණු අන්දම, කුඩා දරුවකුව සිටි මා හට මතකය. අවට ගම්වාසීන් ‘නාගර ගල’ ලෙස හඳුන්වන මේ සෙල් ලිපිය බ්‍රාහ්මීය අක්ෂරවලින්, ප්‍රාකෘත භාෂාවෙන් ලියා ඇති බව කියවෙන අතර, එහි ඇති අක්ෂර එදා අපට කියවීමට නොහැකි වුවත්, සිංහල හෝඩියේ ඇති ‘ර’, ‘ද’ වැනි අකුරු ඕනෑ තරම් එහි ඇති බව අපි දුටිමු.

    මහාවංසයේ සඳහන් කරුණුවලට අනුව, රජතුමා සෙල් ලිපිය කෙටවූවද, ඒ කාර්යය කර ඇත්තේ, දේව නමැති අයෙකි. දැනට කියවා ඇති ආකාරය අනුව, තෝනිගල සෙල් ලිපියේ දැක්වෙන පේළි 17 බ්‍රාහ්මීය අක්ෂර හෝ ප්‍රාකෘත අක්ෂර ආකාරයට මෙසේ දක්වා තිබේ:

    පෙළ

    01. සි පුවිය මහසෙන මහරජ පුත සිරිමෙකවණ අබමහරජහ වත ලෙගි

    02. නක තිනවනක වසහි නකරහි උතරපසහි කළ හුමනක නියම තනහි සිය අරි

    03. කිණියෙහි නිකත කඩු බලගමකෙහි වසනක අමෙති පහෙජ සිවය

    04. හ පුත දෙවයහ යහිස පවය නවවහෙරකෙහි දින අරිය ච

    05. ස වට වී දෙහකඩ දස අමණක වී ඉච ස අමණක

    06. උදිඉව බයලි දස අමණක ඉව මෙදෙහකඩ දස අ-

    07. මණක වී පිටදඩහසහි වෙඪ අකලහසහි වෙඪ මරි

    08. දෙහසහි වෙඪ පචවිසිය අමණක වී ඉච මෙස අමණක උදිහි

    09. වෙඪ එක අමණ දෙපෙකඩක උදිඉව දසඅමණක බයලිහි වෙඪ අ

    10. දෙපෙකඩක බයලි ඉව මෙවනක වනහි ගහෙ කිණිය විටවය වෙ

    11. ඪගෙණ තිණඩහකට දනවටඉව අතරකජක වටඉව අතරකජ

    12. පර කර යපෙනි ඉච දී මියවට පෙණිතිල ඉච බුත තෙල ඉච ලොණ ඉච

    13. පලහවට ඉච වෙටලය ඉච වහෙරරි ගසරරිපරි පචනහි

    14. මිලිය පදිය ඉව මෙව (නක) වෙඪ වනක ගෙණ වනය ච(න)ය

    15. අතොවසභි නිකමණිය චදපුණමස දොළසපක දිවස

    16. (අ) රියවස කරන මහබිකු සගහට නියතකොටු යහිසපව(තන)

    17. ව වහෙරක හි දින

    මෙහි දළ අරුත මෙසේය:

    “මංගලයක්‌ වේවා! පෘථිවීශ්වර (පෙර සිටි) මහසෙන මහ රජුගේ පුත්‍ර වූ සිරි මේඝවණ්‌ණ අභය මහ රජතුමා සේසත් එසවූ තුන් වැනි වර්ෂයේදී නගරයෙහි උතුරු දිශාවේ ‘කලහුමනක’ නම් වෙළෙඳ සභාවේ (බැංකුවේ) තමා විසින් පරිත්‍යාග කරන ලද වස්‌තුව අඩු වීමක්‌ හෝ හීන වීමක්‌ හෝ නොවන ලෙස කඩුබලගම වාසය කරන අමාත්‍ය පර්ෂදයේ සිවගේ පුත්‍රයා වන දේව විසින්, යහිස පර්වතයෙහි අභිනව විහාරයට දෙන ලද අරියවංශ වෘත්තිය පැවැත්වීම සඳහා, වී සකට (කරත්ත) දෙකක්‌ හා දස අමුණක වීද, අමුණු හයක උඳුද, මුං ඇට අමුණු දහයක්‌ද දෙන ලදි. මේ දස අමුණක වීවල මහ කන්නයේ පොලියද, යළ කන්නයේ පොලියද, මැද කන්නයේ පොලියද වශයෙන් අමුණු විසිපහක වීද, උඳු හය අමුණක පොලියද, උඳු එක අමුණු පෙකඩ දෙකක්‌ද, මුං දස අමුණක පොලිය අමුණු දෙකයි පෙකඩ දෙකක්‌ද වේ.

    “මේ ඉහත කී තැන්පතුවේ මූල ධනය වෙනස්‌ නොකොට, පොලිය ගෙන බත් සඳහාද, අතුරුපස කෑමට ගන්නා ආහාර මී කිරි, මී පැණි, කැවිලි, තල, දුන් තෙල්, ලුණු, පලා වර්ග සහ කහ සඳහාද, විහාරස්‌ථානයේ භෝජන ශාලාවේ ආහාර පිසින කටයුතු ගෙවීම සඳහාද දිය යුතුය. මෙකී තාක්‌ වස්‌තුව එහි පොලියෙන් ගෙන පැමිණෙන වස්‌ කාලයක්‌ තුළ නිකිණි මස ශුක්‌ල පක්ෂයෙහි දොළොස්‌ වන දිනයෙහි අරියවංශ ප්‍රතිපදාව කරන මහා භික්ෂු එසංඝයාට නියම කොට යහිස පර්වතයෙහි අභිනව විහාරයට දෙන ලදි.”

    තෝනිගල සෙල් ලිපියට අනුව, එකල අරියවංශ සූත්‍ර දේශනාව කරන ලදැයි දක්වන ‘යහිස පවත විහාරය’, වත්මන් මඩුකන්ද ශ්‍රී දළදා විහාරය බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සොයාගැනීම් හා අතීත වංශකථාවල තොරතුරුවලට අනුව සනාථ වී තිබේ. දළදා වහන්සේ වැඩමවූ කාලයේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු මුලින්ම නවාතැන් ගෙන බොහෝ කාලයක් රැඳී සිට, දළදාව කිත්සිරි මෙවන් රජුට බාර කර ඇත්තේද මේ විහාරස්ථානයේදී බව, දළදා වංශයේ සඳහන් තොරතුරුවලින් සනාථ වේ. ඒ අනුව රජු, ගම්වාසීන්ට පොලියට ධාන්‍ය දී ඇත්තේ, එම පොලියට ගැළපෙන අන්දමට, වාර්ෂිකව යහිස පවත විහාරයේ අරියවංශ සූත්‍රය දේශනා කරන භික්ෂූන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කිරීමටය.

    මේ අනුව මෙය ඉපැරැණි බැංකු ක්‍රමයක් හා ආර්ථික ක්‍රමයක් ගැන කියැවෙන, ඉතා දුර්ලභ ගණයේ සෙල් ලිපියකි. යුද්ධය හමාර වී වසර දහයක් දොළහක් ගත වූ තැනද මෙය යළි ප්‍රකෘති තත්ත්වයට පත් නොකිරීම නිසා, මේ වටිනා උරුමය අනාගත පරම්පරාවට දැකගැනීමට නොහැකිව ඇත. මේ නිසා එයට වගකිව යුතු නිලධාරීන් මැදිහත් වී, කාලයේ වැලි තලාවෙන් හා මඩෙන් වැසී ගිය ඓතිහාසික තෝනිගල සෙල් ලිපිය ශුද්ධ-පවිත්‍ර කර, නැවතත් ජනතාවගේ නෙත ගැටීමට සලස්වන්නේ නම් එය ජාතික වගකීමකි.

    රසුල දිල්හාර ගමගේ

    උතුරු පළාත් විශේෂ

    Latest Posts

    සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

      ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ...

    අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

    ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    'ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.' යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව...

    කොරෝනා පෙරට දමා ජනතාව කුලප්පු කරන්න එපා විපක්ෂ නායකට රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

    කොරෝනා වසංගතය ප්‍රශ්නයක් බවට පත්කර ඉන් ජනතාව කුලප්පු නොකරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.