මහාවංසයෙන් පිළිබිඹු වන මහාවිහාර සම්ප්‍රදාය

0
19

සාගිලිය නිකායිකයන් ජේතවනාරාමය වෙත විතැන් වීමත් සමඟ, ලංකාව තුළ තවත් ශාසන සම්ප්‍රදායක් නිර්මාණය විය. මුල් ථේරවාදි සම්ප්‍රදාය අනුගමනය කළ භික්ෂූන් මහා විහාරය වෙත ද, වෛතුල්‍යවාදි අදහස් සහිත භික්ෂූන් අභයගිරිය වෙත ද, සාගිලිය නිකායික භික්ෂූන් ජේතවනය වෙත ද එක් වීමෙන්, ඒ වන විට ලංකාව තුළ බෞද්ධ සම්ප්‍රදාය ත්‍රිත්වයක් නිර්මාණයවී තිබිණි. මහා විහාරය, අභයගිරිය සහ ජේතවනය යන විහාරාරාම මුල් කරගත් බෞද්ධ සම්ප්‍රදාය ත්‍රිත්වය, මෙරට ඉතිහාසය කෙරෙහි ඇති කළ බලපෑමත්, ඒ අභියෝග වෙත සාර්ථකව මුහුණ දීම සඳහා දීපවංසය සහ මහාවංසය යනාදි ඓතිහාසික කෘති වෙත අවධානය යොමු වීමත් පිළිබඳ සොයා බැලීම වෙසෙසින්ම වැදගත්ය.

මහාවිහාරික භික්ෂූන් වහන්සේ, දුටුගැමුණු රජු වැනි රාජකීයයන් සමඟ සම්බන්ධතා පැවැත්වූව ද, ගිහියන් හා සමීප සම්බන්ධතා පැවැත්වීමේදී පැනනඟින විනය ගැටලුව මත, අභයගිරි විහාරය සමඟ නිරන්තර මත ගැටුම් ඇති කරගෙන තිබේ. වලගම්බා රජුගේ රාජ්‍ය සමය වන විට මහාවිහාරීය භික්ෂූහු, දේශපාලන කටයුතු සඳහා පමණ ඉක්මවා මැදිහත් වෙමින් සිටියහ. ආගමික බලය හා දේශපාලන කටයුතු වෙත මැදිහත් වීමේ බලතල එක් විහාරයකට පමණක් හිමි වීම අනාගතයේදී ගැටලුවක් විය හැකි බැවින්, අභයගිරි විහාරය නිර්මාණය වීම, ආගම සහ දේශපාලනය අතර ඇතිවූ සියුම් ගැටුමක් ලෙස දැක්විය හැකිය.

වලගම්බා රජු අභයගිරිය නිර්මාණය කර කෙටි කලක් ගත වත්ම, ථේරවාදි සම්ප්‍රදාය අනුගමනය කළ භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් එක්ව සංගායනාවක් පැවැත්වීම හේතුවෙන්, අභයගිරිය තුළ ද මුල් ථේරවාදි සම්ප්‍රදාය පැවැතියා යැයි සිතීම දුෂ්කරය. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සඳහා බලපෑ හේතුසාධකය ලෙස අට්ඨකතා තුළ සඳහන් වන බැමිණිතියාසාය දුර්භික්ෂය දක්වා තිබුණ ද, ඒ සඳහා බලපෑ එකම සාධකය සාගතයම නොවේ. මෙකල ඉන්දියාව තුළ පැතිරුණු ථේරවාදි විරෝධි අදහස් සඳහා, අභයගිරිය තෝතැන්නක් බවට පත් වීම ද එයට හේතු වී ඇත. අභයගිරිය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ මේ පිළිවෙතෙහි උච්ඡතම අවධිය, ක්‍රි.ව. 3 වැනි සියවසේදී පමණ ඇති විය. මෙකල මූල ථේරවාදය ආරක්ෂා කරන ලද එකම සම්ප්‍රදාය වූයේ මහාවිහාරික සම්ප්‍රදායයි.

ධම්මරුචිකයන්ට විරුද්ධව මහා විහාරීය භික්ෂූන් වහන්සේගේ පෙළ ගැසීමක් ද මේ වන විට දැකිය හැකිව තිබිණි. යම් භික්ෂූන් වහන්සේ නමක්, විනය විරෝධි අයුරින් හැසිරෙන්නේ නම්, රාජ්‍ය නායකයකුගේ මැදිහත් වීම සහිතව, ඒ සඳහා අදාළ පියවර ගත හැකි විය. සෑම භික්ෂූන් වහන්සේ නමක්ම රාජ නීතියට අවනතව වැඩවාසය කළ යුතුයැයි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ථේරවාදි ධර්මය වෙත එල්ල වන වෛතුල්‍යවාදි බලපෑම් මැඬලීම සඳහා, වෝහාරිකතිස්ස රජු විසින්, මහා විහාරීය භික්ෂූන් වහන්සේගේ උපදෙස් මත කපිල නම් ඇමැතිවරයෙක් පත් කරන ලදි. ඔහු දැනුම් දුන් කරුණු අනුව යමින්, වෝහාරිකතිස්ස රජු වෛතුල්‍යවාදි ත්‍රිපිටකය ගිනිබත් කිරීමට කටයුතු කර ඇත. එහෙත් මේ බලපෑම් නැවතුණේ නැත. අළු යට සැඟවගත් ගිනි පුපුරු මෙන් එය නැවත නැවතත්, ගෝඨාභය රජුගේ කාලයේදී ද, පසුව මහසෙන් රජුගේ කාලයේදී ද, මහා විහාර සම්ප්‍රදාය වෙත බලපෑම් එල්ල කළේය.

මහසෙන් රජු ජේතවනාරාමය නිර්මාණය කර, සාගිලිය නිකායෙහි වර්ධනයට උර දෙමින්, මහා විහාරයට විරුද්ධව ගෙන යන ලද ක්‍රියාමාර්ගවලට එරෙහි වූ මේඝවර්ණාභය නම් ඇමැතිවරයා, රජුට විරුද්ධව කැරලි ගැසුවේය. එහෙත්, දෙදෙනා අතර ඇති වූ පෞද්ගලික සාකච්ඡාවකින් අනතුරුව රජු ඇමැතිවරයාගෙන් සමාව ගත්තේය. එමඟින් දෙදෙනා අතර පැවති ගැටුම සමථයකට පත් විය. මහසෙන් රජු, මහාවිහාර සීමාව උල්ලංඝනය කරමින් ඉදි කරන ලද ජේතවනය සාගිලිය භික්ෂුන් වෙත පූජා කළේය.

එහෙත් ඒ සම්ප්‍රදාය, අභයගිරිය තරම් පෙරට පැමිණියේ නැත. පසුකාලීනව ජේතවනයෙහි භික්ෂූන් වහන්සේ ද මහාවිහාර සම්ප්‍රදාය පිළිගනිමින් ඔවුන් සමඟ එක්ව ඇත. මහසෙන් රජු විසින් අනුගමනය කරන ලද මහාවිහාර විරෝධි ක්‍රියාපටිපාටිය ප්‍රයෝජනයට ගත් අභයගිරි භික්ෂූන් වහන්සේ, සෑගිරියේ (මිහින්තලයේ) බලය තමන් සතු කරගත්හ. එබැවින් මහාවිහාර සම්ප්‍රදායේ දියුණුම අවධිය වශයෙන් මහසෙන් රාජ්‍ය සමය හඳුන්වා දීම නිවැරදිය. කිත්සිරිමෙවන් රජුගේ කාලයේදී – එනම්: ක්‍රි.ව. 301-328 යුගයේදී – දළදා වහන්සේගේ භාරකාරිත්වය අභයගිරිය වෙත හිමි වීම ඔස්සේ ඒ සම්ප්‍රදාය තවදුරටත් ප්‍රබල විය.

මහානාම රජුගේ කාලයේදී (ක්‍රි.ව. 406-428) – එනම්, ක්‍රි.ව.5වැනි සියවසේදී – මෙරටට වැඩම කළ චීන ජාතික ෆාහියන් හිමියන් රචනා කළ දේශාටන වාර්තාවෙහි ද අභයගිරිය පිළිබඳ කරුණු සඳහන් වේ. වාර්ෂිකව පැවැත්වූ දළදා පෙරහර පිළිබඳ විස්තරාත්මක තොරතුරු එහි අන්තර්ගත වෙයි. මෙකල අභයගිරිය මුල් කරගනිමින්, භික්ෂූන් වහන්සේ 5000ක් පමණ වාසය කළ බව ද, දේශාටන වාර්තාවල දැක්වේ.

ෆාහියන් හිමි සඳහන් කරන ඒ තොරතුරු අනූව දශකයේදී මහාචාර්ය රෝලන්ඩ් සිල්වා සිදු කළ පර්යේෂණ මඟින් ද තහවුරු කරගෙන ඇත. පැරණි බත් ඔරුව ආශ්‍රිතව මෑතකාලීනව සිදු කෙරුණු පුරාවිද්‍යා පර්යේෂණවලට අනුව, අභයගිරියේ විසූ භික්ෂූන් වහන්සේගේ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු සනාථ කරගෙන තිබේ. විවිධ සංඝ සම්ප්‍රදාය අතර සිදු වූ මෙබඳු හැලහැප්පීම් අතර, මහාවිහාරයට සහ මූල ථේරවාදයට එල්ල වූ අභියෝග මේ අාකාරයට සඳහන් කළ හැකිය:

1. නිවැරැදි බුද්ධ භාෂිතය වශයෙන් සලකන සූත්‍ර, විනය, අභිධර්ම යන ත්‍රිපිටකය සඳහා නවාංග එක් කිරීම (එලෙස එක් කළ සූත්‍ර ලෙස, සද්ධර්ම පුණ්ඩරීක, ලංකාවතාර, අෂ්ට සහශ්‍රිකා ප්‍රඥා පාරමිතා, ලලිත විස්තර, ස්වර්ණ ප්‍රභාස ගණ්ඩව්යහ, සමාධිරාජ, දශභූමීශ්වර යන නව ධර්ම කොටස් දැක්විය හැකිය)

2. සූත්‍ර ධර්ම වැරදි ලෙස අර්ථකථනය (මේ අර්ථකථන ධම්මරුචි භික්ෂූන් වහන්සේ මෙන්ම සාගිලික භික්ෂූන් වහන්සේ විසින් ද ඉදිරිපත් කර ඇත)

3. බුදු රජාණන් වහන්සේගේ අභ්‍යන්තර ගුණාංගවලට වඩා, බාහිර ස්වරූපය පිළිබඳ වැඩි අවධානය යොමු කිරීම (දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ වැඩි අවධානය යොමු කිරීම)

4. ශ්‍රද්ධාවට වඩා භක්තියට වැඩි සැලකිල්ලක් දැක්වීම

5. බෝධිසත්ත්ව වන්දනාව ජනප්‍රිය වීම (එබැවින් බහු බෝධිසත්ත්ව බහු බුද්ධ සංකල්පය ඉස්මතු වීම)

6. මහාවිහාර භික්ෂූන් වහන්සේ මෙන්ම අභයගිරි, ජේතවන භික්ෂූන් වහන්සේ තමන්ගේ ධර්මය නිවැරදි බව පවසමින් පොතපත රචනා කිරීම

7. තමන් නියම බුද්ධ භාෂිතය උගන්වන බව පෙන්වා දීමට උත්සාහ ගැනීම

මේ අභියෝගවලට මුහුණ දීමටත්, ඒ සඳහා ප්‍රති උත්තර සැපැයීමටත්, මහාවිහාර භික්ෂූන් වහන්සේ මහත් පරිශ්‍රමයක් දැරූහ. මෙහිදී, අභයගිරිය සහ ජේතවනය යන සම්ප්‍රදාය ද්විත්වය අබිබවා යමින්, තම සම්ප්‍රදාය වඩාත් පැරැණි බව ඉස්මතු කරලනු වස්, මහාවිහාරික භික්ෂූන් වහන්සේ වැඩපිළිවෙළ රාශියක් ආරම්භ කළහ. මේ සඳහා, දඹදිව වැඩවිසූ මහාවිහාර සම්ප්‍රදාය පිළිගත් භික්ෂූන් වහන්සේ ද සහාය දක්වා ඇත. මේ කටයුතු, දේශීය මෙන්ම අන්තර්ජාතික ස්වරූපවලින් ද ඉදිරිපත් වූ බව හඳුනාගත හැකිය. මේවායෙහි එක් අවස්ථාවක් ලෙස, මෙතෙක් සිංහල භාෂාවෙන් රචනා වී තිබූ ත්‍රිපිටකය ඇතුළු අටුවා ග්‍රන්ථ පාලි භාෂාවට පරිවර්තනය කිරීම සඳහන් කළ හැකිය. එය, ථේරවාදි බුදු දහම අන්තර්ජාතික වශයෙන් ව්‍යාප්තියට මහත් පිටිවහලක් බවට පත් විය.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය අඛණ්ඩව වාර්තා කරන ලද කෘතිය සේ සැලකෙන මහාවංසය රචනා කිරීම ද මේ කාලසීමාව තුළ සිදු කර ඇත. අභයගිරි සම්ප්‍රදායේ උච්ඡතම අවධිය ලෙස හඳුනාගත හැකි මහසෙන් රජුගේ රාජ්‍ය සමයේදී, මහාවිහාරවාසි මහානාම හිමියන්, මහාවංසය රචනා කරන තිබේ. මෙහිදී මහාවිහාරය සමඟ සම්බන්ධ වූ, මහාවිහාරය සඳහා අනුග්‍රහය දැක්වූ රාජ්‍ය පාලකයන් උදෙසා වැඩි අවධානයක් ලබා දුන් බව, දුටුගැමුණු රජු වෙනුවෙන් මහාවංසය තුළ පරිච්ඡේද එකොළහක් වෙන් කර තිබීමෙන් පෙනී යයි. මහසෙන් රජු මෙරට වාරි කර්මාන්තය සහ කෘෂිකර්මාන්තය වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කර තිබුණ ද ඔහු වෙනුවෙන් මහාවංසය තුළ වෙන්ව ඇත්තේ සුළු ඉඩක් පමණි. මේ පිළිවෙත, වලගම්බා රජ උදෙසා ද එලෙසම ක්‍රියාත්මක වී ඇත. මහාවිහාර සම්ප්‍රදාය සඳහා තිබූ ප්‍රතිවිරුද්ධ මත ව්‍යාප්ත කළ අභයගිරිය සහ ජේතවනාරාමය නිර්මාණ සඳහා මේ රජවරුන් මූලික වීම, ඔවුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු නොවීමට හේතු වන්නට ඇතැයි සිතිය හැකිය.

එකල, මහාවිහාරය ආශ්‍රය කර ගනිමින්, රාජ්‍ය පාලන තන්ත්‍රය ආශ්‍රිතව සිදු වූ සිදුවීම් කෙරෙහි මහාවංසය රචනයේදී දැඩි අවධානයක් දී ඇත. මහාවංසයට පෙර මෙරට ඓතිහාසික කරුණු සඳහන් කරමින් දීපවංසය රචනා වී තිබුණ ද, එහි අඛණ්ඩ බවක් හඳුනාගත නොහැකිය. එහිදී, මහාවිහාර සම්ප්‍රදාය සමාජගත කිරීම ප්‍රධාන වූ බැවින්, බුද්ධ කාලයේ පටන් වූ ඓතිහාසික කරුණු රැසක් මහාවංසය රචනා කිරීමේදී, එයට ඇතුළත් කිරීමට කතුවරයා පෙලඹී ඇත. ලාංකේය ඉතිහාස සම්ප්‍රදාය තුළ වූ ප්‍රධාන සිදුවීම්, මහාවංසය තුළ ද ඇතුළත්ය. ඒ සිදුවීම් වැඩිහරියක් සඳහා මහාවිහාරය මුල්ව ඇති බැවින්, මහාවිහාරය, මහාවංසය සහ ලාංකේය ඉතිහාස සම්ප්‍රදාය අතර ඇත්තේ අවියෝජනීය බැඳීමක් බව හඳුනාගත හැකිය.

 

සමීර ප්‍රසංග

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

 

සැකසුම

ඩබ්. සිතුමි බොතේජු

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, කළුතර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here