මාධ්‍යයට එන්න ! කට්ට කන්න ලැහැස්ති වෙන්න

0
20
නොවැම්බර් 19, 2020

ලංකාව තුළ දුප්පත්කම සහ අහිංසකකම කර පින්නාගත් දක්ෂ ක්‍රිඩකයන් බොහෝමයක් සිටිති. ඔවුන්ට සමාජගත වීම එක්තරා සිහිනයක් බවට පත්ව ඇත. විශේෂයෙන්ම ලංකාවේ දුෂ්කර ගම්මානවල ජීවත්වන දක්ෂ ක්‍රීඩකයින්ට තමන්ගේ දක්ෂතා ඔප්නැංවීමට අවස්ථාව හිමි වන්නේ කලාතුරකිනි. එවැනි අවස්ථාවන් හිමි වීම ම එම දක්ෂ ක්‍රීඩකයින් තමන්ගේ මුළු ජීවිත කාලයටම ලබන විශාල ජයග්‍රහණයකි. එලෙස ලංකාව පුරා සිටින සැඟවුණු දක්ෂතා සහිත ක්‍රීඩකයින්ට නව තෝතැන්නක් වන “Derana Airtel Fastest Bowler  වැඩසටහනට” 16 වැනි රයිගම් සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩා වැඩසටහනට හිමි සම්මානය හිමි විය. පහත දැක්වෙන්නේ එම ජයග්‍රහණය සහ එම වැඩසටහනේ කාර්යයභාර්ය පිළිබඳ දෙරණ නාළිකාවේ ඡේ්‍යෂ්ඨ වැඩසටහන් නිෂ්පාදක රයන් උද්දික මහතා සමඟ සිදු කළ සංවාද සටහනකි.

 

Derana Airtel Fastest Bowler  වැඩසටහනට 16 වැනි රයිගම් සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩා වැඩසටහනට හිමි සම්මානය දිනා ගත්තා. මුල ඉඳන්ම ඒ සම්මානය ගැන බලාපොරොත්තුවක් තිබුණ ද?

ඇත්තටම මේ වැඩසටහනට සම්මානයක් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණා. මෑත කාලයේ ඉදිරිපත් කළ ක්‍රීඩා වැඩසටහන් අතරින් මේ වැඩසටහන දැවැන්ත වැඩසටහනක්. යාපනයෙන් ආරම්භ කරලා ලංකාවේ උතුර දකුණු යනාදී වශයෙන් සෑම ප්‍රදේශයකටම ගිහිල්ලා ගම්වල සැඟවිලා ඉන්න දක්ෂ ක්‍රීඩයින් හදුනා ගෙන ඔවුන්ව අපිට ජාතික තලයට ගෙන එන්න පුළුවන් වුණා. මම හිතන්නේ මේ වැඩසටහන වැඩසටහනකට එහා ගිය ජාතික කර්තව්‍යයක්. මේ වැඩසටහනට දායක වුණු හැමෝම මේ වැඩසටහන ජාතික කර්තව්‍යයක් විදිහට හිතුවා. අපි මේ වැඩසටහන හරහා රටට ක්‍රීඩකයින් හොයලා දෙනවා. අපි දුෂ්කර පළාත්වලට ගිහිල්ලා දවස් ගණන් ඉදලා ක්‍රීඩකයින් හොයා ගෙන ඔවුන්ව කොළඹට ගෙනහල්ලා , පුහුණු කඳවුරු තියනවා. අපි ඒ ක්‍රීඩකයින්ට පුහුණු කඳවුරු තිබ්බේ අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයින් සම්බන්ධ කර ගෙන. ගමේ දක්ෂ ක්‍රීඩකයින් ඒ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් මීට කලින් දැකලා තිබ්බේ නැහැ. අපි කඳවුරු හරහා ගමේ ක්‍රීඩකයින්ට, අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයින් එක්ක පුහුණු වෙන්න, කථා කරන්න අවස්ථාව ලබා දුන්නා. ගමේ ක්‍රීඩකයින්ට ඒක හොඳ අවස්ථාවක් වුණා. ඒ නිසා මේ වැඩසටහන දැවැන්ත වැඩසටහනක්. මේ වැඩසටහනට සම්මානයක් හම්බ වුණ එක අපි මේ වැඩසටහනට වුණු මහන්සියට කිසියම් ඇගයීමක් ලැබුණා කියලා හිතනවා.

 

මේ සම්මානය දිනා ගන්න ඔබ සතුව පවතින නිර්මාණාත්මක හැකියාව සහ අත්දැකීම් විශාල රුකුලක් වෙන්න ඇති ?

මම ටීවී දෙරණට සම්බන්ධ වෙලා අවුරුදු 12 ක් වෙනවා. ඒ නිසා මට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලැබුණා. විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ වැඩසටහන් අධ්‍යක්ෂකතුමියව. වසර ගණනාවක් ඇය සමඟ වැඩ කරන්න ලැබුණ නිසා ඇයගෙන් අපිට විශාල අත්දැකීම්, ගුරු හරුකම් ලබා ගන්න පුළුවන් වුණා. වැඩසටහනක් අපි කොහොම ද නිර්මාණාත්මක විදිහට ලස්සනට කරන්නේ කියලා ඇය අපිට හොඳීන් උපදෙස් දුන්නා. ඒ වාගේ ම අපේ ආයතන ප්‍රධානී ලක්සිරි වික්‍රමගේ, සාමාන්‍යාධිකාරී මාධව මඩවල,තුෂාර යන මහත්වරුන්ටත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. මේ වැඩසටහන සාර්ථක වෙන්න ඔවුන්ගේ සහය, අත්දැකීම් වාගේ ම මගේ නිර්මාණාත්මක හැකියාවත් ඉවහල් වුණා. ඔවුන් මට මේ වැඩසටහනේදී මගේ නිර්මාණාත්මක හැකියාව අනුව නිදහසේ වැඩකරගෙන යන්න අවස්ථාව දුන්නා. ඒ වාගේ ම මා තුළ ක්‍රීඩාව සම්බන්ධව නිර්මාණශිලීභාවයක් තියනවා කියලා හිතනවා.

 

වැඩසටහන් නිෂ්පාදන ක්ෂේත්‍රයට ඔබ මුලින්ම පිවිසුණේ කොහොම ද?

මට ක්‍රීඩාව සම්බන්ධව ලොකු අත්දැකීමක් සහ පළපුරුද්දක් තියනවා.මම වර්තමානයේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ විස්තර විචාරකයකු වශයෙන් කටයුතු කරනවා. ඒ වාගේ ම මම ක්‍රිකට් විනිසුරුවරයෙක්. ඒ කටයුතු නිසා මම මා සතුව තියෙන ක්‍රිකට් දැනුම සම්බන්ධව සතුටු වෙනවා. මම දැනටමත් දෙරණ යු ටියුබ් නාළිකාවේ ඉනධපබඵ ඛ්තභඡ කියන වැඩසටහන කරගෙන යනවා. මම ක්‍රීඩාව සම්බන්ධ ලොකු කැමැත්තක්, කැකුමක් වගේ ම උණක් තියන කෙනෙක්. මේ වැඩසටහන සාර්ථක වෙන්න මට ක්‍රීඩාව සම්බන්ධව තියෙන දැනුම,පසුබිම සහ අත්දැකීම් විශාල රුකුලක් වුණා.

පාසල් කාලයේ ඉදන්ම මම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා කටයුතු කළා.මට මාධ්‍ය ක්ෂේත්‍රය ගැන ලොකු උනන්දුවක් තිබ්බා. පාසල් කාලයේදී මට සමස්ත ලංකා කථික තරඟවලින් පවා ජයග්‍රහණ හිමි වුණා. මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න මුල් කාලයේදී ගොඩාක් අමාරු වුණා. ලොකු කට්ටක් කෑවා. මට මුලින්ම ටීවී දෙරණට සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ අපේ ආයතන ප්‍රධානී ලක්සිරි වික්‍රමගේ මහතා නිසා.

ඊට පස්සේ මම රත්මලානේ ජාතික තරුණ සේවා සභාවේ මාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවා. නිවේදක පාඨාමාලා කිහිපයක්ම හැදෑරුවා.මම බසයක්, කාන්තාවක් සහ මම , මා දුටු බොස්කෝ යන කෘති මම රචනා කරලා තියනවා.ඒ වාගේම මම පුවත්පත්වලට සින්දු, කවි, තීරු ලිපි රචනා කරලා තියනවා. රූප රචනා සදහාත් මම සහභාගී වෙලා තියනවා.

වැඩසටහන් නිෂ්පාදන ක්ෂේත්‍රය කියලා කියන්නේ මට අලුත් අත්දැකීමක්. දෙරණ නාළිකාවට එන කොට මට වැඩසටහන් නිෂ්පාදන කාර්යයභාර්ය ගැන ඒ තරම් අවබෝධයක් තිබුණේ නැහැ.මම පළමුවෙන්ම දෙරණ නාළිකාවට සම්බන්ධ වුණේ සහය නිෂ්පාදකවරයෙකු හැටියට. මගේ පළමුවැනි නිෂ්පාදකතුමිය වන සුබෝධීනී කරුණානායක මට ගොඩාක් දේවල් කියා දීලා දැනුම ලබා දුන්නා.

කණ්ඩායම් විදිහට සිදු කළ අපගේ වැඩසටහනට ගොඩාක් දෙනෙක් උදව් කළා. මේ වැඩසටහන වෙනුවෙන් මම අපගේ වැඩසටහන් අධ්‍යක්ෂකතුමිය ශර්මිලා ධර්මරාසා මහත්මියට , දෙරණ ආයතනයේ ප්‍රධානී ලක්සිරි වික්‍රමගේ මහතා, සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු කළමණාකාරීත්වයට මම ස්තූතිවන්න වෙනවා. ඒ වාගේ ම පද්ම කුමාර මහතා මාත් එක්ක වැඩසටහන් නිෂ්පාදකයකු විදිහට කටයුතු කරා. ප්‍රධාන කැමරා ශිල්පියා විදිහට කටයුතු කළ සිරිමල් මීතිරිගල, සංස්කරණ කටයුතු සිදු කළ ජනිත් ඉරෝෂණ,ග්‍රැෆික් නිර්මාණ කටයුතු කළ නිපුණ පවිත්‍ර ,තුෂාර මහතා, ආසිරි අයියා, ජනක අයියා ඇතුළු කාර්යයමණ්ඩලයට මම මේ අවස්ථාවේදී ස්තූතිවන්ත වෙනවා. අනුග්‍රාහකත්වය ලබා දුන් එයාටෙල් ආයතනයට, සම්බන්ධීකරණය සිදු කළ මොනිකාට, අපගේ මව්පියන්ට වාගේ ම අපට වචනයෙන් පවා උදව් කරපු සෑම කෙනෙකුටම ස්තූතිවන්ත වෙනවා. ඒ වාගේම අනූෂ සමරනායක,චමින්ද වාස්,ලසිත් මාලිංග,හෂාන් තිලකරත්න වගේ ලංකාවේ ප්‍රවීණ ක්‍රීඩකයින්ටත් මම ස්තූතිවන්ත වෙනවා.

 

ඉදිරියේදී ඔබ සිදු කිරීමට නියමිත වැඩසටහන් නිෂ්පාදන කටයුතු ගැන මතක් කළොත්?

අපි ලබන මාසයේදී මෙම වැඩසටහනේ 2 වන වටය ආරම්භ කරන්න බලාපොරොත්තු වුණත් දැන් පවතින තත්ත්වය එක්ක ඒක ටිකක් කල් දාන්න වුණා. අපි ච්ඥපචදච ඒඪපබඥත ජ්චඵබඥඵබ ඕධඹතඥප වැඩසටහනේ 2 වන වටය ලබන අවුරුද්දේ ජනවාරි මාසයේදී ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගේ ෆේස්බුක් එකෙන් පවා බොහෝ දෙනෙක් අහලා තිබුණා 2 වන වටය ආරම්භ කරන්නේ කවද්ද කියලා. ඒ තරම් මේ වැඩසටහනට මිනිස්සු උනන්දුවක් දක්වනවා. ගම්වල ඉන්න ක්‍රීඩාවට දක්ෂ අයට තමන්ගේ දක්ෂතා පෙන්වන්න මේ වැඩසටහන ලැබෙන එකම අවස්ථාව වගේම ලොකුම අවස්ථාව වෙනවා. ලබන ජනවාරි මාසයේදී රට පුරා ඉන්න පාසල් මට්ටමේ ඉන්න වේග පන්දු යවන්නන්ට අවස්ථාවන් ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ සෑම කෙනෙක්ටම අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. දෙරණ යු ටියුබ් නාළිකාවේ ඉනධපබඵ ඛ්තභඡ කියන වැඩසටහන ඔස්සේ සැඟවිලා ඉන්න දක්ෂ ක්‍රීඩකයින්ව සමාජට හදුන්වා දීම, සැඟවුණු දක්ෂතා සහිත ක්‍රීඩකයින්ට, ලංකාවේ ඡේ්‍යෂ්ඨ ක්‍රීඩකයින්ගේ අත්දැකීම් පිළිබඳ අවබෝධයක් ලබා දීම සිදු කරනවා. ඒ වාගේ ම මම දෙරණ ආයතනයේ නිවේදකයකු විදිහටත් කටයුතු කරනවා. ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙසත් කටයුතු කරනවා. ඊට අමතරව අවස්ථාව ලැබුණහම රඟපෑම් කටයුතුත් කරනවා.

 

සම්මානයට පාත්‍ර වු වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වශයෙන් මෙම ක්ෂේත්‍රයට පැමිණෙන නවකයින්ට ඔබ දෙන පණිවිඩය කුමක් ද?

ඇත්තටම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න මාධ්‍ය ක්ෂේත්‍රයට ආදරයක් තියෙන්න ඕන. කවුරුහරි කියන නිසා, බලෙන් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න බැහැ. මාධ්‍ය ක්ෂේත්‍රයට යන්න ලොකු කට්ටක් කන්න ලැහැස්ති වෙන්න ඕන. ලොකු කැප කිරීම් කරන්නත් ඕන. අනිවාර්යයෙන්ම කැප වීම, ආදරය, තමන් තුළ තිබෙන නිර්මාණශීලීත්වය ඔප්නංවන්න පුළුවන්කම තියෙන්න ඕන. 100 % ක්ම කැප කිරීම තියෙන්න අවශ්‍යයි. මට ක්‍රීඩාවට සම්බන්ධව තියෙන ආශාව සහ දැනුම නිසා මම අපේ ආයතනයෙන් කියන දේවල්වලට වඩා වැඩියෙන් කැපවීමෙන් වැඩ කරනවා. මම කිව්ව දේවල් ඒ විදිහට කරන්න පුළුවන් නම් මේ ක්ෂේත්‍රයට එන්න පොඩ්ඩක්වත් බය වෙන්න ඕන නැහැ. එහෙම නැත්නම් මේ ක්ෂේත්‍රයට එන එක ගැන දෙවරක් හිතන්න වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here