සර්වකාලීන සරසවිය අභිනන්දන ගීය ලියූ මානවසිංහ (1913-1964)

0
26
නොවැම්බර් 19, 2020

මානවසිංහයන් හා ‘සරසවිය’ පුවත්පත අතර තිබී ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවයකි. එබැවින් ඔහු සරසවියේ ඥාතිවරයෙකි. 1963 වසරේ පැවැත් වූ මුල්ම සරසවිය චිත්‍රපට උලෙළේදී අමරදේවයන් තනුව නිර්මාණය කොට ගැයූ සරස්වතී අභිනන්දන ගීතය වසර 57 කට පසුවත් මුළු රටේම සරස්වතී ගීතය විය. මේ ගීතයෙන් කලා උලෙළක් ආරම්භ නොවූ නම් එය ද අරුමයකි.

 

ශ්‍රී චන්ද්‍රරත්න මානසිංහ ඔබට හඳුන්වා දීමට උත්සාහ කිරීම කිරෙහි සුදු පැහැය වැනීමකි. ඔහු කවියකු, පුවත්පත් කලාවේදියකු, ගේය පද රචකයකු බව ප්‍රකටය. මානවසිංහයන්ගෙන් තොර සිංහල ගීත කලාවක් ගැන සිතීම උගහට බව මහාචාර්ය සුනිල් ආරියරත්න පවසා තිබුණි.

මානවසිංහයන් හා ‘සරසවිය’ පුවත්පත අතර තිබී ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවයකි. එබැවින් ඔහු සරසවියේ ඥාතිවරයෙකි. 1963 වසරේ පැවැත් වූ මුල්ම සරසවිය චිත්‍රපට උලෙළේදී අමරදේවයන් තනුව නිර්මාණය කොට ගැයූ සරස්වතී අභිනන්දන ගීතය වසර 57 කට පසුවත් මුළු රටේම සරස්වතී ගීතය විය. මේ ගීතයෙන් කලා උලෙළක් ආරම්භ නොවූයේ නම් එය ද අරුමයකි.

මීට ඉහත මානවසිංහයන් ගේය පද රචනය කළ ගී අතරින් ‘මොනවද අම්මේ අකුරු ජාතියක් (ගායනය – කිංස්ලි ජයසේකර සහ ප්‍රිසිලා ඕපාත) ‘වැලිතල අතරේ – හෙමිහිට බසිනා’ (ගායනය – අමරදේව) ‘කුසුම් පිපේ අතු පතරේ’ (ගායනය – අමරදේව) ‘අකුරට යනවයි කියලා’ (ගායනය – ඇස්. කරුණාදාස සහ සහාය ගායිකාව) ‘දල්වවු බැති ආදර පෙම්’ (ගායනය – රුක්මණී දේවි) ‘කෝමල තාලෙන් ගී කියලා (ගායනය – කිංස්ලි ජයසේකර සහ ලීලා) ‘සෑ මිදුලේ සමන් වැලේ වෙසක් සඳේ’ (ගායනය – නන්දා මාලිනි) දිය දෝතකි.

මානවසිංහයන් රචිත සරස්වතී දෙකක් වෙයි. පී. වී. නන්දසිරි විසින් තනු නිර්මාණය කොට ගැයූ ‘පංකජ නයනී – කෝමල පාණී – විණා ධාරි – රංග තරංගී’ ගීතය හැරුණු විට අමරදේවයන් විසින් තනු නිර්මාණය කොට ගැයූ සරස්වතී අභිනන්දන ගීය චිර ප්‍රසිද්ධය.

ජගන් මෝහිණී – මධුර භාෂිණී

චාරු දේහිනී – කමල වාසිනී

සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවි

 

අමර භූෂිනී – මන්ද හාසිනී

විජය රංජණී – ශාස්ත්‍ර ධාරිණී

සරස්වතී දේවී වන්දේ

සරස්වතී දේවී

 

කම්පිත කංචන මාලා කූජිත

කිංකිණි නූපුර ජාලා

පාද සරෝජේ කටී තටාකේ

චංචල නර්තන ලීලා

 

මීන මකර පංකජ රූපාකුල

අංකිත කුංකුම රේඛා

පූර්ණ කුම්භමිව පීන පයෝධර

පූරිතා මෘත ධාරා

 

භාග්‍ය සාදන පුණය මූර්තිධර

සුරකුලවර අභිරූපා

දේහි දේහි වරදාරක හස්තේ

සුබ මංගල මුද්‍රා

1913 ජූනි 19 වෙනිදා දකුණේ පුවක්දණ්ඩාවේ උපත ලැබූ චන්ද්‍රරත්න දියෙස් සූරියආරච්චිගේ මොහොට්ටි ආරූඪ නාමයන් වූ ශ්‍රීජිත්, ජෛමිණි, බාදාරායණ, සඳරුවන් ගෙන් සාහිත්‍යකරණයේ යෙදිණි. ඔහු ඉගෙනීම ලබා ඇත්තේ බෙලිඅත්ත ශ්‍රී පඤ්ඤානන්ද බෞද්ධ පාසැලෙනි. ඔහුගේ පියා ගම්පතියෙකු විය. මානවසිංහ බැබළුණේ ඩී. බී. ධනපාලයන්ගේ කර්තෘත්වයෙන් පළ වූ ‘ලංකාදීප’ පත්‍රය තුළණි. ඔහු ලියූ ‘වගතුග‘ තීරු ලිපිය බැලීමටම පත්‍රය මිල දී ගත් පාඨක පිරිසක් වූහ.

ගීත රචකයකු ලෙස ද ගීත රචනය තුළින් ලංකා ගුවන් විදුලියෙන් දස්කම් පෑ මානවසිංහ චිත්‍රපට ගීත රචනයට යොමු කරන්නේ ‘ලංකාදීප’ කර්තෘ මණ්ඩලයේ සිටි නිහඬ පුද්ගලයකු වූ පියරත්න හේරත් විසිනි. ක්‍රීඩා පිටුවෙන් වොලිබෝල් ක්‍රීඩාවට වැඩි තැනක් දුන් ඔහු අඩු කතා ඇත්තෙකු නිසා ‘නිශ්ශබ්ද විලියම්’ නමින් හැඳින්විය. දොස්තර ඇල්ප්‍රඩ් සොයිසා ඔහු දැන හැඳින තිබුණි. ඔහු නිෂ්පාදනය කරන ‘දෛවයෝගය’ චිත්‍රපටයේ ගීත රචනා ගැන කතා කරන විට හේරත් විසින් මානවසිංහගේ නම යෝජනා විය.

‘අපේ කන්කෝරුවේ ඉන්නවා සින්දු ලියන්න හපනෙක්’ ඔහු දොස්තර සොයිසාට මානවසිංහ රෙකමදාරු කර ඇත. ඇස්. කේ. ඕජා අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වූයේ සජාද් හුසේන්ය. මානවසිංහයන් රචනා කළ මේ ගීත

‘ආදරියේ රුචිරාණියේ

ලියලනවා තව තව සෝකේ

වැලපෙනවා මා අද හිරගේ

 

මගෙ ආදරියේ සුව නින්දේ

රස සිහින වැලේ එතිලා

හමනා සුළඟ ද මේ එන්නේ

කවද ද ඇයගේ මුව කමලේ

ඔද වැඩෙන සිනා රසයේ

ගිලිලා යළි මා සැනසෙන්නේ

ආදරියේ රුචිරාණනියේ’

(ගායනය – මොහිදීන් බෙග්)

 

‘හද ගිලෙයි අම මිහිරේ

පෙම් සුව රස ඉතිරේ

මල් පැණි මදිරා මීපැණි ගංගා

පෙම් සයුරට මුසු වේ

 

වන බඹරු නොදත් නොසිපී

සමනලුන් දුටුව අසිරි

රොන් රස වින්දේ පෙම් ලිය ගොමුවේ

පොබයා මල් සිනහා

ගායනය – රුක්මණි දේවි සහ

මොහිදීන් බෙග්

රුක්මණී දේවි ගයන ‘දොයි දොයිය පුතා දොයි දොයි’ ගීතයත් මොහිදීන් බෙග් ගයන ‘ජීවිත ගමනේ දෛවයෝගේ’ ගීතත් මානවසිංහයන් ලියූ ගී දෙකකි. ‘දෛවයෝගය’ චිත්‍රපටයේ ස්වතන්ත්‍ර ගීත ගැන විචාරක ප්‍රසාද හිමි විය. මානවසිංහයන් ලියූ ජනප්‍රිය චිත්‍රපට ගී තුන වූයේ ‘රන්මුතු දූව‘ය. එහි සංගීත නිර්මාණය අමරදේවගෙනි.

‘පාරමිතා බල පූරිත පූජිත

බුද්ධ දිවාකරයාණෝ

වෙසක් පොහෝ දින දිනූ සේක ලොව

බුද්ධ දිවාකරයාණෝ’

(ගායනය / අමරදේව සහ නන්දා මාලිනී සහ පිරිස)

සෑම වෙසක් දිනයකම, බෞද්ධ උත්සවවල මේ ගීතය නම් වාදනය වනවාමය.

‘පිපී පිපී රේණු නටන

වනේ මලක හැප්පිලා

වරෙන් වරෙන් හුළං පොදක්

අපේ ඇඟෙත් ගෑවිලා’

(ගායනය / නාරද දිසාසේකර සහ පිරිස)

1964 ප්‍රථම සරසවිය සම්මාන උළෙලේ රන්මුතු දූව චිත්‍රපටය වෙනුවෙන් හොඳම ගීත රචක ලෙස මානවසිංහ ද හොඳම පසුබිම් ගායිකාව ලෙස නන්දා මාලනී ද, හොඳම පසුබිම් ගායකයා ලෙස නාරද දිසාසේකර ද සරසවි සම්මාන ලැබුහ. මේ ඒ ගීතයයි.

‘ගලන ගඟකි ජීවිතේ

දයාලු ලෝකයේ

මිහිිර පතා ආදරේ

ළපලු නටයි ගංතෙරේ’

ගායනය – නන්දා සහ නාරද

මේ ගීතය පිටුපස ද රසවත් කතාවක් ඇත. මේ ගීතයට පෙර මානවසිංහයන් ලියුවේ වෙනත් ගීතයකි. නිෂ්පාදකයන් එයින් සෑහීමකට පත් වී නැත. මේ ඒ ගීතයයි.

‘පාවෙන උකුළු තලා

තාලෙට සල සලා

සිපගෙන පුලිනතලා

රස පෙම් රහස කියා

 

ගංගා කොමළ නිළි

හදවත පුබුදු කළා

දිනක් රැයක අමරදේව, නිෂ්පාදක ශේෂා පලිහක්කාර සහාය අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය බොරලැස්ගමුවේ පිහිටි මානවසිංහයන්ගේ ‘වාපී මේඛලා’ නිවසට ගියෝය. කලින් ලියූ ගීතය චිත්‍රපටයට උචිත නැති බව මධුවිත සප්පායම් අතරේ තිස්ස කීය.

‘මේ ගීතයට අවශ්‍ය දේ මට දැන් වැටහෙනවා. ලියන්න මූඩ් එක එන්න ගෙදර මිදුලට යමු. මගේ අප්සරාවෝ ඉන්නේ ගෙයි මිදුලේ’

වේලාව රාත්‍රී 7 ට පමණ ඇති.

නිවසේ මිදුලේ අප්සරාවන් සොයා ගෙමිදුලේ තිබූ නෙළු ප්‍රතිමා ළඟට ගොස් එහි නිදා සිටි නග්න ප්‍රතිමාවක් මත ඉඳගෙන මානවසිංහයන් ගීතය ලිව්වේය. ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය බිහි වූයේ එසේය. සරසවිය සම්මාන ද දිනුවේය. මානවසිංහයන් ‘සිකුරු තරුව‘ චිත්‍රපටයට ලියූ අමරදේව තනු නිර්මාණය කරමින් මේ තේමා ගීතය ඔබට මතකද?

‘ඉර හඳ පායන ලෝකේ

ආලෝකය අතරේ

සැප දුක සමබර වේ

මේ ජීවන කතරේ

සැප දුක සමබර වේ

මේ චිත්‍රපටයට නාරද දිසාසේකර ගැයු මේ ගීතය ගායකයා ගැයූ හොඳම ගීතයකි. සංගීත නිර්මාණය ආර්. මුත්තුසාමිය.

‘ගමන නොනිමෙයි ලෝකයේ මේ

පුරුදු ජීවන මං තලේ

ගැටෙන සැප දුක මාරු වී යයි

පුරුදු ජීවන මං තලේ’

සුජාතා පෙරේරා (අත්තනායක) ගැයූ ‘ඔරු පැද පැද කිරි මූදේ- පබා කුමාරි සිනාසුණා’ (තනු නිර්මාණය – මුත්තුසාමි) ද මානවසිංහයන් රචනා කළ ගීතයකි.

මානවසිංහයන්ට ඉන්පසු චිත්‍රපට ගීත ලිවීමට දෛවය ඉඩ දුන්නේ චිත්‍රපට දෙත තුනක් පමණි. ‘ළාදළු’ චිත්‍රපටයට රුක්මණී දේවි ගැයූ ‘සාදර කරුණා දාය ගුණේ කෝ’ අමරදේව හා රුක්මණී ගැයූ ‘සුවදෙන සිත සැනසුම්’, ශාන්ත ගීතදේව ගැයූ ‘චංචල ලෝකේ මධුරයි’ ගීත සඳහා තනු නිර්මාණය කර ඇත්තේ අමරදේවයන් විසිනි. ‘සැපත සොයා’ චිත්‍රපටයේ ලතා ගයන ‘සුවබර යානේ නින්දේ පුතාගේ’ නම් ඔහු රචනා කළ ගීතයේ සංගීත නිර්මාණය ප්‍රේමසිරි කේමදාසගෙනි. කේමදාසගේම සංගීතයට ලතා සහ ධර්මදාස වල්පොල ගැයූ මානවසිංහයන්ගේ අවසාන ගීතයයි.

‘මංගල දිනයේ

රස මධු පානේ

ඉව කළ කොමලිය

කුල ගෙට එනවා’

මහාචාර්ය සුනිල් ආරියරත්න පෙන්වා දෙන්නේ දෛවයෝගය, රන්මුතුදූව හා සිකුරු තරුව චිත්‍රපටවල උනන්දුවකින් ඔහු ගීත ලියා ඇති බවය.

මානවසිංහයන් චිත්‍රපටවල සිංහල විස්තර කථනයක් ලියා ඇත්තේ අගමැති බණ්ඩාරනායක මහතාගේ ඉල්ලීම පරිදිය. බිමල් රෝයි විසින් අධ්‍යක්ෂණය කළ ‘ගෞතම බුද්ධ‘ නම් හින්දි චිත්‍රපටයේ එම කාරිය ඉස්තරම් ලෙස මානවසිංහයන් ඉටු කර ඇති බවට ප්‍රශංසා ලැබී ඇත.

කොළඹ යුගයේ කවියන් වූ මීමන ප්‍රේමතිලකත්, හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්නත්, මානවසිංහයනුත් ගජ මිතුරෝ වූහ. ‘සිකුරු තරුවෙන්’ පසු හක්ගල්ලේ ‘පෙම්වතුන්ගේ ලෝකය’ නම් චිත්‍රපට කතාව ලියූ අතර චිත්‍රපටයේ නිෂ්පාදක චිත්‍රා බාලසූරිය , සංගීත අධ්‍යක්ෂ ලයනල් අල්ගමත් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියහ.

‘සෙනෙවි මම ‘පෙම්වතුන්ගේ ලෝකය’ කියන නමට කැමති නැහැ’ චිත්‍රා කීවේය.

‘එහෙනං අපි මානවසිංහ හමුවෙලා හොඳ නමක් අහමු’ හක්ගල්ලේ කීය.

ඔවුහු බොරලැස්ගමුව බලා පිටත් වූහ. මානවසිංහ ගෙදර නොසිටි අතර ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට හලාවත ගොස් ඇතැයි දැන එහි ගියහ. මාදම්පේ දේවාලය අසල සුදුවැල්ලේ නතර කොට ඔවුන් සුදුවැල්ලේ වාඩි වූහ. හක්ගල්ලේ චිත්‍රපට කතාව කෙටියෙන් කීය.

‘සෙනෙවි, ඔය කතාව අනුන්ගේ ගෑනුන්ට ආදරේ කරන මිනිහෙකුගේ කතාවක් නේද? ‘පරසතු…’ මානවසිංහ තොල් මතුරන විට ලයනල් අල්ගමට ‘මල්’ යයි කියවිණි. අපූරුයි ‘පරසතු මල්’ හොඳයි. පරසතු මල් චිත්‍රපටයට නම ලැබුණේ එසේය.

මානවසිංහ අසාමාන්‍ය ගති ඇති කලාකරුවෙකි. ඔහුට බැඳීම් තිබුණේ නැත. කාටවත් බය ද නැත. සරච්චන්ද්‍රයන් හා ඔවුන්ගේ ගෝල බාලයන්ට තම ‘වගතුග‘ තීරයෙන් හොඳ හැටි බැට දුන් ඔහු සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍ය බලා නොසෑහෙන්න ප්‍රශංසා කළේය. කොටුවේ ටයිම්ස් මන්දිරයේ උඩු මහලේ කවුළුවෙන් සුළං රැල්ලට නැටවෙන බෝ ගස දෙස බලා සිට ‘මහබෝවන්නම්(වැලිතල අතරේ) ගීතය ලිවීය. සමසමාජ හිතවතකු වූ ඔහු 1956 මහජන එක්සත් පෙරමුණට බැඳී මැයි ගීතයක් ලියා පසුව යූ. ඇන්. පීයට හිතවත් මැයි ගීයක් ද ලිවීය. ‘ගොළු දැරිය’ නමින් අගනා කෙටිකතා පොතක් ලිවීය. කතා පැවැත් වීය. හඳහන් බැලුවේය.

මානවසිංහයන්ගේ පුතුන් දෙදෙනාම පුවත්පත් කලාවේදීහු වූහ. ප්‍රභාත් මිය ගියේය. උදය තාත්තාගේ උරුමය රටට ලබා දෙයි.

‘තාත්තා හැමදාම පාන්දර 4 ට විතර නැඟිටලා ඇඳගෙන හිටිය වේට්ටි පොටින් ඔළුව වහා ගෙන උඳු පියළිවල පියවර මනිමින් ඇවිද ඇවිද ‘වැඩේවා වැවේවා’ කියලා තොල් මතුරනවා. තමා ලියන වගතුග තීරු ලිපිය ගැන හිත හිතා ඇවිදිනවා. පස්සේ සාලයේ තියෙන ටීපෝව උඩ කුප්පි ලාම්පුවක් ගෙන චිමිනි ලාම්පුවක එළියෙන් තාත්තා ලියනවා. ඒ කාලේ අපේ ගෙදර ලයිට් තිබුණේ නෑ. ලියලා තාත්තා නා ගන්නවා. කවදාවත් සබන් ගාන්නේ නෑ. ඔහුගේ කොණ්ඩය පනාවක් දැක නෑ’ උදය කීවේය

‘වගතුග‘ තීරු ලිපිය ලියන කාලේ මානවසිංහයන් ‘ලංකාදීප’ කාර්යාලයට ගොස් ඇත්තේ දහවල් 11 ට පමණය. කිසිවෙකු ඔහු හමුවීමට ගොස් ‘මානවසිංහ මහත්තයා ඉන්නවාදැයි’ ඇසුවොත් අසළ සිටි කෙනෙකු මේසය යට බලන්නේ නිතැතිනි.

‘මහත්තයා ගෙදර ගිහින්’

‘කොහොමද දන්නේ’

‘මේසය යට සෙරෙප්පු දෙක තියෙනවා නම් මහත්තයා කොළඹ කොහේ හරි ඉන්නවා. සෙරෙප්පු දෙක නැති නම් මහත්තයා ගෙදර ගිහින්’

ඒ මානවසිංහයන්ගේ හැටිය.

මානවසිංහයන් 1964 වසරේ මැද හරියේ බලවත් සේ රෝගාතුර විය.

තමාගේ තත්ත්වය බරපතල බව දැන සිටියේය. ජෝතිෂ්‍යය මැනවින් දැන සිටි ඔහු තම කේන්ද්‍රයත්, බිරියගේ හා දූ දරුවන්ගේ හඳහන් සසඳා බැලුවේය. තම බිරිඳ කැඳවා ‘ඔයා අද දවසේ මා ළඟම ඉන්න’ කියූ ඔහු දෙටු දියණිය දයා ලක්ෂ්මියට කියා ඇත්තේ ‘මේ සැරේ අපල ගෙවන්න බැරි වෙයි. මට තව ටිකක් ලියන්න බැරි ඒක ගැනයි දුක’ කියාය.

‘මා මළාම ඇහැළ ගහ යට සොහොනක් හදලා පෑනයි කණ්ණාඩියයි, කඩදාසි ටිකක් තියන්න. මම රෑට ඇවිත් ලියන්නම්’ තම බිරියට කී අන්තිම වචනයි මේ.

1964 ඔක්තෝබර් 04 වෙනිදා ඔහු ජීවිතයෙන් සමු ගත්තේය.

රංජිත් අමරකීර්ති පලිහපිටිය විසින් මානවසිංහයන් ‘අප්‍රමාණ මිනිසෙක්’ නමින් අගනා චරිතාපදානයක් ලියා ඇත.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ජීවිත කාලය වසර 51 කට සීමා විය. එහෙත් ‘සඳරුවන්’ ලියූ ගී රුවන් නම් සිංහල ගීත සාහිත්‍යයෙන් නොමැකේ. මේ ගී සර්වාත්‍රිකය. සර්වකාලිනය. ඒ අතරින් සරසවි අභිනන්ද ගීතය විශේෂය.

කලාකීර්ති පණ්ඩිත විමල් අභයසුන්දරයන් පවසා තිබුණේ මෝහිනී ගීතය පුරා සංස්කෘත වචලවලින් පිරී තිබුණත් අසන්නා තුළ එම ගීතයෙක් ජනිත කරවන භක්ති ප්‍රමෝදය භාවාතිශයෙන් කිලිටි නොවන බවය. මෙසේ සාර්ථක ගීතයක් නිර්මාණය කිරිම කෝටිප්‍රාප්ත භාෂාන්තර ඥාණයක් නැත්තෙකුට කිසිසේත් නොපිළිවන් බවය.

(මෙහි එන චිත්‍රපට ගීත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘සිංහල චිත්‍රපට ගීතාවලිය’ කෘතියෙන් උපුටා ගන්නා ලදී)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here