හරියටම බුලත් වවන්නේ මෙහෙමයි

0
13

බුලත් වගාව සඳහා භූමිය තේරීමේදී එහි බෑවුම පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතුය. වඩාත් බැවුම් සහිත ඉඩම් බුලත් වගාව සඳහා යෝග්‍ය නොවන අතර තරමක් සමතලා භූමියක් වීම වඩාත් සුදුසුය. එහෙත් වැඩිපුර ඇති ජලය පහසුවෙන් ඉවත් වන ජලය රඳා නොපවතින භූමියක් තෝරා ගත යුතුය. එහිදී පාත්ති සැකසීම හා නඩත්තු කටයුතු පහසු වන අතර ජලසම්පාදනය හා පොහොර අවශෝෂණ කාර්යක්ෂමතාව ද වැඩි කර ගත හැකිය. මීට අමතරව හොඳින් හිරු එළිය වැටෙන ස්ථානයක් වීම හා බැක්ටීරියා කොළ පුල්ලි රෝගය නිසා අත්හළ වගා භූමියක් නොවීම ද බැක්ටීරියා කොළ පුල්ලි රෝගය නව වගාවකට වැලඳීම වළක්වා ගැනීමට වැදගත් වේ.

සෙවණ ප්‍රතිශතය 30% ක් පමණ කළු බුලත් (විදේශීය වෙ‍ෙළඳපොළ) සඳහා අවශ්‍ය අතර පාට බුලත් (දේශීය වෙ‍ෙළඳපොළ) සඳහා විශේෂ සෙවණ පාලනයක් අවශ්‍ය නොවේ. සූර්යාලෝකය හොඳින් ලැබීමෙන් පලුකන් ප්‍රමාණය (හරස් අතු) වැඩි වන අතර අස්වැන්න ද වැඩි කර ගත හැකිය. සාමාන්‍යයෙන් බුලත් වගාවට විශේෂ සෙවණක් අවශ්‍ය නොවන අතර දලු සහ පැළ සිටුවීමේදී මුල් කාලයේදී පමණක් සෙවණ සැපයීම ප්‍රමාණවත්ය. එහෙත් කළු බුලත් වගාවේදී 30% ක් පමණ සෙවණක් සැපයීමෙන් අපනයනය සඳහා සුදුසු ගුණාත්මකභාවයෙන් ඉහළ බුලත් නිෂ්පාදනයක් කර ගත හැකිවේ. වගාව සඳහා ජීවී ආධාරක භාවිත කිරීමේදී ඒවායේ අතු මඟින් ඇති වන සෙවණ විටින් විට ඉවත් කිරීම මඟින් වැල්වල වර්ධනය සඳහා අවශ්‍ය ආලෝකය ලැබීමට ඉඩ දිය යුතු වේ.

 

පාංශු තත්ත්ව වැඩි දියුණු කිරීම

පොළොව මට්ටමට පාත්ති සැකසීමේදී පාත්ති පුරවන විට අඟල් 6-8 ක් පමණ ගැඹුරක් දක්වා ගොම පොහොර හොඳින් මිශ්‍ර කර ගත යුතුය. එමඟින් පස සාරවත් වී පලදායී වගාවක් ගත හැකි වේ. වැලි සහිත භාවය වැඩි පසක් නම් කාබනික ද්‍රව්‍ය වැඩියෙන් යොදා හෝ බුලත් වගා නොකළ ස්ථානයකින් කාබනික ද්‍රව්‍ය සහිත ලෝම පස් ගෙනැවිත් හෝ පාත්ති පිරවීම මඟින් වගාවට සුදුසු ලෙස පාත්ති සකසා ගත හැකිය. බුලත් වගා භූමියක් සකස් කීරීමේදී එය වටා ජලය බැස යන කානු පද්ධතියක් සකස් කිරීම ඉතා වැදගත්ය. මේ සඳහා පළල අඩි 1 1/2 ක් සහ ගැඹුර අඩි 2 පමණ වන ලෙස කානුවක් සකස් කිරීමෙන් වැඩි ජලය ක්ෂේත්‍රයෙන් ඉවත් කළ හැකි වේ. මෙමඟින් අමතර වාසියක් ලෙස බාහිර ගස්වල මුල් වගාව තුළට වර්ධනය වීම ද පාලනය වේ.

බුලත් වගාව ප්‍රධාන ආකාර දෙකකට සිදු කරයි.

* පාත්ති ක්‍රමය

* තනි කණු ක්‍රමය (කොවුල් ක්‍රමය)

පාත්ති ක්‍රමය

බුලත් වගා කිරීමේදී බහුලවම යොදා ගනු ලබන්නේ මෙම ක්‍රමය වන අතර කුඩා ඉඩකඩක් සහිත ඉඩම් සඳහා වඩාත් සුදුසු වේ. ඒකීය ක්ෂේත්‍රඵලයක වගා කරන බුලත් වැල් ප්‍රමාණය වැඩිය. පහසුවෙන් නඩත්තු කර ගැනීම සඳහා බුලත් පාත්තියක නිර්දේශිත ප්‍රමාණය අඩි 10×4 වන අතර මෙහි දිග අවශ්‍ය නම් අඩි 25ක් පමණ දක්වා වුව ද වැඩි කර ගත හැකිය. මෙවැනි පාත්තියක වැල් අතර පරතරය අඩි 1.5ක් විය යුතුය. එම පරතරයට අනුව සාමාන්‍යයෙන් අඩි 4×25 පාත්තියක ආධාරක ඉණි 54 ක් ද ඒ සඳහා එක් ඉන්නකට බුලත් දඬු කැබලි දෙක බැගින් බුලත් දඬු කැබලි 108ක් ද එමෙන්ම අඩි 4×10 ප්‍රමාණයේ පාත්තියේ ආධාරක ඉණි 21ක් ද ඒ සඳහා සිටුවීමට බුලත් දඬු කැබලි දෙක බැගින් 42ක් අවශ්‍ය වේ.

පාත්තිය සකස් කර ගැනීමේදී නියමිත දිග, පළල භූමියේ සලකුණු කරගෙන පාත්තිය අඩි 1.5ක් ගැඹුරට කපා ඉහළින්ම ඇති අඩි ½ක් පමණ පස් ස්ථරය වෙනමත් යටි පස් ස්ථරය වෙනමත් කපන ලද පාත්තියෙන් දෙපසකට ඉවත් කර ගැනීම කළ යුතුය. පසුව පාත්තියේ යට කොටසින් ඉවත් කළ පස් යටටත් ඉහළ කොටසින් ඉවත් කළ පස් නැවතත් ඉහළටත් සිටින පරිදි පුරවා ගත යුතුය. අවසානයේ පාත්තිය තුළ පස් මට්ටම පොළොව මට්ටමට වඩා අඟල් 4 ක් පහළින් පවතින පරිදි ගිලුණු පාත්තියක් ලෙස පිළියෙල කිරීම වැදගත්ය. පාත්තිය නැවත පිරවීමේදී විශාල ගල් ආදිය ඉවත් කර පස් කැට පොඩි කර සියුම් වයනයක් ඇති වන පරිදි පාත්තිය සැකසීම සිදු කළ යුතුය. මෙලෙස සකසා ගත් පාත්ති ජීවානුහරණය කිරීමෙන් අනතුරුව සිටුවීම සඳහා භාවිත කළ හැකිය.

 

සිටුවීම සඳහා පාත්තිය

සලකුණු කිරීම හා පැළ සිටුවීම

සකසා ගත් පාත්ති තුළ බුලත් සිටුවීම සඳහා ස්ථාන ලකුණු කිරීම සඳහා පැළ හා පේළි අතර පරතරය අඩි 1.5ක් වන ලෙස පාත්තිය තුළ සිටුවන ස්ථාන ලකුණු කළ යුතු අතර ඒ සඳහා අඩියක් පමණ උසැති ග්ලිරිසිඩියා ලී කෝටු භාවිත කිරීමට පුළුවන. සකසන ලද පාත්තිවල බුලත් දඬු කැබලි හෝ බුලත් බඳුන්ගත පැළ සිටුවිය හැකිය. ජලය සැපයීමෙන් පසු අවශ්‍ය පරිදි සෙවණ සැපයීම වඩා වැදගත් වේ. මෙසේ සෙවණ සැපයීම සිටවූ මුල් අවස්ථාවේදී ඒවා වියළීමෙන් ආරක්ෂා කර ගැනීමටත් ස්ථාපන ප්‍රතිශතය වැඩි කර ගැනීමටත් ඉතාමත් වැදගත් වේ.

බුලත් දඬු කැබලි සිටුවීම වෙනුවට සකස් කර ගත් බඳුන් පැළ සිටුවිය හැකිය. දඬු කැබලි 2 කින් යුතු හොඳින් මූල මණ්ඩලය වර්ධනය වූ නිරෝගි බවෙන් යුතු පැළ සිටුවීමට භාවිත කරන්න ඕන. සාමානයෙන් සිටුවීමට සුදුසු පැළයක වයස මාස 1.5 –2 පමණ වීමත් හොඳින් මුල් ඇද තිබීමත් වඩාත් සුදුසු වෙනවා. එක් දණ්ඩක කොළ ගණන 2-3 පමණ වීමත්, ඒවගේම රෝග හා පළිබෝධ හානිවලින් තොර වූ පැළයක් වීමත් ඉතාමත් වැදගත් වෙනවා. පැළ සිටුවීමේදී පාත්තිය තුළ සලකුණු කරනු ලැබූ සෑම ස්ථානයක් ඉදිරියෙන්ම වළක් කපා ආධාරකය දෙසට පැළය ආනත කර සිටවිය යුතු වේ. මෙලෙස ආනතකර සිටුවීමෙන් ඉක්මනින්ම ආධාරකයට බුලත් වැල සම්බන්ධ වී ඉහළට වැඩීමට උපකාර වේ.

මෙම අවස්ථාවේදීම පාත්තිය තුළ ආධාරක ඉනි සිටුවීම හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශිත රසායන පොහොර මිශ්‍රණයෙන් භාගයක් හා වියළි ගොම පොහොර තට්ටුවක් යෙදීම සිදු කළ යුතුය. අවශ්‍ය වේ නම් තවදුරටත් සති කීපයක් සෙවණ සැපයීම සඳහා සිටුවා ගත් ආධාරකවල හරහට ලී කොටු තබා බැඳ පොල් අතු කීපයක් ඒ මතින් යෙදීම කිරීමට පුළුවන.

දලු කැබලි කෙළින්ම පාත්තිය තුළ සිටුවීම සඳහා සකස් කර ගත් පාත්තිවල අඩි 1.5 ප්‍රමාණයට පැළ සිටුවන ස්ථාන ලකුණු කර ගැනීමට අවශ්‍යය. ලකුණු කර ගත් සෑම ස්ථාන 2ක්ම මැදින් උදලු තලයේ ප්‍රමාණයට වළක් කපා ගත යුතුය. එලෙස සකස් කර ගත් වළවල්වල එක වළක බුලත් දඬු කැබලි දෙකක් බැගින් සිටුවා ආධාරකය දෙසට ආනතකර හොඳින් දල්ල පාමුල පාගා පසට තද කළ යුතුය. ආනතකර සිටුවීම මඟින් බුලත් වැල ඉක්මනින්ම ආධාරකය හා සම්බන්ධ වෙමින් ඉහළට වැඩීම සිදු වේ. දලු කැබලි කෙළින්ම ක්ෂේත්‍රයේ සිටුවීමේදී හොඳින් සෙවණ සැපයීම ඉතාමත් වැදගත්ය. ඒ සඳහා පාත්තියට හොඳින් ජලය සපයා පොල් ඔළු කීපයක් පාත්තිය හරස් අතට යොදා ඒ මතට පොල් අතු දමා හොඳින් පාත්තිය ආවරණය වන සේ වසා දමා දින 21 ක් යන තෙක් මෙම පොල් අතු වැස්ම ඉවත් නොකරන අතර දිනපතා පාත්තියට ජලය යෙදිය යුතුය. දින 21කට පසු පොල් අතු කීපයක් ඉවත් කර තවත් සති 2-3 කට පසු ආධාරක ඉනි සිටුවා හරහට ලී කීපයක් බැඳ තවදුරටත් සෙවණ සැපයීම කළ යුතුය.

 

තනි කණු ක්‍රමය (කොවුල් ක්‍රමය)

බුලත් වගා කරන තනි කණු ක්‍රමයේදී ආධාරක ලෙස ජීවී සහ අජීවී යන ආධාරක 02කම යොදා ගත හැකි වෙයි. අජීවී ආධාරක ලෙස කොන්ක්‍රීට් කණු, කිතුල් පටි, ලණු ඔතන ලද PVC බට, තේක්ක හරස් අතු හෝ වෙනත් සුදුසු ආධාරක භාවිත කළ හැකි වේ. සජීවී ආධාරක ලෙස ග්ලිරිසීඩියා පහසුවෙන් යොදා ගත හැකිය. මෙහිදී අඟල් 02ක් පමණ විෂ්කම්භය ඇති ආධාරකයක් සිටුවීම මඟින් එය වඩාත් ස්ථාවර ලෙස පවත්වා ගත හැකිය.

තනි කණු ක්‍රමයේදී ආධාරක සිටුවීමේදී අඩි 08ක් උස පොළොව මට්ටමේ සිට අඩි 01ක් ගැඹුරින් සිටුවිය යුතුය. එමඟින් ශක්තිමත්ව ආධාරකය පවත්වා ගත හැකි අතර සාදා ගන්නා ලද අඩි 2 x2 x 1.5වල මැද සිටුවා ගනු ලැබේ. මෙහිදී ආධාරක අතර පරතරය අඩි 6 කි. එම වළවල් මතුපිට පස් හා ගොම පොහොර 1 : 1 මිශ්‍රණයකින් පුරවා ගැනීම කළ යුතු වේ. පුරවන ලද වළෙහි කෙළින්ම බුලත් දඩු කැබලි හෝ බඳුන් ගත කළ පැළ ඔබගේ කැමැත්ත පරිදි සිටවිය හැකිය.

කෙළින්ම දලු කැබලි සිටවන්නේ නම් දඬු කැබලි 4 ක් ආධාරකය දෙපසින් සිටුවීම කළ හැකිය. බඳුන්ගත කළ පැළ සිටුවන්නේ නම් දඬු කැබලි දෙකකින් සමන්විත බඳුන් 2ක් සිටුවීම කිරීමට පුළුවන. පසුව සිටුවන ලද පැළවලට ජලය යොදා සෙවණ සැපයීම සඳහා පොල් අතු අගිසි කීපයක් ආධාරකය වටේට සවි කර ගත යුතුය. එසේම පසේ තෙතමනය ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු පරිදි දිරායන කොළ අතු වැනි වසුනක් යෙදීම කිරීමට පුළුවන.

වැඩි ඉඩකඩක් සහිත භූමියක් සඳහා මෙම ක්‍රමය වඩාත් සුදුසුය. එසේම පාත්ති ක්‍රමයට වගා කළ නොහැකි බැවුම් බිම් සඳහා ද මෙම ක්‍රමය වඩාත් යෝග්‍යය. තනි කොවුල් ක්‍රමයට වගා කිරීමේදී බුලත් වැල වැඩීම සඳහා වැඩි ඉඩකඩක් පවතින නිසා සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාල කොළ ගත හැකිය. මෙම ක්‍රමයේ ප්‍රධානතම වාසිය වන්නේ බැක්ටීරියා කොළ පුල්ලි රෝගය වැනි දරුණු රෝගයක් ක්ෂේත්‍රයට ආසාදනය වුවහොත්, ආසාදිත වැල් ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම හා රෝගය පාලනය වඩාත් පහසු වීමයි. පන්දලම් බැඳීමක් අවශ්‍ය නොවන හෙයින් ඒ සඳහා යන වියදම මෙම ක්‍රමයේදී අඩුකර ගත හැකිය.

වල් මර්දනය පහසු වීමත් යොදා ගන්නා ග්ලිරිසීඩියා ජීවී ආධාරකවල අතු වසුනක් ලෙස යොදා ගැනීමට හැකි වීමත් මෙම ක්‍රමය තවදුරටත් වාසිදායක වීමට හේතු වේ. මෙහිදී ජීවී ආධාරක භාවිත කරන්නේ නම් විටින් විට ආධාරක ශාක කප්පාදු කර බුලත් වගාවට ප්‍රමාණවත් ලෙස ආලෝකය ලැබීමට සැලැස්විය යුතුය. ආධාරක ලෙස ග්ලිරිසීඩියා භාවිත කරන්නේ නම් දැඩි ආලෝකයෙන් බුලත් වගාව ආරක්ෂා කර ගැනීමටත් මඳ සෙවණක් දීමටත් එක් ග්ලිරිසීඩියා ආධාරකයක හොඳින් වැඩුණු ග්ලිරිසීඩියා අතු 2-3 ක් පමණ පවත්වා ගැනීම සුදුසුය. අපනයනය සඳහා බුලත් වගා කරන්නේ නම් කළු බුලත් නිෂ්පාදනය සඳහා 30% පමණ සෙවණ තත්ත්ව යටතේ වගා කිරීම සුදුසු වේ. සෙවණ යටතේ බුලත් වගා කිරීමේදී ඒවායේ පත්‍ර තද කොළ පැහැයක් ගනී.

බුලත් වැල් අඩි 4 ක් පමණ වැඩෙන විට හරස් අතු (පළුකන්) වැඩී නොමැති නම් බුලත් වැලේ පාමුල සිට ඉහළට ගැට 3 ක් තබා වැල කපා නිර්දේශිත කාබනික හා රසායනික පොහොර යෙදීම කළ යුතුය. බුලත් වැල කැපීමෙන් පසු අලුතෙන් වර්ධනය වන කොළ පැහැති දලු ආධාරකය මත වර්ධනය වීමට ඉඩ සැලැස්විය යුතු අතර රතු පැහැති වැල් කපා ඉවත් කළ යුතුය. ප්‍රධාන වැල පන්දලමට වර්ධනය වූ පසු පලුකන් 4 ක් තබා වරින් වර වැල් කප්පාදු කිරීම ද වැඩෙන හරස් අතුවල කොළ කුඩා වීමට පෙර ප්‍රධාන වැලේ සිට පුරුක් 1 පමණ තබා කප්පාදු කිරීම ද කළ යුතු වේ. මේ මඟින් බුලත් ඵලදායිතාව පහසුවෙන් වැඩි කර ගත හැකිය.

 

පාත්ති ජීවානුහරණය

බුලත් වගාව සඳහා ආර්ථිකමය වශයෙන් විශාල හානියක් සිදු කරන බැක්ටීරියා කොළ අංගමාරය රෝගය වැනි රෝගවලින් බුලත් වගාව ආරක්ෂා කර ගැනීමට සිදු කරන පූර්ව සනීපාරක්ෂක ක්‍රමයක් වශයෙන් බුලත් පාත්ති ජීවානුහරණය කිරීම වැදගත් වේ. පාත්ති ජීවානුහරණය කර ගැනීමේ ක්‍රම ගණනාවක් පැවතුණ ද ගිනි තැබීම මඟින් කරනු ලබන ජීවානුහරණය බහුල වශයෙන් ගොවීන් අතර ප්‍රචලිත ක්‍රමය වේ. මෙහිදී පළමුව පස් පුරවා සකසා ගත් පාත්තියට හොඳින් තෙත් වන පරිදි ජලය යෙදීම කළ යුතුය. මතුපිට වූ වැඩිපුර ජලය බැස ගිය පසු පාත්තිය මත අඟල් 4-6 ක් පමණ පිදුරු තට්ටුවක් දමා ඒ මතින් අඟල් 2ක් පමණ දහයියා තට්ටුවක් දැමීම කළ යුතු වේ.

මෙලෙස මාරුවෙන් මාරුවට පිදුරු හා දහයියා තට්ටු කීපයක් පාත්තිය මත අතුරා සුළං හමන දිශාවට විරුද්ධ දෙසින් මෙම අතුරණුව ගිනි තැබීම කරනු ලබයි. ක්‍රමයෙන් අතුරුණුව දැවීමේදී පාත්තියට යෙදූ ජලය රත් වීම සිදු වන අතර එහිදී පස තැම්බීමක් සිදු වේ. එවිට පස තුළ වූ අහිතකර රෝගකාරක විනාශ වීම සිදු වේ. නිසි පරිදි ජීවානුහරණය කර ගත් පාත්ති ජීවානුහරණය කර අවසන් වූ පසු හොඳින් පාත්තිය පෙඟෙන පරිදි නැවතත් ජලය යෙදිය යුතු වේ. ඊට දිනකට පසු බුලත් සිටුවීම සඳහා යොදා ගත හැකිය. එමෙන්ම මෙය නිරෝගිමත් වගාවක් පවත්වාගෙන යෑමට බලපාන ප්‍රධාන හේතු සාධකයක් ද වේ.

 

වසුන් යෙදීම මඟින්

පාංශු තෙතමනය සංරක්‍ෂණය

බුලත් ශාකය අධික ලෙස ජලය ලබාගැනීම නිසා සෑම විටම මූල පද්ධතිය වටා හොඳින් තෙතමනය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙය බුලත් ශාකයේ අඛණ්ඩ වර්ධනයටත් අස්වැන්නටත් ඉතාමත් වැදගත් වේ. මේ නිසා වියළි කාලයේදී හා ජල හිඟ අවස්ථාවලදී තෙතමනය ආරක්ෂා කර ගැනීම වැදගත් වේ. මේ සඳහා පැළ අතර පස ආවරණය වන පරිදි පොල් අතු හෝ සෙවණ පාලනයේදී කපා ඉවත් කරන සජීවී ශාක අතු කොටස් ආදිය පැළය වටා යෙදිය යුතුය. එහෙත් අධික වර්ෂාව සහිත කාලයේදී රෝග වැලඳීමේ අවදානම ඇති බැවින් වසුන් යෙදීම සුදුසු නොවේ.

ආචාර්ය එච්.එම්.පී. ආනන්ද සුබසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here