අයිසීසීය නුවන් සොයිසා චෝදනා 3කට වරදකරු කරයි

0
26

අයිසීසී දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ චෝදනා ලැබූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරුවකු වන නුවන් සොයිසා වැරදි තුනකට වැරදිකරු වී තිබේ.

අයිසීසී දූෂණ මර්දන පනතේ වගන්ති 3ක් උල්ලංඝනය කළ බවට මෙලෙස ඔහු වරදකරු කර තිබෙන්නේ ස්වාධීන දූෂණ මර්දන විනිසුරු මඬුල්ලක් විසින් කළ විභාගයකින් අනතුරුවය.

2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංවිධාන කළ ටී10 ලීග් තරගාවලියකට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු සහභාගී වූ අතර, එහිදී සිදුවීම් සම්බන්ධයෙන් 2018 වසරේ නොවැම්බර් මාසයේදී අයිසීසී දූෂණ මර්දන පනත යටතේ නුවන් සොයිසාට චෝදනා ගොනු කර තිබිණි.

මෙලෙස චෝදනා ගොනු කර තිබුණේ තරග තීරණ අයථා ලෙස වෙනස් කිරීමට බලපෑම් සිදු කිරීම, අයිසීසී ආචාර ධර්ම සෘජුව හෝ වක්‍රාකාරයෙන් උල්ලංඝනය කිරීම හෝ දිරිගැන්වීම සහ දූෂණ ක්‍රියා මාර්ගවලට සම්බන්ධ ප්‍රවේශයන් පිළිබඳ කරුණු හෙළිදරවු නොකිරීම ලෙසිනි.

ඒ සඳහා කරුණු දැක්වීමට ඇති අයිතිය නුවන් සොයිසා විසින් භාවිත කිරීමට තීරණය කිරීම නිසා මෙලෙස විනිසුරු මඬුල්ලක් හමුවේ මේ චෝදනා විභාග කිරීමට පියවර ගත්තේය.

ඔහු සියලු චෝදනාවලට වරදකරු වී තිබෙන අතර, මේ අනුව ඔහුට එරෙහිව පනවා ඇති තාවකාලික ක්‍රිකට් තහනම තවදුරටත් බලපැවැත්වේ. අයිසීසීය විසින් මේ වැරදිකරු කිරීම සඳහා අදාළ දඬුවම් ඉක්මනින් ප්‍රකාශ කරනු ඇති බව වාර්තා වෙයි.

මීට අමතරව එමිරේට්ස් ක්‍රිකට් ආයතනය වෙනුවට ද නුවන් සොයිසාට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සිලය චෝදනා 4ක් ගොනු කර ඇත්තේ එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන පනත යටතේයි. ඊට අදාළ විමර්ශන තව දුරටත් සිදු වෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here