ඇන්. ඇම්. ට හමු වූ ආදරය සෙලීනා මාග්‍රට්

    0
    30
    ඇන්. ඇම්

    සූරිය මල් ව්‍යාපාරය, අධිරාජ්‍ය විරෝධි අරගලයේ ආරම්භක සංවිධානයකි. මෙහි අනුශාසකත්වය උඩකැන්දවල සිරි සරණංකර හිමියෝ දැරූහ. මෙකී සංවිධානයේ සාමාජිකයෝ ගම්-නියම්ගම් සැරිසරමින් මැලේරියා වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට වෛද්‍ය ප්‍රතිකාර සේම වියළි ආහාරද බෙදා දීමට උත්සුක වූහ. මේ අය අතර රෝගීන් අතරට නොබියව ගොස්, ඔවුන්ගේ සුව-දුක් විමසා උවටැන් කළ කාන්තාවෝද සිටියහ. සෙලීනා මාග්‍රට් පීරිස් යනු සූරිය මල් ව්‍යාපාරයේ සිටි එවන් කාන්තාවකි.

    ඌව පළාතේ ඉඩම් හිමි ධනවත් පවුලක උපත ලද සෙලීනා මව්පියන් විසින් ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා කතෝලික කන්‍යාරාමයකට යොමු කෙරිණි. පසුව ඕ කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද අතර, ලන්ඩනයේ විශ්වවිද්‍යාලයකින් උපාධියක්ද හිමි කරගත්තීය. අනතුරුව ගුරු වෘත්තියට ප්‍රවේශ වූ ඇය පසු කලෙක ගල්කිස්සේ බෞද්ධ කාන්තා විදුහලක විදුහල්පතිනියද වූවාය.

    සමාජ කටයුතු කෙරෙහි තුරුණුුු වියේ පටන්ම උනන්දුවක් දැක්වූ සෙලීනා දකුණු කොළඹ තරුණ සංගමයට බැඳුණාය. 1932 වසරේ දී පිලිප් ගුණවර්ධන මේ සංගමයට බැඳී, එහි මඟ පෙන්වන්නා බවටද පත් විය. සෙලීනාගේ සිත මාක්ස්වාදය කෙරෙහි නැඹුරු වන්නට වූයේ ඉන් අනතුරුවය. ගුණවර්ධන මහතා අමෙරිකානු විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලැබූවෙකි. සූරිය මල් ව්‍යාපාරය දකුණු කොළඹ සංගමය හා එක් විය. ඒ අනුව සෙලීනා එම ව්‍යාපාරයේද ඉතා ක්‍රියාශීලි සාමාජිකාවක් වූවාය. 1933 වසර මැලේරියා වසංගත තත්ත්වය දරුණු ලෙස පැතිර ගිය වකවානුවකි. මේ සම්බන්ධයෙන් ඉංග්‍රීසීන්ගේ තීන්දු තීරණ ඉතා අලස ස්වභාවයක් ඉසිලීය. එහි ප්‍රතිඵලය වූයේ, මාස දෙකකදී දස දහසක් ජනතාව මිය යෑමය. සෙලීනා මාග්‍රට් පීරිස් සූරිය මල් ව්‍යාපාරය හා එක් වන්නේ මෙවන් සමාජීය වටපිටාවකදීය. මෙහිදී එකී දේශපාලන කටයුතුවල ක්‍රියාකාරිකයකුව සිටි ඇන්.ඇම්. පෙරේරා සමඟද ඉතා සමීපව කටයුතු කිරීමට ඇය අවස්ථාව ලද්දාය.

    1935 වසරේ දෙසැම්බරයේදී ලංකා සමසමාජ පක්ෂයේ මංගල සභාවට සෙලීනාද සහභාගි වූවාය. පක්ෂයේ මධ්‍යම කාරක සභාවට තේරී පත් වන ඇය එහි භාණ්ඩාගාරික ලෙසද කටයුතු කළාය. රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට ලංකා සමසමාජ පක්ෂයෙන්ද අපේක්ෂකයෝ සතර දෙනෙක් ඉදිරිපත් වූහ. ඒ අතරට ඇන්.ඇම්. පෙරේරාද එක් ව සිටියේය. ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල අසුනටය. තරුණ මාග්‍රට් පීරිස් රුවන්වැල්ලේ කඳවුරු ලා ගනිමින් ඇන්ඇම්ට සහාය දෙනු වස් කටයුතු කළාය. මේ අවස්ථාව වන විට සබරගමුව පළාතද මැලේරියා වසංගතයේ ගොදුරක් බවට පත්ව තිබිණි.

    1936 මහ මැතිවරණයෙන් ඇන්ඇම් රුවන්වැල්ල ආසනය වැඩි ඡන්ද 2972කින් දිනාගැනීමට සමත් විය. එවසරේම මාර්තු 06 දා ඇන්ඇම් – සෙලීනා විවාහ මංගල්‍යය සිදු විය. ඒ මාර්තු මස 16 දා පැවැත්වීමට නියමිත තිබූ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ ප්‍රථම රැස්වීමට පෙරය. මේ විවාහය සිදු වීමට නියමිතව තිබුණේ ඊට මාස කිහිපයකට පෙර වුවද මැතිවරණ කටයුතු නිසා එය මෙතෙක් පමා විය.

    රුසියානු විප්ලවයට නායකත්වය දුන් රුසියානු මාක්ස්වාදී ව්‍යාපාරයේ අසමසම විප්ලවවාදි පෞරුෂය වූ ලියොන් ට්‍රොට්ස්කිට, මේ ධනවත් සෙලීනා ඇලුම් කළාය. ඕ ඔහුගේ අදහස්වලට මෙන්ම දේශපාලනයටද ගරු කරන්න පටන් ගත්තාය. මේ ඇලුම්කම කොතෙක්ද යත්: සෙලීනා ඇය දිගින් දිගටම ඔහුට ලිපි යොමු කළාය.

    තම දියණියගේ සටන්කාමි දේශපාලනය නොරිස්සූ මව්පියෝ සිත්තැවුලට පත්ව සිටියහ. මෙතැනදී ඇයගේ පියාණන් උපක්‍රමශීලි පියවරක් අනුගමනය කළ අතර, ඔහු ඇයට යෝජනා කළේ එංගලනන්තයට ගොස් තවදුරටත් අධ්‍යාපන කටයුතුවල නිරත වන ලෙසය. ඒ සඳහා අවශ්‍ය මුදල් තමාට දිය හැකි බව ඔහු කීය. සෙලීනාගේ පක්ෂයේ හිතමිත්‍රාදීන් මෙය දුටුවේ කදිම අවස්ථාවක් උදා වූ ලෙසටය. ඒ අනුව ඇය 1938 වසරේ තම මව්පියන්ටත්, සැමියාටත්, පවුලේ ඥාතීන්ටත්, පක්ෂයේ සාමාජිකයන්ටත් සමු දී මහා බ්‍රිතාන්‍යය බලා පිටත්ව ගියාය.

    එහිදී සෙලීනා ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ප්‍රාචීන භාෂා සහ අප්‍රිකානු භාෂා අධ්‍යයන ආයතනයේ ලියාපදිංචි වූවාය. ඇය සංස්කෘත හා පාලි භාෂා හැදැරීය. මෙහිදී ඕ හට ඉන්දු-ආර්ය භාෂා පිළිබඳ දෙවැනි පෙළ ඉහළ ගෞරව උපාධියක් ලැබිණි. සෙලීනා 1939 වසරේ ජූනි මාසයේදී අධ්‍යාපන කටයුතු අවසන් කළාය. ඇය බ්‍රිතාන්‍යයේදී ප්‍රාදේශීය ට්‍රොට්ස්කිවාදි කණ්ඩායම් සමඟ ඉතා කිට්ටුවෙන් කටයුතු කරමින් සිටියාය. 1939 වසරේ සැප්තැම්බරයේදී මහා බ්‍රිතාන්‍යය හා ප්‍රංශය, ජර්මනියට එරෙහිව යුදයට ප්‍රවේශ විය. ඒ කාලයේ සෙලීනා තම කාර්යය පිළිබඳ සිතමින් සිටි අතර ඔක්තෝබරයේදී නිව්යෝක් නගරයට පැමිණියාය.

    ඇය මෙහිදී 04 වැනි අන්තර්ජාතිකය නියෝජනය කළ අමෙරිකානු පාර්ශ්ව වන සමාජවාදි කම්කරු පක්ෂයේ නායකයන් හමු විය. ලියොන් ට්‍රොට්ස්කි වාසය කළ මෙක්සිකෝවේ කෝයෝකාන් නගරයට සෙලීනාට පිටත් වීමට කටයුතු සංවිධානය කෙරිණි. එකී සැලැස්මට අනුව ඇය ටෙක්සාස් ජනපදයේ සන්ත අන්තෝනියෝවට පැමිණ ලියොන්ට ඉතා කෙටි ලිපියක් තැපැල් කළාය. එහි සඳහන් වූයේ, මෙක්සිකෝවේ එක්තරා බස් රථ ගමනාන්තයකදී ඇය හමු විය හැකිද යනුවෙනි. ට්‍රොට්ස්කිට හඳුනාගනු පිණිස ඇයගේ හැඩරුවද එහි සඳහන් කර තිබිණි. එහෙත් ඒ ප්‍රයත්නය අසාර්ථක විය. අමෙරිකා-මෙක්සිකෝ මායිමේ පිහිටි ලරේඩො නගරයට ප්‍රවේශ වූ ඇයට ගමන් බලපත්‍රයේ යම් ගැටලුවක් තිබූ බැවින් මෙක්සිකොවට ඇතුළු වීමට අවසර ලැබුණේ නැත.

    සෙලිනා නැවතත් මව්රටට පැමිණියාය. ඒ 1940 වසරේ මුල් කාලයේදීය. නැවතත් ඕ සුපුරුදු ලෙස පක්ෂ කටයුතුවලට ක්‍රියාශීලිව මැදිහත් වූවාය. පක්ෂ වේදිකාවේ ඇය නැවත නායක පෙළේ චරිතයක් බවට පත් විය. 1940 වසරේ ජූනි මාසයේදී ලංකාණ්ඩුකාරවරයා නියෝගයක් පැනවීය. ඒ ලංකා සමසමාජ පක්ෂ නායකයන් අත්අඩංගුවට ගන්නා ලෙසටය. මේ අතර 1940 අගෝස්තු 20 දින රුසියාවේ අසහාය විප්ලවීය නායක ලියොන් ට්‍රොට්ස්කි මැක්සිකෝවේදී රමෝන් මර්කඩෝර් නැමැත්තකු අතින් ඝාතනයට ලක් විය.

    සෙලීනා මාග්‍රට්

    1941 වසරේ යාපනයේ තරුණ සංගමය ඇමතීමේ අවස්ථාව සෙලීනාට ලැබිණි. එය ජනතාව පොලඹවනසුලු කතාවක් යැයි චෝදනා එල්ල වූ අතර, ඇයට මල්ලාකම් උසාවියේ නඩු පැවරිණි. පසුව එකී චෝදනාවලින් ඕ නිදහස ලැබුවාය. රොක්මන් කොම්පැනියේ සේවක වැඩ වැරුම මෙහෙයවමින් සිටියදී සෙලීනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කළ උත්සාහයද ව්‍යර්ථ විය.

    1942 අප්‍රේල් 05 දින ජපනුන් විසින් මෙරටට බෝම්බ හෙළන ලදි. ඊට දින දෙකකට පසු අපූර්ව සිදුවීමක් මහනුවර බෝගම්බර සිරගෙදරින් වාර්තා විය. ඒ සමසමාජ නායකයන් සිව් දෙනා පලාගිය පුවතය. මින් ඇන්.ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර් ද සිල්වා ඇතුළු කණ්ඩායමක් ඉන්දියාවට පැනගත්හ. මේ පිරිස අතර සෙලීනාද විය. මින් සමහරෙක් මදුරාසියටද බොම්බායටද ගියහ. මේ පිරිස කෙරෙහි මෙරට රහස් පොලීසියේ උකුසු ඇස් යොමුව තිබිණි. පලාගිය සමසමාජ නායකයන් ඉන්දීය බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයේ සාමාජිකයන් මෙන්ද නායකයන්ද වීම මේ සඳහා බලපෑවේය.

    ඇන්ඇම් – සෙලීනා යුවළ ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින්, බොම්බායේ කුලී නිවෙසක ජීවත් වූහ. ඇය එහි පාසලක ගුරුපත්වීමක් ලැබ ගත්තාය. ඉන් උපයන මුදලින් ඕ පක්ෂයද ශක්තිමත් කළාය. ඊට අමතරව බොල්ෂෙවික් පක්ෂයේ තරුණ තරුණියන්ට මාක්ස්වාදය හා ට්‍රොට්ස්කිවාදය පුහුණු කිරීමෙහිලා යෙදුණාය. ඇයගේ සිසුන් විසින් ඇය අමතන ලද්දේ ‘මාර්ගී’ යන නමිනි. මේ අතරතුර දේශපාලන සගයෝ කීප දෙනෙක්ම පොලිස් අත්අඩංගුවට පත් වූහ. ඔවුන් අතර ඇන්ඇම්ද සිටියේය. ළඟ ළඟම එන අනතුර දුටු සෙලීනා, කොල්වින්, ලෙස්ලි හා විවියන් ගුණවර්ධන මදුරාසිය බලා පලා ගියහ. එහිදී බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයට අයත් තැනක ඔවුන් නවාතැන් ගත් අතර, එහි මෙම පක්ෂයේ ප්‍රබල ශාඛාවක් වීය. සෙලීනා පෙරේරා පක්ෂයේ විධායක කමිටුවට ද පත් කරනු ලැබ තිබුණු අතර, මේ වන විට ගාන්ධි තුමා ‘ඉන්දියාවෙන් පලයව්!’ ව්‍යාපාරය ආරම්භ කර තිබිණි.

    ඇන්.ඇම්. පෙරේරාට දේශපාලනය විනා තම බිරිය සෙලීනා සමඟ නිදහසේ ආලය කිරීමට කාලයක් වෙන් කරගැනීමට නොහැකි විය. එසේම යහපත් මනසකින් යුතුව විවාහ දිවියක ගැලී සිටීමටද අවස්ථාවක් නොලැබිණි. කලක් කටුව ඇතුළට වන් ගොළුබෙල්ලකු සේ හුදෙකලා ජීවිතයක් ගෙවූ ඇය පසුව මව් රට අතැර ඉන්දියාවේ කොල්කොතාවට පදිංචියට ගියාය. ඒ 1960 වසරේය. සෙලීනා මේ සඳහා කොල්කොතාවම තෝරා ගත්තේ ඒ වන විට බටහිර බෙංගාලය අන්තර්ජාතික වාමාංශික ව්‍යාපාරයේ ඉන්දියාවේ ප්‍රවේශ දොරටුව වී තිබීම නිසාය.

    එය 1986 වසරේ ජූනි මාසයේ දවසක් විය. කල්කටාවේ එක්තරා ස්ථානයක පිහිටි මහල් ගොඩනැඟිල්ලක පදිංචිව සිටි කාන්තාවක දින කිහිපයක සිට දක්නට නොලැබුණු බව අසල්වාසීහු පොලිස් ස්ථානයට දැනුම් දුන්හ. පොලිස් නිලධාරීහු එකී තොරතුරට අනුව ඒ කාන්තාව පදිංචිව සිටි නිවෙසට ඇතුළු වූහ. ඔවුන්ට දක්නට ලැබෙන්නේ කාන්තාවකගේ ප්‍රාණය නිරුද්ධ සිරුරකි. අවසානයේ මිය ගිය කාන්තාවගේ මිත්‍රයන් සහ දේශපාලන සගයන් ඇය හොඳින් හඳුනාගෙන තිබිණි. ඒ අන් කවරකුවත් නොව, සූරිය මල් ව්‍යාපාරයේත් ලංකා සමසමාජ පක්ෂයේත් පිරිමි පාර්ශ්ව සමඟ උරෙනුර ගැටී නොබියව තම කාර්යය ඉටු කළ සටන්කාමි සෙලීනා මාග්‍රට් පීරිස්ගේ සිරුරය. එකී දේහය ගෞරවාන්විතව කොල්කොතාවේ සහනගර්වලදී ආදාහනය කෙරිණි. ඒ 1986 ජූනි මස 15 වැනිදාය. පසුව හෙළි වූයේ සෙලීනා ඉන්දියාවට පා තැබූ මොහොතේ පටන් මිය යන තෙක්ම, ඉන්දීය රහස් ඔත්තු සේවය ඇය පිළිබඳ විමසිලිමත්ව සිට ඇති බවයි.

     

     

     

     අනුසාර මාහිංගොඩ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here