තුන් වරක් පැන්න මහානාමගේ දේශපාලනය

    0
    26
    මහනාම සමරවීර

    පිල් මාරුවක් නැති තැන දේශපාලනයක්ද නැත. පිල් මාරුව පුද්ගල දේශපාලනයේද පක්ෂ දේශපාලනයේද දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. ඒ විශේෂත්වය ලංකාවේ දේශපාලනයට වඩාත් විශේෂය. සිටින තැනින් සිය අපේක්ෂා ඉෂ්ඨ සිද්ධ කරගන්න නොලැබේ නම් ඒ අපේක්ෂා ඉටු කර නොගෙන තම ජන්දදායකයන් අතර තමන්ට පැවැත්මක් නැත්නම් එක්කෝ පිල් මරු කළ යුතුය; නැත්නම් දේශපාලනයෙන් සමු ගත යුතුය. මහානාම සමරවීරද පිල් මාරු කළේය. ඔහු ඒ අවධියට, අවස්ථාවට ගැළපෙන පරිදි බුද්ධියට එකඟ දේ කළේය.

    මහානාම සමරවීර වෘත්තීයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙක් විය. එහෙත් කිසි කලෙක ඔහු මුදල් පසුපස හඹා ගියේ නැත. සාමාන්‍ය ජනතාවට නීතියේ පිහිට නොමිලයේ දීමට තරම් ඔහු මානව හිතවාදියෙක් විය. තුඩාව ප්‍රදේශයේ විසූ හින්‍නි අප්පු නම් අසරණ ගැමියෙක් විය. රා මදින්නකු වූ ඔහු දිනක් පොලීසියට අසු විය. එහිදී කිසියම් සිද්ධියකින් දී ඔහු මිය ගියේය. පොලිස් අත්අඩංගුවේදී මිය ගිය ඔහු වෙනුවෙන් කිසිදු නීතිරඥයෙක් පෙනී නොසිටියේය. එහෙත් මහානාම සමරවීර පැවති අවදානම නොසලකා ‍අසරණයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිට ඔහුගේ පවුලට වන්දි මුදලක් ලබාදීමට තරම් එඩිතර විය.

    මහානාම සමරවීර ගමන් බිමන් ගියේ බක්කි කරත්තයනි. ඇමැතිවරයකු ලෙස භාවිත කළේ දෙවන පෙළ මොරිස් මයිනර් රථයකි. ඒ වාහනයෙන් තනිවම ගමන් ගිය එදා මහානාම සමරවීර අදටද ආර්ශයකි. මාතර නගරයට පානීය නළ ජලය සැපයීමට මූලිකව ක්‍රියාත්මක වූයේ මහානාමය. මාතර නිල්වලා ගඟේ නව පාලම හැදීමට මුල් වූයේ මහානාමය. මාතර රෝහල දියුණු කිරීමටද ඔහු මුල් විය.

    මහනාම සමරවීර 1917 ඔක්තෝබර් 12 මාතරදී උපත ලබන අතර, ගමේදී මූලික අධ්‍යාපනය ලබා ගාල්ලේ ඇලෝසියස් විදුහලට ඇතුළත් විය. එහිදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනයට හපන්කම් දැක්වූ ඔහු කේම්බ්‍රිජ් සීනියර් විභාගයෙන් විශිෂ්ටතම ශිෂ්‍යයා ලෙස සම්මාන ලැබීය. ඉන් අනතුරුව නීති විද්‍යාලයට අතුළත් වූ ඔහු 1940දී නීතිඥයකු වශයෙන් දිවුරුම් දෙයි. මාතර අධිකරණයේ නීතිඥයකු වශයෙන් සිය වෘත්තීයේ යෙදී සිටින අතරතුර, 1940දී කොමියුනිස්ට් පක්ෂයේ නායක දොස්තර සුගීශ්වර වික්‍රමසිංහයන්ගේ ඇසුරෙන් මහානාම සමරවීර දේශපාලනයට පිවිසියේය. 1943 ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මාතර, වල්පොල කොට්ඨාසය නියෝජනය කරමින් නාගරික මන්ත්‍රීවරයකු බවට පත් විය.

    1947 පැවති පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයේදී කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් මාතර අසනය ජය ගත් හැරී අබේගුණවර්ධන පක්ෂයේ කටයුතුවලින් ඉවත්වීමෙන් අනතුරුව කොමියුනිස්ට් පක්ෂයේ මාතර ආසනයේ වැඩ කටයුතු පවරනු ලැබුවේ මාතර නාගරික මන්ත්‍රී මහානාම සමරවීරටය.

    1950දී මාතර පැවති කොමියුනිස්ට් පක්ෂයේ ඓතිහාසික හතරවන ජාතික සමුළුවේ පක්ෂයේ ක්‍රියාකාරියකු වශයෙන් මතු වූ මහානාම සමරවීර ජාතික දේශපාලනයට පිවිසීමේ වරම I952දී හිමි කර ගත්තේ ය. එහිදී මාතර ආසනයෙන් කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් ඡන්ද 11861ක් ලබා, වැඩි ඡන්ද 1076කින් මාතර මන්ත්‍රී විය.

    1955 කොමියුනිස්ට් පක්ෂයෙන් ඉල්ලා අස්වන මහානාම සමරවීර 1955 රට පුරා සැරිසැරූ සිංහල භාෂා පෙරහරට මාතර බෝධිය අසලදී එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වෙයි. 1956දී මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකත්වය ලබාගනිමින් මාතර ආසනය ජයග්‍රහණය කළේය.

    මාතර ආසනය නියෝජනය කරමින් තේරී පත් වූ මහානාම සමරවීර 1956 අප්‍රේල් 21 දින කොළඹ රජ ගෙදරදී බණ්ඩාරනායක මහතාගේ රජයේ අධිකරණ උප ඇමැති ලෙස දිවුරුම් දෙමින් සිටියේය. ඒ වන විට මහානාම සමරවීරයන්ගේ බිරිය ඛේමා සමරවීර සිය තුන්වන දරු ප්‍රසූතිය සඳහා මාතර සමුපකාර රෝහලට ඇතුළත්ව තිබිණි. ඔහු අධිකරණ නියෝජ්‍ය ඇමැති ලෙස දිවුරුම් දෙන මොහොත් ඛේමා සමරවීර පුතකු බිහි කළාය. එදින උපන් කුමරාට ඔවුහු ‘මංගල පින්සිරි සමරවීර‘ ලෙස නම‘ තැබූහ.

    1956 මහ මැතිවරණයෙන් තුන්වසරක් ඉක්ම යන මොහොතේ අගමැති බණ්ඩාරනායක ඝාතනයට ලක් වීමෙන් අනතුරුව අගමැති වූ විජයානන්ද දහනායක රජයේ උප ඇමැති තනතුරකට කරන ලද ඇරියුම මහානාම සමරවීර ප්‍රතික්ෂේප කළේය.

    දහනායක ආණ්ඩුවේද පක්ෂ අභ්‍යන්තරයේද අවුල් වියවුල් රැසක් මේ වන විට ඇතිවී තිබිණි. දහනායක අගමැතිගේ ආණ්ඩුවට විරුද්ධව බණ්ඩරනායක ඝාතනය සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂය ඉදිරිපත් කළ විශ්වාස විශ්වාසභංග යෝජනාවේදී මහානාම ආණ්ඩුවට විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කළේය. මේ විශ්වාසභංග යෝජනාවෙන් දහනායක ආණ්ඩුව එක් වැඩි ඡදයකින් ජයගත්තද ඉන් සතියකට පසු දහනායක අගමැතිවරයා ආණ්ඩුව විසුරුවා හැරීමට අග්‍රාණ්ඩුකාරවරයාට උපදෙස් දුන්නේය.

    මහානාම සමරවීර ඉන්පසු සී.පී. ද සිල්වාගේ නායකත්වයෙන් තරග වදින ශ්‍රීලංකා නිදහස් පක්ෂයට එකතු වී 1960 මාර්තු මැතිවරණයට මාතර ආසනයට තරග වැද ජස්ටින් සී. විජේවර්ධන (එජාප) අතින් පරාජයට පත්විය. බලයට පත් ඩඩ්ලි සේනානායක රජයද රාජාසන කථාවදි පරාජයට පත්විය.

    නැවතත් 1960 ජූනි 20 මහ මැතිවරණයක් පවත්වන්නට සිදු විය. එහිදී සිරිමාවෝ බණ්ඩරනායක මැතිනියගේ නායකත්වයෙන් ශ්‍රීලනිපයෙන් මාතර ආසනයට ඉදිරිපත්ව ඡන්ද 13105ක් ලබා, වැඩි ඡන්ද 2905කින් ජස්ටින් විජයවර්ධන 8433කින් පරදවා මාතරින් තේරීපත් වීමට මහානාම සමරවීර සමත් විය.

    අගමැතිනිය ලෙස වැඩ භාරගත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවේ පළාත් පාලන හා නිවාස ඇමැති ධුරයත්, පසුව ප්‍රවාහන ඇමැති ධුරයත් ඔහුට හිමි විය. එහෙත් 1964/06/11 දින ශ්‍රීලනිප-ලසසප හවුල් ආණ්ඩුවක් ඇති කරන අගමැතිනිය සිදු කළ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ඔහුට අමාත්‍ය ධුරයක් හිමි වුණේ නැත.

    රජයක ප්‍රතිපත්ති ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස හඳුන්වනු ලබන රාජාසන කථාවකට විපක්‍ෂය විසින් ගෙනෙනු ලැබු අතුරු යෝජනාවක් සම්මත වීම හේතු කොටගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදු වූ ප්‍රථම අවස්ථාව ලෙස ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සටහන් වන්නේ 1960 මාර්තු මැතිවරණයෙන් පසුව පිහිටුවූ ඩඩ්ලි සේනානායක රජයේ රාජාසන කථා අවස්ථාවය. සිරිමාවෝ මැතිනියගේ නායකත්වයෙන් 1960 ජූලි මැතිවරණයේදී ආසන 151න් 75ක් තනිවම දිනා, පත් කළ මන්ත්‍රීන් 6 දෙනකුගේ සහාය ලබමින් ආසන 12ක් දිනා සිටි ලංකා සමසමාජ පක්ෂය සමඟ සභාග රජයක් ඇති කරගෙන බල සම්පන්නව සිටියදී රාජාසන කථාව එක් වැඩි ඡන්දයකින් අවසන් මොහොතේ පරාජය වීම දේශපාලන විචාරකයන් හඳුන්වන්නේ පාර්ලිමේන්තු කුමන්ත්‍රණයක් වශයෙනි. පස්වැනි පාර්ලිමේන්තුවේ හය වැනි සැසි වාරය අග්‍රාණ්ඩුකාරවරයා විසින් විවෘත කරන ලද්දේ 1964 නොවැම්බර 26 වැනිදාය.

    විවාදය අවසන් කළේ දෙසැම්බර් 3 වැනිදාය. රාජාසන කථාවට ඡන්දය විමසීමේදී ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනකු විරුද්ධ පක්ෂය සමඟ එකතු වී, ගාල්ල මන්ත්‍රී ඩබ්ලිව්. දහනායක විසින් රාජාසන කථාවට ඉදිරිපත් කරන ලද අතුරු යෝජනාවට පක්‍ෂව ඡන්දය දීම නිසා එක් ඡන්දයකින් රජය පරාජයට පත් විය.

    සමරවීර පවුල

    ශ්‍රී ලංකාවේ හයවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැර, 1965 මාර්තු 22 දින මහ මැතිවරණයක් පැවැත්විණි. 1964 දෙසැම්බර් 3දා මැතිනියගේ රජයේ සභානායකව සිටි සී.පී. ද සිල්වා ඇතුළු පිරිසක් මැතිනියගේ රජයෙන් ඉවත්ව විපක්ෂයට ගියෝය. පසුව සී.පී. ද සිල්වා මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂයේ උප සභාපති ධුරයට මහනාම සමරවීර පත් විය.

    1965 මහ මැතිවරණයට මාතර ආසනයට එජාපයෙන් අපේක්ෂ‍කයෙක් ඉදිරිපත් නොකෙරිණි. මහනාම සමරවීර ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා සමාජවාදි පක්ෂයෙනි. ශ්‍රී ලංකා කොමියුනිස්ට් – ලසසප අතර නිතරග ගිවිසුම නිසා ඒ හවුලෙන් මාතරට ඉදිරිපත් වන්නේ කොමියුනිස්ට් පක්ෂයේ බී.වයි. තුඩාවේ මහතාය. තුඩාවේ මහතා 1965 මාර්තු 22 මැතිවරණයේදී ඡන්ද 15,207ක් ලබා මාතර මන්ත්‍රී වූ අතර, මහානාම සමරවීරයන්ට ලබාගත හැකි වූයේ ඡන්ද 14,287ක් පමණි.

    බී.වයි. තුඩාවේ මහතාට ඡන්ද 920කින් පරාජයට පත් මහානාම සමරවීරයන්ට 1965 ඩඩ්ලි සේනානායක රජයෙන් එකල තිබූ කන්තලේ ස්කාගාර සංස්ථාවේ සභාපති ධුරය පිරිනැමිණි.

    මාතරට අමිල සේවාවක් කළ, මාතරට අභිමානයක් වූ මේ යුග පුරුෂයා 1966 මාර්තු 19 දින වයස අවුරුදු 49ක් තරම් තරුණ වියේදී මාතර ජනයා අඬවමින් අවසන් ගමන් ගියේය. ඔහුගේ අවසන් කටයුතු කරන තෙක් මාතර නගරයේ ඇතැම් වැසියන් ⁣වළන් ළිප මත නොතැබූ බව පැරණියෝ පවසති. අයුක්තියට අසාධාරණයට විරුද්ධව තනතුරු අතහැර දැමූ මොහු ගැන මතකය සැම දා සිහිපත් කරන සිහිවටනයක් නම් මාතර නිල්වලා ගඟ හරහා ඉදි කර ඇති දැවැන්ත මහානාම පාලමයි.

     

     නන්දික බැද්දේගම

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here