දේශපාලනයේ මහ රුකක් වූ මැදමුලනේ පොඩි පුතා

    0
    29

    ලන්දේසීන්ට එරෙහි සටනේ සෙනෙවියකු වූ වනිග චින්තාමනී දොන් අන්දියස් රාජපක්ෂ මහතාගේ පරපුරෙන් පැවත එන ‘රුහුණේ සිංහයා’ නොහොත් ව්‍යවස්ථාදායකය නියෝජනය කළ ප්‍රථම රාජපක්ෂවරයා බෙලිඅත්ත ආසනයෙන් බිහි වන්නේ 1930 දශකයේදීය. ඔහු නමින් ඩී.එම්. රාජපක්ෂ වෙයි. ‘කුරහන් සාටකය’ සිය ඇඳුමට මුල්වරට භාවිත කරන්නේද ඩීඑම්ය. තමා ජීවත් වන ප්‍රදේශයේ ගොවි ජනතාව වගා කරන ‘කුරක්කන්’ නොහොත් පැසුණු කුරහන්වල රත් පැහැය ඔහු සිය සාටකයේ පාට ලෙස තෝරාගත්තේය. මේ ඇරඹුම ඒ පරම්පරාවේ ඩී.ඒ. රාජපක්ෂ, චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ආදි දේශපාලනයේ නියුතු රාජපක්ෂවරුන් විසින් අදටද භාවිතයට ගනු ලැබේ.

    ප්‍රගතිශීලි අදහස් ගරු කළ නායකයකු වශයෙන් කීර්තියක් ඉසිලූ ඩී.එම්. රාජපක්ෂ මහතා ව්‍යවස්ථාදායකය තුළදීම මරණයට පත් වන අතර, ඔහුගෙන් අනතුරුව 1947 සොල්බරි ආණ්ඩු ක්‍රමය යටතේ ව්‍යවස්ථාදායකය පළමු වතාවට නියෝජනය කරන ඩී.ඒ. රාජපක්ෂ, නොඑසේ නම් මහින්ද රාජපක්ෂ මහතාගේ පියා බෙලිඅත්ත ආසනයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කළේය. ඔහු නාමයෝජනා සඳහා අත්සන් තැබුවේ කුඹුරෙහි වක්කඩ බැඳ පැමිණීමෙන් පසුයැයි කතාවක්ද තිබේ.

    මේ සියල්ල තුළ අපට පෙනෙන පොදු සාධක කිහිපයක් ඇත. ගැමියා සහ ගොවි ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ පිළිගැනීම සහ ආශීර්වාදය මැද ව්‍යවස්ථාදායකය නියෝජනයට මේ රාජපක්ෂවරුන්ට අවස්ථාව ලැබුණු බව එකකි. ඔවුන් එදා සිටම පෙන්නූ ජාති මාමකත්වය සහ දේශ හිතෛෂිවන්තභාවය අනෙකය. ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ දේශපාලනය මෙන්ම ස්වකීය ජීවිතයද හැඩගස්වා ගැනීමෙහි සමතුන් වීම තවෙකකි. දේශපාලනයේදී තමන්ට ආවේණික ගතිලක්ෂණ පෙන්වීම තවත් වැදගත් ලකුණකි. සැබෑ පක්ෂපාතිත්වය සහ මිත්‍රත්වයේ දෑත ඔවුන්ගේ තවත් ගුණයකි.

    අගතියට පත් තරුණයන් වෙනුවෙන් අධිකරණයට

    කෙසේ වෙතත් අද අපගේ කතානායකයා වනුයේ මෙවන් වූ රාජපක්ෂ පරපුරේ විශිෂ්ට දායාදයක්ව 1945 වර්ෂයේ වීරකැටියේදී උපන් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහතාය. ඔහු වර්තමාන ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාය; දෙවරක් මෙරට විධායක ජනාධිපතිවරයාය; වරෙක කම්කරු ඇමැතිවරයාය; තවත් වරෙක ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයාය; අගමැති සහ ජනපති බලතල සහිතව තවත් අමාත්‍යාංශ ගණනාවක වගකීම් දැරූ සහ දරන අමාත්‍යවරයෙකි; මෙරට බහුතර ජනතාවගේ ආදරයට මෙන්ම ගෞරවයටද පාත්‍ර වූ නායකයෙකි; විරුද්ධවාදීන්ගේ කොතෙකුත් අවලාද අපවාද මෙන්ම චෝදනාද ඉවසමින් මනුෂ්‍යත්වය ප්‍රදර්ශනය කරන නායකයෙකි. කවුරුන් කෙසේ කීවත් ‘මහින්ද’ ශ්‍රී ලාංකේය දේශපාලනයේ ‘අයිකන්’ එකකි.

    ගාල්ල රිච්මන්ඩ්, කොළඹ නාලන්දා සහ තර්ස්ටන් විද්‍යාලයන්ගෙන් අධ්‍යාපනය ලබන මහින්ද සිසුවා අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාල සහකාර තනතුරක් දරමින් සිටින අතරතුර 1970දී බෙලිඅත්ත ආසනයෙන් ව්‍යවස්ථාදායකයට ප්‍රථම වරට තේරී පත් වන්නේ සිය පියාගේ මරණයෙන් අනතුරුවය. පියාගේ තුන්මාසයේ දානයට පැමිණෙන එවක අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙලිඅත්ත අසුන නියෝජනය සඳහා ඔවුන්ගේ මෑණියන්ගෙන් ඉල්ලන්නේ චමල් රාජපක්ෂවය. ඒ සඳහා ඔහුගේ එවක පැවැති අකැමැත්ත මත අවස්ථාව ලැබෙන්නේ මහින්ද තරුණයාටය. අවුරුදු 24ක් වැනි වයසකදී ව්‍යවස්ථාදායකය නියෝජනය කිරීමේ අවස්ථාව ලබාගැනීම මෙරට දේශපාලනය අනුව ‘කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලීමක්’ ය. එවක පාර්ලිමේන්තුවේ ළාබාලතම මන්ත්‍රීවරයා වශයෙන් ඔහු එවසරේ පත් වුවද ඊට පෙර ඔහුගේ මහප්පාගේ පුත්වරුන් වූ ලක්ෂ්මන් රාජපක්ෂ සහ ජෝර්ජ රාජපක්ෂ දෙදෙනාම පාර්ලිමේන්තුව නියෝජනය කළහ. අවුරුදු 23 දී පාර්ලිමේන්තුවට පැමිණි ලක්ෂ්මන් රාජපක්ෂ 1956 ව්‍යවස්ථාදායකට හම්බන්තොට ආසනයෙන් තේරී පත් විය. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාටද වඩා අඩු වයසින් පාර්ලිමේන්තු ගියේ ලක්ෂ්මන් රාජපක්ෂ මහතාය. කෙසේ වෙතත් 70දී පාර්ලිමේන්තුවට බට අප කතානායකයා අතිශය දුර්ලභ දේශපාලන චරිත ලෙස සැලකෙන ඇන්ඇම්, කොල්වින්, ලෙස්ලි, බර්නාඩ්, විවියන්, කේනමන්, වික්‍රමසිංහ, ඉලංගරත්න, ෆීලික්ස් ඩයස්, දහනායක, ඩඩ්ලි, ජේආර්, සාහුල් හමීඩ්, වී.එන්. නවරත්නම්, කදිර්වේලුපිල්ලේ, සිරිමාවෝ බණ්ඩාරනායක, ආර්.ප්‍රේමදාස වැන්නන් සමඟ පාර්ලිමේන්තුව නියෝජනය කළේය. මෙවැනි දේශපාලන සරසවි ඇසුර ඔහුගේ අනාගත ගමනේ දේශපාලන සංධිස්ථාන පසු කර යෑමේ දැවැන්ත ශක්තීන් විය.

    මහින්ද කුඩා කාලයේ ඔහුගේ මහප්පා වන ඩී.එම්. රාජපක්ෂ නොඑසේ නම් ‘රුහුණේ සිංහයා’ සැබෑ ජනතා නියෝජිතයකු ලෙස කටයුතු කළ අයුරු නිදසුන් සහිතව අපට කියවාගත හැකිය. ඔවුන්ගේ පාරම්පරික ඉඩම් අක්කර ගණන් විකුණා දේශපාලනය සඳහා මුදල් උපයාගන්න සිදු වීම ඒ අතර විශේෂය. වරෙක ඔහුගේ මහප්පා වෙනුවෙන් මුදල් ලබා දීමට අක්කර 200ක ප්‍රමාණයක් විකුණා දැමීමටත් ඔවුන්ගේ මැදමුලන නිවෙස උකස් කොට මුදල් ලබා දීමටත් මහින්දගේ පියා කටයුතු කොට තිබිණි. ඔවුන්ගේ දේශපාලනික කැප වීම සහ ජනතා නියෝජනය නිසා අහිමි වන්නට ගිය එම නිවෙස සහ වත්ත නැවත ඔවුන් වෙත ලබා දීමට හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පකෂයේ සහ නෑදෑ හිතවතුන් මුදල් එකතු කොට කළ උපකාරය පිළිබඳ මහින්ද රාජපක්ෂයන් තවමත් කෘතඥපූර්වක වන අයුරු කියවා ඇත්තෙමු.

    ඔහු ළඟම මිතුරන් ලෙස ඇසුරු කළේ අනුර බණ්ඩාරනායක, සරත් නන්ද සිල්වා, වාසුදේව නානායක්කාර වැනි දැවැන්ත චරිතය. පෞද්ගලිකත්වය සහ මිත්‍රත්වය පිළිබඳ මහින්දට ඇත්තේ ඉහළ පිළිගැනීමකි. මිත්‍රත්වය වෙනුවෙන් කැප කිරීම් කිරීමට සූදානම් මිත්‍රයකු ලෙස ඔහු මිතුරන් අතරේ කැපීපෙනිණි. ඒ නිසාම අනුර බණ්ඩාරනායක ඔහු රිමාන්ඩ් වී සිටියදී බලන්නට පැමිණීම, සරත් නන්ද සිල්වා මහින්ද සිය අසනීප මව බලන්න බන්ධානාගාර බසයේ යන විට කැඩුණු බසය තල්ලු කරන්න වාහනෙන් බැස පැමිණීම ආදි මිත්‍ර ප්‍රතිඋපකාරයන්ද ඔහුට ලැබිණි.

    1970දී පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද රාජපක්ෂයන්ගේ සුවිශේෂ යෝජනාවක් ලෙස ‘ඉන්දියාවේ ලුම්බිණිය සංවර්ධනය’ සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් වුවද එවක ඔහුගේ පක්ෂ නායිකා සිරිමාවෝ මැතිනියගේ ඉල්ලීම අනුව ඔහු එය ඉවත් කරගත්තේය. මැතිනිය මේ අකැමැති වුවද ජේ.ආර්. ජයවර්ධන මහතා යෝජනාවට ඉතා කැමැති වූ බැව් අසා ඇත්තෙමු. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ළාබාලම මන්ත්‍රීවරයා වශයෙන් මහින්ද රාජපක්ෂයන්ට, රාජාසන කථාව ඉදිරිපත් කළ එවක අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාට ස්තුතිය පුද කිරීමේ කථාව කිරීමේ අවස්ථාව උදා විය.

    1971 වසරේදී නීති විද්‍යාල ප්‍රවේශය ලබන මහින්ද රාජපක්ෂ මහතා 1974දී නීතිඥයකු වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව දීර්ඝ කාලයක් එහි කටයුතු කළේය. මානව හිමිකම් හා වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ජනතාවගේ පැත්ත ගත් නීතිඥයකු වශයෙන් ඔහුගේ කටයුතු කැපීපෙනිණි.

    ඔහු විසින් 1970 පාර්ලිමේන්තුවේ රාජාසන කථාව සඳහා ස්තුති කථාවට එක් කරන ලද ප්‍රකාශ කිහිපයකින් මේ ලිපිය හමාර කිරීම උචිතයැයි හඟිමි:

    “පසුගිය මහ මැතිවරණයේදී පැහැදිලිව පෙනුණු එක් කරුණක් තමයි, මෙම අපේක්ෂා භංගත්වයෙන්, අසහනයෙන් පෙළුණු තරුණ පරපුර සෞභාග්‍යමත් අනාගත ලංකාවක් බිහි කරන්නට පොරොන්දු දී සිටි සමඟි පෙරමුණ වටා රොක් වී, සමඟි පෙරමුණ ජයග්‍රහණය කරවන්නට දිවා රෑ වෙහෙස මහන්සි වූ බව.”

    “මේ රටේ පොදු ජනතාව අධිරාජ්‍යවාදය අනුමත නොකරයි; ධනේශ්වරවාදය අනුමත නොකරයි; සියලු සූරාකෑම් අනුමත‍ නොකරයි. ඔවුන් තුනෙන් දෙකකටත් වඩා වැඩි ආසන ගණනක් ලබා දී සමඟි පෙරමුණ අතිවිශිෂ්ට ජයග්‍රහණයකට පත් කළේ මේ නිසයි.”

    1970 මහ මැතිවරණ සටන

    “ජනතා රජය ඉදිරියේ ඇති ප්‍රතිගාමි, කුමන්ත්‍රණකාරි, අධිරාජ්‍යවාදි, ධනවාදි බලවේග අප විසින් සුළුවෙන් තැකිය යුතු නොවේ. එහෙත් ඒ සෑම බාධකයක්ම බිඳදමමින් සමාජවාදය කරා යන ගමන සහතික කරවීම සඳහා මේ රටේ තරුණ පරපුර ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වන්නට සූදානම් බව තරුණයකු වශයෙන් මා එඩිතරව ‍මේ ගරු සභාවේදී ප්‍රකාශ කර සිටිනවා.”

    මේ වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අතරද ජ්‍යෙෂ්ඨතරයකු වන රාජපක්ෂ මහතා විසින් මීට වසර 50කට පමණ පෙර සිදු කරන ලද කථාවෙහි අඩංගු ඉහත කරුණු එදා පැවති ස්වරූපයෙන්ම නොවුණත් වෙනත් ස්වරූපවලින් වුව අප ඉදිරියේ තවමත් තිබෙන බැව් අප කිසි සේත් අමතක කළ යුතු නැත.

     

     ගයාන් පීරිස්

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here