දේශපාලන පොරපිටිය රත් කළ හාල් පොතජේ. ආර්. අහෝසි කරයි

    0
    23
    ජේ. ආර්. ජයවර්ධන මහතා
     
    මුල්ම සලාක පොත බඩේ ප්‍රමාණයට 
     

    මේ රටේ හාල් මිලත් දේශපාලනයත් අතර තිබුණේත් තිබෙන්නේත් සදාතනික අවියෝජනීය සම්බන්ධයකි. එනිසාම හාල් ප්‍රශ්නය කාලයක් තිස්සේම අප රටේ ඡන්ද පොරොන්දු බවට‍ද පත්ව තිබිණි. 1952 අගෝස්තු 1 දිනදා ‘සියරට’ පත්‍රය සිරස්තලයකින් වාර්තා කළේ ‘එජාප ආණ්ඩුව පවතින තාක් හාල් හාල් සේරුව ශත 25යි’ යනුවෙනි. එනමුත් ඉන් දින කීපයකට පසු හාල් සේරුවක මිල ශත 75 දක්වා වැඩි කිරීමට ආණ්ඩුවට සිදු විය. එය රට පුරා හර්තාලයක් දක්වා දුරදිග ගොස්, මිනිස් ජීවිත කිහිපයක්ද විනාශ වී ගියේය. 1960 සමසමාජ පක්ෂය පොරොන්දු දුන්නේ හාල් සේරුවක මිල යළි ශත 25 දක්වා අඩු කරන බවයි. 1970දී මැතිනිය පොරොන්දු වූයේ ද ‘රට හාල් මදි නම් හඳෙන් හෝ හාල් ගෙනැවිත් දෙන’ බවයි.

    කෙසේ වුවත් හාල් මිල අදත් මෙරට ජනතාව පෙළෙන ප්‍රශ්නයකි. ඒ නිසාම අදත් ජනතාව ඒ ගැන කතා කරති. එලෙසම මීට වසර 150කට පෙර ඉංග්‍රීසි යටත්විජිත සමයේ ආණ්ඩුකාර පුටුද රත් කළ හාල් ගැටලුවත්, එනිසාම හාල් ප්‍රශ්නයට විසඳුමක් ලෙස (අද පරපුරට දක්නට නැති) සහල් සලාක පොතක් නිකුත් කිරීමේ සිට එය අහෝසි කිරීම දක්වා සංක්ෂිප්ත ඉතිහාසය මේ ලිපියෙන් මතකයට නැංවෙයි.

    “දැනට ක්‍රියාත්මක සහල් සලාක ක්‍රමයට පිටතින් හාල් සේරුවක් රුපියල් 2.90 බැගින් දිවයිනේ සියලුම සමූපකාර වෙළෙඳසල් මගින් විකිණීමට රජය විසින් පෙරේදා ක්ෂණික තීරණයක් ගන්නා ලදි. මෙවර අය වැයෙන් වී බුසලක සහතික මිල රු.40 දක්වා වැඩි කිරීමෙන් පසු සමහර වෙළෙදුන් විවෘත වෙළෙඳපොලේ සහල මිල අඅසාධාරණ ලෙස නැංවීමට උත්සාහ කිරිම නිසා මෙම පියවර ගැනීමට සිදු වූ බව රජයේ ප්‍රකාශකයෙක් පෙරේදා දිනමිණට පැවසීය.”

    මේ 1977 නොවැම්බර් 19 දා ‘දිනමිණ’ පත්‍රයේ පළ වූ ප්‍රවෘත්තියක කොටසකි. එමඟින් පැවසුණේ 1977 නොවැම්බරය වන විටත් සහන මිලකට ජනතාවට සහල් ලබා ගැනීම සදහා සහල් සලාක ක්‍රමයක් මෙරට පැවතුණ බවත්, ඊට අමතරව අවශ්‍ය නම් පාරිභෝගිකයකුට සමුපකාරය මඟින් හාල් සේරුවක් රු. 2.90කට ලබාගත හැකි වූ බවත්ය.

    මීට කලකට පෙර සෑම නිවෙසකම දකින්නට ලැබුණු ‘සහල් සලාක පොත’, එසේත් නැති නම් කටවහරේදී කියැවෙන පරිදි ‘හාල් පොත’ අද පරපුරට දැකගන්නට නැත.

    සහලෙන් ස්වයංපෝෂිත බව පැවසුනද ඉකුත් සියවස පුරා ශ්‍රී ලංකාව ඇතුලු ලොව බොහෝ රටවල සහල් හිගයක් පැවතුණි.

    ඉංග්‍රීසීන් විසින් තේ, කෝපි, කොකෝවා වගාවන්ට තැන දෙමින් මෙරට වී ගොවිතැන පහළට ඇද දැමූ නිසාත් ඇග බද්ද, ගෙවල් බද්ද, කරත්ත බද්ද , ඔරු බද්ද , ආදී වශයෙන් ජනතාවගේ කර මත විවිධාකාර බදු ඔඅටවා තිබීමත් නිසා ගොවි ජනතාව අසරණ වූ අතර හාල් ඉන්දියාවෙන් ගෙන්වීමට පටන් ගත්හ. 1866දී ඉන්දියාවේ හට ගත් නියඟය නිසා මෙරටට සහල් ගෙන්වීම සීමා සහිත විය. සහල හිඟය නිසා මෙරට වෙළෙන්දෝ හාල් මිල වැඩි කළහ. එකල ලංකාවේ ආණ්ඩුකාරවරයා වූයේ හර්කියුලස් රොබින්සන්ය.

    1865දී නොම්මර 1 සුදු හාල් බුසලක මිල සිලිං 7ක් වූ අතර, එය 1866දී සිලිං 15 දක්වා වැඩි වී තිබිණි ( එකල භාවිත වූයේ පැන්ස – සිලිං මුදල් ක්‍රමයයි. එදා පැන්සයක වටිනාකම සත 4කි. පැන්ස 12ක් සිලිං 1ක් විය. සාමාන්‍යයෙන් සිලිමක් ලෙස සැලකුණේ සත 50කි).

    මෙරට සහල් හිගය ගැන 1866 ඔක්තෝබර් 26 ‘ලක්රිවිකිරණ’ පත්‍රයේ කතුවැකියෙහි මෙසේ සඳහන් කර තිබිණි:

    “පසුගිය මෝසමේ ඉන්දියාවේ ගොයම් පැසුණේ නැති බැවින් මෙරට වැසියන්ට බත නැති වෙන්ට ආවා. කොළඹ හාල් සේරුවක් පැන්ස 8 හමාරකට වික්කා. මහනුවරදී සිලිමට සහ රිදීපහටත් සේරුවක් වික්කා. කුරුණෑගල බුසලක් සිලිං විසිදෙක හමාරකට වික්කා. මාතලේ සිලිං විසිපහයි. බදුල්ලේ සිලිං හතළිහයි. මේවා කොහොම වුණත් බඩ අහන්නේ නෑ.”

    එදිනම ‘ලක්රිවිකිරණ’ පත්‍රයේ සඳහන්ව තිබුණේ මරදාන, කොම්පඤ්ඤ වීදිය, වේල්ල වීදිය, කොස් ගස් හන්දිය, මහනුවර, ගාල්ල, කඩුවෙල යන ස්ථාන වල වසා තිබූ කඩවල දොරවල් කඩා පිරිස් ඒවාට පැන හාල් හා මුදල් පැහැරගෙන ගොස් තිබූ බවයි.

    විලියම් හෙන්රි ග්‍රෙගරි මෙරට ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ 1975 වන විට කොළඹ හොඳම වර්ගයේ සුදු හාල් බුසලක් රු. 3 සත 6ක් බව ‘ලක්රිවිකිරණ’ 1875 නොවැම්බර් 18 පත්‍රයේ පළ වී තිබිණි.

    1918 සහ 19 වර්ෂවලදීත් ඉන්දියාවේ වී අස්වනු පාළු වී ගියේය. ඒ හේතුවෙන් දකුණු ඉන්දියාවෙන් ගෙන්වන සහල් ප්‍රමාණය අඩු විය. පළමුවන ලෝක යුද්ධය නිසා නැව් හිඟයක්ද පැවතිණි. වෙනත් රටවලින් හාල් ඇණවුම් කිරීමද අපහසු වී තිබිණි. විලියම් මැනිං මෙරට ආණ්ඩු කළ 1918දී හාල් ටොන් 400,000ක් ලංකාවට ආනයනය කර තිබූ නමුත් ඔහුට 1919දී ගෙන්වාගත හැකි වූයේ හාල් ටොන් 275,000කි. මෙනිසා හාල් මිල ඉහළ ගිය අතර 1919 රජයේ පරිපාලන වාර්තාවේ සදහන් කර ඇත්තේ ලංකාව මුල් වරට හාමතයට ඉතා සමීප වූ බවයි.

    1920 මාර්තු මාසයේ පළ වූ ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පත්‍රයේ වාර්තාවක සඳහන් වන්නේ හාමතයට පත් මිනිසුන් මහපාරේ මැරී සිටි බවයි. හිඟන්නන්ගේ සංඛ්‍යාව බොහෝ වැඩි වී තිබුණු බවත්, ‘නම්බුකාර දුප්පතුන්’ දිනකට එක වේලකින් සෑහීමකට පත් වූ බවත් එහි වැඩිදුරටත් සදහන් වී තිබිණි. මේ නිසා යටත්විජිත ආණ්ඩුවට මුල් වරට සහල් බෙදා දීම සඳහා සලාක ක්‍රමයක් ඇරඹීමට සිදු විය. අනාථයන්ට නොමිලේ සහල් ලබා දීමටද ක්‍රියා කෙරිණි. හාල් මිල වැඩි වීමෙන් කොළඹ නගරයේ කම්කරු ජනතාවද බලවත් පීඩාවට ලක්ව සිටියහ.

    1920 සහල් අර්බුදයේදී ආණ්ඩුකාර විලියම් මැනිං යටත්විජිත භාර රාජ්‍ය ලේකම්වරයා වෙත විදුලි පණිවිඩයක් යවමින් කියා ඇත්තේ මෙරට සහල් මිල සියයට 40කින් පමණ වැඩි වී ඇති නිසා ජනතාව බරපතළ පීඩාවකට ලක්ව සිටින බවත් එම පීඩාව තවදුරටත් ඉවසා සිටීමට නොහැකි වීමෙන් නුදුරේදී ම යම් පිපිරීමක් ඇති වීමට ඉඩ තිබෙන බවත්ය. ආණ්ඩුකරු යටත්විජිත භාර රාජ්‍ය ලේකම්ට දන්වා තිබූ අයුරින්ම ඉන් දින කිහිපයකට පසු කොළඹ දුම්රිය එන්ජින් වැඩපොළවල සේවය කරමින් සිටි කම්කරුවෝ 1800ක් වැඩ වර්ජනයකට එක් වූහ.

    යටත්විජිත යුගයේදීත් දක්නට ලැබුණු මේ හාල් ප්‍රශ්නය විසදීමට අපහසු ගැටළුවක් වී ඇති බැව් අදටත් පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාවාසීන්ට මුලින්ම හාල් පොතක් දක්නට ලැබුණේ 1942 දීය. ඒ , එවකට ආණ්ඩුකාර ඇන්ඩෲ කෝල්ඩිකෝට් ගේ තීරණයකට අනුවය.

    ජනතාව ෙසාගින්නෙන් ගලවා ගැනීම සදහා සලාක ක්‍රමයට සහල් සැපයීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ වගකීම පැවරුණේ එදා මහජන ආරක්ෂක කොමසාරිස් ලෙස කටයුතු කළ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලකටය. ඒ මහජන ආරක්ෂක නිලධාරි ජේ.ඩී.පී. පෙරේරා සහ ආහාර කොමසාරිස් ආර්.ඩී. පෝලියර් යන දෙදෙනාගේ අනුදැනුම ඇතිවය. එහි ක්‍රියාන්විත වගකීම පැවරුණේ ආහාර කොමසාරිස්වරයාටය.

    මුල්ම සහල් සලාක පොත නිකුත් කෙරුණේ ශ්‍රී ලාංකිකයාගේ බඩේ ප්‍රමාණයට අනුවය. එනම් ළදරු, ළමා, සාමාන්‍ය සහ කම්කරු යනුවෙන් වර්ගීකරණයට ලක් කිරීමෙනි. මුල්ම සහල් සලාකය ආරම්භ කෙරුණේ 1942 පෙබරවාරි මාසයෙනි. මුලදී වයස අවුරුදු 3ට වැඩි දරුවන් ඇති, තම පවුලේ යැපීම සදහා ප්‍රමාණවත් ආහාර ප්‍රමාණයක් නැති සියලු පවුල්වලට මේ හාල් පොතේ කූපන ඉදිරිපත් කිරීමෙන් සතියකට හාල් සේරු දෙකක් ලබාගත හැකි විය.

    ඉහත සිව් වැදෑරුම් ක්‍රමයට බෙදා හළ සහල් ප්‍රමාණය 1977 වන විට 60 වාරයකටත් වඩා වෙනසකට ලක්විය. අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ දෙවැනි කැබිනට් මණ්ඩලය 1952 ජූනි 19 වැනිදා දිව්රුම් දුන්නේය. එදා ස්වදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු ලේකම් (නියෝජ්‍ය ඇමැති) වූයේ මෛත්‍රීපාල සේනානායක මහතාය. සහල් මිල සත කීපයකින් ඉහළ දැමීමේ තීරණයට විරුද්ධ වූ සේනානායක මහතා එම සැප්තැම්බර් 3 දා තනතුරෙන් ඉල්ලා අස් වූයේය.

    වසර 8 ක පමණ කාලයක් පිටරටින් ගෙන්වන හාල් සේරුවක මිල සත ගණනකින් අඩු වැඩි වූවත් 1953 ජූලි 7 දා අංක 1327 දරන ගැසට් පත්‍රයෙන් එවකට සත 25ක්ව තිබූ හාල් සේරුවක මිල සත 70 දක්වා වැඩි කෙරිණි. ජූලි 20 දා සිට ක්‍රියාත්මක වීමට නියමිත හාල් මිල ඉහළ දැමීමට එරෙහිව විපක්ෂ නායක එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඇතුළු විපක්ෂය පාර්ලිමේන්තු සභා ගැබින් ඉවත්ව ගියේ ඊට විරෝධය දක්වමිනි.

    විපක්ෂ මන්ත්‍රීවරුන් පිටතදී කෑකෝ ගසමින් පෙරළි කළ අතර, හට ගෙන තිබූ තත්ත්වයට මුහුණ දීම සදහා ගාලු මුවදොරට පොලිස් බළ ඇණියක් යෙදවීමට ආණ්ඩුවට සිදු විය. එම අගෝස්තු 5 වැනිදා සහල් මිල වැඩි කිරීමේ ප්‍රශ්නයට අගමැති ඩඩ්ලි සේනානායක මහතා දුන් පිළිතුර එදින හැන්සාඩ් වාර්තාවේ පිටු 54ක් පුරා පළවිය.

    හාල් මිල ඉහළ දැමුවේ දැඩි අකමැත්තකින් බවත් තමා ඊට සමාව ඉල්ලන බවත් අගමැතිවරයාගේ ප්‍රකාශයේ සදහන් විය.

    එනමුත් මේ කිසිත් නොතැකූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ ශ්‍රී.ල.නී.පය , සම සමාජ , කොමියුනිස්ට් යන පක්ෂ ඇතුළු වාමාංශික පක්ෂ එකතුව 1953 අගෝස්තු 12 දා රට පුරා මහා හර්තාලයක් දියත් කලහ.

    කොළඹ සිට ගාල්ල දක්වා මුහුදුබඩ ප්‍රදේශවල ජනතාව මේ හර්තාලයෙන් වැඩිපුර කැලඹිණි. ගිනි තැබීම් , රේල් පීලි ගැලවීම් නිසා ගමනාගමනයට අවහිර වීම් මෙන්ම දොම්පේ හා කිරුලපනේ වෙඩි තැබීම් වාර්තා විය. කලබලවලින් 12 දෙනෙක් මරුමුවට පත් වූහ. හාල් මිලට එරෙහි හර්තාලය නිසා මෙරට ප්‍රථම වරට හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ ආණ්ඩුව මෙදින රට පුරා ඇදිරි නීතිය පැනවිණි. මෙහි ප්‍රතිඵලය වූයේ අගමැති ඩඩ්ලි සේනානායක මහතා සිය තනතුරින් ඔක්තෝබර් 12 දා ඉල්ලා අස් වීමය.

    1953 ඔක්තෝබර් 19 දින සිට යළි හාල් සේරුව සත 55 දක්වා පහත හෙළන ලද අතර, ඉන් වසර 3කට පසු 1956 මැයි 20 සිට හාල් සේරුවක් සත 25 දක්වා පහත හෙළිණි. එනමුත් 1958 ජූනි 2 දා සිට හාල් සේරුවක මිල වූයේ සත 35කි. එම ජූනි 15 දින සිට හාල් පොතේ කූපන් වලට එතෙක් ලබා දුන් හාල් සේරු දෙකෙන් පළමුවැන්න සත 25ටත් දෙවැන්න සත 45ටත් ලබාදීමට

    රජයට සිදු විය. 1960 මාර්තු 21 දා දෙවැනි වරට අගමැති ධූරයට පත් ඩඩ්ලි සේනානායක මහතාගේ ආණ්ඩුවේ රාජාසන කථාවේ ජනප්‍රියම කොටස වූයේ හාල් පොතකට සතිපතා ලබා ගත හැකි හාල් සේරු දෙකම එකක් සත 25 බැගින් ගත හැකි වන සේ මිල අඩු කිරීමය. පසුව හාල් පොතට ලබාදෙන හාල් සේරු දෙකෙන් එකක් කපාහැර අනෙක නොමිලේ දීමට තීරණය කෙරිණි. ඒ 1966 දෙසැම්බර් 22 වැනිදා සිටය.

    මුල සිටම හාල් පොත පරිභෝගික ජනතාවට බෙදාහැරීමේ කටයුත්ත සිදු කළේ ප්‍රදේශයේ ගම්මුලාදෑනියාය; පසුකලෙක ග්‍රාමසේවක විසිනි. 1962 ශ්‍රීලනිප ආණ්ඩුවේ සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක මැතිනිය ඉන් හාල් හුන්ඩු දෙකක් කපා හැරියාය. ඒ සදහා අගමැතිනිය අත්සන් කළේ කදුළු පිරි දෙනෙතින් බව ඇමැති පී.බී.ජී. කලුගල්ල මහතා පවසා තිබිණි.

    1970 දශකය තුළ දී හාල් පොත නිසා ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් වාර්තා විය.

    මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නාක් මෙන් විශේෂ ආරක්ෂිත කඩදාසියක දිය සලකුණු හා රහස්‍ය මුද්‍රා සහිතව සහල් සලාක පොත් මුද්‍රණය කළද ඒවා හොරට ගැසූ අවස්ථා එකල අසන්නට ලැබිණි. දිළිඳු මිනිසුන්ගෙන් හාල් පොත් කූට වෙළෙදුන් හා පොලී මුදලාලිලා විසින් ලබාගෙන ඒවායින් ලබාගත් සහල් වැඩි මිලට කළුකඩ මුදලාලිලා අතට පත් කළ අවස්ථා බොහෝ වාර්තා විය. අන්සතු කිරීම වරදක් වූවත් එදා නැති බැරි මිනිස්සු හාල් පොත උගස් තැබීම එකල බහුලව දකින්නට ලැබිණි.

    හාල් පොත් ලක්ෂ 3ක කූපන් සමුපකාර කළමනාකරුවකු විසින් වංචාසහගතව සොරාගෙන විකිණීමේ ජාවාරමක්ද එදා පුවත්පත් මගින් හෙළි කර තිබිණි.

    හාල් පොත මෙරට ජනතාවට කොතරම් වැදගත් වීද යත්: රැකියා සදහා විත් බෝඩිංවල නතර වීමට සිදු වූ බොහෝ දෙනාටද තමන්ගේ හාල් පොත බෝඩිං අයිතිකරුට ලබාදීමට සිදු වූ අවස්ථාද විය.

    1942 පෙබරවාරි මාසයේ සිට ආරම්භ කරමින් රටේ ජනතාවට මහත් සහනයක් සැලසූ මේ සහල් සලාක පොත්වල අවසනය සටහන් කෙරුණේ ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදීය. 29 වැනි වාරය වශයෙන් සදහන් පොත් කාණ්ඩයෙන් පසු සහල් සලාක පොත් අහෝසි කෙරිණි.

    ජනතාවගෙන් ඈත් වූ සහල් සලාක පොත යළිත් දේශපාලන කරළියට ආවේ 1982 ජනාධිපතිවරනයෙන් පසුවය. එම ජනාධිපතිවරනයේ ශ්‍රීලනිප අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ රුව යොදාගනිමින් ව්‍යාජ සහල් පොතක අනුරුවක් මුද්‍රණය කර බෙදාහැරි බවට කොබ්බෑකඩුව මහතාට එරෙහිව නඩු පැවරීම නිසාය. එහෙත් කොබ්බෑකඩුව මහතා පසුව එම නඩුවෙන් නිදහස් කෙරිණි. එදා සිට සහල් සලාක පොත පිළිබඳ මතකය ක්‍රමයෙන් ජනතා සිත් සතන් තුළින් ඈත්ව ගියේය.

     

     

     
    බන්ධුල ගුණරත්න

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here