නොබැඳි පිළිවෙතින් ලොව බැබැළුණු සිරි ලක

    0
    19

    වර්තමානයේ අප රටෙහි විදේශ සම්බන්ධතා පිළිබඳ දැඩි ‍ලෙස කතිකාවක් මතුව තිබේ. මෑතදී අපේ රටට ආ ගිය චීන සහ ඇමරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිළිබඳව පක්ෂ විපක්ෂ වේදිකා මත විවිධ මතවාද ගොඩනැඟිණි. එහෙත් මේ වෑයම ඒ පිළිබඳ කථා කරන්නට නොවේ. ශ්‍රී ලංකා විදේශ සම්බන්ධතාවල ඉතිහාසය සහ එහි සාර්ථක අසාර්ථක තැන් කිහිපයක් පිළිබඳ විමසා බැලීම සහ අද රටට වඩාත් උචිත විදේශ ප්‍රතිපත්තිය කුමක්දැයි සොයා බැලීම මෙහි අරමුණ වෙයි.

    පුරාතන ඉතිහාසය පිරික්සීමේදී අපේ රට විදෙස් රටක් සමඟ පැවැත්වූ පැරණිම සම්බන්ධතාව, රාම රාවණ යුද්ධයයි. ඒ පිළිබඳව රාමායණය නම් හින්දු සාහිත්‍ය ග්‍රන්ථය සාක්ෂි දරයි. ඉන්දියාව සහ ලක්දිව අතර වූ යුද්ධයක් පිළිබඳ එහි දැක්වෙයි. ඉන් පසු ක්‍රි.පූ. 5 වන සියවසේදී ඉන්දියා‍වේ සිට ලක්දිවට පැමිණි විජය කුමරු ලක්දිව රාජත්වය පිහිටුවීම, ඉන්දියාවේ මදුරාපුරයෙන් බිසවුන් ‍ගෙනැවිත් විවාහ වී රාජාභිෂේකය සිදු කිරීමද ලක්දිව සහ ඉන්දියාව අතර සිදු වූ ඉපැරණි විදේශ සම්බන්ධතා ‍ලෙස පෙන්වා දිය හැකිය. ක්‍රි.පූ. 3 වන සියවසේ ලක්දිව දේවානම්පිය තිස්ස රාජ්‍ය සමයේ ඉන්දියාවේ අශෝක අධිරාජයා සමඟ පැවති සම්බන්ධතාවද අපේ රටේ ඉපැරණි විදෙස් සබඳතාවක් ලෙස දැක්විය හැකිය. ඉන් පසු පළමුවන විජයබාහු, ගජබාහු, මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයන්හිදීද ඉන්දියාව, බුරුමය (මියන්මාරය) ආදි රටවල් සමඟ ලක්දිව සම්බන්ධතා පවත්වා ඇත. එසේම විවිධ යුගයන්හි ලක්දිව, ඉන්දියාවේ සිට පැමිණි සොළී, පාණ්ඩ්‍ය ආක්‍රමණික රජවරුන්ගේ පාලනයන්ටද නතුව තිබේ.

    පොලොන්නරු රාජධානි යුගයෙන් පසු යුගයන්හි රෝම අධිරාජ්‍යය, පර්සියාව, කාම්බෝජය, චීනය, සියමය, අරාබිය ආදි රටවල් සමඟ ලංකාව විදේශ සම්බන්ධතා පැවත්වූ බවට සාක්ෂි හමු වී ඇත. ක්‍රි.ව. 1505දී ලක්දිව වෙරළබඩ කලාපය පෘතුගීසින් විසින් අල්ලා ගැනීම, ලක්දිව පෘතුගීසීන්ගෙන් ගලවා ගැනීමට උඩරට රජවරුන් ඕලන්ද දූතයන් සමඟ සම්බන්ධතා පැවැත්වීම මෙන්ම පසුව ලක්දිව වෙරළබඩ අල්ලාගත් ලන්දේසීන්ගෙන් අපේ රට නිදහස් කරගැනීම සඳහා ඉංග්‍රීසි දූතයන් සමඟ සම්බන්ධතා පැවැත්වීමද ලක්දිව අතීත විදෙස් සබඳතාවලට උදාහරණ ‍වෙයි. කෙසේ නමුත් 1948 වර්ෂයේ අපේ රට මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසුව නිදහස් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය විවිධ යුගයන්හි රට පාලනය කළ පාලන ව්‍යූහයට අනුව ‍වෙනස්කම් සහිතව සිදු විය.

     

    ඩී.එස්.ගේ විදෙස් පිළිවෙත

    නිදහස් ලංකාවේ පළමු අගමැතිවරයා ‍වූ ඩී. ඇස්. සේනානායක මහතාගේ පාලන සමයේ ලක්දිව පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලැබීම සිදු විය. මහා බ්‍රිතාන්‍යයට යටත්ව තිබී නිදහස ලැබූ රටවලට පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය හිමි විය. අගමැති ඩීඇස් ප්‍රමුඛ ලංකා රජය පොදු රාජ්‍ය මණ්ඩලයට සහයෝගය දැක්වීමට එකඟ විය. ඒ අනුව ලන්ඩන් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලයේ මුදල් අමාත්‍යවරුන්ගේ සමුළුවේදී එවකට මුදල් ඇමති වූ ජේ.ආර්. ජයවර්ධන මහතා කතිකා කර ගත් යෝජනාවක් අනුව 1951 වසරේදී අපේ රටට කොළඹ ක්‍රමය හඳුන්වා දීම සිදු විය. 1951 වසරේ කොළඹ ක්‍රමය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලැබීමද සුවිසල් ජයග්‍රහණයක් විය. කොළඹ ක්‍රමය ආරම්භ වී මුල් වසර 06 තුළ ලංකාවේ සංවර්ධන කටයුතු ‍වෙනුවෙන් රන්පවුම් මිලියන 102ක මුදලක් ප්‍රදානය විය. එමඟින් කෘෂිකර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් අභිජනන මධ්‍යස්ථාන බිහි කිරීම, හිඟුරාන සීනි කම්හල ඇති කිරීම, ලක්ෂපාන විදුලි යොජනා ක්‍රමය ආරම්භ කිරීම සිදු විය. කැනඩා මිත්‍රත්ව පදනම යටතේ කැනඩා‍වෙන් අපේ රටට දුම්රිය එන්ජින් කිහිපයක් පරිත්‍යාග කිරීමද සිදු වූයේ කොළඹ ක්‍රමයේ පලයක් ලෙසය. ලංකාවට පමණක් නොව ඉන්දියාව, පාකිස්තානය, මලයාසියාව, සිංගප්පූරුව ආදි රටවල්ද කොළඹ ක්‍රමය මඟින් ප්‍රතිලාභ ලැබීය.

    කොළඹ ක්‍රමය සහ ඉන් අත් වූ ප්‍රතිලාභවලට අමතරව ඩී.එස්. සේනානායකයන්ගේ විදේශ ප්‍රතිපත්ති‍යේ ප්‍රතිඵල ලෙස එක්සත් රාජධානිය සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමද, 1951 වසරේ සැන්ෆ්රැන්සිස්කෝ ලෝක සාම සමුළු‍වේදී අපේ රට නිරූපණය කළ භූමිකාවද කැපීපෙනෙයි.

    ඩී. ඇස්. සේනානායක අගමැතිතුමාගේ හදිසි අභාවයෙන් පසු ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස්කම්වලට භාජනය විය. බටහිර රටවලින් ඈත් වූ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ඉන්පසුව සිදු විය. ශ්‍රී ලංකාව චීනය සමඟ අත්සන් කළ රබර්-සහල් ගිවිසුමක් නිසා ලංකාව, අමෙරිකා එක්සත් ජනපදයේ අප්‍රසාදයට ලක් ව තිබිණි. ඩීඑස් යුගයෙන් පසු ලක්දිව විදේශ ප්‍රතිපත්තියේ මූලිකත්වය ආසියා රටවලට හිමි විය. විදේශ ප්‍රතිපත්තයේ එම හැරවුම ජෝන් කොතලාවල අගමැති සමයේදීම ආරම්භ වූ අතර, 1956 අගමැති ධුරයට පත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් එය දැඩිව ක්‍රියාත්මක කරන්නට විය. ඩීඑස් විසින් අත්සන් කළ එක්සත් රාජධානි ආරක්ෂක ගිවිසුමද බණ්ඩාරනායක අගමැතිවරයා විසින් අවලංගු කරනු ලැබිණි. එසේම, පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වීම පිළිබඳවද බණ්ඩාරනායක මහතා අදහස් පළ කළේය.

    එහෙත් මෙහිදී බණ්ඩාරනායක මහතා බටහිර රටවලට විරුද්ධව කිසිදු විරුද්ධවාදි අදහසක් පළ කළේ නැත. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය කඳවුරු දෙකකට බෙදී සිදු වෙමින් පැවති සීතල යුද්ධයේදී තුන්වන ලෝකයේ රටවල් මධ්‍යස්ථව කටයුතු කිරීමේ වැදගත්කම එතුමා පැහැදිලි කළේය. ධනවාදි හෝ සමාජවාදි එකදු කඳවුරකට හෝ සම්බන්ධ නොවී, තුන්වන ලෝකයේ රටවල් එක්ව සංවිධානය විය යුතු බවටද ඔහු අදහස් පළ කළේය. 1961 නොබැඳි ජාතීන්ගේ සංවිධානය බිහි වන්නට ඒ අදහස්ද උපකාරි විය. ලංකාවද නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ මුල් සාමාජිකයකු වූ අතර, එතැන් පටන් අප රටේ විදේශ ප්‍රතිපත්තිය ද කිසිදු කඳවුරකට නොබැඳුණු එකක් ලෙස සංවිධානය විය.

     

    නොබැඳි විදෙස් පිළිවෙත

    1960 දශකය ලක්දිව විදේශ සබඳතාවල සුවිශේෂ වැදගත් සිදු වීම් කිහිපයක්ම සිදු වූ කාලයක් විය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති ධුරය දැරූ එසමයේ ඉන්දු-චීන දේශ සීමා අර්බුදය විසඳීම සඳහා සිරිමාවෝ අගමැතිනිය පළ කළ අදහස් සහ යෝජනා අන්තර්ජාතිකව පැසසුමට ලක් විය. එසේම සිරිමාවෝ බණ්ඩාරනායක යුගයේ ඉන්දියාව සමඟ අත්සන් කළ සිරිමා-ශාස්ත්‍රි ගිවිසුමද එදවස අපේ විදෙස් ප්‍රතිපත්තියේ සුවිශේෂ සන්ධිස්ථානයක් විය. ලක් අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ ඉන්දීය අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රී මහතා අතර ඇති වූ මේ ගිවිසුමෙන් ලාංකික වතු දමිළ ජනතාවගේ පුරවැසි අයිතිය ඇතුළු අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා කරන ලදි. ඉන් පසුව 1974 වසරේදී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති වූ අර්බුදයද ඉන්දීය රජය සමඟ සාකච්ඡා කර අවසන් කර ගන්නා ලදි. දශක දෙකක් පමණ පැවති ඒ අර්බුදය නිරාකරණය වූයේ ලංකාවට කච්චතිව් දූපතේ අයිතිය හිමි කර දෙමිනි. එසේම 1976 වසරේදී නොබැඳි ජාතීීන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේ කොළඹ නගරය කේන්ද්‍ර කර ගෙන පැවැත්විණි.

    සිරිමාවෝ යුගයෙන් පසු බිහි වූ ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේද විදේශ ප්‍රතිපත්තියෙහි යම් යම් සුවිශේෂ වෙනස්වීම් සිදු විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳ පැවති දැඩි විශ්වාසය, දකුණු ආසියානු සංවිධානය (සාක්) බිහි වීම, පොදු රාජ්‍ය මණ්ඩලය සමඟ සම්බන්ධතා තර කර ගැනීම එකල සිදු වූ ප්‍රධාන වෙනස්කම් විය.

    කෙසේ නමුත් සිරිමාවෝ යුගයෙන් පසු ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ඒකාකාරි නොවූ බව පෙනී යයි. රට අභ්‍යන්තරයේ ඇති වූ ගැටුම් හා එහිදී ඇති වූ ආර්ථික පරිහානිය නිසා ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් ගොඩනඟා ගැනීමේ ගැටලු ඇති විය. පශ්චාත් යුද සමයේ ලංකාවට එල්ල වූ චෝදනා, රටට පැනවූ විවිධ ආර්ථික සම්බාධක ආදි අභියෝගවලටද ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු විය. එය අපට ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට බාධාවක් විය. ලෝකයේ ඉහළ පෙ‍ෙළ් ධනවත් රටවල් තුන්වන ලෝකයේ රටක් වූ ශ්‍රී ලංකාවට එල්ල කළ බලපෑම්වලට මුහුණ දෙමින් රටක් වශයෙන් ශක්තිමත් වීමට සිරිමාවෝ යුගයේ ක්‍රියාත්මක වූ නොබැඳි විදෙස් පිළිවෙත ආදර්ශයට ගත හැකිය. එහෙත් එය කාලයට සහ දැන් රට පවතින තත්ත්වයට උචිත ලෙස සකසා ගැනීමද කළ යුතුය.

     

     පසිඳු මිහිරාන් රැටියල

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here