24 C
Colombo
Tuesday, November 24, 2020

ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්...
More

    Latest Posts

    මෘත දේහයක දින 27කට පසුවත් කොරෝනා වෛරසය – ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළිවේ!

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක...

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    ප්‍රේමදාස නූලෙන් දිනූ මරු කටක පැවති 88 ජනාධිපතිවරණය

    ප්‍රේමදාස මහතා

    විධායක ජනාධිපති ධුරය බිහි කළායින් පසු මෙරට පවත්වා ඇති ජනපතිවරණ ගැන සලකා බලන විට, 1988 ජනාධිපතිවරණය ඒ සියල්ලට වඩා වෙනස්ය.

    1988 වසරේදී ජනපතිවරණය පැවැත්වෙන විට, ජවිපෙ දෙවැනි කැරැල්ල මැඬීමට පැනවූ හදිසි නීතිය එලෙසම පැවතිණි. එපමණක්‌ නොව, හදිසි නීතිය යටතේ ඇඳිරි නීතියද පනවා තිබිණි. ආණ්‌ඩුවක්‌ යටතේ පැවති ඇඳිරි නීතියට අමතරව පිටස්‌තර බලවේගයක්‌ විසින්ද ඇඳිරි නීතිය පැනවීමේ ලෝක වාර්තාවක්‌ද තබා තිබිණි. මේ දෙගොල්ල විසින්ම සිදු කරන ලද්දේ ම්ලේච්ඡ ඝාතනයන්ය; අමුඅමුවේ සිදු කරන ලද සැහැසිකම්ය; සිදු කරන ලද රජයේ හා පොදු දේපළ විනාශය අතිමහත්ය. ඡන්දදායකයන් බිය වැද්දීම, ඡන්දය දමන මුල් පස්‌දෙනා ඝාතනය කරන බව පැවසීම, මැතිවරණ නිලධාරීන් ඝාතනය කිරීම, ඡන්දදායකයන්ට බලහත්කාරකම් පා ඡන්දය දීමෙන් වැළැක්‌වීම යනාදි වශයෙන් බිහිසුණු පරිසරයක් සකසා තිබිණි. එය ජනාධිපතිවරණයකට වඩා යුද්ධයකට සමාන කිරීම වඩාත් නිවැරදිය.

    ප්‍රධාන මෙන්ම අප්‍රධාන පක්‍ෂද නොයෙකුත් අදහස්‌ උදහස්‌ හා යෝජනා ගෙන එද්දී එක්‌සත් ජාතික පක්‍ෂයේම මන්ත්‍රීවරයකු ඉදිරිපත් කළ අදහසක්‌ වූයේ ජේ.ආර්. ජයවර්ධන මහතාම ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවය. ඒ සඳහා ව්‍යවස්‌ථාව වෙනස්‌ කළ යුතු වූයේ නමුදු එයද අපහසු කරුණක්‌ නොවූයේ පාර්ලිමේන්තුවේ හයෙන් පහේ බලය තාමත් ආණ්‌ඩුව වෙත පැවති බැවිනි. එහෙත් රටේ පැවැති පරිසරය නිසා එජාපයේ මේ සැලැසුම සාර්ථක නොවීය.

    ජනමත විචාරණය නමින් හඳුන්වනු ලැබූ කළගෙඩි-ලාම්පු හටන ඡන්ද මංකොල්ලය මඟින් මේ වන විට පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරගෙන තිබිණි. විපක්ෂය කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැර, ජනපතිවරණය පවත්වන ලෙසය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාද මේ අදහසට එකඟ වූ නමුදු ඊට බලවත්ම විරෝධය පෑවේ අගමැති ආර්. ප්‍රේමදාස මහතාය. මේ වන විට ඔහුගේ නම ඉදිරි ජනපති අපේක්‍ෂකයා ලෙස තීරණය කොට තිබිණි. ඒ අනුව ජනපතිවරණය සඳහා පාර්ලිමේන්තු බලය යොදා ගැනීමත්, පසුව පාර්ලිමේන්තු මැතිවරණය සඳහා විධායක බලය යොදා ගැනීමත් අදහස්‌ කෙරුණු බව මින් පැහැදිලි විය. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවීමේ කාර්යය පසෙකට ගොස්, ජනාධිපතිවරණය පැවැත්වීම ඉදිරි පෙළ කරුණක් බවට පත් විය.

    මේ අතර උද්ගතව පැවති අරාජික තත්ත්වය හමුවේ ආණ්‌ඩුව එය වැළැක්‌වීමට කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගත්තේ නැත. රට පුරා පැවැතියේ ද්විත්ව පාලනයකි. දහවලට නීත්‍යනුකුල ආණ්ඩුව සිය කටයුතු කර ගෙන ගිය අතර, රැය එළඹෙද්දී තරුණ සටන්කරුවෝ ගම් වැදී තම බලය පතුරුවා ලූහ.

    1988 දෙසැම්බර් 19 දා ජනාධිපතිවරණය පැවැත්වීය. ප්‍රධාන අපේක්‍ෂකයන් තිදෙනා අතුරින් 50.45%ක ඡන්ද සංඛ්‍යාවක්‌ ලැබ ආර්. ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කර තිබිණි. නීතියට අනුව ඔහු ජයග්‍රාහකයා බව සැබෑ නමුත් රටේ බහුතරයක් ඡන්ද පොළට නොගිය නිසා ඒ ජයග්‍රහණය ගැන විවිධ මතහේද පැවැතිණි.

    ජනපතිවරණයට ලියාපදිංචි වූ ඡන්දදායක සංඛ්‍යාව 9,375,742කි. ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 5,186,233ක් පමණි; එනම් 55.32%කි. 1982 ප්‍රථම ජනපතිවරණයේදී ඡන්දය දී ඇති සංඛ්‍යාව 81.06%කි. 1982 වසරේ සිට එක්‌සත් ජාතික පක්‍ෂ රජයේ ජනමත විචාරණයෙන් පාර්ලිමේන්තුව දිගු කර ගැනීමේ සිට කරන ලදැයි කියන සංවර්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදය රැකීමෙන් පසු ඡන්දය දීමේ සංඛ්‍යාව විශාල වශයෙන් පහත වැටීම ගැන කියා සිටින්නේ කුමක්‌ද? එයද ලැබගෙන ඇත්තේ බලහත් කාරයෙන් ඡන්ද දායකයන් ඡන්දය දීමෙන් වළක්‌වා ගැනීමෙන් පසුවය.

    මුලින්ම ඡන්දය ප්‍රකාශ කරන පස්‌දෙනාගේ ඇඟිලි කපන බව, මරා දමන බව එවකට ප්‍රචලිත වූ බව කරුවුරුන් දන්නා කරුණකි. ගස්‌ කපා මාර්ග හරස්‌ කිරීම, පෙරදින රාත්‍රියේ නිවෙස්‌වලට ගොස්‌ තර්ජන ගර්ජන කරමින් මරණ බව ප්‍රකාශ කිරීම, දේශපාලන පක්‍ෂවල ඡන්ද නියෝජිතයන් අදාළ ස්‌ථානවලින් පලවාහැරීම, මිටි පිටින් හොර ඡන්ද දැමීම, මැතිවරණ නිලධාරීන් ඝාතනය කිරීම ආදි නොයෙකුත් ක්‍රියා සිදු කර ඇති බව රහසක්‌ නොවීය.

    එහෙත් ඡන්දය ප්‍රකාශ කළ සංඛ්‍යාවේ අඩු වීම යුක්‌ති යුක්‌ත කිරීම සඳහා අපූරු තර්කද ඉදිරිපත් විණ. එනම් 1947 මහ මැතිවරණයේදී ඡන්දය දැමීමේ ප්‍රතිශතය 56.2%ක් වූ බවත්, එවැනිම ආකාරයේ ඡන්දය දුන් විදේශ ජනපතිවරණ (විශේෂයෙන් අමෙරිකාවේ) උදාහරණයට ගෙන පෙන්වීමත් ඒ අතර විය. ඒත් ඒ අවස්‌ථාවල ඡන්දදායකයා ඡන්දය පාවිච්චි නොකළේ කාගේවත් බලපෑම් තර්ජන ගර්ජන හා මරණ බිය නිසා නොවේ; ඡන්දය දීමේ මෙන්ම නොදීමේ නිදහස්‌ අයිතිය යොදා ගැනුමෙනි.

    ප්‍රකාශ කෙරුණු ඡන්ද ප්‍රතිශතය වන 55.32%ක්‌ හිමි වූයේ සියලු දිස්‌ත්‍රික්‌ක හා ආසනවලින් නොවේ. බලපෑම් අඩුව තිබූ දිස්‌ත්‍රික්‌ක කීපයක්‌ මඟින් ලැබී තිබුණ 50% සිට 80% දක්‌වා ඡන්ද සංඛ්‍යාව නිසාය. දිස්‌ත්‍රික්‌ක 22න් සියයට 50%ට වැඩි ඡන්ද ප්‍රතිශතයක්‌ ලැබී ඇත්තේ දිස්‌ත්‍රික්‌ක 12ක පමණි. දිස්‌ත්‍රික්‌ක 10කදීම ප්‍රකාශ කර ඇති ඡන්ද ප්‍රතිශතය 50%ට පහළ අගයක් ගෙන තිබිණි.

    ඒ දිස්‌ත්‍රික්‌ක දහය වන්නේ මාතලේ, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, වන්නි, අනුරාධපුරය, පොලොන්නරුව, බදුල්ල හා මොනරාගලය. මේවායින්ද 40%කට වැඩි ඡන්ද ප්‍රතිශයක්‌ ප්‍රකාශ කර ඇත්තේ දිස්‌ත්‍රික්‌ක තුනක පමණි. එනම් ගාල්ල, අනුරාධපුර හා බදුල්ලය. මොනරාගල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 17.01%කි. මේ දිස්‌ත්‍රික්‌ක තුනෙහිද ආසන ගැන සලකා බැලූ විට නියම තත්ත්වය පැහැදිලි වේ. ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ආසන 10න් 5කම ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 50%ට අඩුවෙනි. අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ආසන 7න් 6කම ප්‍රතිශතය 50%ට අඩුය. බදුල්ලේ ආසන 9න් 6කම ප්‍රතිශතය 50%ට අඩුය.

    සියයට 50ට වැඩි ඡන්ද ප්‍රතිශතයක්‌ ප්‍රකාශ කර ඇති කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ආසන 11කින් 6කම ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 50%ට අඩුය.

    තවද මාතලේ, මාතර, හම්බන්තොට, යාපනය, වන්නි, බදුල්ල, පොලොන්නරුව හා මොනරාගල යන දිස්‌ත්‍රික්‌ක 8 එකම අසුනක්‌වත් 50% ප්‍රතිශතය ඉක්‌මවා නැත. සමහර අසුන්වල ඡන්ද ප්‍රකාශනය 5%ටත් අඩුව තිබිණි. මේ තත්ත්වයට හේතු වූ ප්‍රධාන කරුණ වූයේ උතුරේත් දකුණේත් පැවති අස්ථාවර වාතාවරණයයි.

    ඡන්ද නිරීක්‍ෂක කමිටුව විසින් කිසිදු නියෝජිතයකු නොසිටියේ යැයි කියනු ලැබූ යාපන දිස්‌ත්‍රික්‌කය තුළ ලබා ඇති ඡන්ද ප්‍රතිඵලය අතිශයින්ම විස්මයජනකය. මේ වන විට යාපන පුස්‌තකාලය ගිනි තබා විනාශ කර ඇත්තේ එජාප ඇමැතිවරුන් තිදෙනකු යාපනයේ සිටියදීය. 83 කළු ජූලියේදී දෙමළ විරෝධි මහා සංහාරයක්‌ද දේපළ විනාශයක්‌ද සිදු කර තිබිණි. මේ ජනාධිපතිවරණය පැවැත්වුණේ ඒ අපරාධ හා තවත් එවැනි හිංසා පීඩා ගණනාවක්‌ සිදු කළ හා සිදු වෙමින් පැවති සමයකය. එහෙත් එවකට බණ්ඩාරනායක මැතිනියට සාම්ප්‍රදායිකව වාසි අත් කර දුන් යාපනය දිස්ත්‍රික්කයේ එජාපයට විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබීම කැපීපෙනෙන කරුණකි.

    ජනමත විචාරණය මඟින් අසාධාරණ ලෙස දිගු කර ගන්නා ලද වසර 6ක්‌ ඇතුළුව වසර 11ක්‌ වූ එජාප පාලනය තුළ ඇති කරන ලද සංවර්ධනය ජනතාව විසින් අනුමත කරන ලදැයි ජනාධිපතිවරණ ප්‍රතිඵලය මගින් ප්‍රකාශ වූ බව ඔවුන් ප්‍රකාශ කළ ද 1982 ජනාධිපතිවරණයට වඩා සැලකිය යුතු පසුබෑමක් අත්ව තිබිණි.

    ඡන්ද මධ්‍යස්‌ථාන 49ක්‌ වසාදැමීමෙන් පවත්වන ලද මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ ලියාපදිංචි ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව 161,927කි. එහි ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව වූයේ 17%කි. එවිට එජාප අපේක්‍ෂකයා ඒ දිස්‌ත්‍රික්‌කයෙන් 63.21%ක ඡන්ද ප්‍රතිශතයක්‌ දිනාගෙන ඇත. එහෙත් ඡන්දදායකයාට නිදහසේ ඡන්දය භාවිත කිරීමට ඉඩ ලැබුණේ නම් මේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබිණි.

    ප්‍රධාන පළාතක්‌ වන බස්‌නාහිර පළාතේ දිස්‌ත්‍රික්‌ක තුනේ, 1982 ප්‍රතිඵල හා 1988 ප්‍රතිඵල සැසඳීමෙන් එජාපය ලබා ඇති ප්‍රගතිය බලාගත හැකිය.

    1982 එජාප % 1988 එජාප %

    කොළඹ 67.01 49.14

    ගම්පහ 52.20 48.08

    කළුතර 55.15 46.76

    තවද, කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ආසන 15කින් එජාපය 50% ප්‍රතිශතය ඉක්‌මවා ඇත්තේ ආසන 6ක් පමණි. ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ආසන 13කින් ආසන 4ක පමණි. කළුතර දිස්‌ත්‍රික්‌කයේ ආසන 8න් එකදු අසුනක්‌ වත් එම ප්‍රතිශතය ලබා නැත. එක්සත් ජාතික පක්ෂයේ ජයබිමක් මෙන්ම ප්‍රේමදාස මහතාගේ බළකොටුව වූ මැද කොළඹ පවා කැපීපෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට එජාපයට නොහැකි වුවද එහි ජයග්‍රහණය එජාපය සතු විය. කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් නොව, බස්නාහිර පළාතෙන්ම එජාපයට ඡන්ද ලක්ෂ ගණනක් අහිමි විය.

    මේ අතර ජනාධිපතිවරණය පිළිබඳ සාක්‌ රටවලින් සැදුම්ලත් නිරීක්‍ෂණ කමිටුවේ අතුරු වාර්තාවේ සඳහන් තොරතුරු සැකෙවින් මෙසේය:

    “බොහෝ ඡන්ද මධ්‍යස්‌ථානවල එක්‌ පක්‍ෂයකට හෝ පක්‍ෂ දෙකකට හෝ අයත් වූ නියෝජිතයන් පමණක්‌ සිටිනු නිරීක්‍ෂණ කණ්‌ඩායමට පෙනී ගිය කරුණකි. සමහර දිස්‌ත්‍රික්‌කවල විශේෂයෙන් යාපනයේ කිසිදු අපේක්‍ෂකයකු වෙනුවෙන් ඡන්ද නියෝජිතයෙක් නොසිටියේය. වවුනියාව, ගාල්ල, මාතලේ, මාතර ඇතුළු ඡන්ද මධ්‍යස්‌ථාන රැසක ඡන්ද නියෝජිතයන් අයකු හෝ දෙදෙනකු හෝ සිටි අතර, සමහර මධ්‍යස්‌ථානවල කිසිවෙක් නොසිටියහ. මෙවැනි ක්‍රියාදාමයන් නිසා මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ ඡන්ද මධ්‍යස්‌ථාන 215කින් 49ක්‌ම වළක්‌වන ලද අතර, එය ලියාපදිංචි ඡන්දදායකයන් 45,000කට බලපෑවේය.”

    එහෙත් මෙවැනි දේ සිදු වී ඇත්තේ ඒ ප්‍රදේශවල පමණක්‌ නොවේ. ඡන්ද මධ්‍යස්‌ථාන ප්‍රමාද වී ඇරඹීම ඒ හේතු කොට ගෙන නියමිත වේලාවට පෙර ඡන්දය දැමීමට නොහැකි වීම, ඡන්ද මධ්‍යස්‌ථාන හදිසියේ මාරු කිරීම, ඡන්ද කටයුතු මෙහෙයවීමට අවශ්‍ය නිලධාරීන් නොසිටීම, ඒ ඒ ස්‌ථානවලට කඩාවැදී අරක්‌ගත් උදවියට අවශ්‍ය පරිදි ඡන්ද මධ්‍යස්‌ථාන කටයුතු සිදු කරවීම, ඡන්ද පෙට්‌ටි පොලීසි කරා ගෙනයෑම යනාදි කරුණු ගණනාවක්‌ද එදින සිදු වූ සිද්ධි වෙයි.

    1988 ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 9,375,742කි. ආර්. ප්‍රේමදාස මහතාට මින් ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 2,569,119කි. මේ තත්ත්වය අනුව ලියාපදිංචි ඡන්ද ප්‍රමාණයයෙන් බහුතරයක් දිනාගැනීමට ප්‍රේමදාස මහතාට නොහැකි වුවද රටේ පැවැති පරිසරය තුළ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 50%ක් ඉක්මවීමට ඔහුට හැකියාව ලැබිණි.

    අවසානයේදී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය, රණසිංහ ප්‍රේමදාස මහතා සහ ඔසී අබේගුණසේකර මහතා අතර පැවැති තුන් කොන් තරගයෙන් ප්‍රේමදාස මහතාට ජය අත් විය. එහෙත් විවිධ තර්ජන මැද පැවති 88 ජනාධිපතිවරණයේ සැබෑ ජයග්‍රහකයා වූයේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරමින් ඡන්ද පොළට ගිය ලක්ෂ සංඛ්‍යාත පිරිසය.

     

      උදිත ගුණවර්ධන

    Latest Posts

    මෘත දේහයක දින 27කට පසුවත් කොරෝනා වෛරසය – ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළිවේ!

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක...

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.