ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගාවලියක් ලබන වසරේ ජුනි මාසයේදී

0
15
Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකාව සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජුනි මස 29 වැනිදා ඩර්හෑම්හිදී ආරම්භ කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි. ශ්‍රී ලංකාව සමඟ එක්දින තරගාවලියේ කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත යොමු කොට ඇති අතර, එයට එක් දිවා – රාත්‍රී තරගයක් ඇතුළත්ව ඇත. එම දිවා – රාත්‍රී තරගය ජූලි 01දා ඕවල් පිටියේදී පැවැත්වෙන අතර, තෙවැනි සහ අවසන් තරගය ජූලි 4 වැනිදා බ්‍රිස්ටල්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කොරෝනා වසංගතය අතරතුර දී විදෙස් කණ්ඩායම් කිහිපයකටම ආරාධනා කළ එංගලන්තය මෙතෙක් ප්‍රේක්ෂකයන් නොමැතිව ජෛව ආරක්ෂිත බුබුළු ක්‍රමය යටතේ තරග පැවැත් වුව ද ලබන වසරේ පවත්වන සියලු තරගාවලි සඳහා ජනවාරි මාසයේ සිට සාමාන්‍ය පරිදි ටිකට්පත් විකිණීමටත්, එමඟින් ප්‍රේක්ෂකයන්ට නැවත ක්‍රීඩාංගණවලට පැමිණීමේ අවස්ථා උදා කිරීමටත් බලාපොරොත්තු වේ.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා එංගලන්ත ක්‍රිකට් පිල පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමඟ පුහුණු තරගය අතරතුර දී කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නැවත එංගලන්තය බලා පිටත් විය. එංගලන්ත පිල සමඟ පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී හා දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 27 වැනිදා එස්.එස්.සී. පිටියේදී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබූ අතර, එම තරගාවලිය යළිත් පවත්වන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පැවැසුව ද තවමත් දින වකවානු ප්‍රකාශ කොට නැත. එංගලන්ත පිල අවසන් වරට ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරගාවලියකට එක් වූයේ වසර 2018 නොවැම්බර් මාසයේදී වන අතර, එහිදී ටෙස්ට් තරග 3කින් සමන්විත තරගාවලිය 3-0ක් ලෙස එංගලන්තය ජයග්‍රහණය කළේය. ශ්‍රී ලංකාව අවසන් වරට එංගලන්තයේ දී එක්දින තරගාවලියකට එක් වූයේ වසර 2016 දී වන අතර, පැවැති එක්දින තරග තුනේම ජය එංගලන්තය සතු විය. මේ අතර එංගලන්ත ක්‍රිකට් ආයතනය නිකුත් කළ නවතම කාලසටහන අනුව පකිස්තානය සමඟ එක්දින තරග තුනක් හා විස්සයි20 තරග තුනක් ද ඉන්දියාව සමඟ ටෙස්ට් තරග 5ක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. පාකිස්තානය සමඟ එක්දින හා විස්සයි20 තරගාවලිය ජූලි මස 8 වැනිදා ආරම්භ වන අතර, ඉන්දියාව සමඟ ටෙස්ට් තරගාවලිය අගෝස්තු 4 වැනිදා ට්‍රෙන්ට්බ්‍රිජ්හිදී ආරම්භ වේ. අවසන් පස්වැනි ටෙස්ට් තරගය සැප්තැම්බර් මස 10 වැනිදා සිට ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේදී පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here