24 C
Colombo
Tuesday, November 24, 2020

මැදපෙරදිග සිරවී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව

මැදපෙරදිග රටවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවක් ලබා දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන්...
More

    Latest Posts

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    අඟුලාන උතුරත් දකුණත් හුදෙකලා බවින් නිදහස් කරයි

    අඟුලාන උතුර හා අඟුලාන දකුණ යන ග්‍රාම සේවා වසම් දෙක හුදෙකලා බවින් නිදහස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.   නිරෝධායන...

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    සිරගෙදරින් මැතිසබයට ගිය කවිකාර පොදුජන හිතවතා

    දෙවොලේ දොරටු පල්ලන් මුර කළේ නැත

    තිර හත-අටින් වට වී වැජඹුණේ නැත

    තෙද රැස් වළලු හිස වට කැරකුණේ නැත

    දෙපයින් විනා ඔබ අහසින් ගියේ නැත

     

    පී. මලල්ගොඩ කිවිඳා මෙසේ කවියෙන් වැනුවේ සෝමවීර චන්ද්‍රසිරිගේ නිකැලැල් දේශපාලන දිවියයි. සෝමවීර චන්ද්‍රසිරි ඉතිහාසගත වී ඇත්තේ නිදහස් අරගලයට කර-උර දෙමින් පැමිණි ගමන් මඟෙහි, රටත් රටේ දේශපාලනයත් තුළ පැහැදිලි පෙරළියක් ඇති කරවන්නට නිරන්තරයෙන් අරගල කළ සැබෑ මානව හිතවාදියකු ලෙසිනි.

    එකල මැති සබයට මිණි පහනක් වන් වූ සෝමවීරයන්ගේ මව්පියන් වීමේ භාග්‍යය ලද්දෝ පිළියන්දල, මාම්පේ විතානගේ සුබනේරිස් පෙරේරා සහ මලගලගේ රන්දොහාමි දම්පතීහුය. 1909 පෙබරවාරි 15 වන දින ඒ දෙපළට දාව ලක්දිවට තිළිණ වූ සෝමවීරයන් ඉගෙනුමට අත්පොත් තැබු‍වේ ගමේ කිතුනු පාසලෙනි. පසුව මොරටුව වේල්ස් කුමර විදුහලින්ද සිප්සතර හදාළේය.

    නිදහස්, පෙරළිකාර අදහස් දැරූ සෝමවීර සටන්කාමි අරගල මතින් මුවහත් වන්නට වූයේ පාසල් වියේදීමය. තුරුණු වියට පා තබන විටත් හේ ජනහද දිනූ කවියෙකි; ගත් කතුවරයෙකි; කොළඹ යුගයේ කවිය, වේදිකා නාට්‍යය, පුවත්පත් කලාව ආදි නොයෙක් ක්ෂේත්‍රයන්හි එක සේ සමත්කම් පෑ විද්වතෙකි.

    නිදහස් ව්‍යාපාරයටත් සමාජ සේවයටත් ඇප-කැප වූ සෝමවීර සමස්ත ලංකා සිංහල කවි සම්මේලනය ආරම්භ කළේ 1931දීය. දිවි ඇති තෙක් ඔහු ගෙනගිය සිංහල භාෂා සටනට නිරතුරුව පණ පෙවූයේද මේ සිංහල කවි සම්මේලනයැයි කීමේ වරදක් නැත. කවිය ඔහුගේ අවිය විය.

    දේශපාලනය ඔහුගේ නළලේ කොටා තිබුණකි. මොරටුව ආසනය ජයග්‍රහණය කොට මැති සබයට පිවිසි සෝමවීරයන් පාර්ලිමේන්තුවේ පළමුවන සිංහල කවි කතාව පැවැත්වීමෙන් පිහිටුවූයේ විශිෂ්ට වාර්තාවකි. ඉතිහාසගත වූ සෝමවීරයන්ගේ කවි කතාවට අපූරු නිමිත්තක් විය. ඒ වන විට පාර්ලිමේන්තුවේ මුදල් ඇමැති ධුරය හෙබවූයේ ජේ.ආර්. ජයවර්ධන කැලණිය මන්ත්‍රීවරයා යි. එකල සහල් කූපන් පොතක් නිකුත් කොට තිබුණු අතර, එය ඉදිරිපත් කළ විට රජයෙන් ශත විසිපහක වටිනාකමට සහල් සේරුවක් ලබා ගත හැකි විය. එකලම බුරුමයෙන් හාල් වර්ගයක් ගෙන්වනු ලැබීය.

    ඒ හාල ලාබය; එහෙත් බාලය; බෙරි නොවී උයාගන්න බැරි ය. ‘කැඳ හාල’, ‘පිදුරු හාල’, ‘ඉටි සෝරු’ යන විවිධ නම්වලින් එකල හැඳින්වුණේ මේ හාලය. සෝමවීර චන්ද්‍රසිරි ඉතිහාසගත වූ කවි කතාව ඉදිරිපත් කළේ එකී කැඳ හාලටත්, ජේආර්ගේ අලුත් අය-වැය ලේඛනයටත් පහර ගසමිනි. අය-වැය විවාදයේදී ඉදිරිපත් කිරීමට සූදානම් වූ ඒ කවි කතාවට එකල කථානායක පදවි දැරූ ෆ්රැන්සිස් මොලමුරේ හරස් විය. ඒ එදා පාර්ලිමේන්තු නීතිය අනුව සභා ගැබ තුළ තාලයට කවි කීම තහනම් වූ බැවිනි. එහෙත් පසුබැස්සේ සෝමවීර නොවේ. සූදානම් වූ සේ ම කවි කිහිපයකින් ජේආර්ගේ අලුත් අය-වැයට දමාගැසුවේ අගට වස් කවියක්ද එක් කරමිනි. ඔහු එම කවි තාලයට ඇද-පැද නොකී බැවින්, පාර්ලිමේන්තු නීතියට පිටුපෑවේය යන චෝදනාව එල්ල කළ නොහැකි විය. මේ දැක්වෙන්නේ එකී අපූරු කවි කතාවේ වූ එක් කවියකි:

     

    මුදල් ඇමැතිගේ අය-වැය කතා වටා

    කිසිවක් ඇද්ද තව උපමා කිරීමටා

    තරුණෙක් තරුණියක් හට ලිව් අගේ කොටා

    පෙම් හසුනක් වගේ යැයි එය හැඟේ මටා

     

    කවි කතාවෙන් ජේආර්ට පහර ගැසූමුත්, සෝමවීර-ජේආර් මිතුදම 1930 ගණන්වල මුල් භාගයටත් එහා සිට දලු ලා වැඩුණකි. එවකට පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටි ජේ.කේ.ඩබ්ලිව්. පෙරේරා ජයග්‍රහණය කරවීම සඳහා මේ සගයන් මැතිවරණ වැඩවල යෙදුණේ එකටය. දෙදෙනාගේ මිතුදම කෙසේ වීද යත්: සෝමවීරයන් ‘සිරගෙදරින් පාර්ලිමේන්තුවට’ යනුවෙන් ලියා පළ කළ තම ජීවිත කතාවේ මුල් පිටපතක් ජේආර්ට පිරිනැමුවේ අපූරු කවියක්ද සමඟිනි.

    අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට එරෙහිව පිළියන්දල පොදු මහජන වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමේ සටන ජය ගැනීමෙන් අනතුරුව 1937දී මාම්පේ, කැස්බෑව ගම්කාර්ය සභාවේ නියෝජිතයකු වශයෙන් තේරී පත්වූ සෝමවීර චන්ද්‍රසිරි මහතා මාම්පේ, කැස්බෑව ගම්කාර්ය සභාවේ සභාපති ධුරයත් පිළියන්දල සුළු නගර සභාවේ නගරාධිපති ධුරයත් හෙබවීය. 1947දී ඔහු ලංකා සම සමාජ පක්ෂයෙන් මොරටු ආසනය දිනාගත්තේ ලෝකයෙන් ම සිර ගෙදර සිට පාර්ලිමේන්තුවට පත් වූ පළමුවැන්නා ලෙස වාර්තාවක්ද තබමිනි. එදා ඔහු අතින් පරාජය ලැබුවේ එවකට ශ්‍රී ලංකාවේ සිටි ධනවත්ම පවුලේ සාමාජිකයකු වූ තෝමස් අමරසූරිය මහතාය.

    සෝමවීර චන්ද්‍රසිරි මහතා 1952, 60, 65, 70 මැතිවරණවලදීද පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සමත් විය. එකල පැවති මැතිවරණ රැස්වීම්වල ඔහු පැවැත්වූ කතා අසන්නත් ඔහුගේ හිටිවන කවි අසන්නත් සෙනඟ රැස් වූයේ වැල නොකැඩීය.

    කැස්බෑවේ මහජන නියෝජිතයා වශයෙන් 1970දී පාර්ලිමේන්තුවට පිවිසි සෝමවීර මහතා සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍ය තුමියගේ නායකත්වයෙන් යුත් සමඟි පෙරමුණු ආණ්ඩුවේ සංස්කෘතික උප අමාත්‍ය ධුරය හිමි කර ගැනීමටද සමත් විය. ඔහු වෙස්සන්තර නාට්‍යයෙහි වෙස්සන්තර රජුගේ චරිතය නිරූපණය කළේද සංස්කෘතික උප ඇමැතිකම දරන අතරතුරය.

    සුහද, නිර්ව්‍යාජ, මානව දයාවෙන් පිරිපුන් මේ ගම්බද ප්‍රභූවරයා නිරන්තරයෙන් මහජන භක්ත්‍යාදරයට පාත්‍ර විය. හෙතෙම තනතුරු තාන්නමාන්න හා ගරුබුහුමන් මුල් කොට ගෙන කිසිවිටකත් හිස උදුම්මා ගත්තේ නැත. සුළු නගර සභා සභාපතිවරයකු, නගරාධිපතිවරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම උප ඇමැතිවරයකු වශයෙන්ද කල් ගෙවූයේ නොවෙනස් වූ මානව දයාවකිනි. ඔහු හෙළ බසින් කතා පවත්වමින් පෙරළි කළේ සිය බසින් පාර්ලිමේන්තුවේ කතා කිරීමට තහංචි පැනවී තිබූ යුගයකය. අපමණ බාධා පැමිණියද පෙරට තැබූ පය ආපස්සට ගැනීමේ පුරුද්දක් එතුමා කෙරෙහි නොවීය. ඔහුගේ පාර්ලිමේන්තු දිවිය පුරා වත්මන් හා මතු පරපුරට ගත හැකි ආදර්ශ බොහෝය.

    පිළියන්දල හන්දියේ අදටත් දැවැන්තව නැඟී සිටින ඔරලෝසු කණුව එතුමාගේ මූලිකත්වයෙන් කෙරුණු දහසකුත් එකක් නොමැකෙන වැඩවලින් එකක් පමණි. රට-ජාතියට, ආගමට, භාෂාවට, කලාවට, සංස්කෘතියට එතුමා අතින් ඉටු වූ සේවාව මෙතෙකැයි කියා ලඝු කොට දැක්විය නොහැකිය. ලෝකයට වැඩදායි ජීවන අරගලයක යෙදී, උපන් බිමට ණය ගෙවූ ඒ සැබෑ මානව හිතවාදියා 1971 ජූලි 11 වන දින අප අතරින් වියෝ වූයේ රටම කම්පාවට පත් කරමිනි. අවසාන වශයෙන් බටුවන්දර ගුණවර්ධන කිවිඳු සෝමවීරයන්ගේ දේහය අබියසදී කී කවක් මෙසේ දක්වමි:

     

    විසිතුන් වසක ගරු මන්තිරිකමක් කොට

    නොමැතිව ගෙයක් මළ කඳවත් තබන්නට

    ඇස් දෙක පියා ගත් ඔබ ගැන ලියන්නට

    ඉතිහාසයට ඕනෑ ඉඩ තියන්නට

     

     කාංචනා සිරිවර්ධන

    Latest Posts

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    අඟුලාන උතුරත් දකුණත් හුදෙකලා බවින් නිදහස් කරයි

    අඟුලාන උතුර හා අඟුලාන දකුණ යන ග්‍රාම සේවා වසම් දෙක හුදෙකලා බවින් නිදහස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.   නිරෝධායන...

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.