සිල් රෙදි නඩුව ලලිත් – අනුෂ නිදහස් වූ හැටි

    0
    3
    Author(s): 
    නෙල්කා මැදගෙදර

    සමාජ සද්කාරයක් කිරීම සඳහා එවකට සිටි ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු කළ විත්තිකාර අභියාචකයන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා පනතට හෝ පොදු දේපළ පනතට පටහැනිව කටයුතු කර නැත. ඒ බවට මහාධිකරණ විනිසුරුවරයා කරුණු වරදවා වටහා ගනිමින් නිගමනයකට එළැඹී ඇත. විත්තිකරුවන් වංකව කටයුතු කර ඇති බව තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් කර නැත. විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් ලෙස විත්තිකාර අභියාචකයන් දෙදෙනා එම කොමිෂන් සභා පනත සම්බන්ධයෙන් ‍හොඳින්ම දැනුවත්ව සිටි අතර ඔවුන් ඊට පටහැනිව කිසිවක් කර නැති බව හොඳින්ම පැහැදිලි වේ.

    සිල් රෙදි නඩුව පසුගිය කාලය පුරා සමාජයේ විශාල වශයෙන් කතාබහට ලක්ව තිබුණේ එහි වූ සුවිශේෂිතා කිහිපයක් නිසාවෙනි. එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබුණු ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට මහත්වරුන් රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු හෙබවූවන් වීම එක් විශේෂත්වයක් විය. නඩුව විභාග කිරීමෙන් අනතුරුව මහාධිකරණය දුන් තීන්දුව මත ඒ දෙදෙනාට ගෙවන්නට වූ වන්දිය රාජ්‍ය සේවකයන් දෙදෙනකුට ගෙවන්නට වූ ඉහළම වන්දිය වීම තවත් විශේෂත්වයක් විය. මේ නිසා නඩුව ආරම්භයේ සිටම ඒ කෙරෙහි සමාජයේ විශාල උනන්දුවක් දක්නට ලැබුණි.

    නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට සිටි ලලිත් වීරතුංග මහතා 2005-2015 කාලසීමාවේ ජනාධිපති ලේකම් ධුරය දැරූ අතර, අනුෂ පැල්පිට මහතා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරුවේය. මේ දෙදෙනාට එල්ල වී තිබුණු චෝදනාව වූයේ 2015 ජනාධිපතිවරණ සමයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ රුපියල් මිලියන 600ක් වැය කරමින් සිල් රෙදි බෙදාදීමෙන් රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාවය.

    2014 ඔක්තෝබර් මස 30 වැනිදා සහ 2015 ජනවාරි 05 වැනිදා අතර කාලය තුළදී පැමිණිල්ල නොදත් අන් අය සමඟ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක් එම කොමිෂන් සභා පනතට පටහැනිව සිල් රෙදි බෙදාදීමේ වැඩසටහනක් සඳහා ජනාධිපති ලේකම්වරයාගේ නමින් රාජ්‍ය බැංකුවක පවත්වාගෙන යන ගිණුමට ප්‍රේෂණය කිරීමෙන් වංක ලෙස සාවද්‍ය පරිහරණය කිරීම සහ ඒ සඳහා අනුබල දීම ඇතුළු අධි චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව 2015 අ‍ගෝස්තු 28 දින කොළඹ මහාධිකරණය හමුවෙහි අධි චෝදනා ගොනු කරන ලදී.

    දෙපාර්ශ්වයේ සාක්කි කැඳවා පැවැත් වූ දීර්ඝ නඩු විභාගයක් විනිසුරුවරුන් කිහිප දෙනකු හමුවේ වරින් වර පැවැත්විණි. අවසන් වරට නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා 2017 /09/07 දින එහි තීන්දුව ප්‍රකාශ කළේය. එහිදී වර්ෂ 2014ක් වූ ඔක්තෝබර් මස 30 සහ 2015 ජනවාරි මස 05 දින අතර කාලයේදී පැමිණිල්ල නොදත් අය සමඟ එක්ව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන හයසියයක මුදලක් එම කොමිෂන් සභා පනතට පටහැනිව සිල් රෙදි බෙදාදීමේ වැඩසටහනක් සඳහා ජනාධිපති ලේකම් නමින් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ පවත්වාගෙන යනු ලබන ගිණුමකට ප්‍රේෂණය කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය අනුව දේපළ වංක ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ වරද සිදු කිරීම හෝ එකී වරද කිරීමට අනුබල දීමට එකඟවීමෙන් පොදු අරමුණක් ඇතිව ක්‍රියා කිරීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස වංක ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ වරද සිදු කරන ලද බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ 113(ආ), 102 වගන්ති සමඟ කියවිය යුතු පොදු දේපළ විෂයෙහි ලා දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කිරීම මෙහි පළමු වැනි චෝදනාව විය.

    සාක්ෂිකරුවන් 20 දෙනෙක්

    එම චෝදනාවේ සඳහන් වේලාවේදී සහ ස්ථානයේදී ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතු රුපියල් මිලියන 600ක් වංක ලෙස සාවද්‍ය පරිහරණය කිරීමෙන් එම කොමිෂන් සභා පනතට පටහැනිව සිල් රෙදි බෙදාදීමේ වැඩසටහනක් සඳහා ජනාධිපති ලේකම් නමින් ලංකා බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුමට ප්‍රේෂණය කිරීමෙන් හෝ එසේ කිරීමට සැලැස්වීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 386 වන වගන්තිය අනුව දේපළ වංක ‍ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ වරද කර ඇති බැවින් පොදු දේපළ පනතේ කරුණු ලබන වැරදි පිළිබඳ පනතේ 5(1) වගන්තිය අනුව දඬුවම් ලැබිය යුතු වරදක් පළමු විත්තිකරු සිදු කළ බව දෙවැනි අධිචෝදනාව විය.

    එකී වරද කිරීමට පළමුවන චූදිත හට ආධාර අනුබල දීම සහ එම අනුබල දීමේ ප්‍රතිඵලයක් ලෙස එකී වරද සිදු කර ඇති බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ 102 වගන්තිය සමඟ කියවිය යුතු පොදු දේපළ පනතේ 5(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති බවට දෙවන විත්තිකාර ලලිත් වීරතුංග මහතාට එරෙහිව තුන්වන අධිචෝදනාව ඉදිරිපත් කර තිබිණි. 2015 අගෝස්තු මස 28 දරන චෝදනා පත්‍රයට අනුව මෙම නඩු විභාගය විනිසුරුවරුන් කිහිප දෙනකු ඉදිරියෙහි වරින් වර සිදු කළ අතර අවසන් වරට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවෙහි නඩුව විභාග කෙරිණි.

    එහිදී පැමිණිලි පාර්ශ්වයෙන් ලේඛන 15ක් සාක්කි වශයෙන් ඉදිරිපත් කළ අතර, සාක්කිකරුවන් 20 දෙනකු සාක්ෂි දීම සඳහා කැඳවා තිබිණි. නඩු විභාගය පැවැත්වීමෙන් පසුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එහි තීන්දුව 2017 සැප්තැම්බර් මස 07 වැනිදා ප්‍රකාශ කළේය. එකී අධි චෝදනා තුනටම විත්තිකරුවන් වරදකරුවන් බවට තීරණය කළ අතර, ඔවුන්ට බරපතළ වැඩ සහිත වසර තුන බැගින් වූ සිරදඬුවම් රුපියල් ලක්ෂ 20 බැගින් වූ දඩ මුදල් නියම කරන ලදී. ඊට අමතරව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට රුපියල් ලක්ෂ 500 බැගින් වූ වන්දි මුදල් ගෙවීමට ද නියම කර තිබුණි.

    හදිසි ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ සිල් රෙදි ව්‍යාපෘතිය සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සමාජ සත්කාර වැය ශීර්ෂයෙන් මුදල් ලබා දෙන ලෙසට විත්තිකාර ලලිත් වීරතුංග මහතා ලබා දුන් උපදෙස් අනුව එම මුදල් වැය කර ඇත්තේ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව බව සාක්කි මඟින් පැහැදිලි වන බව ද විනිසුරුවරයා සිය තීන්දුව මඟින් පෙන්වා දී තිබිණි. එකී තීන්දුව ප්‍රකාශයට පත් කර දින තුනකට පසුව ඊට එරෙහිව ඔවුන් ඉදිරිපත් කළ අයදුමක් සලකා බැලූ මහාධිකරණය ඔවුන්ව ඇප මත මුදා හැරීමට තීරණය කළේය. මෙම මහාධිකරණ තීන්දුවට එරෙහිව මෙම අභියාචන පෙත්සම් දෙක අභියාචනාධිකරණයට ඉදිරිපත් කළේ ඉන් අනතුරුවය.

    තීන්දුවට අභියාචනාවක්

    තමන්ට සාධාරණ නඩු විභාගයක් නොලැබුණු බැවින් එම මහාධිකරණ තීන්දුව නීති විරෝධී සහ අසාධාරණ බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම් මඟින් ඉල්ලා තිබිණි. එසේම එම මහාධිකරණ තීන්දුව බල රහිත කොට තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස පෙත්සම් මඟින් ඉල්ලා තිබිණි.

    මෙම පෙත්සම් සම්බන්ධ විභාගය සිදු කළ කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල පෙත්සම් විභාගය අවසන් කර ඉදිරිපත් වූ වාචික සහ ලිඛිත දේශන සලකා බැලීමෙන් අනතුරුව ඊයේ (19) ඒ පිළිබඳ තීන්දුව ප්‍රකාශ කළේය. එම තීන්දුවෙහි මෙසේද සඳහන් වේ. ඉකුත් 2015 ජනාධිපතිවරණ සමයේ දිවයින පුරා විහාරස්ථාන වලට සිල්රෙදි බෙදාහැරීම හරහා රජයට අයත් රුපියල් මිලියන 600ක මුදලක් රජයට පාඩු කිරීම සහ අවභාවිත කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව මහාධිකරණය හමුවෙහි විභාග කර තිබේ.

    එම තීන්දුව මඟින් අ‍ධිචෝදනාවන්ට වැරදිකරුවන් බවට තීන්දු කරමින් විත්තිකරුවන්ට වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් ද එය නොගෙවන්නේ නම් තවත් මාස 6ක සිරදඬුවමක්ද නියම කළේය. ඊට අමතරව තවත් රුපියල් ලක්ෂ පන්සීයක වන්දි මුදලක් විදුලි සංදේශ නියාමන කොමිසමට ගෙවීමට ද නියම කෙරිණි. ඊට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගයේදී අධිකරයෙහි අවධානය යොමු වූයේ විත්තිකරුවන්ට එරෙහි ‍සාක්කි සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති ද යන්නය.

    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ 22 (ඌ) වගන්තියට පටහැනිව කටයුතු කර ඇති බැවින් සාවද්‍ය සාපරාධී වරද සිදු කර ඇති බවට නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කෙරිණි. ඉදිරිපත් කරුණු සලකා බැලීමේදී විදුලි සංදේශ නියාමන කොමිසම එවකට සිටි ජනාධිපතිවරයා යටතේ පැවති ආයතනයක් බව පැහැදිලි වේ. ඒ අනුව එවකට සිටි ජනාධිපති ලේකම්වරයා නිල බලයෙන්ම එම කොමිසමෙහි සභාපති ධුරයට පත් කෙරෙයි. 2014 වසරේ මැයි මස සිට මෙම සිල් රෙදි බෙදාදීමේ ව්‍යාපෘතියට අවධානය යොමුව තිබූ බව තහවුරු වෙයි. ඒ බව එවක ජනාධිපතිගේ බෞද්ධ ආගමික කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ වටිනාපහ සෝමානන්ද හිමියන්ගේ සාක්කි වලින් තහවුරු වී තිබේ.

    මෙම සිල් රෙදි බෙදාදීමේ ව්‍යාපෘතිය සිදු කළේ එවකට සිටි ජනාධිපතිවරයාගේ උපදෙස් මත බව විත්තිවාචකයේදී විත්තිකරු විසින් සඳහන් කර තිබේ. මහාධිකරණයට ඉදිරිපත් වූ සාක්කි අනුව මෙම සිල් රෙදි ව්‍යාපෘතිය 2014-03-20 දින ආරම්භ කළ බව පැහැදිලි වේ. ඒ අනුව එය සිදු කර ඇත්තේ ජනාධිපතිවරණයට බොහෝ කලකට පෙරය. එසේම දෙවන විත්තිකාර අභියාචක අදාළ මුදල් ලබා දෙන ලෙස පළවන විත්තිකාර අභියාචකට දන්වන අවස්ථාව එනම් 2014 ඔක්තෝබර් 30 දින වන විට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර නොතිබිණි. ඒ අනුව මෙම කරුණු සහ මහාධිකරණයේදී ඉදිරිපත් වූ සාක්කි මහාධිකරණ විනිසුරුවරයා විසින් නිසි ලෙස තක්සේරු කර නැත. එසේම දෙවැනි විත්තිකරු සමඟ ජනාධිපතිවරයා පවත්වන ලද සාකච්ඡාවකින් පසුව සිල් රෙදි ව්‍යාපෘතිය ආරම්භ කළ බවට මහාධිකරණ විනිසුරුවරයා නිගමනයකට එළැඹ ඇති අතර එය සම්පූර්ණයෙන්ම වැරදි සහගත වේ.

    සමාජ සද්කාරයක් කිරීම සඳහා එවකට සිටි ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු කළ විත්තිකාර අභියාචකයන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා පනතට හෝ පොදු දේපළ පනතට පටහැනිව කටයුතු කර නැත. ඒ බවට මහාධිකරණ විනිසුරුවරයා කරුණු වරදවා වටහා ගනිමින් නිගමනයකට එළැඹී ඇත. විත්තිකරුවන් වංකව කටයුතු කර ඇති බව තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් කර නැත. විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් ලෙස විත්තිකාර අභියාචකයන් දෙදෙනා එම කොමිෂන් සභා පනත සම්බන්ධයෙන් ‍හොඳින්ම දැනුවත්ව සිටි අතර ඔවුන් ඊට පටහැනිව කිසිවක් කර නැති බව හොඳින්ම පැහැදිලි වේ.

    එම සාක්කි සහ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී මහාධිකරණ විනිසුරුවරයා විශාල වශයෙන් නොමග ගොස් ඇති බව අධිකරණයේ මතයයි. මෙම සිල් රෙදි ව්‍යාපෘතිය සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කර ඇත්තේ පුණ්‍යාධාර ව්‍යාපෘතියක් වශයෙනි. දිවයිනේ විවිධ ප්‍රදේශ වල විහාරස්ථාන වල සිල් සමාදන් වන උවැසියන්ට සිල් රෙදි ලබාදීමේ අවශ්‍යතාවය එවකට සිටි ජනාධිපති බෞද්ධ කටයුතු සම්බන්ධීකාරක හිමියන් විසින් දෙවැනි විත්තිකාර අභියාචකගේ අවධානයට යොමු කර තිබුණි. ඒ අනුව දෙවැනි විත්තිකරු පළමුවැනි විත්තිකරුගෙන් ණය මුදලක් ලෙස මෙම මුදල ඉල්ලා ඇති බව ඉතා පැහැදිලි වන බව අධිකරණයේ මතයයි. එය රජයේ මුදල් අවභාවිත කිරීමක් ලෙස මහාධිකරණ විනිසුරුවරයා වැරදි සහගත නිගමනයකට එළැඹී ඇති බව පෙනී යයි.

    එම මුදල් ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාදීම භෞතික ලේඛන මත සිදු නොවීම නවීන තාක්ෂණික ලෝකයේ ගැටලුවක් කරගත යුතු ‍නැත. තාක්ෂණික ක්‍රම ඔස්සේ එවැනි අනුමැතියන් ලබාගැනීම හෝ වාචික තීරණ වලට එළැඹීම වරදක් නොවේ. මෙම ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට ඒ වන විට විශේෂ ජනාධිපති අරමුදලේ මුදල් තිබී නැත. ඒ අනුව එම මුදල විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ලබා ගැනීමට තීරණය කර තිබේ.

    විදුලි සංදේශ නියාමන කොමිසම මෙවැනි සමාජ සේවා කටයුතු වලට ඊට පෙරද පසු ද සහභාගී වී තිබේ. කොතලාවල ආරක්ෂක අරමුදල, චෝගම් ව්‍යාපෘතියට ද එලෙස දායක වී ඇත. එවැනි පසුබිමක මෙවැනි සමාජ සේවා ව්‍යාපෘතියක් සඳහා එම ආයතනයෙන් මුදල් ලබාගැනීම පිළිබඳව දෝෂාරෝපණ කළ නොහැකි වේ. විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත්තේ එය පරිත්‍යාගයක් ලෙස සැලකීමටය. මෙයින් පැහැදිලි වන්නේ විත්තිකාර අභියාචකයන් නිකැළැල් සේවයට කැප වූ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් ලෙස කටයුතු කර ඇති බවය. 

    කෙසේ වුවද මෙම මුදල් ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ වාචික අනුමැතිය ලැබී ඇති බව පැහැදිලි වන නමුත් එවැනි අනුමැතියක් ලබා නොගත් බවට මහාධිකරණ විනිසුරුවරයා වැරදි සහගත තීරණයකට එළැඹී ඇතැයි අධිකරණයේ මතයයි. ඉදිරිපත් වූ සාක්කි විමසා බැලීමේදී පෙනී යන්නේ මෙම ව්‍යාපෘතියට මුදල් මුදා හැරීමට විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ගනු ලැබූ සාමූහික තීරණයක් බව අධිකරණයට හැඟී යයි. මෙම මුදල් ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය වාචික තීරණයක් ගත් බව පිළි නොගැනීමට තරම් පරස්පර සාක්කියක් හෝ කරුණු මහාධිකරණ නඩු විභාගයේදී ඉදිරිපත් වී නැත. ඒ පිළිබඳව මහාධිකරණ විනිසුරුවරයා අවධානය යොමු කර නැතැයි තහවුරු වෙයි.

    අධිකරණ තීන්දුව

    විත්තිකරුවන්ට එරෙහි සාපරාධී සාවද්‍ය පරිහරණය තහවුරු කිරීමට ප්‍රමාණවත් බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ලේඛන දෙකක් ඉදිරිපත් කළද එය පිළිගත නොහැක. එහි 2014 ඔක්තෝබර් 30 වැනිදා දිනය ලෙස සඳහන්ව ඇති අතර එය පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාවද්‍ය සාපරාධී පරිහරණය යන්න සනාථ කිරීමට ප්‍රමාණවත් නැත. එබැවින් විත්තිකරුවන් විසින් මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ වරදි සහගත අරමුණකින් නොවේ. ඒ අනුව එම මුදල් පරිහරණය කිරීම යුක්තිසහගත වේ. එය සාපරාධී සාවද්‍ය පරිහරණයක් ලෙස දැක්විය නොහැක. ඒ අනුව ඔවුන්ට එරෙහිව ‘රජයේ මුදල් සාවද්‍ය සාපරාධී පරිහරණය’ යන්න භාවිතා කළ නොහැකිය. මෙම මුදල් ලබාදීම විදුලි සංදේශ නියාමන කොමිසම සද්භාවයෙන් සිදු කර ඇති අතර සිල් රෙදි බෙදාදීමේ ව්‍යාපෘතියට මෙම විත්තිකාර අභියාචකයන් දෙදෙනාම සහභාගි වී නැත. මෙම කටයුතු අධීක්ෂණය කර ඇත්තේ බෞද්ධ කටයුතු පිළිබද ජනාධිපති සම්බන්ධීකරණ හිමි නම විසිනි. ජනාධිපතිවරණය පිළිබඳව විත්තිකරුවන් දැන නොසිටි අතර, ජනාධිපතිවරණ දින නියම කිරීමට ද ඔවුන්ට හැකියාවක් නැත. ඒ අනුව මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ වංක භාවයෙන් හෝ වංක අරමුණකින් නොවේ.

    ඒ අනුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව අධිකරණයේ අදහසයි. මෙම සියලු කරුණු වලින් පැහැදිලි වන්නේ මහාධිකරණ විනිසුරුවරයා සහමුලින්ම නොමග යමින් වැරදි අවබෝධයක් මත සිට අදාළ නඩු තීන්දුව ප්‍රකාශ කර ඇති බවයි. විත්තිකරුවන් දෙදෙනා නිවැරදි අවිහිංසකයන් බවට තීන්දු කිරීම හැර වෙනත් තීරණයකට එළැඹීමට අපහසු බව අධිකරණයේ මතයයි. ඒ අනුව විත්තිකරුවන් දෙදෙනාට එරෙහි චෝදනා සහ දඬුවම් ඉවත දමන අතර ඔවුන්ව නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කරයි. ඒ අනුව විත්තිකරුවන්ට සිර දඬුවම් නියම කළ මහාධිකරණ තීන්දුව අවලංගු කරනු ලැබේ.

    නීතිඥ කාංචන රත්වත්තේ, නීතිඥ ජනක රණතුංග සහ නීතිඥ තුෂාරා අමරසිරි, පළමු විත්තිකාර අභියාචක වන අනුෂ පැල්පිට මහතා වෙනුවෙන් පෙනී සිටියහ. ජනාධිපති නීතිඥවරුන් වන ෆයිස් මුස්තාපා, ශවීන්ද්‍ර ප්‍රනාන්දු, ෆයිසර් මුස්තාපා සහ ෆයිසා මාකාර්, ශාන්ත ජයවර්ධන, කීර්ති තිලකරත්න යන නීතිවේදීහු දෙවන විත්තිකාර අභියාචක වන ලලිත් වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටියහ. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ සහ රජයේ නීතිඥ චතුරි විජේසූරිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here