24 C
Colombo
Wednesday, May 19, 2021
More

    Latest Posts

    ඔබත් සිපිරි ගෙයි කොටස්කරුවෙක් ද?

    - Advertisement -

    මිනිස් ජීවිත නැවුම් හැරවුම් ලක්ෂ්‍යයක් කරා යොමු කරන්නට කොරෝනාවට හැකියාව ලැබී තිබේ. 21 වන සියවසට ප්‍රවිෂ්ට වී එහි තාක්ෂණයට ශාප කළ ඇතැමුන් අද තාක්ෂණයේ පිහිටටම නතු වී බොහෝ දුර ගසාගෙන ගොසිනි. සැබැවින්ම කුඩා දරුවාගේ පටන් වැඩිහිටි මහල්ලා දක්වා ගෝලාකාර ලෝකය වසාගත් නව තාක්‍ෂණික රැල්ලට හසුව ඇත. ඒ අනුව අද අපි සයිබර් අවකාශයේ සිරකරුවන් බවට පත්ව ඇත්තෙමු. විශේෂයෙන් ම කුඩා දරුවාගේ ළමා ලෝකයත් තරුණ තරුණියන්ගේ තාරුණ්‍යයත් පුංචි තිරයන් මතට කොටු වී ඇත්තේ ඛේදජනක ලෙසිනි.

    පාසල් වයසේ පසුවන පුංචි දරුවන් පවා අද දවස් ගෙවා දමන්නේ තමාටම කියා වෙන් වූ එක් ඩිජිටල් තිරයක් ඉදිරිපිටය. තමා සමඟ එක්ව කෙළි සෙල්ලම් කළ එමෙන්ම නේක බස් දොඩමින් කවටකම් කළ හිතමිතුරන් අද ඔවුන් හමුවේ නැත. සමවයස් මිතුරු මිතුරියන් සමඟ සිත් සේ බෙදා හදාගත් තම හැඟීම් දැනීම් බෙදා ගන්නට ද ඔවුන්ට ඇත්තේ එකම මාධ්‍යයකි. එනම් සයිබර් අවකාශයයි. එනිසා ම තව තවත් ඔවුහු විද්යුත් මාධ්‍ය වෙතම ආසක්ත වෙති. ඩිජිටල් තිරයන් අතරම අතරමං වෙති. ඔවුන්ගේ කෙළි මඬුලු බිම්, කවට කතා මෙන්ම දක්‍ෂතා එළි දක්වන්නට තිබූ අවස්ථා ද බොහොමයක් සමඟින් ළමා ලෝකය ඔවුන්ට ආයුබෝවන් කියා පලා ගොස් ඇත. අසල නිවැසියන් සමඟ හෝ ජීවිතය බෙදා ගන්නට කොරෝනාවෙන් අවසර නැත. එබැවින් යාන්ත්‍රීකරණය වූ ළමා ලෝකයක් පමණක්ම පුංචි දෑතට කොරෝනාව විසින් තිළිණ කොට දී හමාරය.

    - Advertisement -

    පාසලට පමණක් නොව මෙකී සත්‍ය සරසවියට ද පොදු වූවකි. විද්‍යාර්ථයෙකුගේ පූර්ණ දිවියම සයිබර් ලෝකයට කැප කළ හැකි ද? විද්‍යාර්ථයා නම් දැනුම ගවේෂණය කරන්නෙකි. නැවුම් ඇත්දැකීම් සොයා යන්නෙකි. පර්යේෂණ කරන්නෙකි. නව මානයන් දෙස තම තෙවෙනි ඇස රඳවන්නෙකි. නමුදු මේ සියල්ල පසෙකලා තම ජීවිතය තිරයක් අබියස තැබූ පුටුවකට පමණක් සීමා කරන්නට ඔවුන්ට සිදු වී තිබේ. එය ඔවුනට පමණක්ම නොව සමස්ත සමාජයටම සිදුවන හානියක් වන්නේමය.

    මෙලෙසින් රටෙහි අනාගත උරුමකරුවෝ තම ජීවිත කතාව හරසරින් ලියා හමාර කරන්නට විද්යුත් මාධ්‍යයන් සමඟ අනවරත අරගලයක යෙදෙති. එහි ආදීනව ලෙස දිනක මානසික වශයෙන් වෙහෙසට පත් වූ අනාගත පරපුරක් ලෝකයට දායාද වනු නිසැකය. පාසල් සිසුවෙකු අපේක්ෂා කරන පාසල් ලෝකය අද ඔවුනට ලැබෙන්නේ නැත. සරසවියක විද්‍යාර්ථයෙකු අපේක්ෂිත සරසවි සුන්දරත්වය අද ඔවුන් හමුවේ දිගහැරෙන්නේ ද නැත. එනිසාම ඔවුහු තම දෛනික ජීවිතය අසබඩ පීඩාවට පත් වෙති.

    මෙකී පීඩනයන් යම් දිනක ඔවුන් සමාජය හමුවේ මුදා හරින්නට ඉඩ ඇත. ආත්මාර්ථය පමණක් තම උර මත රඳවාගත් පරපුරක් ලෝකයේ රජයන්නට පිළිවන. එනිසාම එකී ආයතනයන් මෙන්ම මව්පියන් ද තම දරුවන් කෙරෙහි මදක් සාවදාන වන්නේ නම් ඉතා යහපති. පත පොතට පමණක්ම තම දරුවන්ගේ මනස සීමා නොකොට කොරෝනාවට යටත්ව අවට ලෝකය විඳගන්නට ඔවුන්ට අවසර ලැබෙන්නේ නම් මැනවි. පත පොත අතර නෙත් රඳවන්නට පමණක් නොව පත පොතින් මිදී මදක් ඈතට නෙත රඳවන්නට ද ඔවුනට අවසර තිබිය යුතුය. එවිට සයිබර් ලෝකය තුළ අතරමං වූ දෙනෙත් ඇත්තෝ යම් මානසික නිදහසක් අත් විඳිනු නො අනුමානය.

    - Advertisement -

     

     

    - Advertisement -

     දේශානි ආරච්චිගේ

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.