ජීවිතේ දිනන්න නම් හොඳම පාර අවබෝධය

    0
    13

    මනුස්සයෙක්ට ජීවත් වෙන කාලය තුළ තියෙන්න ඕනම දේත්, ඒත් ඇති කර ගන්න  අමාරුම දේත් මොකක්ද කියලා මං ඇහුවොත්? සල්ලි, ආදරය, ආරක්ෂාව, මනුස්සකම, ඉවසීම මේ වගෙ විවිධාකාර උත්තර දාහක් ඔබ කියාවි.  මේ හැමදේම හරි. ඒත් මේ හරිම උත්තරය නොවෙයි. මේ උත්තර හැම එකක්ම අවස්ථානුකූලත්වය මත පදනම් වුණු උත්තර.

    මම කියනවා මනුස්සයෙක් ජීවත් වෙන කාලෙ පුරාවට තියෙන්න ඕන සහ ඒත් තමන් තුළ ගොඩ නගා ගන්න අපහසු දේ තමයි “අවබෝධය” කියලා.  අවබෝධය තියෙන තැන අර කලින් කියපු හැම දේම ලැබෙනවා අඩු වැඩි වශයෙන්. මේ අවබෝධය නිවැරදි අවබෝධයක් වීම අත්‍යාවශ්‍යයයි. නමුත් හැම වෙලාවෙම නිවැරදි අවබෝධයම නොවෙයි අපි තුළ ඇතිවෙන්නෙ. වැරදි අවබෝධයන් ඕනෑ තරම්.  මේක සාපේක්ෂව සිදුවෙන දෙයක්.  නිවැරදි අවබෝධය ඇති කරගැනීම

    එක අතට පුහුණු කළ යුතු ප්‍රාගුණ්‍යයක්.  ඒ ප්‍රාගුණ්‍යය ලබන්න මහා උගතෙක් වෙන්න අවශ්‍ය නැහැ. සරලවම කීවොත් මනුස්සයෙක්ට සමාජයක් එක්ක සබඳතා පවත්වාගෙන යන්න අවශ්‍යම වෙන මේ අවබෝධයට උගත් නූගත් බේදයක් අදාළ වෙන්නෙ නැහැ. ජීවත් වීමේ කලාව ඇතුලෙ  අවබෝධය ඇති කරගන්න ඔබට, මට උත්ප්‍රේරක වෙන්නෙ ජීවන අත්දැකීම් හා කාලය. 

    තමන් මේ මොහොතේ ඉන්න තත්ත්වය වගේම, තමන්ගෙ සමීපතමයන්ගෙ තත්ත්වයනුත් අවබෝධයෙන් තේරුම් ගන්න පුළුවන් නම් ගොඩාක් දුරට ගැටලු අවම වේවි. මාව තේරුම් ගන්න කෙනෙක් නෑ කියන තත්ත්වයට මිනිස්සු පත්වෙන එක වැළකේවි.  තමන් ආදරය කරන අනිකාව අවබෝධයෙන් තේරුම් ගන්න පුළුවන් නම් ඔහු/ ඇය අවස්ථානුකූලව මුහුණ දීලා ඉන්න තත්ත්වයන් තේරුම් ගන්න පුළුවන් නම් තමන්ගෙ මිතුරා හෝ මිතුරිය මූණ දීලා ඉන්න ගැටලුව අවබෝධයෙන් තේරුම්, ගන්න පුළුවන් නම්, තමන් ගන්න තීරණ  අවබෝධයෙන්ම තීරණය කරන්න පුළුවන් නම්,  රැකියාවෙදි සේවකයාගෙ තත්ත්වය හාම්පුතාට තේරුම් ගන්න පුළුවන් නම්, දරුවන්ට දෙමාපියන්ව, දෙමාපියන්ට දරුවන්ව හරියාකාරව අවබෝධයෙන් තේරුම් ගන්න පුළුවන් නම් සමාජෙ හැම අස්සක් මුල්ලක් නෑරම අන්‍යෝන්‍ය වශයෙන් මේ අවබෝධයෙන් තේරුම් ගැනීම තියෙනවා නම් ජීවිතේ මේ තරම් ගැටලුකාරී නොවේවි. 

    හිත් රිදීම් අවම වේවි. අනවශ්‍ය සැක සංකා දුරු වේවි.  මානසික පීඩනය දරාගන්න බැරිම තැනදි වටිනා ජීවිත මරුවාට කැප කරන්නට තරම් දරුණු තීරණ මිනිස්සු නොගනීවි. තවකෙක් තළා පෙළා පාගා දමන්නට තරම්  මිනිස් හිත් කුරිරු නොවේවී.  මානව බැඳීම් පවත්වාගෙන යන්න අත්‍යාවශ්‍යම උපකරණය නිවැරදි  අවබෝධය කියලා පැහැදිලිවම දැන් ඔබ දන්නවා. ඉතින් මේ මොහොතෙ පොඩි වෙලාවක් අරන් හිතලා බලන්න ඔබ අවට ඉන්න පිරිසව,  ඔබේ ආදරණීයයන්ව ඔබ හොඳින් අවබෝධ කරගෙන තිබෙනවාද කියා.  ජීවිතය විඳින්න වගේම දිනන්න නම් ඔබ මනා අවබෝධයකින් කටයුතු කරන්න.

     

     කුමුදිකා ඩී. සපුතන්ත්‍රි  

     

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here