ත්‍රස්තවාදයට හා කොරෝනාවට එරෙහි සටන

    0
    4

    මෙවර සමුළුවේ තේමාව, “ගෝලීය ස්ථාවරත්වය, සාමූහික ආරක්ෂාව හා නවෝත්පාදන වර්ධනයයි.” කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය මෙන්ම ත්‍රස්තවාදය BRICS නායකයන්ගේ වැඩි අවධානයට ලක් වූ මාතෘකා අතර විය. සමුළුව නිමිත්තෙන් රුසියාව නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ගැනීම සඳහා නැංවිය යුතු ප්‍රමිතීන් සම්බන්ධයෙන් BRICS රටවල් අතර බහු පාර්ශවීය සහයෝගිතාවක් පවත්වා ගැනීම එහි ප්‍රමුඛ අභිලාෂය බවය.

     

    එක්සත් ජාතීන්ගේ සමුළුව ද ඇතුළු මේ වර්ෂයේ පැවැති සෑම අන්තර්ජාතික හා කලාපීය සමුළුවක්ම පාහේ පැවැත්වීමට සිදු වූයේ අන්තර්ජාල සන්නිවේදන තාක්ෂණය උපයෝගි කර ගනිමින් වීඩියෝ සම්මන්ත්‍රණ වශයෙනි. ඒ අතින් 2020 යනු තථ්‍යාසන්න සමුළු (Virtual Summits) වසරකි. 12 වැනි වතාවට පැවැති BRICS සමුළුව ද පසුගියදා පැවැත්වුණේ එලෙසනි. BRICS යනු බ්‍රසීලය රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව යන රටවලින් සැදුම්ලත් එකතුවකි. මෙවර එහි සංවිධායකත්වය දැරුවේ රුසියාව වන අතර, සමුළු සභාපතිත්වය ජනාධිපති ව්ලැද්මීර් පුටින් හෙබවීය. BRICS රටවල ජනගහනය බිලියන 3.6 ඉක්ම වන අතර, එය ලෝක ජනගහනයෙන් අඩකි.

    මෙවර සමුළුවේ තේමාව, “ගෝලීය ස්ථාවරත්වය, සාමූහික ආරක්ෂාව හා නවෝත්පාදන වර්ධනය”යි. කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය මෙන්ම ත්‍රස්තවාදය BRICS නායකයන්ගේ වැඩි අවධානයට ලක් වූ මාතෘකා අතර විය. සමුළුව නිමිත්තෙන් රුසියාව නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ගැනීම සඳහා නැංවිය යුතු ප්‍රමිතීන් සම්බන්ධයෙන් BRICS රටවල් අතර බහු පාර්ශවීය සහයෝගිතාවක් පවත්වා ගැනීම එහි ප්‍රමුඛ අභිලාසය බවය. එහිදී සාමාජික රටවල් 5, ප්‍රධාන කුලුනු 3ක් ඔස්සේ සමීප උපායමාර්ගික සහයෝගිතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව ද එහි දැක්විණි. එනම්, සාමය සහ ආරක්ෂාව, ආර්ථිකය සහ මූල්‍ය හා සංස්කෘතික හා අන්තර් ජනතා හුවමාරුව වශයෙනි.

     

    ආර්ථිකයට නව ජීවයක්

    සමුළුව අමතමින් චීන ජනාධිපති ෂී ජිංග් පිංග් පෙන්වා දුන්නේ කොවිඩ් 19ට එරෙහිව ගෙන යන සටනේදී මෙන්ම වසංගතය හේතුවෙන් බිඳ වැටී ඇති ආර්ථිකයට නව ජීවයක් දීමේදී ද චීනය අනුගමනය කළ ක්‍රියාමාර්ග දෙස ද අවධානය යොමු කළ හැකි බවය. අප විසින් අත්කර ගත යුතු සංවර්ධනය තිරසර, හරිතවත් එකක් විය යුතු බව ජනාධිපති ෂී පෙන්වා දුන්නේ කාබන් විමෝචනය හැකි තාක් අඩු කිරීම ගැන ද සඳහන් කරමිනි. ලෝකය සියවසකින් මෙපිට දරුණුම වසංගතයට මුහුණ දී සිටියදී හා ඒ හේතුවෙන් ලොව මෙතෙක් නොවූ විරූ ආකාරයේ වෙනස්කම් සිදුව තිබියදී ඊට ප්‍රතිචාර දැක් විය යුතු වන්නේ සාමූහිකව බව ද ඔහු අවධාරණය කළේය. කොවිඩ් 19 පරාජය කිරීම යනු සාමූහික අභියෝගයක් බව පැහැදිලි පසුබිමක ඒ වෙනුවෙන් BRICS වැනි එකතුවකට කළ හැකි කාර්යය පුළුල්ය. මෙම වසංගතයේ බලපෑම් හේතුවෙන් ලෝක ආර්ථිකය, 1930 ගණන්වලින් පසු ඇති වූ දරුණුම පසුබෑම වාර්තා කර තිබේ.

    මේ සෑම ක්‍රියාමාර්ගයකදීම බහු පාර්ශවිකත්වය වැදගත් බව චීන ජනාධිපතිවරයාගේ අදහසය. ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග හා බල දේශපාලනය යුද ගැටුම් වැඩි කිරීමට බලපාන බව ඔහු පෙන්වා දුන්නේ ඉතිහාසයෙන් පාඩම් උගත යුතු බව කියමිනි.

    එකිනෙකා මුහුණට මුහුණ හමුනොවුණ ද මෙම ඩිජිටල් වේදිකාව චීන ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැතිවරයා යම් උණුසුම්කාරී සිදුවීම්වලට පසු එක් වූ දෙවැනි හමුවයි. දෙරට අතර දේශ සීමා ආශ්‍රිතව පසුගිය වකවානුවේ ගැටුම්කාරී සිද්ධීන් වාර්තා විය. ලඩාක් නිම්නය ආශ්‍රිතව ඇති වූ එම උණුසුම යුද උණුසුමට යා නොදී වළක්වා ගැනීමට දෙපාර්ශවයම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියා මාර්ග හා හමුදා අංශ අතර සාකච්ඡාවලට ද එක්විය. මොස්කව් නුවරදී දෙරටේ විදේශ අමාත්‍යවරු අතර මීට පෙර පැවැති සාකච්ඡා ද ඊට මුල්විණි. BRICS සමුළුව අතරවාරයේ දෙරටේ නායකයන් අතර පැවැති සාකච්ඡා එහි ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකිය.

     

    සහයෝගයෙන් ක්‍රියාකිරීම

    කොවිඩ් 19ට එරෙහි එන්නත් හඳුන්වා දීමේදී ඉන්දියාව සහ සෙසු BRICS රටවල් සමඟ ද සහයෝගයෙන් ක්‍රියා කරන බව සමුළුව ඇමතූ චීන ජනාධිපතිවරයා පවසා තිබේ. මෙහිදී චීන සමාගම් රුසියාව සහ බ්‍රසීලය සමඟ කටයුතු කරමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපති ෂී, එම එන්නත් සායනික මට්ටමේ 3 වැනි අදියර පරීක්ෂණවල ඇති බව ද සඳහන් කළේය. ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සමඟ ද සහයෝගයෙන් කටයුතු කිරීමට මෙහිදී චීනය සූදානම් බව ඔහු කියා සිටියේය. BRICS එන්නත් මධ්‍යස්ථානයක් පිහිටුවීමට මීට දෙවසරකට පමණ පෙර යෝජනා වූ අතර, චීනයට ඔවුන්ගේම මධ්‍යස්ථානයක් තිබේ. කොරෝනා වයිරස ව්‍යාප්තිය වැළැක්වීම හා ප්‍රතිකාර සම්බන්ධයෙන් සාම්ප්‍රදායික ඖෂධවලට කළ හැකි මෙහෙවර ගැන අවධානය යොමු කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත. සමුළුව අමතමින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පෙන්වා දුන්නේ ලොව හමුවේ ඇති විශාලම ගැටලුව වශයෙන් ත්‍රස්තවාදය හඳුනාගෙන ඇති බවය. ඊට මුහුණ දීම සංවිධානාත්මකව කළ යුතු බව කියා සිටි ඔහු ත්‍රස්තවාදයට සහාය දක්වන, ආධාර අනුබල දෙන රටවල් වරදක් කරන බව අප සහතික කරගත යුතු යැයි ද කීවේය. මෙහිදී කිසිදු රටක් නම් නොකළ ද ව්‍යංගයෙන් චෝදනා කළේ පකිස්තානයට බව කිව හැකිය.

     

    හොඳ ප්‍රගතියක්

    කොවිඩ් 19ට එරෙහිව ඉන්දියාව එන්නතක් හඳුන්වා දීමේ තිරතව සිටින අතර එවැනි එන්නත් නිෂ්පාදනය හා බෙදා හැරීමට ඇති හැකියාව ගැන අගමැති මෝදි, BRICS නායකයන් හමුවේ විශ්වාසය පළ කළේය.

    මෙහිදී ඉන්දියාවට ස්වයං විශ්වාසයක් තිබේ යනුවෙන් සංයුක්ත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවා තිබේ. මෙම වසංගත සමයේ වුවද BRICS එකතුව හොඳ ප්‍රගතියක් පෙන්වා ඇති බව පවසන අගමැති මෝදි, යළි ස්ථාවරත්වයක් ඇති කිරීමේදී BRICS හි භූමිකාව තීරණාත්මක වනු ඇති බව ද කීවේය.

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක වෙළෙඳ සංවිධානය වැනි ආයතන හා සංවිධානවල ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව මෙහිදී ද අගමැති‍ මෝදි පෙන්වා දී ඇත. BRICS එකතුවට 2021 වර්ෂයේදී වසර 15ක් සපිරෙන අතර, ගත වු කාලයේදී එය ගත් තීරණ පිළිබඳ ඇගැයීමක් කරමින් වාර්තාවක් පිළියෙල කළ හැකි බව ද ඔහු පැවසීය.

    වසංගතයෙන් පසු ගෝලීය ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීමේදී BRICS රටවල ආර්ථිකයන් තීරණාත්මක භූමිකාවක් ඉටු කරනු ඇති බව ද අගමැති මෝදි පෙන්වා දේ. සමුළු සභාපති රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ද කොරෝනා වයිරසයට එරෙහිව එන්නත් නිෂ්පාදනයේදී BRICS රටවල් ඒකාබද්ධව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

     

    ‘ස්පුටිනික්-5’

    මෙහිදී රුසියාව හඳුන්වා දී ඇති ‘ස්පුටිනික්-5’ එන්නත ඉන්දියාවේ හා චීනයේ ද නිෂ්පාදනය කළ හැකි බව ජනාධිපති පුටින් සඳහන් කර ඇත. මීට දෙවසරකට ඉහත දී එකඟ වූ පරිදි එන්නත් හඳුන්වාදීම හා ඒ වෙනුවෙන් පර්යේෂණ කිරීම සඳහා BRICS පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම වේගවත් කිරීමේ වැදගත්කම ද ජනාධිපති පුටින් අවධාරණය කරයි. මෙහිදී මෙම එකතුවට අයත් රටවල් සහයෝගයෙන් ක්‍රියා කිරීම සෙසු රටවලටද ප්‍රතිඵලදායී වනු ඇති බව පුටින්ගේ අදහසය. BRICS රටවල් අතර බහුපාර්ශවික වශයෙන් සහයෝගීතාවක් පවත්වා ගැනීම එම සාමාජික රටවල ජනතාව‍ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා වැදගත් බව ද අවධාරණය කර ඇත. ඉකුත් වර්ෂයේදී මෙම සමුළුව පැවැත්වු‍ෙණ් බ්‍රසීලයේය. මෙවර එය පැවැත්වීමට නියමිතව තිබුණේ ඉකුත් මැයි මාසයේදී වුවද කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා කල් දැමීමට සිදු විය. එලෙස කල් දැමු 12 වෙනි සමුළුව පැවැත්වෙන විට ද කොරෝනා දෙවැනි රැල්ලේ බලපෑම්වලින් චීනය හැර සෙසු රටවල් බොහොමයක් පීඩා විඳිමින් සිටිය ද සමුළුව පැවැත්වීමට රුසියාවට හැකිවිය. රුසියාව ද තවමත් වසංගතයට එරෙහිව සටන් කරමින් සිටී.

    අන්තර්ජාතික දේශපාලනයේදී තීරණාත්මකව බලපෑම් සහගත ආර්ථික, මිලිටරිමය ආදී අංශවලින් බලවතුන් වන බල කේන්ද්‍ර වශයෙන් සැලකිය හැකි රටවල් BRICS එකතුවට අයත්ය. එබැවින් ඔවුන්ගේ හමුවීම හා එලෙස එක්වී ගන්නා වූ තීන්දු තීරණ සෙසු ලෝකයාට ද නිසැක වශයෙන්ම අදාළය.

     

    ධම්මික

    සෙනෙවිරත්න

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here