තායිවානය කොවිඩ් පාලනය කළ රහස

    0
    10

    චීනයේ වුහාන්හි ආරම්භ වූ කොවිඞ් වසංගතය මුලින්ම ව්‍යාප්ත වූයේ චීනය ආසන්නතම රටවල්වලටය. එහෙත් තායිවානය අද වන විට ලෝකයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ රටවල් අතරින් පළමු ස්ථානය ගෙන තිබේ. තායිවානය චීනයට ආසන්න රටක් වුවත් අනෙකුත් ආසන්න රටවලට සේ දැඩි බලපෑමක් එල්ල නොවීම මවිතයට කරුණකි. අනෙකුත් රටවල් මෙන් කිසිදු අවස්ථාවක රට වැසීමකින් තොරව කොවිඞ් පාලනය කළ රට බවට පත්වන්නේ තායිවානයයි.

    තායිවානයේ ජනගහනය මිලියන 24කට ආසන්නය. චිනයේ දේශපාලන බලපෑම හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ තායිවානය ලෝකයේ තනි රටක් ලෙස පිළිනොගනී. තවද, රට තුළ ප්‍රජාත්‍රන්තවාදය ඉහළින්ම පැවතිය ද රට වශයෙන් නැගිටිමේ ඇති ප්‍රජාත්‍රන්තවාදි අයිතිය තායිවානයට හිමි වන්නේ නැත.

    චීනයේ වූහාන් නගරයේ කොවිඞ් 19 ව්‍යාප්තියත් සමඟ තායිවානයට නොයෙකුත් අභියෝගවලට මුහුණදීමට සිදු විය. එහිදී ප්‍රධාන අභියෝගය වුයේ තායිවානය චීනයට ආසන්නව තිබීමයි. එමෙන්ම තායිවානයේ ආර්ථිකයෙන් 40%ක් තීරණය වන්නේ චීනය මත වීම හා චීනයේ සේවය කරන තායිවාන වැසියන් තම රටට පැමිණීම ද විශාල අභියෝගයක් විය.

    තායිවානයට කොරෝනා පාලනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝග නොලැබීම සුවිශේෂ කරුණකි. තනි රටක් වශයෙන් නොපිළිගැනීම හේතුවෙන් තායිවානය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බැහැර කර තිබේ. කෙසේ නමුත් අද වන විට අනෙකුත් රටවල් පරදවා කොවිඩ් සාර්ථකව පාලනය කළ රට ලෙස කිරුළු පලඳින්නේ තායිවානයයි. තායිවානයට නිල වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වසංගතය පිළිබඳව දැනුවත් කර නොතිබුණ ද එම රජය වයිරසය පැතිරීම වැළැක්වීමට පියවර ගනු ලැබුවේ දෙසැම්බර් මාසේය.

    කොරෝනා වසංගතය පිළිබඳව තොරතුරු නොසඟවා ජනතාව දැනුවත් කිරීම හා ජනතාවට එම තොරතුරු කරා ළඟා වීමට අවස්ථාව උදා කර දීම මඟින් කොරෝනා වයිරසය පාලනය කිරීමට පහසු වූ බව තායිවානයේ මතය විය. මෙහිදී මුලින්ම ඔවුන් මධ්‍යම වසංගත අණ දෙන මධ්‍යස්ථානය (සීඊසීසී) සංවිධානය කර ඇත. එම මධ්‍යස්ථානය පිහිටුවීමෙන් පසු මාධ්‍ය හමුවක් පවත්වා තිබේ. ඒ හරහා වසංගතය පිළිබඳව නව ප්‍රතිපත්ති හා තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට මෙන්ම සමාජ මාධ්‍යවලින් පැතිරී යන කටකතා පැහැදිලි කිරීම දෛනිකව සිදු විය. තවද, කොවිඩ් පැතිරී යන අවස්ථාවේදී තායිවාන් රජය හා මහජනතාව සමඟ සන්නිවේදනය කිරීමට ඩිජිටල් මෙවලම් භාවිත කිරීම දක්නට ලැබේ. තායිවානයේ සෞඛ්‍ය, සුබසාධක අමාත්‍යාංශය සහ පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂ මෙන්ම බොහෝ තායිවාන දේශපාලනයන් ෆේස්බුක්, යූ ටියුබ් වැනි නිල සමාජ මාධ්‍ය ගිණුම් භාවිත කිරීම නිදසුනක් වශයෙන් දැක්විය හැකිය. එරට මහජනතාව කොවිඩ් පිළිබඳ හොඳින් දැනුවත් කර තබා ගැනීමට මෙය රුකුලක් විය.

    එසේම තායිවානයේ ක්‍රියාකාරී සිවිල් සමාජ කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරයි. මුහුණු ආවරණ සෙවීමෙන් මිනිසුන්ගේ කාලය ඉතිරි කිරීම සඳහා තායිවානයේ මෘදුකාංග ඉංජිනේරුවකු විසින් දිවයින පුරා ඇති වෙළෙඳසල්වල සහ මුඛ ආවරණ ගබඩා කර ඇති ස්ථාන පෙන්වීමට මාර්ගගත තත්‍ය කාලීන සිතියමක් සාදන ලදී. තායිවාන් ෆැක්ට්චෙක් මධ්‍යස්ථානය, මයිගෝපෙන් ඇතුළු කණ්ඩායම් මාර්ගගත සංසරණය වන කොවිඩ් පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීම හා වැරදි තොරතුරු නිවැරදි කිරීමට මෙන්ම නිවැරදි තොරතුරු මහජනයාට බෙදා හැරීමට ප්‍රජා සහභාගිත්වය දැක්වීම සුවිශේෂි කරුණකි.

    තායිවානය මෙම වසංගතය පිළිබඳ විනිවිද පෙනෙන හා ප්‍රමාණවත් තොරතුරුවලින් සන්නද්ධවීම හා එරට වැසියන් රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති නිසි ලෙස අනුගමනය කිරීම වයිරසය පාලනය කිරීමට විශාල රුකුලක් විය. තායිවානයේ නවතම ප්‍රතිපත්ති යාවත්කාලීනව කිරීමට සීඩීසී වෙබ් අඩවිය භාවිත කර තිබේ. ඒ මඟින් තායිපේ රජයේ සෞඛ්‍ය දෙපාර්ත්තුමේන්තව නිතිපතා අත් සේදීම හා ප්‍රමිතියෙන් යුතු මුඛ ආවරණ පැලඳීම මෙන්ම සෑමවිටම ජනාකීර්ණ ප්‍රදේවලින් ඈත් වීම ඇතුළුව ආසාදනයන් අවම කර ගැනීම සඳහා ද්චිභාෂා උපදෙස් දී ඇත.

    තායිවානය වසංගත රෝග සඳහා කේන්ද්‍රිය අණ දෙන මධ්‍යස්ථානය මඟින් කොරෝනා පිළිබඳ ආසියාවේ අනෙකුත් රටවලට වඩා ක්ෂණිකව පියවර ගැනීමට හැකියාවක් තිබේ. එමඟින් වෛද්‍ය බලධාරීන්ට දත්ත එක්රැස් කිරීම, සම්පත් නැවත බෙදාහැරීම හා විභව සිද්ධීන් විමර්ශනය කිරීම මෙන්ම ඔවුන්ගේ සම්බන්ධතා ඉතිහාසය පිළිබඳ පසුවිපරම් කිරීම වයිරසය උසුලන රෝගීන් ඉක්මනින් හුදකලා කිරීමට ද සිදු විය. මෙම මධ්‍යස්ථානය තුළින් වයිරසය මිනිසුන් අතරට යෑමට පෙර ජනවාරියේ මුලදී වූහාන් සිට තායිවානයට එන හා පැමිණි මගීන් ඉතා ඉක්මනින් පරීක්ෂා කිරීමට ක්‍රියාත්මක විය.

    තවද සම්භවය හා සංචාරක ඉතිහාසය මත පදනම්ව සංචාරකයන්ගෙන් රෝගය බෝවිය හැකි අවදානම වර්ගීකරණය කිරීමට තායිපේ ක්ෂණික ප්‍රතිචාර පරිලෝකනය, සංචාරක ඉතිහාසය සහ සෞඛ්‍ය ලක්ෂණ අන්තර්ජාලය හරහා වාර්තා කිරීම වයිරසය පාලනය කිරීමට ගත් උපක්‍රමයක් වේ. චීනයේ අධි අවදානම් සහිත ප්‍රදේශවල සංචාරය කළ අය නිවසේදී නිරෝධානය කර ඇති අතර, නිරෝධානය කාලය තුළ ඔවුන් නිවෙසේ රැඳී සිටින බව සහතික කර ගැනීම ජංගම දුරකථන හරහා දැන ගැනීමට පියවර ගෙන ඇත. එමෙන්ම පුරවැසියන්ට හා වෙනත් අයට සැක සහිත රෝග ලක්ෂණ වාර්තා කිරීම සඳහා ගාස්තු රහිත දුරකථන අංකයක් ද තායිවානය විසින් ස්ථාපිත කරන ලදී.

    සමාජය තුළින් රෝගියකු මතු වුව හොත් තායිවානයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් වහා ක්‍රියාත්මක වී එහි මූලය සෙවීමට හා රෝගියාගේ ආශ්‍රිතයන් ලුහුබැඳ ගොස් නිරෝධානය කිරීමට දැඩි පරීශ්‍රමයක් යොදයි. නිරෝධානය වීම පහසු කාර්යයක් නොවන හෙයින් ආහාරපාන සහ සිල්ලර බඩු බෙදාහැරීමට සහ ලයින් බොටි හරහා රොබෝවන් පෙළ කතාබස් කිරීමට මිත්‍රශීලී සම්බන්ධතා පැවැත්වීමට පියවර ගෙන තිබිම විශේෂත්වයකි. නිරෝධානය කඩ කරන අයට ඩොලර් 35,000 දක්වා දඩ ගෙවීමට සිදු වනු ඇත.

    2020 අප්‍රේල් මස 12 වන දින සිට දින 200ක කාලයක් කිසි ආසාදියකු වාර්තා වී නොමැත. එසේම අද වන විට තායිවානය දෙවන රැල්ලට මුහුණ දී තිබුණ ද එයින් ද එල්ල වී ඇත්තේ අවම බලපෑමකි. මෙතෙක් එරටින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 609 වන අතර මරණ සංඛ්‍යාව 7ක් වේ. මෙම දත්ත තායිවානයේ කොරෝනා සාර්ථක ලෙස පාලනය කර ඇති බවට සාක්ෂි දරයි.

    තායිවානයේ දේශ සීමා නිසි ලෙස පාලනය කිරීම ද කොවිඩ් පාලනයට විශාල දායකත්වය සපයා තිබේ. තායිවානය පෙන්වා දෙන්නේ වයිරස් වසංගතයක් පාලනය කිරීමට රජයට හා සිවිල් සමාජයට ප්‍රමාණවත් තොරතුරු අවශ්‍ය වන බවයි. එනම් ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ, විවෘතභාවය සහ විනිවිදභාවයයි. සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනැඟිය හැක්කේ නිදහසේ තොරතුරු ගලා යෑමෙන් බවත් ප්‍රජාතන්ත්‍රවාදි උපායන් කොරෝනා වයිරසය පාලනය කිරීමට ඉතා සාර්ථක උපායමාර්ගයක් බවට තායිවානය සාක්ෂි දරයි.

    තිමාලි

    කස්තුරි ආරච්චි

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here