පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය විවෘත කෙරේ

0
31
 
අඩුපාඩු රැසක් සමග දැඩි අපහසුතා මැද පවත්වාගෙන ගිය පිටකොටුව මැනිං වෙළෙඳපොළ වෙනුවට ඉදිකෙරුණු පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය අද (20) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කළේය.
 
අක්කර 13ක විශාල භූමි භාගයක ඉදිකෙරුණු නව සංකීර්ණය පහසුකම් රැසකින් සමන්විතය.
 
මැනිං වෙළෙඳ සංකීර්ණය පිටකොටුව නගරයේ ස්ථාපිත වී ඇත්තේ 80 දශකයේදීය.
 
පිටකොටුවේ ක්‍රමයෙන් වැඩිවූ ජනගහනය, සංකීර්ණ වූ රථ වාහන ගමනාගමනය සමග පසු කාලීනව මැනිං වෙළෙඳපොළ නිසා ඇති වූයේ  සංකීර්ණ තත්ත්වයකි.
 
මෙම ගැටලු අවම කිරීම සඳහා මැනිං වෙළෙඳ සංකීර්ණය පිටකොටුවෙන් ඉවත් කර පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන යාමට මුල්වරට සැලසුම් කෙරුණේ 2011 වසරේදීය.
 
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ක්‍රියා කළ කාලයේ ක්‍රියාවට නැංවූ මෙරට නගර තිරසර හා දැකුම්කලු නගර බවට පරිවර්තනය කිරීමේ වැඩසටහනට අනුවය.
 
ඒ අනුව, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ආසන්නව මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීම් ඇරඹුණේ 2013දීය.
 
ඊට වැය වූ මුදල රුපියල් බිලියන 6.9කි. 
 
පිටකොටුවේ අක්කර 2ක කුඩා බිමක දැඩි තදබදයක් මැද පවත්වාගෙන ගිය මැනිං වෙළෙඳ සංකීර්ණයේ නව භූමිය අක්කර 13.5 ක විශාලත්වයෙන් යුක්තය.
 
මහල් හතරකින් සමන්විත මෙම වෙළෙඳ සංකීර්ණය, වාහන 600ක් පමණ නැවැත්විය හැකි රථ ගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය මධ්‍යස්ථාන, බැංකු, ආපන ශාලා, අධි ශීතකාමර, සාප්පු සංකීර්ණ, පොදු වැසිකිළි, ‍හෝටල් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වේ.
 
මෙහි තොග සහ සිල්ලර වෙළෙඳාම සඳහා වෙළෙදසැල් 1192 ක් ද ඉදිකර තිබේ.
 
ඉදිකිරීම් සිදුකෙරුණේ ඉංජිනේරුමය කාර්යයන් සඳහා වන මධ්‍යම උපදේශන ආයතනයේ අධීක්ෂණය යටතේය.
 
එහිදී අගමැතිවරයා මෙසේ පැවසීය,
 
“පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) විවෘත කිරීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. කොවිඩ්-19 තත්ත්වය තුළ වුවත් අපි අපේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රටේ සංවර්ධන කටයුතු කිසිවක් අඩාල කර නැහැ.
 
ඒ වගේම කුමන දුෂ්කරතා පැමිණියත් ජනතාවගේ දුෂ්කරතා මඟහැරීමට රජය ප්‍රමුඛස්ථානය දී කටයුතු කරනවා කියලත් ඔබ තමුන්නාන්සේලා දන්නවා. අපි එදා අපේ ආණ්ඩුව පැවති කාලේ ගත්ත වැදගත් තීන්දු අද වන විට මේ වගේ යථාර්ථයක් බවට පත්වෙලා තිබීම සතුටට කරුණක්.
 
එදා මේ වගේ සංවර්ධන ව්‍යාපෘති නිසි කලට ආරම්භ නොකරන්න අපේ ජනතාව අදත් බෝහෝ පීඩාවන්ට මැදිවෙන්න ඉඩ තිබුණා. ඒ නිසා ඔබ තමුන්නාන්සේලාට වගේ ම, ඔබගේ දරුවන්ගේ අනාගතය ගැනත් ඔබට සතුටු වෙන්න පුළුවන්.
 
අපි දන්නවා කාර්යබහුල ජීවිතය තුළ ඔබ සියලු දෙනා සොයන්නේ සුව පහසු දිවි පෙවතක්. අප කල්පනා කරන්නෙ ඔබට වගේ ම ඔබ ජීවත්වන වටපිටාවත් සුව පහසු වටපිටාවක් කරන්නයි. එදා වගේ ම අදත් අපි ඔබට ඒ වටපිටාව නිසි ක්‍රමවේදයකට සකසා දෙන්න පියවර ගන්නවා. අරගෙන තියෙනවා. එදා අපි පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) හදන්න මූලික සැලසුම් සකස් කළේ කොළඹ නගරයේ පවතින අධික රථ වාහන තදබදයට එක් විසඳුමක් විදිහට.”
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here