මුදල් නොලැබීමෙන් L P L ගැන සුපිරි තරු දෙගිඩියාවෙන්!

0
26

වසර නවයකට පසුව ශ‍්‍රී ලංකාවේ සංවිධානය කිරීමට නියමිත එල්. පී. එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවීමට නියමිත සුපිරි තරු කිහිප දෙනෙකු මේ වන විටත් තරගාවලියට සහභාගිවීම සහ නොවීම සම්බන්ධව දෙගිඩියාවකින් පසුවන බව වාර්තා වේ.

දේශීය සහ විදේශීය ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙසේ තරගාවලියට සහභාගි වීම සම්බන්ධව දෙගිඩියාවකින් පසුවන්නේ ඔවුන්ට කොන්ත‍්‍රාත්තුව මත හිමිවිය යුතු මුදල් මේ වන විටත් නොලැබී ඇති බැවින් බව වාර්තා වේ. අදාළ තරගාවලියේ පූර්ණ අයිතිය ඩුබායි හී අයි. පී. ජී. ආයතනය සතුව පවතින අතර එම මුදල් ගෙවීමද ඔවුන් හෝ කණ්ඩායම් හිමිකරුවන් විසින් සිදුකළ යුතුව තිබේ.

ලබන 26 වැනිදා සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී තරගාවලිය ආරම්භ කිරීම සියලූ කටයුතු මේ වන විටත් සූදානම් වන අතර ඒ සඳහා ක‍්‍රීඩා කරන කණ්ඩායම් පහේ ක‍්‍රීඩකයන් බොහෝ දෙනකු මේ වන විටත් හම්බන්තොට හෝටල්වල දින හතක නිරෝධානයකට යටත්ව සිටියි.

‘‘මට නම් තවම මුදල් ලැබුණෙ නැහැ. අපි තරගාවලියට සහභාගි වෙන්න අපේක්ෂාවෙන් ඉන්නෙ. දැන් හම්බන්තොට නිරෝධානයට ලක්වෙලා ඉන්නවා. ’’ යනුවෙන් ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන් ‘දිවයින’ කළ විමසීමකදී අනාවරණය විය. මේ වන විට පල්ලකැලේ පුහුණුවීම්වල නිරත ක‍්‍රීඩකයන් කිහිප දෙනකුම හෙට හෝ අනිද්දා අදාළ කණ්ඩායම් සමග එක්වීමට හම්බන්තොටට පැමිණීමට නියමිතය.

තරගාවලියේ සංවිධානය කිරීම, කණ්ඩායම් විකිණීම, විකාශන අයිතිය විකිණීම ආදී සියලූ කටයුතු අයි. පී. ජී. ආයතනය විසින් සිදුකරන අතර ඔවුන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට පළමු වසර දෙක සඳහා වාර්ෂිකව ඇ. ඩො. 1,920,000 ක්ද අනතුරුව සෑම වසරකදීම අදාළ මුදල 10% කින් වැඩි කරන ලෙස අයි. පී. ජී. ආයතනය සමග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වසර පහකට ගිවිසුම් ගතව තිබේ.

‘‘මුදල් ගෙවීම් සිදු කළ යුත්තේ කණ්ඩායම් හිමිකරුවන් විසින්. ඔවුන් මුදල් ගෙවීම් කරන්න එකඟ වී තියෙනවා. ’’ යනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානියකු මේ සම්බන්ධව කළ විමසීමකදී පැවසීය. කෙසේ වෙතත් අදාළ ක‍්‍රීඩකයන්ට ගෙවිය යුතු මුළු මුදලින් 60% ක් පළමු තරගය සහභාගි වීමට පෙර ගෙවිය යුතුව ඇත. එසේ නොවුණහොත් සුපිරි තරු කිහිප දෙනෙකු තරගාවලියට සහභාගිවීම වැට උඩ තත්ත්වයක් නිර්මාණය කර තිබේ. ඇ. ඩො. 60000 සිට ඇ. ඩො. 10000 දක්වා ක‍්‍රීඩකයන්ට ගෙවීම් කිරීමට නියමිතව තිබේ. ඇතැම් විදෙස් ක‍්‍රීඩකයන්ට ඇ. ඩො. 100000 දක්වා ගෙවන බවද කණ්ඩායම් හිමිකරුවන් පවසා තිබේ.

කණ්ඩායම් පහට පුහුණු කිරීම සඳහා පැති තණතීරු 25 ක් සහ ඒ සඳහා විදුලි ආලෝකයද, ක‍්‍රීඩක විවේකාගාර හතරක්ද මේ වන විටත් සකස් කරමින් පවතියි. එක් දිනකට තරග දෙක බැගින් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ක‍්‍රීඩකයන් දහ දෙනකු තරගාවලියේ එක් එක් කණ්ඩායම් සඳහා සූදානම් කර ඇත.

ගුවන් ප‍්‍රවේශපත් ඇතුළු කොන්ත‍්‍රාත්තුවට අදාළ මූලික ගෙවීම් ලැබී ඇති විදෙස් තරු කිහිපයක් මේ වන විටත් ශ‍්‍රී ලංකාවට පැමිණ තිබේ. නමුත් තවත් ක‍්‍රීඩකයන් කිහිප දෙනකු ලැබෙන කොන්ත‍්‍රාත් මුදල සම්බන්ධව සෑහීමකට පත් නොවී ඇතැයිද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here