වැසිකිළි ජලය පානීය ජලය කරන තරුණ ඉංජිනේරුවා

    0
    27

    තාරුණ්‍යයට විවිධ හැඩහුරුකම් ඇත. ඒ හැඩහුරුකම් හැදෙන්නේ තරුණ ඔහු හෝ ඇය තෝරා ගන්නා මාර්ගය අනුවය. තාරුණ්‍ය තෝරා ගන්නා මාර්ග රටක, සමාජයක, අතීතය, වර්තමානය සහ අනාගතය තනන්නේය. තරුණ්‍යට තම අභිමතය කිරීමට නිදහස ඇති බව පිළිගනිමු. නමුත් තම තාරුණ්‍ය උපන් බිමට බරක් නොවී සවියක් වන්නේ නම් එයට ධෛර්යක් සැපයීම කළ යුතුම දෙයකි.

    රජයේ රැකියාවක්, විශාල සමාගමක රැකියාවක්, විදෙස් රටක ඉහළ රැකියාවක් නොසොයා දේශීය නව නිෂ්පාදනයන් සමඟින් ව්‍යවසායකත්වයක් බිහි කිරීමට මුල් වූ යසිත් වික්‍රමසිංහ තාරුණ්‍යයට නව අරුතක් ඒක් කරන තරුණ ඉංජිනේරුවෙකි.

    යසිත් මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා ඉංජිනේරු පාඨමාලාව හැදෑරූ ඉංජිනේරුවෙකි. ඔහුගේ වැඩි කැමැත්ත තිබුණේ අපජලය නැවත පිරිසිඳු කිරීම සඳහා විද්‍යාත්මක විසඳුම් දිය හැකි ක්‍රමවේද සොය යෑමටය. එයට පෙර සූදානමක් වශයෙන් ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යා හා පාරිසරික කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය හැදෑරුවේය.

    ඝන අපද්‍රව්‍ය මෙන්ම අපජලය ලෝකයේ බොහෝ රටවලට ගැටළුවක් වී අවසන්ය. විශේෂයෙන්ම භූමිය පුරා ජල මූලාශ්‍ර විසිරී පවතින, රට වට කොට අලංකාර හා සශ්‍රීක සාගරයකින් වට වී ඇති ශ්‍රී ලංකාවේ ඇළ දොළ ගංගා සහ මුහුදට මුදා හරින අපජලය පිළිබඳ දිනෙන් දින මැවෙන කනගාටුදායක පුවත්වලින්  ලැබෙන්නේ  අපජලය ශ්‍රී  ලංකාවට කොතරම් සුවිශාල ගැටලුවක් වී ඇත්ද යන පණිවුඩයයි. ලෝකයේ දියුණු රටවල් අපජලය මැනවින් කළමනාකරණය කළත් ශ්‍රී ලංකාව ඇතුළු  රටවල් බොහෝමයක් තවමත් ඒ ආසන්නයටවත් පැමිණ නොතිබීම කනගාටුවට කරුණකි. යසිත් සතුව මේ ගැටලු විසඳීම සඳහා ප්‍රායෝගික විසඳුමක් ඇත. 

    ඔහු අපජලය පෙර පැවති පිරිසුදු තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ගැළපෙන ආකාරයේ අපජලය කළමනාකරණය සඳහා මෙහෙයුම් පද්ධතියක්  නිර්මාණය කොට ඇත. ඒම මෙහෙයුම් පද්ධතිය සාර්ථකත්වයේ පියවර තබමින් ආයතනවලට සේවාවන් සැපයීමට පටන් ගෙන තිබීමද සතුටට කරුණකි.

    වැසිකිළි, නාන කාමර, කුස්සියේ අපජලය පිරිසුදු කොට නැවත ස්වභාවික පරිසරයට ගැළපෙන තත්ත්වයට පත්  කොට මුදා හැරීම ඔහු‌ තෝරා ගෙන ඇති විෂයයි. ගෘහස්ථ එනම් කුඩා ඒකක වෙනුවට මහල් නිවාස සංකීර්ණ, විශ්වවිද්‍යාල, පාසල්, කර්මාන්තශාලා වැනි විශාල ඒකක සඳහා අපජලය කළමනාකරණ  මෙහෙයුම් පද්ධති සවි කිරීමේ සේවාව ලබා දීමට ඔහු සූදානම්ය.

    අපජලය කළමානකරණ මෙහෙයුම් පද්ධති ලෝකයටවත් ශ්‍රී ලංකාවටවත් අලුත් නැත. නමුත් වසර ගණනාවක් තිස්සේ භාවිත කරන සාම්ප්‍රදායික කළමනාකරණ පද්ධතිවල විවිධ දුර්වලතා ඇත. ඒවැනි බොහෝ පද්ධතිවල ජලය පිරිසිඳු කිරීමේදී අනවශ්‍ය ලෙස ඝන අපද්‍රව්‍ය එක් රැස් වන අවස්ථා ඇත. එසේම පිරිසිඳු කිරීමට යොදා ගන්නා බැක්ටීරියාව මත මීතේන්, ඇමෝනියා, සල්ෆර් ඩයොක්සයිඩ්, කුණු  බිත්තර ගඳ හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි දුර්ඝන්ධවත් වායූන් නිෂ්පාදනය වේ. යසිත්ගේ නිමැවුම අනුව ඉහත කී ආකාරයේ අපජලය කළමනාකණය කිරීමේ දී එහි පවතින ජලය, ගන අපද්‍රව්‍ය හා වායූ යන තුනටම ඉතා සාර්ථක විසඳුම් ලබා දී ඇත. ඔහු ඒ ප්‍රශ්නවලට උත්තර ලැබෙන අයුරු තවදුරටත් පැහැදිලි කළේ “මේ පද්ධතිය ආසන්නයේ කිසිම ප්‍රශ්නයක් නැතුව තේ මේසයක් ලෑස්ති කරලා පිළිගන්වන්න පුළුවන්” යනුවෙනි. 

    සුවිශාල ඒකකයක් වෙනුවෙන් නිර්මාණය කරන මේ පද්ධතියට යන්නේ ඉතාමත් කුඩා වපසරියකි. අපජලය පිට කිරීම වැඩි වුණත් ඊට නව පද්ධතියක් වෙනුවට පවතින පද්ධතියට කොටසක් ඇමිණිය හැකිය. මෙය සරල පද්ධතියක් බැවින් නඩත්තුව පහසුය. චලනය වන කොටස් අඩු බැවින් පද්ධතිය ක්‍රියාත්මක කිරීමට වැයවන්නේ අඩු බලයකි. අවශ්‍ය ටැංකි නිෂ්පාදනය කෙරෙන්නේ කොන්ක්‍රීට්වලින් නොව ෆයිබර්වලින් නිසා  ඒහා මෙහා ගෙන යෑම පහසුය. පිරිවැයද අවමය. අවුරුදු  අසූවක කල් පැවැත්මකින්ද යුක්ත වේ. 

     “මේ ජලය ගෙවතු පාලනයට යොදා ගන්න පුළුවන්. අවශ්‍ය නම් බොන්න සුදුසු තත්ත්වයට පත් කරන්න පුළුවන්.” ඔහු පවසයි. පිරිසිඳු කරන ජලය ඔබ පානය කරලා පෙන්වන්න සූදානම්ද? ඔව් අනිවාර්යෙන්ම.” 

    මේ අපේ රටේ නිමැවුමකි. විදෙස් රටවලින් පද්ධතියක් ගෙන එනවාට වඩා අඩු මුදලකින් එය නිපදවා සේවාව ලබා දිය හැකිය. ඒමගින් දේශීය මුදල් විදේශවලට ඇදී නොයයි. මෙතරම් කලක් ඔහු රටට බරක් වූයේ නැත. ලැබූ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඔහුගේ යුතුකම් ඉටු කරමින් සිටියි. මේ පද්ධති දියුණු කිරීම වෙනුවෙන්, පර්යේෂණ වෙනුවෙන් ඔහු වියදම් කළේ තමා උපයා ගත් දෑය. විදෙස් රටවලට මේ පද්ධතිය අපනයනය  කිරීම ඔහුගේ ඊළඟ බලාපොරොත්තුවයි. ඒ සඳහා ඔහුට සහාය ලබා දිය හැකි නම් ඒය ඉතා අගය කළ යුත්තකි.

    තාරුණ්‍යය අභියෝගවලට සූදානම්ය. යසිත් බාර ගෙන ඇත්තේ අසීරු අභියෝගයකි. ඒ අභියෝගය මුළු රටටම හිතකරය.  ඔහු අභියෝගාත්මක, අලුතින් හිතන තාරුණ්‍යයකට අභිප්‍රේරණයකි. ඒබැවින් යසිත් වෙනුවෙන් වෙන් කළ ඉඩ පාඩු නොවෙතැයි යොවුන් ජනතා අපි විශ්වාස කරමු. 

     

     රසිකා හේමමාලි

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here