සෞභාග්‍යයේ දැක්මේ කිසිදු කරුණක්මෙවර අය වැය යෝජනාවල නෑ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

0
23

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කිසිදු කරුණක් මෙවර අය වැය යෝජනාවට වත්මන් ආණ්ඩුව ඇතුළත් කර නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය. ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් හැටනම ලක්ෂය සේම මහ මැතිවරණයේදී ඡන්දය දුන් හැටඅට ලක්ෂක ජනතාව ද මෙවර අය වැයෙන් අනාථයන් බවට පත් කර ඇතැයි අය වැය යෝජනා දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා කීවේය.

මේ මොහොතේ සිදු විය යුත්තේ කොරෝනා වසංගතය මර්දනය කිරීමට ප්‍රමුඛත්වය ලබාදීම බව පවසන සජිත් ප්‍රේමදාස මහතා එහෙත් ආණ්ඩුවට අවශ්‍ය මැතිවරණ ජයග්‍රහණ, 20 සම්මත කර ගැනීම හා ද්විත්ව පුරවැසිභාවය අයිතිය තහවුරු කර ගැනීම සිදුව ඇති නිසා ජනතාව උන්නත් එකයි මළත් එකයි යන න්‍යාය අනුගමනය කරමින් සිටින බව කියා සිටියේය.

මේ වන විට ලෝකයේ බොහෝ රටවල් නවීන ක්‍රමවේද උපයෝගී කර ගනිමින් බෙහෙත් හා උපකරණ සොයා ගනිද්දී වත්මන් රජය පැණි වෙළෙන්දන් හා වතුර කලගෙඩි පස්සේ යමින් සිටින බව හෙතෙම කීවේය.

වත්මන් ආණ්ඩුවට දර්ශනයක්, ඉලක්කයක්, හරයක් නොමැති බවත් රට තුළ ඇති වී තිබෙන සියලු අභියෝග ජය ගැනීමේ හැකියාව සමඟි ජන බලවේගයට තිබෙන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. දැනුම, බුද්ධිය, තොරතුරු, තාක්ෂණ යන සාධක හතර මුල් කර ගනිමින් රට ගොඩනැඟිය යුතු බවත් සමඟි ජන බලවේගයට ඒ හැකියාව හා ශක්‍යතාව තිබෙන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

 

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ

සන්ධ්‍යා කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here