ෆේස්බුක්වල අසත්‍ය පුවත් ෂෙයාර් කරන්න එපා – එසේ කරන අයත් වැරැදිකරුවන් වෙනවා!

0
26

කොරෝනා සම්බන්ධයෙන් අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ජාල (ෆේස්බුක්) ඔස්සේ ප‍්‍රචාරය කළ විදේශගතව සිටින දෙදෙනකු හා මෙරට පුද්ගලයන් 27 දෙනකු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘‘දිවයින’’ට පැවැසීය.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය පුවත් පළකර ප‍්‍රචාරය කළ ජපානයේ සේවය කරන පුද්ගලයකු හා ඕස්ටේ‍්‍රලියාව රැඳී සිටින කාන්තාවක අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය ඉල්ලා ඇතැයිද හෙතෙම කීය. දැනටමත් කොරෝනා සම්බන්ධයෙන් අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කළ පුද්ගලයන් 31 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයිද හෙතෙම කියා සිටියේය. මොවුන් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවද ඒ මහතා කීය. මෙහිදී තවදුරටත් කතා කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙසේද කියා සිටියේය.

සත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප‍්‍රචාරය කරන්න ඕනෑම කෙනකුට අයිතියක් තියෙනවා. නමුත් කොරෝනා හේතුවෙන් පුද්ගලයන් මහම`ග මියයනවා. හෙට දවසේ මුළු රටම ලොක්ඩවුන් කරනවා වැනි අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප‍්‍රචාරය කරපු පුද්ගලයන් 31 දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. තව මේ රටේ 27 දෙනෙක් හා විදේශ රටවල්වල ඉන්න ශ‍්‍රී ලාංකිකයන් දෙන්නෙක් අත්අඩංගුවට ගන්න විමර්ශන ආරම්භ කරලයි තියෙන්නේ. ඇත්තටම මහා මාර්ගයේ මියගියේ යාචකයෙක්. ලංකාවේ මහාමාර්ගවල මිනිසුන් කොවිඞ්වලින් මියගියා කියලා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දිගින් දිගටම ප‍්‍රචාරය වීමත් සමග අපරාධ පරීක්‍ෂණ දොපර්තමේන්තුව විමර්ශන සිදු කරලා 31 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. තව 29 දෙනෙක් ඉන්නවා අත්අඩංගුවට ගන්න. මේ සංවිධානාත්මක පිරිස් කරන මේ වැඬේට ඔබ අසුවෙන්න එපා. ඔබේ ෆේස්බුක් එකට මේ අසත්‍ය පුවත් ඇවිත් තිබුණොත් ඒවා ෂෙයාර් කරන්න එපා. එහෙම කළොත් ඔබටත් එහි වරදකරුවෙක් වෙන්න සිදුවෙනවා. ඒ නිසා මේ වෙලාවේ හැම කෙනකුම රට ගැන හිතලා වගකීමෙන් කටයුතු කරන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here