Caption  එක වෙනස් කර ගන්න.

    0
    21

    සාමාන්‍යයෙන් කැප්ෂන් එකක් භාවිත කරන්නේ කිසියම් දෙයක් ගැන සඳහන් කරන්න. නැතිනම් විස්තර කරන්න. කැප්ෂන් කියන වචනේ  සමාජ මාධ්‍යයට නම් නුපුරුදු වචනයක් නෙමේ. අපි ෆොටෝ එකක් ෆේස් බුක්, ඉන්ස්ට්‍රග්‍රෑම්වලට මුදාහරිනවා නම් ගොඩක් දුරට කැප්ෂන් එකක්  තියන එක සාමාන්‍ය දෙයක්. ඇත්තටම ෆොටෝ කැප්ෂන් එකකින් ඒ ෆොටෝ එක ගැන වැටහෙනවා වගේම  ජීවිතයටත් ලයිෆ් කැප්ෂන් එකක් තිබුනොත් අපේ ජීවිතේ විඳින්න අපිට පුළුවන් කියල මට හිතෙනවා. ජීවිතෙයි කැප්ෂන් එකයි අතර තියෙන සම්බන්ධතාව ගැන ඔයාට ප්‍රශ්නයක් ඇතිවෙන්න  පුළුවන්. ඒ ප්‍රශ්නෙට තියෙන්නේ සොඳුරු පිළිතුරක්. තමා තමුන් වෙලා හිතන්න, වැඩ කරන්න පටන්ගත්තම ඔයාට ඔයාගේ ලයිෆ් කැප්ෂන් එක හමුවෙයි.

      මේ වෙනකොට ඔයාගේ ජීවිතේ නොයෙක් විදිහට ගතවෙනවා වෙන්න පුළුවන්. ඒක අපි හැමෝටම සාපේක්ෂයි. ඔයාගේ ජීවිතේට මේ වෙනකොට කැප්ෂන් එකක් තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඔයාගේ ජිවිතේ ගැන ඔයා හිතන දකින විදිහ තමයි ඔයාගේ කැප්ෂන් එක විදිහට සමාජයට පෙනෙන්නේ. කිසිම වැඩක් හරියන්නේ නැහැ, කරන කරන වැඩේ වරදිනවා, මට නම් එපා වෙලා තියෙන්නේ. හැමදාම තනියෙන්, කොච්චර අවංක වුනත්  වැඩක් නැහැ, කොච්චර සතුටින් ඉන්න හැදුවත් මොකක් හරි ප්‍රශ්නයක් , හැමදාම දුකම විතරයි.

    මටම මෙහෙම වෙන්නේ ඇයි? මිනිස්සු එහෙම කරන්නේ ඇයි? බොරු කරන්නේ ඇයි? මාත් එක්ක තරහෙන් ඉන්නේ ඇයි? මට කරපු ඒවට රිටන් එකක් දුන්නේ නැත්නම් වැඩක් නැහැ, ඉවසන්න පුළුවන්ද? මෙච්චර ? කොච්චර හැදෙන්න හැදුවත් අපිට හරියන්නේ නැහැ, හැමදේම විනෝදයක්, අනාගතෙත් ඉතින් මේ ටිකම තමයි . මට කිසිම දෙයක් බැහැනේ. මේ තියෙන්නේ සමහර වෙලාවට අපේ ජීවිත ගැන අපිම හදාගත්ත  කැප්ෂන් ටිකක්. මේ කැප්ෂන් ඔයාට අදාළ වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ කැප්ෂන් ලයිෆ්  කැප්ෂන් එක කරගන්න නම් සුදුසුම නැහැ.

       ඔයා විසින්ම ඔයාගේ කැප්ෂන් එක වෙනස් කරගන්න ඔයාට පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ ඔයාගේ හිනාව ඔයා ගාව තියාගන්න එක විතරයි, ඔයාට හිතෙන්න පුළුවන් කොහොමත් ඉතින් මගේ හිනාව තියෙන්නේ මං ගාව තමයි කියල. ඒත් ගොඩක් දුරට එහෙම නැහැ. අපි අපේ හිනාව තියාගන්නේම බාහිර දේවල්වල නැතිනම් වෙන කෙනෙක් ගාව. ඒක ඔයාගේ වරදක් නෙවෙයි. ඒ ස්වභාවය. අපි ඒ ස්වභාවයෙන් ටිකක් දුරට ගියහම අපේ හිනාව නැතිනම් අපේ සතුට අපිට  ලැබෙනවා. කැප්ෂන් එක සරල වෙන තරමට ඔයාට සතුට ලැබෙන ඝනත්වය වැඩියි. ජීවිතේ පසාරු කරගෙන සතුට හොයන්න එපා.

    එහෙම කරන්න පුළුවන් වෙන්නේ ඔයා සංයමයෙන් හිතන වැඩ කරන තරමට. ඔයාට තියෙන ප්‍රශ්නවලින් බොහොමයක් අනිත් අය නිසා ඇති වුණ ප්‍රශ්න වෙන්න පුළුවන්. අනිත් අය නිසා ඔයාගේ හිනාව හංගන්න එපා. මේ ජීවිතේදී අපිට ගොඩක් අත්දැකීම් ලැබෙනවා. ඒ අත්දැකීම්වලින් ඔයාගේ ජිවිතේට ලැබෙන හයිය මිල කරන්න බැහැ. ඒ නිසාම ඔයාගේ සතුට ඔයා ගාව තියාගන්න විදිහට ලයිෆ්  කැප්ෂන් එක හදාගන්න. මේ කැප්ෂන් එක ලියවුණෙත් ඒ හයියෙන්ම කියල මම ඔයාට කියනව. 

     

     ටිෂානි ශෂී කුමාරි 

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here