අම්මයි – නංගියි ජීවත් කරවන්න කුලී වැඩට ගිය පුතෙකුට වුණු විපත!

0
37

දහසය හැවිරිදි ඉසිර රසාංජන සිසුවාගේ නිසල දේහය ඥාති නිවෙසේ තැන්පත් කර තිබුණේය. ඒ අසලම අසිහියෙන් හා කම්පනයෙන් යුතුව හඬා වැටෙන්නේ ඔහුගේ ආදරණීය අම්මාය.

ඇය විලාප දී හඬන්නේ හදවතේ ගිගුම්දෙන වේදනාව ඉවසා දරා ගැනීමට නොහැකි නිසාය.

සැබෑවටම ඇගේ වේදනාව සාධාරණය. ඒ වෙනුවෙන් ඇයට හඬගා කියන්නට ඇතිදේ බොහෝය. කඳුළුවලින් දෝර ගලා යන්නේ ඒ වචනවලින් කිව නොහැකි කවුරුත් නොදන්නා සංවේදී කතාවය.

“පුතා අවුරුදු 16ක දරුවෙක් වුණාට එයා අපිට ලොකු ශක්තියක් වෙලා හිටියා මහත්තයෝ…”

වේදනාව දුරු වී තුනී වී ගිය තවත් දවසක ඉසිර රසාංජනගේ ආදරණීය මව ශිරෝමි කුමාරී සංයමකින් යුතුව අප සමඟ කතාවට වැටුණාය. ඒ අහිමි වූ ඇගේ නිවෙසේ ධෛර්යය ගැන මතකය අවදි කරන්නටය. “මගේ මහත්තයා අපිව දාලා ගිහින් දැන් අවුරුදු 10 කටත් වැඩියි. එදා ඉඳලා මම දරුවෝ හැදුවේ කොහොමද කියලා ගමේ මිනිස්සු දන්නවා. අප්‍රමාණ දුකක් විඳලා තමයි ඉසිර පුතාවයි, පොඩි දෝණිවයි හැදුවෙ.”

ශිරෝමි කුමාරි තම දරුවන් දෙදෙනා ලොකු මහත් කළේ ගමේ ගොඩේ ඇවිදිමින් කළ කුලී වැඩ තුළින් උපයාගත් සොච්චම් මුදලිනි. ඒ මුදල යැපුනේ යන්තමින් බඩ කට පුරවාගෙන විළි වහ ගැනීමට තරම් වූ ඇඳුමකට දෙකකට පමණි.

“මේ විදියට ජීවත් වුණු අපේ ජීවිතවල දුප්පත්කම පුතා තරමක් ලොකු වෙද්දී තේරුම් ගත්තා. ඒ නිසාම එයා හැම වෙලාවෙම කිව්වා “අම්මේ මමත් කුලී වැඩවලට යන්නද” කියලා.

“මම මුලදී කැමැති වුණේ නැහැ. ඒත් පුතා කිව්වා. කොරෝනා නිසා ඉස්කෝලේ නිවාඩුනේ. ඒ කාලෙට මම කීයක් හරි හොයා ගන්නම් කියලා.”

ඉසිර රසාංජන මේ විධියේ යෝජනාවක් කළේ තම අම්මා සහ නංගී ගැන හදවතේ ඇතිවූ වේදනාත්මක සිතුවිලි නළියන්නට පටන් ගත් සමයකය. “මම කුලී වැඩවලට යන එක පුතාට ලොකු මානසික ගැටලුවක් වුණා. ඒ නිසාම මම දවසේ වැටුපට තවත් තැනක රැකියාවට ගියා. පුතා ඒ ගැනත් නිතරම මා එක්ක කතා කළා.” අම්මා දුක් විඳිනවා මට බලා ඉන්න බැහැ. කිව්වා.

සැබෑ දරුවන්ගේ හැටි එහෙමය. යන්තම් හොඳ නරක දෙක තේරුම් ගන්නා විටදීම තම මවුපියෝ ඔවුන්ව ලොකුමහත් කිරීමට දරන වෙහෙස මහන්සිය මැනවින් අවබෝධ වන්නේය.

එවැනි දරුවන් පවුලකට වාසනාවකි. එවන් දරුවන් සමාජයකට යහපතකි. එහෙත් රුදුරු දෛවය ඇතැම් විට ඊට එරෙහිව අවි අමෝරාගෙන නැඟී සිටීම සංසාරේ අප කළ පව් පින් අනුව සිදුවන්නක් යැයි සිතිය හැකිය. “පුතා මට නිතරම කිව්වා අම්මේ මම කීයක් හරි හම්බ කරන්නේ අම්මාවත් බලාගෙන, නංගිවත් බලාගෙන මේ දුප්පත් ගෙදර ටිකක් හදාගන්න ඕන නිසා කියලා.”

“ඒ කිව්වට පුතා එක එක අයගෙන් අහලා තිබුණා ගෙදර බිත්ති හදාගන්න යන ගණන් මිනුම් පවා.”

“ඒ විතරක් නෙවෙයි, එයා ඒවා කරන්නත් සැලසුම් කළා. අවුරුදු 16ක ඉස්කෝලේ යන තාත්තා නැති දරුවෙක්, ලබන අවුරුද්දේ O/L විභාගය කරන්න ඉන්න දරුවෙක්, මේ වගේ ගෙදර අය ගැන හිතන්න තරම් සංවේදී හිතක් ඇති වුණේ අපේ වාසනාවට කියලා අපි හැමවෙලාම හිතුවා. ඒත් බලන්න මහත්තයා සිද්ධ වෙච්ච දේ.”

මේ කතාවේ අනුවේදනීයම පැත්ත අපි ඔබට දිග හරින්න සූදානම් වන්නේ මෙතැන් සිටය. එය සැබෑවටම වේදනාකාරී හදවත කකියන කතාන්දරයක්. එදා නොවැම්බර් මස 05 වැනිදාය. ඒ දවස ශිරෝමි කුමාරිගේ ජීවිතයේ මූසලම දවස වේයැයි ඇයට හැඟුණේ නැත. “අම්මේ.. මම අදත් කුඹුරු වැඩට යනවා.” ඉසිර රසාංජන සිසුවා එසේ පවසා ගෙදරින් එළියට බැස ගන්නට ගියේය.

එසේ ගිය ඉසිර නොබෝ වේලාවකින් කුඹුරේ වැඩ කරන ඔහුගේ මිතුරා සමඟ එකතු වූවේය.

ඉසිරට තිබුණේ සී සාන්නට සූදානම් කළ යුතුව ඇති කුඹුරේ ට්‍රැක්ටරයෙන් හාන්නටය. ඔහු ඒ රාජකාරිය මැනවින් ඉටු කරමින් සිටියේය.

“මේ වෙලාවේ කුඹුරට අවශ්‍ය වතුර ගන්න තිබුණු මෝටරයේ බටය ගැලවිලා තිබිලා තියෙනවා. ඉතිං අර අනෙක් ළමයා ඒ බටය හරිගස්සන්න යද්දී පුතා තනියම ට්‍රැක්ටරය පදවගෙන ඉඳලා.”

සාමාන්‍යයෙන් බොහෝ ගම්වල මෙවැනි රාජකාරිවලට අවශ්‍ය මෝටරය ක්‍රියාත්මක කිරීම සඳහා කරන්ට් එක එසේත් නැත්නම් විදුලි බලය ලබා ගන්නේ තාවකාලික රැහැන් ඇදීමකිනි. වතුර මෝටරයට අවශ්‍ය විදුලි බලය ලබාගෙන තිබුණේත් ඒ ආකාරයටය.

මේ වයර් එක තැනින් තැන අමුණපු අනාරක්ෂිත වයර් එකක්. ඉතිං පුතා ට්‍රැක්ටරේ පැදගෙන යද්දී එක්තරා තැනකදී වයර් එක පැටලෙන්න යද්දී ඒක අතින් අල්ලලා උස්සලා යන්න හදලා. ඉතිං ඒ වෙලාවේ තමයි මහත්තයා මගේ පුතාට කරන්ට් එක වැදිලා වැටිලා තියෙන්නේ. ශිරෝමි කුමාරි කඳුළු පුරවාගත් දෑසින් කීවාය. අනාරක්ෂිත වයරයේ තිබුණු විදුලිසර දහසක් බලාපොරොත්තු මැද ජීවිතය සෙවූ ඉසිරට වින කළේය. ඒ විදුලිසර දරාගත නොහැකි වූ ඉසිර රසාංජන කෑගසා බිම ඇද වැටුණේ ශිරෝමි කුමාරිලාගේ ලෝකය සුනුවිසුනු කරමිනි.

ඉසිර කුඹුරු යායේ මඩ ගොඩේ ඇද වැටෙද්දී ට්‍රැක්ටරය ඉදිරියට ගොස් නතර විය.

“ඒ වෙලාවේ තමයි පුතා එක්ක හිටපු ළමයා දැකලා තියෙන්නේ ඉසිර පුතා නැතිව ට්‍රැක්ටරය නැවතිලා තියෙනවා. ඒ පාර, ඒ ළමයා දුවගෙන ඇවිත් බලද්දී පුතා මඩ ගොඩේ මුනින් අතට වැටිලා ඉඳලා.” ඉසිරගේ මිතුරා වහා අවට සිටින්නන්ට කෑගසා ගෙන්වාගෙන ඉසිරව රෝහල කරා රැගෙන යන්නට කටයුතු කළේය. එහෙත් පලක් වූයේ නෑ. ඒ වනවිටත් මඩේ එරී සිටි ඉසිර රසාංජන අවසන් ගමන් ගොස් තිබිණි. පවුලක් ගොඩගන්නට ජීවිතය කැප කළ ඒ පුංචි කොල්ලා මෙලොව හැර ගියේ ඒ විධියටය. ඒ මරණය සැබෑවටම පුදුමාකාර එකකි. හිතාගත නොහැකි අනතුරකි. බැද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ 11 ඒ ශේ්‍රණියේ ඉගෙනුම ලැබූ ඉසිරගේ නිසල දේහය තැන්පත් කරන්නට තරම්වත් ඉඩක් නැති නිසාවෙන්ම තවත් නිවෙසක් ඒ සඳහා තෝරා ගන්නට ගම්මුන්ට සිදුවිය. එපමණක්ද නොව මිනී පෙට්ටිය ගන්නට තරම් වත්කමක් නැති ශිරෝමි කුමාරිලාට උදවු කළේත් අසල්වාසීන්ය. ඥාතීන්ය.

“ඇත්තටම අදටත් මමයි දුවයි තනිවෙලා කල්පනා කරන්නේ අපිට මේ මොනවද වුණේ කියලා. “අම්මේ මට හොඳට ඉගෙන ගන්න බැරි වුණත් අපි නංගිට හොඳට උගන්වමු. එයාට ඉන්න හොඳ ගෙදරක් හදමු. කිව්ව මගේ පුතා අද අපිත් එක්ක නැහැ. එයා අපිව දාලා යන්න ගියා. දැන් කොහොමද අපි ජීවත් වෙන්නේ. මේ දරුවට උගන්වන්නේ. දුප්පත් ගේ පොඩ්ඩ හදාගන්නේ.” ශිරෝමිලා කුමාරි ඇඬූ­ කඳුළින් ප්‍රශ්න කළාය.

“අනේ මගේ පුතා. එයා අපිට කොයිතරම් ආදරේද?”

ඉසිර රසාංජනට අවාසනාවන්ත මරණයක් හිමිවිය. එහෙත් ජීවත්ව සිටි කාලයේ ඔහු තුළ තිබුණේ වාසනාවන්ත බලාපොරොත්තුය. දැන් ඔහු වෙනුවෙන් ඔහුගේ මවට සහ කුඩා නැඟණියට සරණ විය හැකි නම් ඒ තුළ ඔබටත් මටත් යම් සහනයක් ලැබෙන බව නම් දැනෙන බව නම් ඇත්තකි. ඒ නිසාම බද්දේගම නුගේතොට, තුට්ටුදූවේ පදිංචි තුට්ටුවක් අතේ නැති ඉසිර රසාංජනගේ මවගේ ගිණුම් අංකය ඇයගේ හෙට දවස වෙනුවෙන් මෙසේ ලියා මේ සංවේදී සටහන අවසන් කරමු.

ශිරෝමා කුමාරි හෙට්ටිගොඩ 8140029985 කොමර්ෂල් බැංකුව බද්දේගම.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here