කලම්බු කිංග්ස් සූදානම්

0
20

මේ මස 26 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන කලම්බු කිංග්ස් කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයට ක්‍රීඩකයන් 22 දෙදෙනකු ඇතුළත්ව තිබේ.

ඊට දේශීය ක්‍රීඩකයන් 15 දෙනකු ඇතුළත් වන අතර, එක්වන විදෙස් ක්‍රීඩකයන් සංඛ්‍යාව 7කි. මුලින් කණ්ඩායම් සඳහා විදෙස් ක්‍රීඩකයන් එක්කර ගැනීමට අවස්ථාවදී තිබුණේ 6 දෙනකුට පමණි. තරගාවලියේ පළමු ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී ඇන්ඩ්‍රේ රසල්, ෆෆ් ඩු ප්ලෙසිස්, මන්ප්‍රිට් ගෝනි සහ මවින්දර් බිස්ලා මේ කණ්ඩායමට එක් වූ අතර, පසුව ඩු ප්ලෙසිස් සහ මවින්දර් බිස්ලා විවිධ හේතුන් මත තරගාවලියෙන් ඉවත් විය.

අයිපීඑල් තරගාවලිය අතරතුර ඇති වූ ආබාධයක් හේතුවෙන් රසල්ගේ සහභාගිත්වය මුලින් අවිනිශ්චිතව පැවැතුණ ද පසුගියදා ඔහු මෙරටට පැමිණියේය.

කෙසේ වෙතත් කැනඩාවේ රවින්දර්පාල් සිංගේ නම මේ සංචිතයට ඇතුළත්ව ඇති අතර, ඔහු මෙරටට පැමිණීමෙන් පසු සිදු කළ පීසීආර් පරීක්ෂණයකදී කොරෝනා වයිරස් ආසාදිතයකු බවට තහවුරු වූ අතර, ඒ නිසා ඔහුට තරගාවලියට එක්වීම පිළිබඳ ගැටලුවක් පවතී.

රවින්දර්පාල් සමඟින් කලම්බු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනකු එකට ගමන් කර තිබුණ ද ඔහුගේ පීසීආර් පරීක්ෂණ වාර්තාව ඝෘණාත්මක බවට වාර්තා වී තිබේ.

තරගාවලියේ විස්තර විචාරකයකු ලෙස එක්වීමට නියමිතව සිටි දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, හිටපු ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සහාය පුහුණුකරු ලෙස කටයුතු කරයි.

මේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට සිටි ඩේව් වට්මෝර් ඉවත් වීමෙන් පසු එංගලන්තයේ කබීර් අලි එම තනතුරට පත් කළ අතර, ඔහු කොරෝනා වයිරසයට ගොදුරු වීමෙන් ගිබ්ස්ට අවස්ථාව ලැබිණි. හේරත්ට පෙර කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පත් කර තිබූ අතර, පෞද්ගලික හේතුවක් මත ඔහු තරගාවලියෙන් ඉවත් විය.

කලම්බු කිංග්ස් කණ්ඩායමේ පළමු තරගය 26 වැනිදා තරගාවලිය ආරම්භ කරමින් කැන්ඩි ටස්කර්ස් පිලට එරෙහිව පැවැත්වෙයි.

කොළඹ සංචිතය: දේශීය ක්‍රීඩකයන් – ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, ඉසුරු උදාන, අමිල අපෝන්සු, දුෂ්මන්ත චමීර, ධම්මික ප්‍රසාද්, අශාන් ප්‍රියංජන්, ජෙෆ්රි වැන්ඩෙසේ, තික්ෂිල ද සිල්වා, තරිඳු කෞෂාල්, ළහිරු උදාර, කළණ පෙරේරා, හිමේෂ් රාමනායක, නවෝද් පරණවිතාන, තරිඳු රත්නායක.

විදෙස් ක්‍රීඩකයන් – ඇන්ඩ්‍රේ රසල් (කොදෙව්), මන්ප්‍රීට් සිං (ඉන්දියාව), ලෝරි එවන්ස් (එංගලන්තය), ඩැනියෙල් ජේම්ස් බෙල් (එංගලන්තය), රවින්ද්‍රපාල් සිං (කැනඩාව), කයිස් අහමඩ් (ඇෆ්ගනිස්තානය), කරීම් ඛාන් සදීක් (ඇෆ්ගනිස්තානය).

පුහුණුකරු – හර්ෂල් ගිබ්ස්, සහාය පුහුණුකරු – රංගන හේරත්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here