කැලෑ පාළුවන්ට පාඩමක් ඉගැන් වූ විල්පත්තු තීන්දුවේ ඇත්ත කතාව

    0
    8

    වෙනත් තැනක  වනාන්තරය සිටුවන්න  මේ නඩු තීන්දුවේ නෑ

     ආචාර්ය ජගත් ගුණවර්ධන

    වන වගා කටයුත්ත  ඉතාමත් සංකීර්ණ  ක්‍රියාවලියක්

     ආචාර්ය සුරංජන් ප්‍රනාන්දු

    මෙය අපේ රටේ නැවත වන වගාවේ විශාලතම ව්‍යාපෘතියයි

     අධිනීතිඥ රවින්ද්‍රනාත් දාබරේ

    නැවත වනාන්තරය වවන්න අපට හිතෙන ගණන්  කියන්න බැහැ

     පරිසර යුක්ති කේන්ද්‍රයේ හේමන්ත විතානගේ

    අභියාචනාධිකරණය  ලබාදුන් තීන්දුව අනුව  ක්‍රියා කරනවා

     වන සංරක්ෂක නිශාන්ත එදිරිසිංහ

     

    විල්පත්තු වනාන්තරය ආශ්‍රිත අක්කර 2500ක පමණ වනාන්තර බිම් පෙදෙස එළිපෙහෙළි කර, ජනාවාස ඉදි කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීව සිදු කර ඇති බවට අභියාචනාධිකරණය දුන් නඩු තීන්දුව ඓතිහාසික මෙන්ම පූර්වාදර්ශී එකකි. එය උපනූපන් පරම්පරාවල මෙන්ම සතා සීපාවාගේ ද මෙම ධරණි තලයේ ද අනාගතය හා පැවැත්ම වෙනු‍ෙවන් තීරණාත්මක වශයෙන් වැදගත්ය.

    එම දැවැන්ත වන විනාශයට හා පදිංචි කිරීම්වලට හිටපු, නැවත පදිංචි කිරීමේ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වගකිවයුතු බව අභියාචනාධිකරණය සඳහන්කර තිබේ. තම පෞද්ගලික මුදල් වැයකර, විනාශ කළ වන පෙදෙසට සමානව නැවත වන වගාවක් ඇති කළ යුතු බවට බදියුදීන් මහතාට නියම කෙරිණි. ඒ සඳහා වැයවන වියදම රජය විසින් තක්සේරු කර ඔහුට දැන්විය යුතු අතර එතැන් සිට මසක් ඇතුළත ඔහු එම මුදල ගෙවිය යුතුය. මෙම නැවත වන වගාව සිදු කළ යුතු වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

    වන සංරක්ෂණ ජනරාල් ඇතුළු රජයේ නිලධාරීන් කිහිපදෙනෙකුද, රිෂාඩ් බදියුදීන් ද වග උත්තරකරුවන් ලෙස නම් කරමින් 2015 වසරේදී මෙම රිට් පෙත්සම ගොනු කරණු ලැබුවේ පරිසර යුක්ති කේන්ද්‍රය විසිනි. පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයකු ඉවත් වූ නිසා අභියාචනාධිකරණ සභාපති විනිසුරුතුමන්ගේ නියමය පරිදි පෙත්සම් විභාගය මුලපටන්ම දෙවන වරට ද සිදු කෙරිණි. ඒ ජනත් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න අභියාචනාධිකරණ විනිසුරුතුමන්ලා හමුවේය.පෙත්සම්කරුට නඩු ගාස්තු ගෙවන ලෙස ද තීන්දුවෙන් නියම කෙරිණි.

    මෙම නඩු තීන්දුව තම දේශපාලන දෘෂ්ටීන් ඔස්සේ ද පටු පරමාර්ථ ඇතිවද දකිමින් ඇතැම් කණ්ඩායම් හා පුද්ගලයන් විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරනු පසුගිය දිනවල දැකිය හැකිවිය. ඇගැයීමට ලක් විය යුතු, “පරිසර යුක්ති කේන්ද්‍රයේ” කාර්යභාරය පවා මෙවැනි ප්‍රකාශ මඟින් හෑල්ලුවට ලක් කෙරිණි. නඩු තීන්දුවක් වැරැදියට අර්ථකථනය කිරීම ද වරදකි.

    නැවත වන වගාව වෙනුවෙන් ගෙවිය යුතු මුදල කොපමණදැයි තවමත් තක්සේරුවක් පවා කර නොතිබිය දී ගෙවීමට සිදු වන මුදල වශයෙන් විවිධ ගණන් ඉලක්කම් පවා ප්‍රසිද්ධියට පත් වී තිබේ. ඒවා නිවැරදි නොවනවා මෙන්ම එම මුදල කොපමණ වුවද එය ගෙවීමට බදියුදීන් මන්ත්‍රීවරයාට සිදු වේ. එම වනාන්තර පෙදෙසේ ඉදිකර ඇති නිවාසවලට කරන්නේ කුමක්දැයි ඇතැම් අය මතුකර තිබිණි. එම ඉදි කිරීම් නීතිවිරෝධී බව තීන්දුවේ පැහැදිලිව දැක්වේ. එබැවින්, ඒවා ඉවත් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බලය තිබේ. කෙසේ වුවද, මෙලෙස ඉදි කර ඇති නිවාස අවතැන්වූවන් සඳහා බව පැවසෙන නිසා එම අවතැන්වූවන් වෙනුවෙන් විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට රජයට සිදු වනු ඇත.

    පරිසරවේදියකු සහ පරිසර නීතිය පිළිබඳ ප්‍රවීණයකු ද වන ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පවසන පරිදි, මෙම නඩු තීන්දුව පූර්වාදර්ශී මෙන්ම පරමාදර්ශී නඩු තීන්දුවකි. “මෙය පරමාදර්ශී වෙන්නේ කිසියම් තැනැත්තෙක් පරිසරය විනාශ කරනවා නම් තරාතිරම නොබලා කවදා හෝ දිනෙක ඒ තැනැත්තා වරදකරු විය හැකි නිසා එවැනි අයෙක් අධිකරණය ඉදිරියේ වගේම ජනතාව ඉදිරියේත් ඉතිහාසය ඉදිරියේත් වරදකරුවකු වනවා. අනෙක රජයේ නිලධාරීන් නිවැරදිව කටයුතු කළ යුතු බවත් මින් පෙන්වා දෙනවා.

    යම් අවස්ථාවලදී දේශපාලනඥයන්ගේ බලපෑම් මත කටයුතු කළ හැකියි. එසේ කර තමන් අමාරුවේ වැටුණු දිනෙක ඒ කිසිවකුත් පිහිටට නොඑන බව මතක තබාගත යුතු වෙනවා. නිලධාරියකු වරදක් කළොත් අධිකරණය හමුවේ වරදකරු වීම වගේම නමින්ම දෝෂ දර්ශනයට ලක් වීමත් වෙනවා. ඒ ගැනත් මෙයින් ආදර්ශ ලැබීමට පුළුවන්. මේ නඩුවේ පළමු වගඋත්තරකරු වුණේ වන සංරක්ෂක ජනරාල්. දේශපාලනඥයන් විසින් රජයේ නිලධාරීන්ට කරන බලපෑම් අධිකරණය අනුමත නොකරන බවත් මින් පැහැදිලියි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තම යුතුකම හා වගකීම නොපිරිහෙළා ඉටුකරන ලෙසට සිහිපත් කර නියෝග කිරීමත් වැදගත්. පෙත්සම්කරු ඉල්ලා සිටි සහනයටත් ඔබ්බට යමින් මේ කාරණය දෙස අධිකරණය බලා ඇති ආකාරය ඉතා වටිනවා. මීට වගකිවයුතු වගඋත්තරකරුට මේ හානිය ප්‍රතිපූරණය කිරීමට නියම කෙරුණා. මෙය පූර්වාදර්ශී වන්නේ කෙසේදැයි පෙන්වා දෙන ආචාර්ය ජගත් ගුණවර්ධන මෙම හානිය ප්‍රතිපූරණය කළ යුතු බව පරිසරය විනාශ කරන හෝ ඊට හේතුකාරක වූ පුද්ගලයකු දක්වා ව්‍යාප්ත වූ පළමු අවස්ථාව මෙය බව පවසයි. මෙතෙක් පරිසරය දූෂණය කරන අයකුට අදාළව දුටු මේ නියමයන් මෙහිදී ඊට මුල්වූ ප්‍රමුඛ පුද්ගලයකු දක්වාම අදාළ කරගෙන තිබේ. එය හොඳ පූර්වාදර්ශයකි. “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වෙනි ව්‍යවස්ථාවේ 14 වෙනි ඡේදයේ පැහැදිලිවම සඳහන් වෙනවා, පරිසරය ආරක්ෂා කිරීම හා සංවර්ධනය කිරීම සඳහා රජයට පැහැදිලි යුතුකමක් හා වගකීමක් ඇති බව. රජය විසින් දරන යුතුකම හා වගකීම රජයේ කොටසක් වශයෙන් අධිකරණයටත් ඇති බවට අධිකරණය තමන් ගැනම බැඳීමක් ඇති කර තිබීමත් මෙහිදී දකින්න පුළුවන්. එයත් ඉතා වටිනා පූර්වාදර්ශයක්.

    පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වෙනි ව්‍යවස්ථාවේ ‘ඉ’ කොටසේ තිබෙන සෑම පුරවැසියකු ඉටු කළ යුතු යුතුකම හා වගකීම පරිසරය විනාශ නොකිරීමේ වගකීමක් දක්වා පුළුල් කිරීමත් වැදගත්. නැවත වන වගාව සිදු කිරීමේදී ඊට අදාළව ලබාදී ඇති නියෝග පැහැදිලිව තේරුම් ගැනීම ද අවශ්‍යය. එසේ නොමැතිව ඊට යොදාගන්නා භූමිය ගැන කතා කළ නොහැකි බැවිනි. “තීන්දුවේ 8, 10 සහ 11 පිටුවල මේ ගැන සඳහන් වෙනවා.

    8, 10 පිටුවල පැහැදිලිවම සඳහන් වෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ නීති විරෝධී ජනාවාස ආදී ඒ සියලු දේ ඉවත්කර යළි වනය ප්‍රතිස්ථාපනය කළ යුතු බව. එසේ තිබියදී 11 පිටුවේ එන මෙහි තීන්දු ප්‍රකාශනය ද නොවන එහෙත් නඩු තීන්දුවට අදාළව පරිසර දූෂකයා මීට වගකිව යුතු බැවින් ඔහු මෙය ප්‍රතිස්ථාපනය කළ යුතු බව පැහැදිලි කරන එක් වගන්තියක් වරද්දාගෙන යම් අදහස් පළ වීමයි මෙතැන වෙලා තියෙන්නෙ. එසේ නැතිව මේ වනාන්තරය මෙතැන නැතිව වෙනත් කොතැනක හරි ඇති කරන්න කියලා මේකෙන් කියවෙන්නෙ නෑ. මේ ස්ථානයේ හෝ ඊට සමාන වෙනත් ස්ථානයක දූෂකයා විසින් මෙය ප්‍රතිපූරණය කළ යුතු බවට අධිකරණය පෙන්වා දෙන්නේ මූලධර්මයක් ලෙසිනි…” ඒ, මේ පිළිබඳ නීතිවේදී ජගත් ගුණවර්ධන මහතා පැහැදිලි කරන අයුරුය. නඩු තීන්දුවකට අදාළව තීන්දු ප්‍රකාශනය හා ඊට අදාළ අනෙකුත් ප්‍රකාශන වශයෙන් කොටස් 2ක් ඇති බව ද ඒ මහතා පෙන්වා දේ. “ඒ නිසා අධිකරණය හෝ තීන්දු ප්‍රකාශනය හෑල්ලුවට ලක් කරන අයුරින් සාවද්‍ය ප්‍රකාශ, පරිකල්පන සමාජගත කිරීම වැරදි ක්‍රියාවක් ලෙසයි මම දකින්නෙ.” යනුවෙන් ආචාර්ය ගුණවර්ධන සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ නඩු තීන්දුවක් එම විෂයය පිළිබඳ දන්නා අයකු කියැවිය යුතු බවය. මෙහිදී ද මෙම පිටු 14 කියැවිය යුතු වන්නේ නීති මූලධර්ම පිළිබඳ අවබෝධයකින් යුතුවය. නඩු නිමිත්ත ගැන මෙන්ම යම් නඩු තීන්දුවක සඳහන් අනෙකුත් නඩු පිළිබඳ ද යම් දැනුමක් තිබිය යුතුය. එවැනි දැනුමක් නොමැතිනම්, එම දැනුවත්බව ඒ තුළින් ගත යුතුය.

    වනාන්තරය එළිපෙහෙළි කර පරිසර විනාශයක් සිදු කරමින් මෙම භූමියේ නිවාස ඉදි කර ඇති පසුබිමක එය යළි පෙර තිබූ අයුරින් වනාන්තර භූමියක් බවට පරිවර්තනය කිරීමේදී ඊට ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු වේ. ඒ පිළිබඳ පෙන්වා දෙමින්, ආචාර්ය සුරන්ජන් ප්‍රනාන්දු මහතා පළ කරන්නේ මෙවැනි අදහසකි.

    “මෙතැනදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නිකම්ම ඇස්තමේන්තුවක් දෙන්න පුළුවන් බවක් නෑ. මේක විනාශ කරන්න කලින් ඉටු වුණු සංකීර්ණ පාරිසරික සේවා නැවත ඇතිවෙන අන්දමින් මෙය සිදු විය යුතුයි. ඒක අයාලේ ගස් වවලා කරන්න බෑ. දැනට තියෙන දත්ත ඇසුරින් කැලෑව විනාශ කරන්න කලින් තිබුණු ගස්වර්ග ගැන දැන ගැනීමට පුළුවන්. එය කළ හැකි විද්‍යාත්මක ක්‍රම කිහිපයක්ම තියෙනවා. මෙතැන තිබුණු පරිසරය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළිලා තියෙන්නෙ. දැන්, නැවත වන වගාවක් කරන්න යද්දි අනුගමනය කළ යුතු නියමිත ක්‍රමවේද තියෙනවා.

    වගා කළ යුතු ශාක වර්ග තියෙනවා. මේ සෑම දෙයක් සඳහාම වැය වන වියදම ගණනය කරන්න වෙනවා. ඒක අවුරුද්දකින් වගේ කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. ඒවගේම, නැවත වන වගා ඇති කිරීමේදී අනුගමනය කරන සාමාන්‍ය ක්‍රමවේදයට වඩා කාර්යක්ෂම ක්‍රමවේද මෙහිදී අනුගමනය කරන්න වෙනවා. අවම වශයෙන් මේ ක්‍රියාවලිය වසර 10 – 15ක් තරම් ඉදිරියට යන එකක් විය යුතුයි. මේ කාරණා ප්‍රතිස්ථාපනයට අදාළව සැලකිල්ලට ගත යුතු වෙනවා. මීටත් අමතරව, එලෙස සිටුවන පැළ රැකබලා ගැනීමේ වැඩපිළිවෙළද මෙයට අදාළයි. නිදසුනක් ලෙස විශාල ගස්වල අතු ගෝනුන් නොකන නමුත් පැළ සිටවූ විට එම පැළ කා දැමිය හැකිය. එබැවින් සිටුවන පැළ කාලයක් ගතවන තුරු වැඩිපුර රැකබලාගත යුතුය. මෙතරම් විශාල භූමියක පැළ සිටුවීමේදී ඊට කාලයක් ගතවන අතර එය කිරීමට සිදුවන්නේ ද වැසි සහිත කාලවලදීය. එබැවින් හිතකර පරිසර තත්ත්ව යටතේ එය සිදු කිරීමට හැකිවන පරිදි මීට වැයවන මුදල් අයකරගෙන යම් අරමුදලක තැන්පත් කර අවශ්‍ය වූ විට වියදම් කළ හැකි විය යුතු බවද ආචාර්ය සුරන්ජන් ප්‍රනාන්දු මහතා පෙන්වා දේ.

    මහ කැලෑවේ ඇති ගස් එකවරම වගා කළ නොහැකිය. ඒ වෙනුවට, පස සහ අවට පරිසරය සුදුසු ලෙස සැකසීමට අවශ්‍ය අනුහුරුකාරක ශාක වර්ග පළමුව වගා කළ යුතුය. පැවැති වනාන්තරයට යම් හෝ සමාන වනාන්තරයක් ඇති කර ගැනීමට අදියර 3 – 4 කින් වත් ක්‍රියාත්මක විය යුතුය. එමෙන්ම එය මේ පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත අයගේ උපදෙස් අනුව සිදු විය යුත්තකි.

    විල්පත්තුව ආශ්‍රිත මෙම විනාශයට වගකිව යුතු පාර්ශ්වයට එරෙහිව මෙවැනි ඓතිහාසික තීන්දුවක් ලැබුණේ, පරිසර යුක්ති කේන්ද්‍රය මේ පිළිබඳ ගොනු කළ රිට් පෙත්සම හේතුවෙනි. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් මෙම නඩුවට ද පෙනී සිටි පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පවසන්නේ පරිසර යුක්ති කේන්ද්‍රය මෙම නඩු තීන්දුව සුවිශේෂී නඩු තීන්දුවක් ලෙස දකින බවය.

    “මෙහි තියෙන පූර්වාදර්ශ හා පරමාදර්ශ නිසා මේ නඩු තීන්දුව සුවිශේෂී, පරමාදර්ශ ගැන කතා කළොත් පරිසර යුක්ති කේන්ද්‍රය හැටියට අපේ මූලික තේමාව, පරිසර සංරක්ෂණය හා පරිසරයට සාධාරණය ඉටු කිරීම, පරිසර යුක්තිය කියන්නේ ඒයමයි. මේ නඩු තීන්දුව මඟින් පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම හා එහිදී රාජ්‍ය හා අධිකරණමය යුතුකම පැහැදිලි වෙනවා.

    එහිදී ගෙන ඇති තීරණ හා බලා ඇති පැතිකඩ සමස්ත ශ්‍රී ලංකාවේම පරිසරය ආරක්ෂා කර ගැනීමට අදාළව ඉතා වැදගත් නිර්ණායකයන්ය. පරිසරයට විනාශකාරී බලපෑම් කරන පුද්ගලයන්ට ඒවාට තිත තැබීමට සිදුවන අන්දමේ තීන්දු තීරණ මේ නඩු තීන්දුව හරහා ගෙන තිබෙනවා. ”

    අධිනීතිඥ දාබරේ මහතා පෙන්වා දෙන්නේ විල්පත්තුව ආශ්‍රිත රක්ෂිත එළිපෙහෙළි කර නීතිවිරෝධී ක්‍රියාකිරීම සම්බන්ධයෙන් මීට වඩා හොඳ තීන්දුවක් දීමට නොහැකි බවය.

    “වන සංරක්ෂණ ආඥා පනත යටතේ කටයුතු කළොත්, නියම කරන්න පුළුවන් රුපියල් දසදහසේ සිට ලක්ෂය දක්වා දඩයක්. නමුත් අක්කර 3000කට ආසන්න ප්‍රමාණයක වන වගාවක් කරන්න කෝටි ගණනක මුදලක් වැය කරන්න වෙනවා. මොකද අක්කරයක වන වගාවක් සඳහා ලක්ෂ 5 – 10 අතර මුදලක් වැය කළ යුතුයි. එහෙම බලන කොට අක්කර 3000 ක නැවත වන වගාවක් කරනවා කියන්නෙ දඬුවමක් හැටියට බැලුවොත් ලංකා ඉතිහාසයේ ලොකුම දඬුවම වෙන්නත් පුළුවන්.”

    තීන්දුව මඟින් නියමකර ඇති පරිදි එම ඉදිරි ක්‍රියාමාර්ග වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කළ යුතුය. මේ පිළිබඳ අදහස් දක්වන අධිනීතිඥ දාබරේ මහතා මෙය එම දෙපාර්තමේන්තුවට ද හොඳ පාඩමක් බව පවසයි.

    “බදුර්දීන් මහත්තයා මේකෙ මූල්‍යමය වගකීම දැරුවත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කපන්න ඉඩදීපු වනය නැවත වනවගා කිරීම දැරිය යුතු වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. අධීක්ෂණය, මෙහෙයුම, කළමනාකරණය, සම්බන්ධිකරණය ආදී මේ සියල්ල ඔවුන් කළ යුතු වෙනවා. එම දෙපාර්තමේන්තු ඉතිහාසය පුරා මේ තරම් විශාල නැවත වන වගාවකට කිසිදිනක එළැඹී නෑ. ලංකා ඉතිහාසයේ නැවත වන වගාව සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලොකුම ව්‍යාපෘතිය වෙන්නෙ මෙයයි. ඒ නිසා මෙය විශාල අභියෝගයක්. කපන්න ඉඩ දීමට එක් පෑන් පහරකින් අස්සන යෙදිය හැකි වුණත්, අවුරුදු ගණනාවක් වනයක් වැවීම හා රැකබලා ගැනීම දුෂ්කර කාර්යයක්. එය ඔවුන්ට පවරා තියෙනවා.

    මෙම භූමියේම නැවත වන වගාව සිදුකරන්නේ ද නැතිනම් ඊට සරිලන භූමියක එය සිදු කරන්නේ ද යන්න ගැන විවිධ මත පළවෙමින් ඇත. පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා ඊට ප්‍රතිචාර දක්වන්නේ මෙලෙසිනි.

    “මේ නඩු තීන්දුව අනුව නම්, පැහැදිලිවම එම ස්ථානයට සරිලන හෝ එම ස්ථානයට සමාන භූමියක මේ නැවත වන වගාව ආරම්භ කළ යුතුයි. එම ස්ථානයේම මෙය ආරම්භ කරනවා නම් ප්‍රායෝගික ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එම පදිංචි කිරීම් නීතිවිරෝධී බව මේ තීන්දුවෙන් පැහැදිලිව කියැ වෙනවා. ඒ නිසා වන සංරක්ෂණ ජනරාල්වරයාට ඔහුගේ නිලය අනුව රක්ෂිත වනයක නීති විරෝධී පදිංචිකරුවන් ඉවත් කිරීමේ වගකීම පැවරෙනවා. ඔහුට ඒ කාර්යය නොකර සිටීමට නොහැකියි. එසේ ඉවත් කිරීමට නීතියෙන්ම බැඳෙනවා. නමුත්, ඒ සඳහා ඔහුට එලෙස පදිංචි අයගේ විස්තර අධිකරණයට ඉදිරිපත් කර ඒ සඳහා වෙනම නියෝගයක් ගැනීමට සිදු වෙනවා. එලෙස ඉවත් කළ පසු එම ඉදිකිරීම් තිබූ තැන්වල අත්තිවාරම් කොටස්, වැනි දේ ඉතිරි විය හැකියි. ඒවාත් ඉවත් කර නැවත වන වගාවට සුදුසු ලෙස මෙය සැකසිය යුතුයි. ඊට කාලයක් ගත වෙනවා. එය කාලයක් ගතවී සිදු වේවි. එතෙක් බලා නොසිට මේ තීන්දුවට අනුව, ඊට සරිලන වෙනත් ප්‍රදේශයක මේ නැවත වන වගාව ඇරැඹීමට පුළුවන්. දැනට වනාන්තරයක් නැති තැනක අලුත් වනාන්තරයක් ඇති වුණොත් එය රටට හා පරිසරයට වඩාත් වාසිදායක වන බවයි අපේ අදහස. කොහොමටත් එම භූමියේ නීතිවිරෝධී පදිංචිකරුවන් එය හැරයාමෙන් පසු එහි ස්වභාවිකවම වන ගහනයක් ඇති වෙනවා. ඒ නිසා, වෙනත් ස්ථානයක වන වගාවක් ඇතිවන්නේ නම් පරිසර සංරක්ෂණ ආයතනයක් හැටියට අප වඩාත් කැමැතියි. අපට පළිගැනීමේ චේතනාවක් නෑ. අප මේ කාරණය දෙස බලන්නේ පරිසරයට වඩා යහපතක් වන්නේ කෙසේද යන කාරණය දෙසයි.”

    පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා, මෙම තීන්දුව ප්‍රකාශයට පත් වීමෙන් පසු මෙම පිළිබඳ විවිධ පාර්ශ්ව හා සමාජ මාධ්‍ය ආදිය ඔස්සේ නිසි අවබෝධයකින් තොරව පළ වන ඇතැම් වාර්තා හා ප්‍රකාශ ගැන අවධානය යොමු කළේ මෙලෙසය.

    “මේ නැවත වන වගාව සඳහා කෝටි 50ක් වැනි මුදලක් වැයවන බව පවසමින් ගණන් ඉලක්කම් පවා ඇතැම් මාධ්‍යවල පළවුණා. නමුත් මේ නිකම්ම හිතල මෙපමණ මුදලක් දරන්න වෙනවා කියන්න පුළුවන් කාරණයක් නෙවෙයි.

    නැවත වන වගාවක් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. විශේෂයෙන් මේ වියළි කලාපයේ මෙවැනි වගාවක් ඇති කරල, එය රැකබලා ගැනීමත්, මීට අදාළයි. පැළවලට වතුර යෙදීමට සිදුවෙනවා. වනාන්තරයක් බවට පරිවර්තනය වීමට අවුරුදු 10ක් වත් මේ ගස් රැකබලාගත යුතුයි. ඒ සඳහා ශ්‍රමය පවා ගණනය කරන්න වෙනවා. අලින් මේ පැළ විනාශ කිරීම වළක්වා ගැනීමට ආරක්ෂක පියවරක් ගන්න වෙනවා. මේ ආදී සියල්ල ගණනය කරනකොට ඔය කියන ගණන් ඉලක්කම් වගේ කිහිප ගුණයක් මේ සඳහා වැය කිරීමට සිදු වේවි.

    නිශ්චිතවම මේ ගැන කියන්න නම් මෙය අධ්‍යයනය කළ යුතුයි. තවමත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එවැන්නක් සිදුකර නැති පසුබිමක අපට ඒ වියදම ගැන කතා කරන්න බෑ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් වියළි කලාපයේ අක්කර 3000ක පමණ කැලෑ වැවීම ලෙහෙසි පහසු කටයුත්තකුත් නෙවෙයි. ඒක කරන්න වෙන්නේ ඒ පිළිබඳ විශේෂඥයන්ගේ විද්වතුන්ගේ උපදෙස් ඇතිව.

    ඒ නිසා, ඒ කිසිවක් නොකර තිබීමම ගණන් ඉලක්කම් ගැන කතා කිරීම නොකළ යුතුයි. එහෙම නොවුණොත් වෙන්නෙ තව අවුරුදු 10ක් වත් මෙය රැක බලාගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මුදල් වැය කරන්න සිදු වීම. ඒ කියන්නෙ මහජන මුදල් එසේ නොවී තීන්දුව මඟින් නියම කර ඇති පරිදි චුදිතයාගෙන් මේ මුදල් අය කරගත යුතු වෙනවා. ඒක එහෙම වෙන්නෙ නෑ කියල පෙනුණොත් නැවත වරක් අපට අධිකරණයට යන්න වෙනවා. මේ දීල තියෙන ඇස්තමේන්තුවලට මේ තරම් වනයක් නම් වවන්න බෑ. මේක බොරුවක් කියලා….”

    වන සංරක්ෂක (ජෛව විවිධත්ව හා ජලාධාර සංරක්ෂණ) නිශාන්ත එදිරිසිංහ මහතාගෙන් මේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැන කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ, අභියාචනාධිකරණය දුන් නඩු තීන්දුවට අනුව ඉදිරි දෙමසක කාලසීමාව තුළ එම නියෝග ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවය.

    පරිසර යුක්ති කේන්ද්‍රය මේ කාරණය පිළිබඳ අධිකරණයට ගොස් වසර 5ක් තිස්සේ ඒ වෙනුවෙන් කළ කැපකිරීම හෑල්ලුවට ලක් නොකළ යුතුය.

    නඩු තීන්දුව මඟින්ද ඉතා පැහැදිලිව පෙන්වා දෙන පරිදි, පරිසරය හරියාකාර ආරක්ෂා කර ගැනීමට නොහැකි වුවහොත් මනුස්සයන්ගේ කිසිදු අයිතිවාසිකමක් හරි හැටි ආරක්ෂා කර ගැනීමට නොහැකි වනු ඇත. රජය හෝ පරිසර සංහාරයේ යෙදෙන අය හෝ අප කවුරුන් වුවද වඩාත් අවධානය යොමු කළ යුතු වන්නේ මේ ගැනය. අප කාගේත් අනාගත දරු පරම්පරාවලට ඊට අයිතිවාසිකමක් ඇති බැවිනි. අපි ඒ අයිතිවාසිකම ආරක්ෂා කර දිය යුතු වෙමු.

     

    ධම්මික සෙනෙවිරත්න

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here