ජපුර පර්යේෂණයෙන් හෙළිදරව් වන දෙවැනි රැල්ලේ නපුරු කතාව!

0
32

කොවිඩ් – 19 ගෝලීය වසංගතය ලොව පුරා පැතිරයමින්  ජීවිත ලක්ෂ ගණනකට මරණය ළඟාකර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීම ඇතිව ලෝකයේ විවිධ රටවල සිටින විද්‍යාඥයන් මෙම ආගන්තුක වයිරසය පිළිබඳව නිරන්තරයෙන් පර්යේෂණයන්හි නියැළී සිටිති.

ශ්‍රී  ලංකාවේ සිදුකෙරෙන කොරෝනා වයිරසය පිළිබඳ පර්යේෂණ සඳහා රාජ්‍ය අනුමැතිය ලද ප්‍රමුඛ ආයතනයක් වන්නේ ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍ය පීඨයේ (Department of Immunlogy and Molecular Medicine) ප්‍රතිශක්තිකරණය සහ අණ­ූක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවයි.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨය විසින් එළිදැක්වූ අලුත්ම පර්යේෂණ පත්‍රිකාව නොබෝදා නිකුත් විය. එම පර්යේෂණ වාර්තාව සම්බන්ධව රට තුළ විශේෂ උනන්දුවක් ඇතිවිය. ජපුර විශ්වවිද්‍යාලය හෙළි කළ කරුණු සම්බන්ධව වඩා ගැඹුරින් පාඨකයන් වෙත තොරතුරු ගෙන ඒම සඳහා අපි පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දික ජීවන්දර සමඟ සාකච්ඡා කළෙමු.

ආචාර්ය වෛද්‍ය චන්දික ජීවන්දර

“අපේ ආයතනය ශ්‍රී  ලංකා රජයේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලද ආයතනයක්. අපට එම අනුමැතිය ලැබුණේ 2020 ජුනි මාසයේ. විශේෂයෙන් මේ කාලය තුළ අපි මුල් තැනදී ක්‍රියා කරන්නේ කොවිඩ් සම්බන්ධ පර්යේෂණයන් සඳහායි. අපි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා ප්‍රතිදේහ (PCR) පරීක්ෂණ කරනවා. ඊට අමතරව අපි මුළු බර තබා  ක්‍රියාකරන්නේ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ සඳහා බව පැවැසිය යුතුයි. පසුගිය දිනවල මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් රෝගීන් බහුල ලෙස වාර්තාවීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශය අපෙන් ඉල්ලීමක් කළා නැවත PCR පටන් ගන්න. අපේ දැනුමේ හැටියට දැනට ලංකාවේ වැඩිපුරම ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකර තිබෙන්නේ ජපුර විශ්වවිද්‍යාලයේ අපේ ආයතනයයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර ඉතා වේගයෙන් පැතිරෙන්නට වූ විට සෞඛ්‍ය අමාත්‍යාංශය අපෙන් ඉල්ලා සිටියා එහි තිබෙන වයිරස් ප්‍රභේදය ගැන විශ්ලේෂණයක් කඩිනමින් සිදුකරන ලෙස. ඇත්ත වශයෙන්ම  එවැනි පර්යේෂණයක් සඳහා අවශ්‍ය කරන සියලුම පහසුකම් අපේ රසායනාගාරයේ තිබුණා. පසුගිය ජුනි මාසයේ මේ ආයතනය පිහිටුවන අවස්ථාවේ අපි රජයට යෝජනා මාලාවක් ඉදිරිපත් කර රසායනාගාරයට අවශ්‍ය සියලු උපකරණ ලබාගත්තා. මුදල් අමාත්‍යාංශය මේක ඵලදායී ව්‍යාපෘතියක් ලෙස නිවැරදිව හඳුනාගත් නිසා අපට ප්‍රමාදයකින් තොරව පහසුකම් ලබාගත හැකිවුණා.

මේ දක්වා ශ්‍රී  ලංකාවේ මතු වූ සෑම කොවිඩ් – 19 පොකුරක් සම්බන්ධව අපි ප්‍රභේද හඳුනාගැනීමේ පර්යේෂණ සිදුකර තිබෙනවා. කොවිඩ් 19 රෝගය ඇති කිරීමට ඉවහල්වන SARS – COV- 2 වයිරසය පිළිබඳව ලෝකය පුරාම පර්යේෂණ සිදු කෙරෙනවා. ඒ පර්යේෂණ අතර මුල් තැනක් ගත්තේ වයිරසයේ ප්‍රවේණි ද්‍රව්‍ය සමූහය වෙනත් ආකාරයකට තියෙනවා නම් වයිරසයේ ගෙනෝමය අනාවරණය කර ගැනීමයි. මුල්වරට එය චීනයේ සිදුකෙරුණේ. මේ වන විට ලොව පුරා රෝගීන් 52,000කගේ පමණ ලබාගත් වයිරස ප්‍රමාණයක ගෙනෝමය අනාවරණය කරගෙන තිබෙනවා. එහි තිබෙන වාසිදායක තත්ත්වය වන්නේ කලින් කලට වයිරසයේ (SARS – COV-2) ප්‍රවේණික ද්‍රව්‍ය අනුපිළිවෙළේ ඇති වන වෙනස්කම් නිවැරැදිව හඳුනාගත හැකිවීමයි. රෝගයට ප්‍රතිකාරයක් ලෙස එන්නතක් සොයා ගැනීමේදී මෙම වර්ධනය සහ විචල්‍යතාවන් නිවැරැදිව හඳුනා ගැනීම ඉතාමත් වැදගත්.

SARS – COV-2 වයිරසයේ ප්‍රවේණික ද්‍රව්‍ය වන්නේ RNA යන තනිදාම නියුක්ලියෝටයිඩ් වර්ගයයි. එය ප්‍රධාන වශයෙන් එකිනෙකට වෙනස් නියුක්ලියෝටයිඩ් වර්ග 4කින් සමන්විත (A, G, N, , සහ O ලෙස එකිනෙකට වෙනස්) දම්වැලක් වැනි බහු අවයවයකි. SARS – COV-2 වයිරසයේ ප්‍රවේණි ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරන සමස්ත RNA දාමයේ මුළු දිග නියුක්ලියෝටයිඩ් 30,000ක් පමණ වේ.

අපි දැනට පර්යේෂණයන් සඳහා යොදා ගන්නේ නෙක්ස් සීක් සහ අයි සීක්ස් මැෂින් වර්ග දෙක. මෙවර අපි හඳුනා ගත් වයිරස් එකේ විශේෂ ඉමියුටේෂන් එකක් තියෙනවා. ඒ වයිරස් එක පැතිරෙන වේගය ඉතා වැඩියි. එය පැහැදිලි කරනවා නම් ජානවල සැකැස්මේ වෙනසක් තියෙනවා. ඒක ජාන විකෘතියක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ අනුව SARS – COV-2 වයිරසයේ මේ වන විට ඇති වී තිබෙන විකෘතිය D614G වශයෙන් හඳුන්වන්නට පුළුවන්. වයිරසය වේගයෙන් පැතිරීමට ඉවහල් වන්නේ මෙම විකෘතියයි. වයිරසය කිසියම් පුද්ගලයකුට ආසාදනය වූ විට වයිරස් ලෝඩ් එක වැඩි වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ වයිරසය එක් පුද්ගලයකුගෙන් තවත් අයකුට පැතිරීම වේගවත් වෙනවා.

වයිරසය කොපමණ වේගයකින් පැතිරෙනවාද යන්න නෙවෙයි අපේ පර්යේෂණයට පාදක වන්නේ. ඉහත සඳහන් කළ විකෘතිය හේතුවෙන් වයිරස් ප්‍රමාණයේ ශීඝ්‍ර වර්ධනයයි. අපි මෙම පර්යේෂණය සඳහා ස්ථාන 16කින් ලබාගත් සාම්පල් යොදා ගත්තා. බ්‍රැන්ඩික්ස් ආයතනය, මාළු මාර්කට් එක, කොළඹ නගර සභාව ආදී ස්ථාන ඊට අයත් වෙනවා. සම්පූර්ණ ස්වික්වන්සි ආවේ 13යි. එයින් 12ක්ම එකිනෙකට සමානයි. මෙහිදී පැහැදිලි කළයුතුයි පසුගිය අප්‍රේල් සහ මාර්තුවල වයිරස් පර්යේෂණයට භාජනය කළ විට අපි දැක්ක වයිරස් එකිනෙකට වෙනස්. අපට දකින්න ලැබුණේ වෙන වෙන පවුල්වල වයිරස්. නමුත් මෙවර අපි දකින්නේ එකම ස්විකන්සි එකක් තියෙන වයිරස්.

වයිරසයක් විභේදනය වන්නේ ශරීරයට ඇතුළුවීමෙන් පසුවයි. වයිරසයක් ශරීරයකට ඇතුළු වී සාමාන්‍යයෙන් සති දෙකකට පසුව විභේදනය වෙන්න පුළුවන්. ඒක අපි අවබෝධ කර ගැනීම වැදගත්. පුද්ගල ප්‍රතිශක්තිය අනුව මෙම වෙනස්වීම් තීරණය වෙනවා. වයිරස් පරිසරයට අනුවර්තනය වීමේදී ඒවාගේ පොඩි පොඩි වෙනස්කම් ඇති වෙනවා. ඒක වයිරසයේ කල් පැවැත්ම තබා ගැනීම සඳහා ස්වාභාවිකව සිදුවන්නක්. අපි දිගටම මේ පරීක්‍ෂණ සිදුකරගෙන යනවා. ලබන සතියේ තවත් සාම්පල් අපි ලබා ගන්නවා. මෙහිදී අපි සොයාගත් SARS-Cov-2  වයිරසය B1 42  පෙළපතට අයත් වෙනවා. ඒ ප්‍රභේදය යුරෝපා රටවල තමයි බහුල වශයෙන් පැතිර යන්නේ. අප එසේ සඳහන් කිරීමෙන් කිසිසේත්ම අදහස් වෙන්නේ නැහැ මෙවර කොවිඩ් 19 යුරෝපා රටකින් ලංකාවට පැමිණියා කියා. මොකද මේක යුරෝපයෙන් ආවද, ඉන්දියාවෙන් ආවද, වෙනත් රටකින් ආවද කියන කාරණය ගැන අපි පර්යේෂණයක් සිදුකර නැහැ.

ඒ නිසා එවැනි මතයක් ගොඩනැඟීමට දායක වෙන්නේ නැහැ. මම හොඳ උදාහරණයක් දෙන්නම්. ඇපල් ෆෝන් එකක් ගන්න. ඒක හදන්නෙ එක රටක. නමුත් ඕනම රටකින් මිලදී ගන්න පුළුවන්. ඇපල් ෆෝන් චීනය, ඉන්දියාව, ඇමෙරිකාව, එංගලන්තය ඕනෑම රටකින් ගන්න පුළුවන්. ලංකාවේදී ඇපල් ෆෝන් එකක් අතේ තියාගෙන මේක චීනෙ එකක්, මේක ඉන්දියාවෙ එකක් කියන්න බැහැනෙ. ඒවගේ තමයි මේ වයිරසයේ ඔර්ජින් එක කොහේද කියලා අපි දන්නේ නැහැ. යුරෝපා රටවල මේ වයිරස් ප්‍රභේද බහුලව තිබෙන බව අපට කියන්න පුළුවන්.

ඒ ප්‍රභේදය තව ටික දිනකින් ඇමෙරිකාව, ඉන්දියාවෙ නැත්නම් ඊශ්‍රායලයේ වැඩි වෙන්නත් පුළුවන්.

යුරෝපයෙන් ලංකාවට ආව කියලා අපට තහවුරු කරන්න බැහැ. අද මේ වයිරස් ඛණ්ඩය ලංකාවෙ තිබුණට ඉදිරියේදී එයත් වෙනස් වෙන්න පුළුවන්. ඒක හරියට ඩේටා බේස් එකකට ඩේටා අලුතෙන් එකතු වෙන්න වෙන්න ඒක ප්‍රතිචාර දක්වනවා වගේ වැඩක්. අද තියෙන තත්ත්වය ටික දිනකින් වෙනස් වෙනවා. අපට මේ මොහොතේ වැදගත් වෙන්නේ වයිරසයේ සිදුවූ මෑත කාලීන පරිවර්තනය අපේ පර්යේෂණය මඟින් ඉතා විධිමත් ආකාරයට විශ්ලේෂණය කොට අදාළ සියලුම අංශවල දැනුවත්වීම සඳහා පිළිගත් විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම. මේ තත්ත්වය යටතේ අපි පරෙස්සම් වීම ඉතා වැදගත් බවයි අපි ජනතාවට කියන්නේ”

මෙම පර්යේෂණය සඳහා ජ’පුර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ Immunologe and Molecular Medicline  මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ, ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර, වෛද්‍ය දේශානි ජයතිලක, වෛද්‍ය දිනුකා ආරියරත්න, ලක්සිරි ගෝමස්, දියනාත් රණසිංහ සහභාගිත්වයෙන් සහ මහාචාර්ය නිලිකා මලවිගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

අවශ්‍ය සාම්පල (නියදි) ලබාදීම සඳහා වසංගත රෝග නිවාරණ වෛද්‍ය මධ්‍යස්ථානය සහ කොළඹ නගර සභාව දායක වී ඇත.

මූල්‍ය දායකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය අනුග්‍රහයෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here