ඩයිනසෝර් වඳ නොවුණා නම්…

    0
    8

    මීට වසර මිලියන 66කට පෙර කිලෝමීටර 14ක් පළලැති අතිදැවැන්ත උල්කාවක් පෘථිවිය මතට ඇදවැටීමෙන්, එතෙක් මිහිතලයේ ආධිපත්‍යය දැරූ උරග දැවැන්තයන්ගේ අවසානය සිදු වූ බව නොරහසකි. ට්‍රියාසික්, ජුරාසික්, ක්‍රිටේෂස් යනාදි යුග ගණනාවක් පුරා මිහි මත සැරි සැරූ මේ ශීත රුධිරධාරි බිහිසුණු උරග දැවැන්තයන්ගේ විනාශය එලෙස සිදු නොවූණා නම්, මිනිසාට කිසිදා මිහිතලයේ පාලකයන් වන්නට අවස්ථාව නොලැබෙන්නට තිබිණි. එදා එලෙස ඇදවැටුණු උල්කාවෙන් ඩයිනසෝරයන්ගේ වඳව යෑම හෙවත් නෂ්ට වීම සිදු නොවුණා නම්, මිනිසාගේ ඉරණම කෙසේ විසඳෙන්න ඉඩ තිබිණි ද?

    වර්තමානයේ මෙක්සිකෝවේ යුකාටන් අර්ධද්වීපය ලෙස සැලකෙන ස්ථානයේ පිහිටි නොගැඹුරු සයුරක් මතට එදා ඇදවැටුණු උල්කාවෙන් හටගත් ටොන් බිලියන 15ක ප්‍රමාණයේ දැවැන්ත දූලි වලාවෙන් පෘථිවි වායුගෝලය වැසී යද්දී, ඉන් හට ගත් ගනඳුර වසර ගණනාවක් පුරා අඛණ්ඩව පැවතිණි. පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 28 දක්වා පහළ බසිද්දී, හිරු එළිය බිඳක් නොදුටු පෘථිවිය මත වූ ශාක ප්‍රජාවේ පැවැත්මද අහෝසිව ගියේය. එවන් කටුක පාරිසරික තත්ත්වයන්ට අමතරව උල්කාව පතිත වීමේ අතුරු ප්‍රතිඵල ලෙස හටගත් භූමිකම්පා, සුනාමි, ළැව් ගිනි හා ගිනි කඳු පිපිරීම් වැනි ව්‍යසන හමුවේ ඩයිනසෝරයන් මතු නොව, සුනඛයකුට වඩා විශාල එකදු සත්ත්වයකු හෝ දිවි ගලවාගත්තේ නැත.

     

    කුරුලු මීමුත්තා

    මිහි මත විසූ ජීවි විශේෂයන්ගෙන් හතරෙන් තුනක්ම නෂ්ටව යද්දී ඩයිනසෝරයන් අතුරින් පියාපත් සහිත තෙරොපොඩ් ඩයිනසෝරයෝ පමණක් සිය පැවැත්ම රැකගත්තෝය. අද ජීවත් වන පක්ෂීන් පැවත එන්නේ මේ තෙරොපොඩ් ඩයිනසෝරයන්ගෙනි. එහෙත් පක්ෂීන්ට අමතරව ටීරෙක්ස්, ට්‍රිසරට්‍රොප්ස් වැනි සෙසු උරග දැවැන්තයන්ද යම් විදිහකින් ක්‍රිටේෂස් යුගය ඉක්මවා වත්මන් සීනොසොයික් යුගයට සිය පැවැත්ම පවත්වාගෙන ආවා නම්, ලෝකය කෙබඳු ස්ථානයක් වනු ඇති ද?

    එය සිදු නොවිය හැක්කක් නොවන බව විද්‍යාඥයන් ද තහවුරු කර තිබෙන්නේ විද්‍යාත්මක පැහැදිලි කිරීම් සහිතවය. නිදසුනක් ලෙස: එකී උල්කාව නොගැඹුරු සයුරු තලය මතට නොව, ඊට මීටර කිහිපයක් ඔබ්බෙන් ගැඹුරු මුහුදට කඩාවැටුණා නම් හෝ ඝට්ටනය එය වූ වේලාවට වඩා මිනිත්තු කිහිපයක් ඉස්සර වූවා නම්, ලැබෙන ප්‍රතිඵලය හාත්පසින්ම වෙනස් වන්නත්, බොහෝ විට එය ඩයිනසෝරයන්ගේ ජීවිත අවදානමට ලක් නොකරන්නත් ඉඩ තිබිණි. ඩයිනසෝරයන් මුළුමනින්ම වඳව ගියායැයි කීමටද හැකියාවක් නැත. මන්ද යත්: අද සිටින පක්ෂීන් යනු ද්විපාද තෙරොපොඩ් ඩයිනසෝරයන්ගෙන් පැවත එන්නවුන් නිසාය. කොටින්ම වර්තමානයේ ක්ෂීරපායින් මිහි මත ආධිපත්‍යය දැරූවද සංඛ්‍යාත්මකව ගත් කල ක්ෂීරපායින් මෙන් දෙගුණයකටත් වඩා වූ පක්ෂි විශේෂ සංඛ්‍යාවක් මිහි මත වෙසෙත්. ඩයිනසෝර් යුගය මුළුමනින්ම අහෝසිව ගොස් නැති බවට ඒ හැර අන් සාක්ෂියක් අවශ්‍ය නැත.

     

    ඩයිනෝ පාක්

    ක්‍රිටේෂස් යුගයේ අවසන් භාගයේ මිහි මත සැරි සැරූ දැවැන්තම මාංස භක්ෂක ඩයිනසෝරයන් කාණ්ඩ දෙක ලෙස සැලකෙන ටිරානොසොවුරස් හා ඇබෙලිසවුරයන් ක්‍රිටේෂස් යුගය අවසන් කොට වත්මන් සිනොසොයික් යුගය (මීට වසර මිලියන 66කට පෙර ඇරඹී අද දක්වා දිවෙන්නා වූ යුගය) කරා පරිණාමය වනු ඇත. එකී පරිණාමයේදී ඔවුන් ද තෙරොපොඩ් ඩයිනසෝරයන් මෙන් ද්විපාද තත්ත්වයට පරිවර්තනය වී සිටින්න ද පුළුවන. දඩයමේදී සැලකිය යුතු දායකත්වයක් නොදැක්වූ, ප්‍රමාණයෙන් බෙහෙවින්ම කුඩා ඉදිරිපස ගාත්‍රා පරිණාමන ක්‍රියාවලියේදී ක්ෂය වී ගොස් තිබෙන්න ද පුළුවන. මාංස භක්ෂකයන් පමණක් නොව, ටිටනෝසවුර සවුරපොඩ් (දිගු ගෙල සහිත දැවැන්ත ආර්ජන්ටිනෝසවුරස් වැනි), හැඩ්‍රොසවුරස් (තාරා හොටැති එඩ්මොන්ටොසවුරස් වැනි), සෙරටොප්සියන් (අඟ හා හොට සහිත ට්‍රිසරට්‍රොප්) වැන්නවුන් සුලබව දැකගන්නට බැරි නැත. එහෙත් ක්‍රිටේෂස් යුගයේ සිට සිනොසොයික් යුගය දක්වා පරිණාමය වීමේදී මීට වසර මිලියන 66කට පෙර තිබුණාට වඩා ශරීර ස්වභාවයෙන් මොවුන් බෙහෙවින් වෙනස් වන්නද බැරි නැත. ඒ සියලු දැවැන්තයන් අතර මිනිසාට පරිණාමය වීමට අවකාශයක් ලැබිය හැකි ද යන්න සැක සහිත වුවද, මානව හා ෆොසිල විද්‍යාඥයන්ට අනුව එය විය නොහැක්කක් නොවේ.

    දැනට ද දැවැන්ත භයානක මාංස භක්ෂකයන් සමඟ එකම පරිසර පද්ධතියක ජීවත් වීමට තරම් මුහුකුරා ගිය බුද්ධියකින් යුතු මානවයන් වෙතින් ඩයිනසෝරයන් දඩයමට ලක් වුව හොත් එයද පුදුමයට කරුණක් නොවේ. ඇතැම් විට ඩයිනසෝරයන්ට ද ලොම් සහිත මැමත් හා ඩෝඩෝ පක්ෂීන්ට අත් වූ ඉරණමම අත් වන්න ද බැරි නැත. හැඩ්‍රොසවුරස් වැනි අතිදැවැන්ත දේහ ස්කන්ධයකින් යුතු ශාක භක්ෂක ඩයිනසෝරයන්ට වුවද සිය අවශ්‍යතාවට ප්‍රමාණවත් ශාකාහාර සපයාගැනීම ගැටලුවක් වීම ද ඔවුන් වඳව යෑමේ ප්‍රවණතාව ඉහළ නංවන්නකි. බොහෝ විට 21 වැනි සියවසේ ඩයිනසෝරයන් ද ජුරාසික් උයන බඳු අභය භූමි හා වනෝද්‍යානවලට පමණක් සීමා වූ සත්ත්ව කොට්ඨාසයක් වන්න ද බැරි නැත.

     

    ඩයිනො ඩ්‍රෝනර්

    එහෙත් මිනිසා ඇතුළු ක්ෂීරපායින්ගේ සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා ශරීර, දැවැන්ත මාංස භක්ෂක ඩයිනසෝරයන් සමඟ එකට ජීවත් වීමේදී අභියෝගයක් වනු ඇත. මීට වසර මිලියන 30කට පෙර සිනොසොයික් යුගයේ මැද භාගයේදී පමණ වත්මන් නූතන දේහ ස්වරූපයන්ට ක්‍රමයෙන් පරිණාමය වූ ක්ෂීරපායින්ගේ එකී ස්වරූප මේ දක්වා සැලකිය යුතු වෙනසකට භාජනය වී නැත. එබැවින් ඩයිනසෝරයන් වඳව නොගිය ද ක්ෂීරපායින්ගේ ස්වරූපයේ සැලකිය යුතු වෙනසක් බලාපොරොත්තු වන්නට නොහැකිය. මෙසොසොයික් යුගයේ සිටි පිහිනීමට සමත් ජලජ ක්ෂීරපායි, පියාසර ක්ෂීරපායි සේම කුඩා ප්‍රමාණයේ ඩයිනෝසරයන් ආහාරයට ගැනීමට සමත් ක්ෂීරපායින්ගෙන්ද මෙකල අඩුවක් නොවනු ඇත. මොසාසවුරයන් හා ප්ලෙසියෝසවුරයන්ගෙන් සාගර පිරී යද්දී, දැවැන්ත ටෙරොඩැක්ටිලාවුන් ඩ්‍රෝනර් යානා සේ ගුවනේ පියා සරනු ඇත. එහෙත් ඊට සාපේක්ෂව පක්ෂි ගහනය වර්තමානයේ මෙන් විවිධත්වයකින් අනූන නොවනු ඇත.

    ගොඩබිම තත්ත්වය ගත් කල සිය පැවැත්ම සම්බන්ධයෙන් වඩාත් සාර්ථක වනු ඇත්තේ මිනිසා සමඟ සහජීවනයෙන් ජීවත් විය හැකි සාපේක්ෂව කුඩා ප්‍රමාණයේ ඩයිනසෝරයෝය. ශරීර ප්‍රමාණය, පැවැත්ම සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් වන්නේ ශාක භක්ෂකයන්ටය. ඒ, දේහ ස්කන්ධයට සරිලන ශාක ආහාර ලබාගැනීම මිනිස් ජනගහනයේ වර්ධනයත් සමඟ දුෂ්කර වන නිසාය. මිනිසාට තර්ජනයක් නොවන ඩයිනසෝරයන් ගොවිපළ මට්ටමින් හෝ ගෘහාශ්‍රිත ලෙස ඇතිදැඩි කිරීමට පවා මිනිසා පෙලඹෙන්න බැරි නැත.

     

    කිරට-මසට ඩයිනසෝර්

    කිරි, මස්, බිත්තර සේම කෘෂිකාර්මික කටයුතු සඳහා ශ්‍රමය ලබාගැනීමට ද ඩයිනසෝරස් පශු සම්පත වැදගත් වනු ඇත. ඇතැම් විට ප්‍රමාණයෙන් කුඩා ඩයිනසෝරයන් ගෘහාශ්‍රිත සුරතලුන් ලෙසත්, සර්වභක්ෂක හා විලෝපික තෙරොපොඩ් ඩයිනසෝරයන් කසළ බුදින්නන් ලෙසත් මිනිස් ජනපද ආශ්‍රිතව ගැවසෙනු ඇත.

    එහෙත් යම් හෙයකින් උල්කාවක් පතිත වීමෙන් ඩයිනසෝරයන් විනාශව නොගියා නම්, මිනිසා ඇතුළු ක්ෂීරපායින්ට සෙසු සියලු සත්ත්වයන් අබිබවා ඔවුන් දැන් හිමි කරගෙන සිටින තත්ත්වයට ළඟා වීමට ඉඩහසර ලැබේවි ද? කවර උපකල්පන දැරුවද එය බෙහෙවින්ම සැක සහිතය. උල්කාව කඩාවැටෙන්න පෙර වසර මිලියන 160ක් මුළුල්ලේම ක්ෂීරපායින් ඩයිනසෝරයන් හා එකම පරිසර පද්ධතියක ජීවත් වූයේ ඔවුන්ගේ බල පරාක්‍රමයට නතුව, මුලුගැන්වුණු කුඩා දුබල ජීවි කොට්ඨාසයක් වශයෙනි. වසර මිලියන 160ක්ම එලෙස ජීවත් වූ ක්ෂීරපායින් තවත් වසර මිලියන 66කදී ඩයිනසෝරයන් අබිබවා යෑමට සමත් වේයැයි සිතීම පවා සැබවින්ම හිතලුවක් පමණි. එබැවින් ඩයිනසෝරයන් යම් හෙයකින් වඳව නොගියා නම් අදට ද මිහි මත රජ කරනු ඇත්තේ විලෝපික උරග දැවැන්තයන්ගේ අණසක මිස, මිනිස් විජිතය නම් නොවේ.

     

    (What If යූටියුබ් චැනලය ඇසුරෙනි)

    රුක්ලන්ති පෙරේරා 

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here