දරුවකුත් බඩ දරන් කොරෝනා භීෂණයේ මිනී 05ක් වළලපු ග්‍රාමසේවක අම්මා!

0
39

රටට ණය නැති රටට බරක් නැති රාජ්‍ය සේවකයන් රටට සම්පතකි. රාජකාරිය දේවකාරිය කරගත් රාජ්‍ය සේවකයන් නිසා අප රටේ මහත් ව්‍යසනයන් තුළදී පවා සිදුවන හානි අවම කර ගනිමින් රට යථා තත්ත්වයට පත්කර ගැනීමට අවකාශ ලැබිණි. එය ඉතිහාසයේ පවා සිට දැකිය හැකි ලක්‍ෂණයකි. මෙරට රාජ්‍ය සේවය එතරම් ඇගයීමකට ලක් නොවේ. ඒ රාජ්‍ය සේවය තුළ සිටින අතළොස්සක් දූෂිත නිලධාරීන්, දූෂිත සේවකයන් හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවයම අපකීර්තියට පත් කිරීම හේතුවෙනි. මෙරට ත්‍රස්තවාදය, ගංවතුර, සුනාමි ව්‍යසන ආදී තත්ත්වයන් තුළ මෙන්ම මේ වන විට උද්ගතවී ඇති කොරෝනා ව්‍යසනය තුළදීද රාජ්‍ය සේවකයන් දිවි දෙවනුව තබා දේවකාරිය කරගත් අවස්ථා දක්නට ලැබේ.

එමෙන්ම ග්‍රාම නිලධාරි චරිතයද ජනතාව සමඟ ඉතා කිට්ටුවෙන් සමීප සම්බන්ධතා පවත්වන පරිපාලන ක්‍ෂේත්‍රයේ අවසන් සාමාජිකයා විය. ගම්මුලාදෑනියාගෙන් ආරම්භ වී ග්‍රාමසේවක මෙන්ම ග්‍රාම නිලධාරි යන වගකීම් විටෙන් විට කරට ගත් රාජ්‍ය නිලධාරීයාගෙන් සිවිල් සමාජයට ලැබෙන සේවයද අපිරිමිතය. එවන් පසුබිමක ගර්භණී මාතාවක් වූ ග්‍රාම නිලධාරිනියක් එක් දිනක් තුළ හඳුනා නොගත් මළ සිරුරු පහක් භුමදානය කළ පුවතක් රට පුරා රැව් දෙන්නට වූයේ බලපිටිය ප්‍රදේශයෙන්ය.

ඒ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන බලපිටිය මහ රෝහල අයත් ග්‍රාම සේවා වසම වන 89ඒ, වලගෙදර වසම අයත් ග්‍රාම නිලධාරිනී ආර්.එම්. ඉෂාරා දිල්හාරි මහත්මිය පිළිබඳවයි.

බලපිටිය මහ රෝහලේ ඉකුත් නොවැම්බර් පස්වැනි දිනට තිබූ මරණ පරීක්‍ෂණවලදී හඳුනා නොගත් මළ සිරුරු දෙකක් සහ 1990 ගිලන් රථ සේවය මඟින් ගෙන ආ රෝගීන් හා මියගිය පුද්ගලයන් තිදෙනකු ඇතුළු පස්දෙනකුගේ සිරුරු එදින භාර ගැනීමට කිසිදු ඥාතියකු පැමිණ නැත. මේ කිහිප දෙනකු පිළිබඳ විස්තර පවා නොදන්නා බැවින් එම මළ සිරුරු රජයේ ප්‍රතිපාදන මත භුමදානය කිරීම සිදු කිරීමට නියමිත විය.

එම කාර්ය බොහෝ කාලයක සිට මෙරට සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියකි. මරණකරුගේ දේහය භාර ගැනීමට කිසිවකු නොමැති විටත් කිසිවකු ඉදිරිපත් නොවන අවස්ථාවේ රජයේ වියදමින් මිහිදන් කිරීම සිදුකරයි. එය ඕනෑම රෝහලක් පිහිටි ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාම නිලධාරිවරයාට පැවරෙන රාජකාරියකි. ඒ සඳහා සුළු වශයෙන් ප්‍රතිපාදන වෙන් වන අතර මහත් පරිශ්‍රමයකින් යුතුව එම ප්‍රතිපාදන සීමාව තුළ ආසන්නතම සුසන භුමියේ මිහිදන් කිරීමට ග්‍රාම නිලධාරිවරයා වග බලා ගත යුතුය. නොවැම්බර් පස්වැනි දිනය උදාවිය. බලපිටිය මහ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂණ මෙන්ම මහෙස්ත්‍රාත් පරීක්‍ෂණවලින් පසු මෙම මළ සිරුරු 05 භාර ගැනීමට කිසිවකු නොවීය. ඒ හේතුවෙන් බලපිටිය මහ රෝහල අයත් වලගෙදර ග්‍රාමසේවා නිලධාරිනියට එම මෘත දේහ පහ භාරදී තිබේ. මෙම ග්‍රාම නිලධාරිනිය ඒ වන විට දෙවැනි දරු ප්‍රසූතියට සූදානමින් හය මස් ගැබිනියක් ලෙස සේවය කරමින් සිට ඇත. එම මළ සිරුරු පහ ග්‍රාම නිලධාරිනිය විසින් එම සිරුරුවල මුහුණු හොඳින් බලා මතක තබා ගත යුතුය. එමෙන්ම එම සිරුරුවල පිහිටීම, ශරීර ලක්‍ෂණ, ඇඳ සිටි වස්ත්‍ර ආදිය පිළිබඳ හොඳ මතකයක් තබාගත යුතුය. ඊට අමතරව දැනට පහසුකම් ඇති ජංගම දුරකථන මඟින්ද ඡායාරූප ගතකර වාර්තා සැකසිය යුතුය. ඊට හේතුව පසු කාලීනව අධිකරණ නියෝගයකට අනුව එම දේහය නැවත ගොඩගැනීමට සිදුවුවහොත් ඒ පිළිබඳ තොරතුරු ලබාදීමට ග්‍රාම නිලධාරිවරයා බැඳී සිටින බැවිනි. ඊට අමතරව සුසාන භුමියේ මිහිදන් කළ දේහ සහිත සොහොන කිසියම් ස්ථානීය සලකුණු යොදා කාගේ සොහොනද යන්න මතක තබා ගත යුතුය. විශේෂයෙන්ම මෙම මළ සිරුරු “හඳුනා නොගත් මෘත දේහ” නමින් හඳුන්වන අතර කිසියම් සංකේතයකින් දේහය හඳුනා ගනී.

මෙම ග්‍රාම නිලධාරිනියට පැවරුණු රාජකාරිය ඉතා අපහසු වූත් විශේෂයෙන් ගර්භණී මවකට සිදුකරන්නට අසීරු වූත් කර්ත්‍යවයකි. එහෙත් ඇය සියල්ලටම වඩා රාජකාරිය දේවකාරිය කරගෙන වහා නගරයේ ඇති මල්ශාලාවකට ගොස් මෙම දේහ බලපිටිය රෝහලේ සිට සුසන භූමිය දක්වා ප්‍රවාහනය කිරීමට සහ මෘත දේහ තැන්පත් කිරීමට මිනී පෙට්ටි ආදිය සකසා ගත්තාය. එහෙත් එක් විටෙක ප්‍රවාහනය කරනුයේ මෘත දේහ දෙකක් බැවින් අවස්ථා තුනකදී මෙම මළ සිරුරු රැගත් පෙට්ටි ප්‍රවාහනය කිරීමට සිදුවිය. පසුව ප්‍රාදේශීය සභාවේ අවසරයෙන් පසු මේ මෘත දේහ සුසාන භුමියේ වෙන් වෙන්ව වළවල් කපා මිහිදන් කිරීම සිදුකරයි. ප්‍රතිපාදන ඉතා අඩු බැවින් හැකි තරම් වියදම අඩුවන පරිදි මෙම ක්‍රියාවලිය ග්‍රාම නිලධාරි විසින් සිදුකළ යුතුය. හයමස් ගැබිනියකට මෘත දේහ පහක් මිහිදන් කිරීමේ වගකීම දැරීමට සිදුවීම එක්තරා බියකරු කතාවකි. විශේෂයෙන්ම ගර්භණී අවස්ථාවක රෝහලක මෘත දේහාගාරයට යෑම, මරණ පරීක්‍ෂණයට සූදානම් කළ සිරුරු ආසන්නයේ රැඳී සිටීම, සුසාන භූමියේ බොහෝ කාලයක් රැඳී සිටීම වැනි ඉතා අපහසු කාර්යයන්හිදී පවා ඇය පුදුම ධෛර්යයකින් කටයුතු කළාය. තමා වැටුප ලෙස ලබා ගන්නේ මහජන මුදල් බවත් එම වැටුපට ණය නොවන ලෙස රාජකාරිය කිරීම තම අභිමානය බවත් ඇය නිතර නිතර සිතන්නට වූවාය. මේ පිළිබඳ ‘මව්බිම’ ඉරිදා පුවත්පත මඟින් ඇයගෙන් කරුණු විමසූ විට ඇය පැවැසුවේ ‘අනේ මහත්තයෝ මට අදහස් පවසන්න බැහැ. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයකු ලෙස ආයතන සංග්‍රහයට එම නීතිරීතිවලට බැඳී සිටිනවා. ඒ නිසා උසස් නිලධාරීන්ගෙන් ඉහළ නිලධාරීන්ගෙන් අවසරයක් නැතිව මට මාධ්‍යවලට අදහස් දක්වන්න බෑ. මට ආයතන නීතිරීති උල්ලංඝනය කරන්න බෑ” යනුවෙනි. ඒ තුළින්ම ඇය රාජකාරිය දේවකාරිය සේ සලකන නිලධාරීනියක් බව තව තවත් තහවුරු විය.

එහෙත් අප ඇසුවේ ‘එහෙම නොවෙයි මිස් ඔබ ගර්භණී මවක්. ඒ වගේම කාන්තාවක් නිසා හොල්මන්, අවතාර වැනි දේ විශ්වාස කරනවාද? ඔබ කනත්තට යන විට කිසියම් බියක් ඇති වුණේ නැද්ද’ යනුවෙනි.

එවිට ඇය පැවැසුවේ “ඒ ගැන හිතේ චකිතයක් නැතිවම නොවේ මහත්තයෝ. ඒත් රාජකාරියනේ” යනුවෙනි.

නමුත් ඇය බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන කා සමඟත් ඉතා ළෙන්ගතුව අවංකව සේවය කරන නිලධාරිනියකි. එම නිසාම ඇයට සහෝදර නිලධාරීන්ගෙන් මහත් ශක්තියක් ලැබුණු බව පරිපාලන ග්‍රාම නිලධාරිනී වික්‍රමසිංහ මහත්මිය පැවැසුවාය.

“මේ ග්‍රාම නිලධාරිනියට සහෝදර ග්‍රාම නිලධාරීන් ගොඩක් උදවු උපකාර කරනවා. ඇය මේ වන විට ගර්භණී මවක්. මගේ පරිපාලන ග්‍රාමසේවා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් පනස්දෙකක් පමණ ඉන්නවා. ඇය ඒ අතර ඉතාම අවංක සේවයට කැපවූ තැනැත්තියක්.”

කෙසේ වෙතත් බලපිටිය ප්‍රාදේශීය ලේකම් අනුරාධි මහත්මිය ඇතුළු නිලධාරීන් රාජ්‍ය සේවකයන් ලෙස තම සේවාදායකයන් වෙනුවෙන් අසීමිතව සිදුකරන කැපවීම ජනතා ප්‍රසාදයට ලක්ව තිබේ.

මාතර – උදය කුමාර රණවීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here