නුවර අධිවේගයේ වැඩ ඇරඹීමේ පමාවෙන් කෝටි 800ක් පාඩුවෙයි

0
29

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ වැඩකටයුතු ආරම්භ කිරීම 2015 සිට 2019 දක්වා ප්‍රමාද වීම හේතුවෙන් රුපියල් බිලියන 8ක (කෝටි 800) අලාභයක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී 20දා හෙළි විය.  මෙම අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී අක්‍රමිකතා රැසක් සිදුව ඇති අතර, එහි ශක්‍යතා අධ්‍යයනයට පමණක් රුපියල් බිලියන 1.7කට (කෝටි 170)වැඩි මුදලක් වැය කර ඇති බවත් එහිදී අනාවරණය විය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසිවැනිදා රැස්වූ අතර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ,රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන, එරාන් වික්‍රමරත්න, ජගත් පුෂ්පකුමාර, ප්‍රේමනාත් සී. දොලවත්ත, රන්ජන් රාමනායක, ඩී.වී චානක යන මහත්වරු සහභාගී වුහ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු ශක්‍යතා අධ්‍යයනය සඳහා එස්. එම්. ඊ. සී නම් සමාගම තෝරා ගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සිදුව ඇති බව අනාවරණය විය.

2012 දී උතුරු අධිවේගි මාර්ගය ලෙස පියවර 03ක් යටතේ පැවැති ව්‍යාපෘතිය 2015 වර්ෂය වන විට මධ්‍යම අධිවේගී මාර්ගය ලෙස පියවර 04ක් යටතේ වෙනස්ව තිබේ.

මේ අනුව එඩේරමුල්ල සිට මීරිගම දක්වා ඉදිකිරීමට තිබූ මාර්ගය කඩවත සිට ඉදිකිරීමට තීරණය කොට ඇති අතර, එම තීරණය නිසා තවත් ශක්‍යතා අධ්‍යන කිහිපයක් විශාල මුදලක් වැය කොට සිදු කර ඇත. වසර 2015 දී කිසිදු හෝ විද්වත් මත විමසීමකින් තොරව කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය.

මෙලෙස මුල්‍ය ව්‍යාපෘතිය වෙනස්වීම නිසා සිදුවූ මූල්‍ය අලාභය පිළිබඳ වාර්තාවක් වහාම ලබා දෙන ලෙසද කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටස උතුරු අධිවේගී මාර්ගය නමින් පැවැති ව්‍යාපෘතියේ පොතුහැර සිට හෑදෙනිය කොටස ඉදිකිරීම සඳහා තෝරාගෙන තිබූ MCC නම් චීන සමාගමට ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ලබා දීමට 2015 දී කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවද මෙහිදි හෙළි විය.

මේ සඳහා රුපියල් බිලියන 159ක මුදලක් වැය වන අතර මෙම තීරණය ආර්ථීක කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව (CCEM) මගින් ගෙන ඇති බවත් ගෙවීමි පිළිබඳ ගැටලුවක් නිසා වසර 04 ක කාලයක් තුළ මෙහි ඉදිකිරීම් ප්‍රමාද වී 2019 අගභාගයේදී වැඩ කටයුතු ආරම්භ කළ බවද වැඩිදුරටත් අනාවරණය විය. තවද මෙම ප්‍රමාදය නිසා බිලියන 8කට ආසන්න අලාභයක්ද සිදුව ඇති බවද හෙලිවිය.

මේ අතර පොතුහැර සිට ගල‍ගෙදර කොටසේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නැවතත් ආරම්භ වී ඇති බැවින් එහි වැඩකටයුතු ලබන වසරේ ආරම්භ කළ හැකි බව ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැවැසීය.

මෙහිදී මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු, තෙවන හා සිව්වන කොටස්වල ප්‍රගතිය පිළිබඳ තත්ත්ව වාර්තාවක් ලබා දෙන ලෙස කමිටුව නිර්දේශ ඉදිරිපත් කළේය.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා වන සියලු ශක්‍යතා අධ්‍යනයන් ව්‍යාපෘතියේ සාර්ථකත්වයට කුමන බලපෑමක් සිදු කර තිබේද යන්න වාර්තා කරන ලෙසද කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේය.

තවද 2012 වර්ෂයට පෙර මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන වාර්තාවන් සඳහා රුපියල් මිලියන 284 ආසන්න මුදලක් වැයවී ඇති බව අනාවරණය විය. මෙම ඇතැම් ශක්‍යතා වර්තමාන අධිවේගී මාර්ගය සඳහා කිසිදු ප්‍රයෝජනයක් නොවීම පිළිබඳ කනගාටුව පළ කළ සභාපතිවරයා ඉදිරි සියලු මූල්‍ය කටයුතු කළමනාකරණය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

 

 

 

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here