පරිස්සමින් පාසල් යමු

    0
    3

    මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් චක්‍රලේඛය සහ ‘උපදෙස් සංග්‍රහය’ සෑම පාසලකටම දීමට කටයුතු කර තිබේ. එම චක්‍ර ලේඛයට හා උපදෙස් සංග්‍රහයට අනුව, පාසල් කමිටු යාවත්කාලීන කර එහි ප්‍රවර්ධනය පිළිබඳව අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කළ යුතුය.

    බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශ හැරුණු විට දිවයිනේ සෙසු පළාත්වල පාසල්වල තෙවැනි වාරය අද (23) දින ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු කටයුතු සූදානම් කර ඇත. මේ සඳහා ගුරු සංගම් අතර නොයෙකුත් කතිකාවත් ඇති වුණ ද, පාසල් වසා දැමීම දිගටම කළ නොහැකි බැවින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් විවෘත කිරීමට රජය තීරණය කොට ඇත. බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශ තුළ කොවිඩ් වසංගතය ප්‍රබලව ව්‍යාප්ත වෙමින් පවතින හෙයින් සහ එම පළාතේ ඇතැම් ප්‍රදේශවල තවමත් නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අතර ඇතැම් ප්‍රදේශ තවමත් හුදකලා කොට ඇත.

    මේ නිසා එක් පළාතක් හේතුවෙන් රටේ සියලු පළාත්වල පාසල් වසා තැබීම සුදුසු නොවන බැවින් සෙසු පළාත්වල පාසල් විවෘත කිරීම කාලෝචිත වේ.

    තුන්වැනි පාසල් වාරය ආරම්භ කිරීමට දින නියම වී තිබුණේ පසුගිය නොවැම්බර් 9 වෙනි දිනය. එහෙත් කොවිඩ්-19 දෙවැනි රැල්ලේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් විවෘත කිරීම සති දෙකකට කල් දැමිණි. සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස්වලට අනුව බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශයන් හැරුණු විට සෙසු පළාත්වල කොවිඩ් ගැටලුකාරි තත්ත්වයන් නොමැති ප්‍රදේශයන්ට අයත් පාසල්වල 6‍ ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එහෙත් 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කිරීම සඳහා ප්‍රායෝගිකව කටයුතු කිරීමේ දුෂ්කරතා මතුව තිබෙන හෙයින් ඔවුන් වෙනුවෙන් පාසල් විවෘත කීරීමක් දැනට සිදු නොවේ. මෙම පියවර අනුගමනය කිරීම සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගෙන් විමසා විවෘත කිරීමට සුදුසු පාසල් කවරේ ද යන්න පසුව තීරණය කරනු ලැබේ.

     

    මාර්ගෝපදේශ

    මධ්‍යම පළාතේ පාසල් ලබන බදාදා (25) දින පමණ විවෘත කිරීමට සිදු විය හැක්කේ අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙයිනි.

    දිවයිනේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන පාසල් 6257කි. ඒ අතර සිසුන් 15ට වඩා අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් ඇති පාසල් සංඛ්‍යාව සියයට 28.6කි. එක් පන්තියක සිසුන් 16 සිට 30 දක්වා අධ්‍යාපනය හදාරන පාසල් සංඛ්‍යාව සියයට 43.6කි. එමෙන්ම 12 සහ 13 ශ්‍රේණි සඳහා පන්ති පැවැත්වෙන පාසල් 2898ක් තිබේ. එම පාසල්වල පන්තියක සිසුන් 15ට අඩු පාසල් ප්‍රතිශතය සියයට 53.4කි. සිසුන් 16 සිට 30 දක්වා පන්ති පැවැත්වෙන පාසල් සංඛ්‍යාව සියයට 36.7කි. මේ අනුව දුරස්ථභාවය ආරක්ෂා කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් 6 සිට 13 ශ්‍රේණි දක්වා පාසල් පැවැත්වීමේ වගකීම අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මේ සඳහා විදුහල්පතිවරුන් විසින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරි, ග්‍රාම සේවක, පාසල් සංවර්ධන සමිති නියෝජිතයකු සහ පාසලේ ආදි ශිෂ්‍යයකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ගත යුතුය.

    එමෙන්ම එම කමිටුවල නිර්දේශයන් අදාළ අධ්‍යාපන කලාපය භාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට භාර දිය යුතුය. මෙම ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් විවෘත කිරීමේ බලය විදුහල්පතිවරුන්ට දී තිබේ. පාසල් පවත්වාගෙන යෑමේදී පාසල් දරුවන් සම්බන්ධව පැන නඟිනු ලබන සෞඛ්‍ය ගැටලු එක් එක් ප්‍රදේශයන්ට අනුව වෙනස් බැවින් මෙම විදුහල්පති කමිටුව හරහා අදාළ තීරණ ක්‍රියාත්මක කිරීමට බලය විදුහල්පතිවරුන්ට පවරා දී ඇති බව අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කොට තිබේ.

    6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් විවෘත වුවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉලක්කය වී ඇත්තේ අ.පො.ස. සාමාන්‍ය පෙළ දරුවන්ය. මාර්ගගත අධ්‍යාපනයේ පහසුකම් බොහෝ දිස්ත්‍රික්කවල දරුවන්ට ඇත්තේ සියයට 30ක් 40ක් පමණි. මුහුණට මුහුණලා ඉගැන්වීම තුළින් දරුවා අදාළ සාධන මට්ටම ලබා ගත්තා ද යන්න නිශ්චය කළ හැකිය.

     

    චක්‍ර ලේඛය

    දිවයිනේ 268,000ක දරුවන් පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළේ. කොවිඩ් වසංගතයත් සමඟ දකුණු ආසියාවේම දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන් මිලියන 120ක් සිටිති. එමෙන්ම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහ ආබාධිත දරුවන් ද මේ අතර සිටී. මේ දරුවන් අතරින් දැනුම වේගයෙන් උකහා ගන්නා දරුවන්, මධ්‍යම ප්‍රමාණයේ වේගයක් ඇති දරුවන් සහ ඉතා සෙමින් අවබෝධ කරගන්නා දරුවන් වශයෙන් කොටස් කෙරේ. මුහුණට මුහුණ ඉගැන්වීම තුළින් මෙම දරුවන් එක සාධන මට්ටමකට ගෙන ඒමට පහසු වේ. දැනුම කුසලතාවය වර්ධනය වන්නේ එම ක්‍රියාවලිය තුළිනි. ඉන්පසු ආකල්ප වර්ධනය කිරීම සිදු වේ. විශේෂයෙන් දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන් මෙම කොවිඩ් වසංගතයත් සමඟ ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් අධ්‍යාපනය තමන්ට අහිමි වේදෝයි යන සැකයෙන් පෙළෙන බව අනාවරණය වී ඇත්තේ මාර්ගගත අධ්‍යාපනය ලැබීමට තරම් වරම් නොලැබෙන බැවිනි. ගුරුවරුන්ගේ මඟපෙන්වීමකින් තොරව ඉගැනුම් ක්‍රියාවලිය කිරීමට දරුවන් කැමති නැත.

    විදුහල්පතිතුමා විසින් පළාත් අධ්‍යක්ෂ, කොට්ඨාස අධ්‍යක්ෂ සහ සෞඛ්‍ය අංශ මෙන්ම ප්‍රවාහනයට අදාළ පුද්ගලයන් සමඟ ද සාකච්ඡා කොට පාසල් කටයුතු ආරම්භ කිරීම පිළිබඳ තීරණවලට එළඹිය යුතුය. මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් චක්‍රලේඛය සහ ‘උපදෙස් සංග්‍රහය’ සෑම පාසලකටම ලබා දීමට කටයුතු කර තිබේ. එම චක්‍රලේඛයට හා උපදෙස් සංග්‍රහයට අනුව, පාසල් කමිටු යාවත්කාලීන කර එහි ප්‍රවර්ධනය පිළිබඳව අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කළ යුතුය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සති දෙකකට වරක් පාසල්වලට ගොස් පාසල් නිරීක්ෂණය කොට පාසල්වල සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කළ යුතුය. එසේ කළ නෙහැකි වූ විට පාසල් බලධාරීන්ගෙන් විමසා පාසල්වල තත්ත්වය හඳුනාගත යුතුය. එමෙන්ම වසා දැමුණු ප්‍රදේශවල සිටින පාසල් දරුවන් හෝ කිසිදු පුද්ගලයකු පාසල්වලට ඇතුළු කර ගැනීම තහනම් බවත් සෑම පාසලක්ම හදිසි අවස්ථාවන්හිදී ක්‍රියාකරන්නේ කෙසේද යන්නත් දැනුම්වත් කර තිබේ. දරුවකු හදිසියේ රෝගි වුව හොත් ක්‍රියාකරන ආකාරය සම්බන්ධවත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සඳහන් කර තිබේ. නිරන්තරයෙන් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහාය ලබා ගත යුතුය.

     

    සෞඛ්‍ය පුරුදු

    පාසලට ඇතුළු වන ස්ථානයේ, පාසල් වැසිකිළි ආසන්නයේ සහ පන්ති කාමර අසල ප්‍රමාණවත් පරිදි සබන් කැට හා අත් සේදීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතුය.

    සුදුසු පරිදි අඛණ්ඩ ජල සැපයුම සකස් කර ගත යුතුය. දැනට වෙනත් කාරණයකට පාසල භාවිත කරන්නේ නම් ආරම්භයට දින තුනකට පෙරවත් එම කටයුතු අවසන් කළ යුතුය. පාසල පිරිසුදු කිරීම හා අනතුරුවලින් තොර පරිසර තත්ත්වයක් තිබේ දැයි පරීක්ෂා කර බැලිය යුතුය. ශරීර උෂ්ණත්වය බැලීම සඳහා ක්‍රමවේද භාවිත කළ යුතුය. කිසියම් සිසුවකු රෝගි වුව හොත් අනෙක් සිසුන්ගෙන් වෙන් කර තැබීම සඳහා ගිලන් කාමරයක් සකස් කිරීම හා අවශ්‍ය අවම උපකරණ පැවතිය යුතුය. අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කිසිවකු අසනීප වුව හොත් අවශ්‍ය වන දෑ හඳුනාගෙන තිබිය යුතු හා ඒ සඳහා සැලැස්මක් තිබිය යුතුය. අනධ්‍යයන කාර්ය මණ්ඩල දැනුවත් කිරීම හා අවශ්‍ය පුහුණුව ලබා දීම, පුද්ගල දුරස්ථභාවය හ නිවැරදිව දෑත් සේදීම හා එහි වැදගත්ම අංගය වන මුව ආවරණ පැලඳීම නිසි අයුරින් කළ යුතුය. මේ සඳහා අවශ්‍ය කරනු ලබන මුදල් සියල්ල අගෝස්තු මාසයේ දී පාසල්වලට ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ලංකාවේ සියලු පාසල් සඳහා ලබා දුන් මුදල මිලියන 500කි. අත් සේදීම සඳහා පහසුකම් සැපයීම සහ රෝගි කාමරය සඳහා ඇඳන් සකස් කිරීම ආදි සියලු කර්තව්‍යයන් සඳහා අවශ්‍ය මුදල් මේ වන විට සපයා දී ඇතී බවත් සෑම පාසලක්ම මේ වන විට ඒවා සියල්ල සම්පූර්ණ කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සකස් කරන ලද ලේඛනයක් සෑම පාසලකටම යවා ඇති අතර සෑම දිනකම එම ලේඛනයට අදාළ තොරතුරු ඇතුළත් කර රැස් කර තබා ගැනීම කළ යුතු වේ.

    පාසල් පවිත්‍රතා කටයුතු සියල්ල ද සෑම පාසලකම ක්‍රමානුකූලව සිදුව තිබේ. සෙනසුරා දින පාසල්හි විදුහල්පතිවරුන් විසින් පාසල් කමිටු පිහිටුවා පාසල් ආරම්භ කිරීමේ කටයුතු සූදානම් කෙරිණි. කලාප කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම මෙම අධීක්ෂණ කටයුතුවල නියැළීම සිදු වේ.

    සෙසු ප්‍රදේශවල පාසල් අතරින් ද ඇතැම් ප්‍රදේශවල වාර්තා වන රෝගීන් සහ නිරෝධායන ක්‍රියාවලීන් හේතුවෙන් පාසල් කිහිපයක් විවෘත නොකිරීමට ද බලධාරීන් විසින් ක්‍රියා කොට තිබේ. එමෙන්ම බස්නාහිර ප්‍රදේශයේ සිට පැමිණෙන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ද අද දින සිට විවෘත වන පාසල්වලට පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබේ. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල්වලට දී ඇති මුදල්වලින් සබන් සහ දෑත් සේදුම්කාරක (සැනිටයිසර්) ප්‍රමාණවත් ලෙස ගැනීමට ද අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් උපදෙස් දී ඇත. සියලුම අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් පාසල් කටයුතු වෙනුවෙන් සියලුම විදුහල්පතිවරුන්ට උදවු කිරීම ද මෙහිදී සිදු වේ.

    බස්නාහිර පළාතේ ඇතැම් කොට්ඨාසවල කිසිදු කොරෝනා රෝගියකු වාර්තා නොවුණු ප්‍රදේශ පවතින අතර එම ප්‍රදේශවල අ.පො.ස. සාමාන්‍ය පෙළ ශ්‍රේණි හෝ ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා මට්ටමක පවතී.

     

    පාසල් වෑන්

    එමෙන්ම පාසල් ආරම්භ කිරීමත් සමඟම ඇතිවන්නේ පාසල් දරුවන් ප්‍රවාහනය කරනු ලබන පාසල් වෑන් රථ ගැටලුවය. පාසල් වෑන් රථ තුළ ද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම සම්බන්ධ වගකීම වෑන් රථ රියදුරා විසින් ගත යුතුය. නිවෙසින් පිට වන දරුවා පාසල් වෑන් රථය, බස් රථය හෝ මඟ ‍තොට ආදී සියලු තැන්හිදීම ප්‍රවේසම් කළ යුතුය. පරිස්සම පිළිබඳව දරුවා තුළ සම්පූර්ණ විශ්වාසයක් ඇති කරලීම මව්පියන්ගේ යුතුකමය.

    ළමයින් යනු ළමයින් මිස වැඩිහිටියන් නොවේ. ඔවුන් ළමා ලෝකයේදී සියල්ල අමතක කරනු ලබයි. නිවෙසේදීම දරුවන්ට ගුරුහරුකම් දිය යුතුය. රෝගයේ අවදානම නැවත නැවතත් පහදා දිය යුතුය. පාසල ආරම්භයේ ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ඇසීමට සැලැස්විය යුතුය. කොරෝනා වසංගතයෙන් වැළකීමට ගත යුතු පියවර පිළිබඳව ඇසීමට සැලැස්විය යුතුය. එවිට දරුවාට අමතක වන දේ නැවත මතකයට එනු ඇත. කොවිඩ් දෙවැනි රැල්ල අතිශය භයානකය. පරිස්සම වඩාත් වැදගත් වන්නේ එබැවිනි. අධ්‍යාපනයක් නැතිව අනාගතයක් නැත. පරිස්සමට ඉගෙන යහපත් අනාගතයක් ගොඩනඟා ගැනීමට දරුවන්ට ශක්තියක් වීම වැඩිහිටියන්ගේ වගකීම වනු ඇත.

     

    (අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් අතර පැවති සාකච්ඡාවක් ඇසුරිනි)

     

     

    චතුමී පිටිපන

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here