මඩුවන්ගේ පියාසැරිය

    0
    9

    විද්‍යා ප්‍රබන්ධය

    “දවස 1997.01.28. වෙලාව හවස 6:32යි. වේගය පැයට කිලෝමීටර් 102යි.”

    රූපට් නිතර තමාටම කියාගත්තා. හැබැයි තේරුම මොකද්ද කියල හිතාගන්න බැරි වුණා. එතනින් එහාට මඩුවන්ගේ රටා අධ්‍යයනයෙන් හොයාගන්න යමක් නෑ. අවශ්‍ය දත්ත සියල්ල තියෙනවා. ප්‍රශ්නය තියෙන්නේ විශ්ලේෂණයේ. ඒත්, විශ්ලේෂණය තාර්කික එකක් නෙවෙයි; හදවතට තට්ටු කරලා අහනවා වගේ දෙයක්. මඩුවන් මේ කියන්න හදන්නේ මොනවා ද?

    පොතක් හැදිලා තියෙන්නේ මොනවගෙන් ද? ඔහුට කල්පනා කරන්න දේවල් සහ වේලාව ඕනෑ තරම්. නිහඬතාව සහ අඳුර ඕනෑ තරම් සංකල්පවලින් පිරෙන්න තරම් ගැඹුරුයි.

    හරි, පොතක් හැදිලා තියෙන්නේ මොනවාගෙන් ද? කඩදාසි, තීන්ත, ගම්, පොලිතීන් එකතු වෙලා? ඕනෑ නම් වෙන වර්ගීකරණයකට ගිහින් මූලද්‍රව්‍ය සංයුතියෙන් වුණත් පොතක් හැදිල තියෙන විදිය කාට හරි කියන්න පුළුවන්. හැබැයි, මේක අවසන් නොවන ගමනක්. අපට නැවත නැවතත් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමා ‘හැදිලා තියෙන්නේ මොනවාගෙන් ද?’ කියන එක. හොඳයි, පොත හැදිලා තියෙන්නේ කඩදාසිවලින්, කඩදාසි හැදිලා තියෙන්නේ රසායනික සංයෝගවලින්, රසායනික සංයෝග හැදිලා තියෙන්නේ පරමාණුවලින්… ඔන්න ඔහොම කොයි තරම් තට්ටු ගානක ප්‍රශ්නයක් අහන්න පුළුවන් ද? සමහර විට අවසානයක් නැති ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

    රූපට් එතැනින් තමන්ට ඕනෑ ප්‍රශ්නෙ දිහාට ආයේ පැනගත්තා. දුර සහ කාලය හැදිලා තියෙන්නේ මොනවාගෙන් ද? ඔහුට හිතාගන්න බෑ දුර සහ කාලය හැදිලා තියෙන්නේ මොනවාගෙන් ද කියලා. පොත් ගානක් කියවලා බලන්න සිද්ධ වුණා. ඒත් උත්තරයක් නෑ. හමු වන එකම උත්තරයත් ‘උත්තරයක් නෑ’ කියන-එක. එහෙනම් ඉන් අදහස් වන්නේ මොනවා ද? දුර සහ කාලය හැදිලා තියෙන්නේ මොනවාගෙන් ද?

    දුර සහ කාලයෙන්. ඔව්. දුරක් නිර්මිත වෙන්නේ දුරවල් කිහිපයකින් මිස වෙන කිසිවකින් නෙවෙයි. කාලය නිර්මිත වෙන්නේ කාල අන්තර කිහිපයකින්. දුර දුරෙහි සංයුක්තයක්. කාලය කාලයෙහි සංයුක්තයක්.

    කාලය ගත වීම, චලනය මේ අනුව හුදු පුනර්වාචක පැහැදිලි කිරීම් නේද? හරියට මේ වගේ: පෑනක් කියන්නේ කුමකට ද යන ප්‍රශ්නයට පිළිතුර ලිවීම සඳහා භාවිත කරන උපකරණය කියල ගනිමු. හැබැයි, ලිවීම සඳහා භාවිත කරන උපකරණයට අප දාලා තියෙන්නේ ‘පෑන’ කියන නම. ඒ නිසා, හරියට බැලුවොත්, ඒ ප්‍රශ්නෙන් කිසිම අලුත් දෙයක් කියවෙනවා ද? නෑ.

    චක්‍රය. අප ආයේ ආයේ ඉර වටා යනවා. හැබැයි අප කියන්නේ පෘථිවිය විතරක් නොවෙයි, පෘථිවිය සහ චන්ද්‍රයා යන දෙකම. ඒ දෙකත් කැරකෙන්නේ චක්‍රයක. සඳ මත දුහුවිලි කැටයක පරමාණු කැරකෙන්නේ චක්‍රයක. චක්‍රීය චක්‍රීයභාවය!

    තේරුමක් නැතිව එකතැන කැරකෙන සිතිවිලි. චක්‍රීය සිතිවිලි ගැන චක්‍රීය සිතිවිලි. රූපට් හිතන-එක නතර කරන්න තීරණය කළා.

    හැමදේම එක තැන; එක වෙලාවේ. රූපට් හිතුවා. ජනවාරි 28? අවුරුදු 23ක් තිස්සේ ඒ විදියටම, ආයෙ ආයේ… තව සතියකින්. මොකද, එදා ජනවාරි 21 නිසා.

     

    ඇයට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නම් ගොඩක් තිබුණා. නම කියවෙන විදිය නිසා වෙන්න ඇති. හැනා, ජනා, ජැනී, යනා, යානා… ඇය ඒ හැම නමකින්ම කෙරෙන ආමන්ත්‍රණයකට උත්තර දුන්නා. අන්තිමට ඇයගේ නම කතා කළේ පරිගණකයේ ස්පීකරය විතරයි.

    “යානා නොවැක්, ඔබට පණිවිඩයක්,” ඒ පණිවිඩය දිගින් දිගටම ඇහුණා. ඒත් යානා හිටියේ වෘත්තාකාර වීදුරු කවුළුව ළඟ. ඈ වෙලාවකට අඳුරු ශීතල අභ්‍යවකාශය දිහා බලාගෙන හිටියා. තවත් වෙලාවක සුදු පාට ශීතල පොළොව දිහා බලාගෙන හිටියා. කිසිම කෙනෙක් ඇයට කතා කළේ නෑ. ඇය කාටවත් කතා කළෙත් නෑ.

    අවසාන සේවා මොඩියුලය අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධ වී දැනට මාස තුනක්. බෙන් සියදිවි නසාගෙන දැනට මාසයක්. දවස් නිහඬයි. පරිගණකය පරණ පණිවිඩයක් අල්ලගෙන කෑගහන්න නොගත්තා නම් පහත් වා සැපයුම් හඬ විතරක් ඉතිරි වෙන්න ඉඩ තිබුණා.

    එක දවසක් යානා කවුළුව ළඟින් ඉවතට ගියා. ශීතකරණයෙන් ප්ලාස්ටික් ඇසුරුමක බහාලූ බෙන්ගේ සිරුර අහසේ පා කරන් සේවා දොරටුව ළඟට ගියා. වා අගුල් කාමරයට දැම්මා. ඊළඟට සේවා මොඩියුලය හොයාගෙන ගියා. කෑම සහ බෙහෙත් පැකට් අතර එදා දැක්ක විදියටම වගේ හිටියා පොඩි මඩුවෙක්.

    ‘මේක අස්සට මඩුවෙක් රිංගගත්තේ කොහොම ද?’ මුල් දවස් ටිකේ එයා කල්පනා කළත් පස්සේ කල්පනා කරන එක අමතක කළා.

    සමහර මඩුවො අතින් ඇදලා ඉවත් කරන්න බෑ, සමහරු කිසිම ප්‍රතිරෝධයක් නැතුව ගැලවිලා එනවා. මේ මඩුවත් එහෙමයි. යානා මඩුවගේ වල්ගෙන් අල්ලගෙන පා වෙලා ආවා වා අගුලට. මඩුවත් ඇතුළට දැම්මා. පිටත දොර විවර කළා.

    ඊළඟට එයා ආයේ කවුළුව ළඟට ආවා. බෙන්ගේ සිරුර ඈතට පා වෙලා යන හැටි බලා හිටියා. මඩුවා, ඔව් මඩුවත් එක්කම.

    අන්තිම සේවා සැපයුමේ පරණ විස්කි බෝතලයක් තිබුණා. ශූන්‍ය ගුරුත්වයේ විස්කි බොන්නේ කොහොම ද කියල කල්පනා කර කර යානා කවුළුව ගාවට ගියා. මඩුවාගේ ඇඟ දෙපසින් රැළි යන්න පටන් අරගෙන. මඩුවා පීනනවා. හිස්, වා බිඳක්වත් නැති අභ්‍යවකාශයේ. පුදුම වෙන්න මහන්සි නොවුණු යානා විස්කි උගුරක් බිවුවා. ඇය දැනගෙන හිටියා මඩුවා පියාසරන්නේ කොහෙට ද කියල.

    ඉරට.

    විස්කි බෝතලේ අතින් ලියපු ලේබල් කෑල්ල ඔහේ පා වුණා. ඒකේ ලියලා තිබුණා:

    ‘ගුඩ් බායි!’

     

    මතු සම්බන්ධයි…

     

    තාරක කල්දේරා

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here